ආදර ප්‍රගීත්, 

මම ඔයාට අන්තිමට ලියපු ලියූ ලියුමේදී කිව්වා ඔයාට ඊලඟට මම කියන්නම් මානව හිමිකම් කොමිසමේදි මොනවාද වුනේ කියලා.

 ඔයා දන්නවනේ මම ඒ කාලෙ වනවිට ශ්‍රී ලංකා මානව කොමිසම කියන්නේ මොකක්ද කියල වත් දැනගෙන හිටියේ නැහැ.මම යන එන තැන්වල සිටි බොහෝ දෙනා කිව්වා මානව හිමිකම් කොමිසමටත් ඔයාව අතුරුදන්කිරීම සම්බන්ධව පැමිණිලි කරන්න කියලා. ඉතින් මම 2010 පෙබරවාරි 02දා මානව හිමිකම් කොමිසමට ගියා පැමිණිල්ලක් කරන්න. ගාමිණි මල්ලියි, කොළඹ සංවිධානයක වැඩ කරන නීතිඥවරියකුයි මේ ගමනට සම්බන්ධ වුණ. 

 මට එතනදිත් හෝමාගම පොලිසියේදී වගේම සිද්ධියකටයි මුහුණදීමට සිද්ධ වුණේ.මතක විදියට එතන හිටපු නිලධාරියා සමගි පෙරේරා කියලා කෙනෙක්. එයා කිව්වා මේ අතුරුදහන් වෙච්ච මිනිස්සු ගැන මානව හිමිකම් කොමිසමේ පැමිණිලි කරන්න බැහැ කියලා. ඒ ගැන මම නම් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒත් මාත් එක්ක ගිය ඒ නීතිඥවරිය නම් එහි  නීතිමය තත්ත්වය ගැන ඒ නිළධාරියත් එක්ක ටික වේලාවක් තර් ක කළා.මම තුෂ්නීම්බූතව ඔහේ බලාගෙන හිටියා. අවසානයේදී  එම නිලධාරියා අපිට ෆෝම් එකක් දීලා ආ මේක පුරවලා දීලා යන්නකියලා අමනාපය, අසමගිය මුසු මුහුණකින් අපට කිව්ව.  ඒ පෝරමය පුරවල ඒ නිලධාරියාටම බාර දීල  අපි එතනින් ආවා. මතක විදියට ඒ සිද්ධිය ගැන සඳරුවන් ඊ නිවුස් එකේ ලියල තිබුණ. 

ඊට පහුවෙනිද  මට මානව හිමිකම් කොමිසමෙන් කෝල් එකක් ආවා. ඒ කතා කරපු මහත්තය නම් බොහොම කාරුණික මහත්මයෙක්. පැමිණිල්ල විමර්ශනය කළෙත් ඒ මහත්මයාම තමයි.

මානව හිමිකම් කොමිසමේ විමර් ශන නම් ඉක්මනින් පටන් ගත්තා. ඒත් කෙටියි. 

පළවෙනි දවසේ උනේ 2010 පෙබරවාරි අටවෙනිදා. එදා නියමිත වෙලාවට  මම ගාමිණි මල්ලිත් එක්ක මානව හිමිකම් කොමිසමට ගියා. ඒත් එදින විමර්ශනයට නියමිත වගඋත්තරකරුවන් වුනේ හෝමාගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති . එදින ඔහු නම් පැමිණියේ නැහැ.  නොපැමිණෙන බව දැනුම් දීල තිබුනෙත් නැහැ. පොලීසියට කතා කලාම හේතු ගොඩයි. 

ගාමිණි මල්ලි නම් කිව්වපොලිසියේදි වගේම ,මානව හිමිකම් කොමිසමේදිත්  නිලධාරීන් පැමිණිලි බාරගන්න බැහැ කියද්දි අපි කොහොමද මේ ආයතන විශ්වාස කරන්නෙ කියලා.  ලොකු විශ්වාසයක්  නැති වුනත් එදා මම ඔයාව අපෙන් උදුරගත්  අපේ කතාව ඔවුන්ට කීවා.

ප්‍රගීත්, මම එයාලට අවධාරණය කළේ ඔයාගේ දුර් වල සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කිව්වා. ඔයාව ඉක්මනට හොයල දෙන්න කියලා. දැනන්  හිටියෙ නැහැ ඒ වෙනකොටත් සමනලයෙක් තරම් අහිංසක, පරඩලා පතක් වැනි ඔයාගේ ජීවය උන් උදුරාගෙන අහවරයි කියල.

මම  හැමදාම දැක්කෙ මහන්සියි කියාගෙන ගෙට ගොඩවෙන ඔයාව. රෑට කොම්පියුටරේ ලියන ලිපියේ කරෙක්ෂන් බලන්න කියල උදේට කියන ඔයාව, හරිත් එක්ක රංඩු කරල හිනාවෙන ඔයාවගේ පිරිල තිබුණ ඉහල පහල යන දේශපාලන වචන හරඹ ……. කාලයක් ඒ දැක්ම මගේ ඇදහිල්ල වුනා. දැන් මගේ ඇදහිල්ල ඔයාව ජීවත් කරවීම. සමහර විට මම මියෙන දා දක්වාම එය කරාවි.

 මානව හිමිකම් කොමිසමේ දෙවෙනි දවස වුනේ පෙබරවාරි 12දා. එදා නං හෝමාගම පොලීසියේ ඒ වෙනකොට හිටපු පොලිස් ස්ථානාධිපති අරුණ ශාන්ත කියන මහත්තයා එයාගේ ප්‍රකාශය කළා. එයාලට තියන බැරි අමාරුකම් සහ  දුරකථන ඇමතුම් වාර් තා ලබාගැනීම සඳහා  අධිකරණ නියෝග ගත්ත ආකාරය පිළිබඳව කොමිෂමට ප්‍රකාශ කළා. ඒත් එයා  හෝමගම අධිකරණයට ගොනුකරපු බී වාර් තාව නඩුව ගැන කිසිඳු සඳහනක් නොකර ඉන්න පරිස්සම් වෙලා තිබුණා.

 ඊට පස්සෙ විමර් ශණය තිබුණෙ තුන්වෙනිදවස පෙබරවාරි15දා. එදා ආවෙ  මිරිහාන විශේෂ අපරා‍ධ කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මහතා. මම දන්න තරමින් ඒ මුල් කාලෙදි පොඩ්ඩක් හරි විමර් ශණයක් කරපු එකම නිලධාරියා. ඒ මහත්තයා නං ඇවිල්ල කිව්වා මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන බී වාර් තාව නඩුව සම්බන්ධව. එයා කරන විමර්ශන වල විස්තර තොරතුරු එයා අධිකරණයට වාර් තා කරන බවත් ප්‍රගීත් සම්බන්ධයෙන් ඉක්මනින් තොරතුරක් ලබාගන්න පුළුවන් වෙයි කියලා එයා විශ්වාස කරන බවත්.  ඒත් ඉතින් ඒ විමර් ශණයෙන් මේ මහත්තයාව  ඊළඟ මාසේ ඉවත් කරලා  තිබුණ. මාධ්‍යය වාර් තා කරල  තිබුනේ  නම් පොලිස්පති නියෝගයෙන් විමර් ශණ මිරිහානේ විශේෂ අපරාධ කොට්ඨාශයෙන් කොළඹට මාරු කළා කියල. 

ඊට පස්සේ මට 2010 මාර් තු හය වෙනිද සිතාසියක් ආවා. ඒක එවලා තිබුණේ මානව හිමිකම් කොමිසමෙන්. එයාලා ඒක එවලා තිබ්බේ මාර් තු මාසේ 16 දා  උදේ  වරුවේ තියෙන පරීක්ෂණයට එන්න කියලා. තලංගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවත් කැඳවල තිබුණා. 16 වෙනිදා උදේ මම  ඔයාගේ යාළුවා අමරතුංගත් එක්ක මානව හිමිකම් කොමිසමට ගියා. ඒත් තලංගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති නම් ආවෙ නැහැ. ඒ වෙනුවට පොලිස් කොස්තාපල්වරයෙක් තමා ඇවිල්ල හිටියේ. එයා නම් කිව්වේ තාම පරීක්‍ෂණවල ප්‍රගතියක් නෑ කියලා. 

ඒ වෙනකොට මම  මාධ්‍යය හා විවිධ අය  හරහා දැනගෙන හිටියා  කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට මේ පරීක්ෂණය බාර දීලා තියෙන බව. ඉතින් මම ඒ ගැන ඒගොල්ලන්ව දැනුවත් කරල,මම ඉල්ලා සිටියා  තාම මම දන්නෙ නැහැ එයාලගෙ පරීක්ෂණ පිළිබඳව , ඔවුන්වත් කැදවල විමර් ශණ වල තත්වය අහන්න කියලා. එදා නං කිව්වේ සතියක් ඇතුළත වාර් තාවක් කැදවනවා කියලා. නමුත් ඒ ගැන අද වෙන තුරු මම දන්නෙ නැහැ. 

ඒ පරීක්ෂණය එතැනින් පස්සේ නැවතුනා

ඊට පස්සෙ මම නැවතත් එයාලට ලියන්නෙ 2011 අවුරුද්දේ  අවසන් කාර් තුවේදී. ඒ ගැන ඊලග කොටසින් කියන්නම්. එතෙක් මම නවතින්නම්.  ඔයාගේ යුක්තිය වෙනුවෙන්…..

මම

සන්ධ්‍යා

Loading

Related posts