එදා අන්තිම ලිපිය ලිව්වේ අක්ෂි රෝහලේ
නැවතුතන පළමු දවසේ. දැන් ඇහේ තත්වය නම් සෑහෙන්න දුරට යහපත්. ඒත් හෙදිය දීපු පිළිපැදිය යුතු විනය නීති වලින් කන් දෙක පිරිලා.
මම එදා නැවැත්තුවේ 2010/01/25 හෝමාගම පොලීසියෙන් පිටවුණ තැනින්. ගාමිණී මල්ලිත් එක්ක පොලීසියෙන් පිටවෙලා ආපසු ගෙදරට ආවා.

ගෙදරට එනවාත් එක්කම සිරස මාධ්‍යයෙ මල්ලිලා දෙතුන් දෙනෙක් ගෙදරට ආවා. ජීවිතේ පළමු වතාවට කැමරාවක් ඉදිරියේ කතා කළා. ඒකත් ඔයා වෙනුවෙන් එදා ලොකු පුතා සංජයත් කතා කළා. ඔයා දන්නවනේ ඒ අවුරුද්දෙ තමයි ලොකු පුතා සාමාන්‍ය පෙළ ලියන්න නියමිතව හිටියෙ. එදා එයා කියපු වචන සියල්ල මේ මොහොතේ මගේ මතකයේ නැහැ ඒත් එදා එයා කියුවේ “මගේ තාත්තා වරදක් කරලා නැහැ.කරුණාකර ඔහු ගෙදර එවන්න.” තව ක්‍රීඩා වලදි වංචා කරන එක වැරදියි වගේ අදහසකුත් කිව්ව වගේ මතකයි. මේ වෙනකොට මම දහස් ගණන් කැමරා ඉදිරිපිට කතා කරල ඇති. ඒ ඔයා වෙනුවෙන් තවත් අපරාධ, අසාධාරණකම්වලට ගොදුරු වූ මිනිසුන් වෙනුවෙන්, අනෙකාගේ අයිතිවාසිකම් විනාශ කළ තැන් වලදීත් කතා කරලා තියෙනවා. මම නමෝ විත්තියෙන් කිව්වෙත් “ඔයාට තරහකාරයො නැහැ. මේ අපරාධය කළේ රාජපක්ෂල කියලා.” ඒක අද ඇත්ත වෙලා. ඊට පස්සේ මම හෝමාගම පොලීසියෙන් කිව්ව වගේ එදා හවස කොස්වත්ත පොලීසියටත් ගියා. එයාල අර හෝමාගමින් එවල තිබුණ ෆැක්ස් එක අලවල මගේ අත්සන අරගෙන මට පැමිණිලි අංකයක් දුන්නා.
මේ කාලේ ගොඩක් දෙනා බොහෝ වැඩවලට උදව් වුණා. ඔයාව හොයන්න ඇවිද ගිය තැන්, කාර්යාල, පුද්ගලයන්, පාරේ කරපු අරගල ගැන පසුව ලියන්නම්.
පළමුව නීතියේ රාමුව තුළ මා ගිය ආකාරය එහි අත්දැකීම් තමා වඩා වැදගත් කියලලා හිතනවා. ඊට පස්සෙ දවසක් සවස මට මතක 2010 ජනවාරි 30 කියලා ජයවික්‍රම පෙරේරා මන්ත්‍රීතුමා කිව්වා. නුගේගොඩ අපරාධ කොට්ඨාශයේ ඉන්නේ දේශබන්දු තෙන්නකෝන් මහත්තය. එතුමව ගිහිල්ල මුණගැහෙන්න. ප්රගීත්ව සොයාගන්න උදව් කරාවි කියලා. ඒ අනුව ඊට පහුවෙනිදා මම ගාමිණී මල්ලිත් එකක් මිරිහානට ගිහිල්ලා දේශබන්දු තෙන්නකෝන් මහත්තයව හමු වුණා. එතුමා ඇහුව ඔයාගේ පළවෙනි පැහැර ගැනීම ගැන. එදා ඔයා ගෙදර එන ගමන් කිව්ව කථාව අකුරක් අඩු නොකර. මම කිව්වා ඊට පස්සෙ ඒ මහත්තයා ලොකු පුතා ගැන ඇහුවා. එදා ලොකු පුතා සිරස මාධ්‍යයට කියපු කථාව ඒ අය දැකලා හෝ බලලා තිබුණා. ඊට පස්සෙ ඔහු මට කීවා. “ පුතා මාධ්‍යයට කරපු කතාව දේශපාලන කථාවක්. පුතාට මාධ්‍යයට කතා කරන්න දෙන්න එපා. “ කියල, මම දන්නෙ නැහැ එහෙම කිව්වෙ කිනම් අරමුණකින්ද කියලා. ඊට පස්සෙ “මේ වන විට අපි පරීක්ෂණ පටන් අරන් තියෙන්නෙ අර මහත්තයා ළඟට ගිහිල්ලා කට උත්තරයක් දෙන්න කියලා වෙනත් නිළධාරියෙක්ව පෙන්නුවා. මම එතනට ගිහිල්ලා මගේ කථාව කිව්වා. SI ජානක නමින් හැඳින් වූ ඔහු තමයි. ඔයා පිළිබඳ පරීක්ෂණ බාරව සිටියේ.
ඔයාට මතකද ප්‍රගීත්, ඔයාව හමුවෙන්න එනව කියල ඔයා මග බලාන සිටි යාලුවට වසන්ත අයියගෙ ෆොන් එකෙන් කෝල් එකක් ගත්තා. ඒ දුරකථන අංකයක් මේ පොලීසියේ අයට දීලා තිබුණා.
නුගේගොඩ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මේ දුරකථන වාර්තා අරගෙන යම් තොරතුරක් හොයාගෙන තිබුණා. ඒත් ඒ පරීක්ෂණ වලට වැඩිය ආයුෂ තිබුණෙ නැහැ. දවසක්දා පත්තරේ කුඩා ප්‍රවෘත්තියක් තිබුණා. ඒකෙ සඳහන් වුණේ ඔයාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට අදාළව නුගේගොඩ අපරාධ කොට්ඨාශයේ තිබුණු විමර්ශනය 2010 අප්‍රේල් තිබුණ ඡන්දය හේතුවෙන් පොලිස්පති නියෝගයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයට බාර දුන්නා. කියලා. අන්න එහෙමයි දේශබන්දු තෙන්නකෝන් මහත්තයගෙන් අනුර සේනානායක මහත්තයගෙ අතට පරීක්ෂණ හුවමාරු කර ගත්තේ. ප්‍රවෘත්තියේ ඇත්ත නැත්ත සහ විමර්ශන වල තත්වය හොයන්න මම SI ජානක මහත්තයට කථා කළා. එතුමා කිව්වේ එයා දැන් එම විමර්ශනයේ නැහැ එයාගෙන් තොරතුරු අහන්න එපා කියලා.
ඔය කාලේ යන එන හැම තැනදිම ගොඩක් දෙනා ඔයාව හොයා ගන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට ගිහින් පැමිණිලි කරන්න කියලා කිව්වා. ඉතිං මම ගාමිණී මල්ලියි කොළඹ ඉන්න නීතිඥවරියකුත් එක්ක මානව හිමිකම් කොමිසමට ගියා පැමිණිලි කරන්න. මම දැන් නවතින්නම් ඊළඟ කොටසින් ඒ ගැන ලියන්නම්.
ඔබ වෙනුවෙන් මම
සන්ධ්‍යා
@highlight Free Prageeth Ekneligoda Ekneligoda Forum – එක්නැලිගොඩ සංසදය Sandya Priyangani Ekneligoda වදන් රස්තියාදුව