අධිරාජ්‍යවාදයට එරෙහිව නිර්ධන පංතික ජාත්‍යන්තරවාදය ගොඩ නඟමු!

රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි

ගෝලීයකරණය, නව වෙලඳපොල ආදී වචන ව්‍යාජ ලෙස භාවිතා කරමින් බලවත් රටවල් හා ඒවායේ සමාගම් අනෙකුත් රටවල් මත තම ආධිපත්‍ය පනවන ආකාරය අපි නිතර දකිමු. ධනපති ක්‍රමය විසින් මෙසේ විවිධ ව්‍යාජ වචන භාවිතා කරන්නේ අධිරාජ්‍යවාදය ලෙසින් හඳුන්වන ක්‍රියාවලියටය. ආරම්භයේදී තරඟකාරීත්වයට මුල්තැන දෙමින් බිහිවූ ධනවාදය 19 සියවස අවසානයේදී හා 20 සියවස මුල භාගයේදී තරඟකාරීත්වය වෙනුවට ඒකාධිකාරයන් හා කාටල මුල්තැනට ගෙන එන්නා වූ වර්ධනයක් කරා ගමන් කළේය. බහුජාතික සමාගම්, අන්තර්ජාතික සමාගම් ලෙසින් මෙම ඒකාධිකාරයන් ලොව සෑම තැනකම ක්‍රියාත්මක වේ. මෙවන් ඒකාධිකාර අයත් රටවල රාජ්‍යයන් නිරන්තරයෙන් කටයුතු කරන්නේ ඒම ඒකාධිකාරී සමාගම්වල ලාභ වැඩිකර දීම වෙනුවෙනි. අද ලෝකයේ පවතින මූල්‍ය පද්ධතිය හා මූල්‍යායතන මෙහෙයවනු ලබන්නේ ඒ වෙනුවෙනි. වත්මන් ලෝකයේ පවතින බොහෝ යුද්ධ, වෙළඳ යුද්ධ හා ගැටුම් පසුපස ඇති මූලික හේතුව මෙම අධිරාජ්‍යවාදී කොල්ල කෑමේ උවමනාවයි. ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් ප්‍රශ්නය, යුක්රේනයේ ගැටුම් සිට ශ්‍රී ලංකාව මුහුණ දෙන භූ දේශපාලනික ගැටලු දක්වා වන සියල්ල තුල දක්නට ඇත්තේ අධිරාජ්‍යවාදයේ මූලයන්ය. 

ධනවාදයේ අනිවාර්ය වර්ධනයක් වූ අධිරාජ්‍යවාදය නැවත නැවතත් පෙන්නුම් කරන්නේ ධනපති ක්‍රමයට ලෝකය තුළ ඉටු කිරීමට තවත් කිසිඳු ප්‍රගතිශීලී කාර්යයක් නොමැති බවයි. අද ධනපති ක්‍රමයට කළ හැකි එකම දේ නම් මහ ධනපතියන්ගේ ලාභ වැඩිකර දීම වෙනුවෙන් ලෝකය පුරා ගැටුම්, වෙළඳ යුද්ධ හා යුද්ධ ඇති කිරීමට කටයුතු කිරීම පමණි. ලෝකය වෙළාගෙන ඇති අධිරාජ්‍යවාදී සමාගම් ආරක්ෂාකිරීම වෙනුවෙන් ලෝකයේ ධනපති පන්තිය එක්සත් වී ඇත. මාක්ස්වාදීන් පෙනී සිටින්නේ එම ක්‍රමය බිඳ දැමීම වෙනුවෙන් වන අතර ඒ වෙනුවෙන් නිර්ධන පන්තියේ ලෝක පරිමාණ එක්සත් කමක් ඇති කිරීම අපගේ කර්තව්‍යයි. “සකල දේශවාසී නිර්ධනයිනි, එක්වව්!” යනුවෙන් මාක්ස් විසින් කළ ප්‍රෞඪ ආයාචනයට අප දැක්විය යුතු ප්‍රතිචාරය එයයි.

Loading