ආදරණීය ප්‍රගීත්,

ප්‍රගීත්, ඊයෙ මම නැනැවැත්තුවේ 

වාසුදේව නානායක්කාර මහත්තයට ඔයා ගැන කියපු තැනින්.එතුමා කිව්වෙ, “මම අදාල අයට දැනුම් දීල තියෙන්නෙ, ඡන්දෙන් පස්සෙ ඔයා ඒවි කියලා. ඇත්තටම එයා අදාල අයට දැනුම් දෙන්න ඇති. ඒත් වෘකයින්ට අහුවෙන ගොදුරක් අත හරීවිද?

එදා රෑ න9.00, 9.30 විතර වෙද්දිත්  ඔයා ගෙදර ආවෙ නැති නිසා මම ඔයාට කෝල් කරන්න පටන් ගත්ත.ඔයා ගෙදර එන වෙලාව , කාත් එක්කද එන්නෙ කියල දැන ගන්න.  ඒත් එක සැරයක්, දෙසැරයක්, තුන් හතර වතාවක් ඔයාට කෝල් කරද්දී, ඔයාගේ දුරකථනය නිහඩ  වූ විට මට දැනුනෙ තදබල කම්පනයක්, පාදාන්තයෙ ඉදල කේෂාන්තය දක්වාම ගිනිගෙන දැවුන.මාස 6කට පෙර ඔයාව අත හැරියත් යලිත් වතාවක් උන් ඔයාව  ගොදුරු කරගෙන කියන සිතුවිල්ල මගේ හිටගෙන සිටීමට ඇති ශක්තිය හීන කලා. මොහොතකට මා පුටුවකට වාරු වුනා. ඒත් මට පුටුවකට බරදී සිටිය හැකිද? බැහැ ප්‍රගීත් බැහැ.  මම නැගිට්ටෙ ඉද්ද ගැහුව වගේ.  ඇත්තෙන්ම එය උන්මාදනීය නැගී සිටීමක්. එවන් නැගී සිටීම් වලට වෙහෙස හෝ නිදිමත නැහැ,බඩගින්න, බිය හෝ කාංසාව නැහැ. ඇත්තේ   ජවයකි. දහසක් හස්තීන්ගේ ජවයටත් වඩා වැඩිවූ ජවයකි. ගිනි ගහන අව් කූටකේද, ඝණඅන්ධකාර රාත්‍රියේද එකම සංග්‍රාමයකි.  සිතීම, සෙවීම, විමර්ශනය සහ ලුහු බැදීම පමණි.ඔයාව කියන්න සතුටුයි ප්‍රගීත්,එදා ඒ මොහොතේ උත්පාද වූ ඒ ජවය දවස් 5500 ගෙවුනත් අදත් ඒ විදිහටම තිබෙනව.  ඉතිං මමත් ඒ රාත්‍රිය පුරාම මම කලේ ඔයාට හරි, ඔයාගෙ යාලුවෙකුට හරි දුරකථනයෙන් කතා කිරීමට  උත්සාහ කිරීමයි.  එදා ඒ රාත්‍රියේ මගේ ඇමතුමට‍ ඒ කවුරුවත්ම ප්‍රතිචාර දැක්වූවේ නැහැ.මේ කිසි දෙයක් නොදන්නා සංජයයි හරිතුයි සුවසේ නිදි.

පහුවෙනිද පාන්දරින්ම ගාමිණී මල්ලි කතා කරල ඇහුව “ අක්ක මට මෙච්චර කෝල් අරන් තියෙන්නෙ ඇයි?” කියල.

 “ අයිය ගෙදර ආවෙ නැහැ මල්ලි කියල මම එයාට කිව්ව. 

මම අටට, අටහමාරට විතර අයියාට කතා කලා.එයා කිව්ව,  යාලුව ආව, දැන් යාලුවන් එක්ක වාහනේක යන ගමන් කියල…කොස්වත්තට යන්නෙ ඔය පාරෙන් නෙමෙයි කියල ඇතුලින් කියනව ඇහුන.එතකොටම දුරකථනය විසන්ධි වුනා කියල. 

ඊට පස්සෙ ගාමිණීල ඇවිල්ල අපි ගියා හෝමාගම පොලීසියට පැමිණිලි කරන්න. 

පොලීසියෙ අය හැසිරුණේ මම එනතුරු බලන් හිටිය වගේ.අපි පොලීසියට ගිය හැටියෙ එතන හිටිය  SI මහත්තයෙක් ,පැමිණිල්ල ලියන්න ලොකු මහත්තයගෙ උපදෙස් ගන්න ඕන කියල මගේ විස්තර කොලයක ලියාගෙන අරන් ගියා. හැබැයි ඉතිං පැමිණිල්ල දාල ආපහු එනකොට පොලීසිය ලග කඩේක ඒ කොලේ තිබුණ.  කඩේ අය නම් කිව්වෙ පොලීසියෙ මහත්තයෙක් ඇවිත් කඩේ දුරකථනයෙන් කාට හරි ඇමතුමක් අරගෙන විස්තර වගයක් කිව්ව කියල.තාම මට තේරෙන්නෙ නැත්තෙ පොලීසියේ දුරකථන තියෙද්දිත් , එලියෙ කඩේකින් අපි ගැන  කිව්වෙ කාටද ,එවන් දෙයක් කරන්න තිබුණ උවමනාව මොකක්ද කියල.

හෝමාගම පොලීසියට ගිහිල්ල ටික  වෙලාවකට පස්සෙ පැමිණිලි අංශයට පොලීසියේ OIC මහත්තය ඇවිල්ල මට අපහාස කරන්න පටන් ගත්ත. “ මම කරන්නෙ බොරුවක්, ඔයා ගෙදර ඇති කියල කිව්ව. මිනිස්සු ජනප්‍රිය වෙන්න අතුරුදහන් වෙනව කියලත් කිව්වෙ…” මේ පැමිණිල්ල දාන්න ඕන කොස්වත්තෙ මෙහෙ දාන එකෙන් වෙන්නෙ මේ පැමිණිල්ල  කොස්වත්තට පැක්ස් කරන්න වියදම් වෙන එක විතරයි කියල , එයා කිව්ව…මට තේරුනා  ඔයාව හොයා ගන්න යන මේ ගමන උඩුගං බලා පිහිනීමක් කියල, චණ්ඩ රල පහර වගේම ගල් මුල් වලටද මුහුණ දෙන්න සිදුවන වග. ඒ මොහොතේ මම අධිෂ්ඨානයක් කළා.ඒක පාරමිතාවක් කිව්වොත් වැරදි නැහැ කියල හිතනව. ඒ කවදහරි ඔයාව, ඔයාට සිදුවුන දේ පිලිබද සත්‍ය සහ යුක්තිය ඉෂ්ට වෙනකන් ඔයාගෙ අතුරුදහන්වීම මේ පොලවේ අතුරුදහන්වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. හැමදාම ඔයාව  ඔයාගෙ අතුරුදහන්වීම ජීවිත් කරවනවා කියන අධිෂ්ඨානය.එදා පොලීසියෙන් එලියට එන්න පෙර මට දුරකථන ඇමතුමක් ආවා. ඒ එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන්. බයවෙන්න එපා එයාව හොයාගන්න උදව් කරන්නම් කිව්ව. සිදුවූ සිදු නොවූ දේ කුමක් වුවත් ඒ මොහොතේ එම වචන බලාපොරොත්තුවකට මාවත විවර කලා.

ප්‍රගීත් මම දැන් ඉන්නෙ අක්ෂි රෝහලේ. මම මෙම කොටස මෙතනින් නවතිනව. තව දවස්  පහකින් විතර ඉතිරි කොටස ලියන්නම්. මම දන්නව හැම මොහොතකම ඔයා මා ලගින්ම ඉන්න බව…….

 මං ඔබේ සන්ධ්‍යා….

වැරදි ඇතොත් සමාව භජනය කරත්වා.

Loading

Related posts