රනිල් රාජපක්ෂ රෙජීමයේ ප්‍රතිගාමීත්වය අවසන් කර ජනතා බලයක්…

By Raju Prabath Lankaloka

රනිල් රාජපක්ෂ රෙජීමය දියත් කොට ඇති මර්ධනය මේ වනවිට කම්කරු පන්තියේ නායකත්වය වෙතද එල්ල වෙමින් පවතී. ‘වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව’ ලෙසින් ගොනුව ඇති සංවිධාන එකතුවේ ඉතා ක්‍රියාකාරී කාර්‍ය භාරයක් ඉටුකළ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහෝදරයා අත් අඩංගුවට ගැනීම එහි තීරණාත්මක සන්ධිස්ථානයයි. ඔහුව අත් අඩංගුවට ගෙන පැය කිහිපයක් ඇතුළත බැංකු සේවක සංගමයේ ක්‍රියාකාරීන් දෙදෙනෙක්වද අත් අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ද වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවට සම්බන්ධව සිටි අයය.

ජෝසප් ස්ටාලින් සහෝදරයා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී පොලීසිය ක්‍රියා කළ ආකාරය මුළුමණින්ම අනීතිකය. තනි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට පොලීසි හතරකින් පනහක පමණ කණ්ඩායමක් යොදවා තිබුණි. වීඩියෝ දර්ශනවලට අනුව ඔහුව අත් අඩංගුවට ගන්නේ කවර චෝදනාවකටද යන්න ඔහුට දැනුම් නොදේ. මෙපමණ විශාල බලයක් යොදවා ප්‍රසිද්ධ හා අරගලය තුළ ප්‍රමුඛ කාර්‍යයක් ඉටුකළ වෘත්තීය සමිති නායකයෙකු මෙසේ අත් අඩංගුවට ගැනීම තුළින් අනෙකුත් වෘත්තීය සමිති ක්‍රියාකරකයන් බිය ගැන්වීම ඔවුන්ගේ අරමුණ වූ බව පෙනේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු අනෙක් වෘත්තීය සමිති ක්‍රියාකරකයන් හා අරගලකරුවන් අත් අඩංගුවට ගැනීම අපි පිළිකුල් සහගත අයුරින් හෙළා දකිමු. මෙම මර්ධනයට එරෙහිව පන්ති ව්‍යාපාරය විසින් ගන්නා ඔනෑම ක්‍රියාමාර්ගයකට අපි අපගේ පූර්ණ සහාය පළ කරමු.

ගෝලීය ප්‍රාග්ධන වෙළෙඳපොළ සඳහා ණය ශ්‍රේණිගත කිරීම් සපයන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Fitch Ratings විසින්, 2022 ජුලි 28 වැනි දින, ශ්‍රී ලංකාව පිළිබඳව කියා තිබූ කරුණු අප මෙයට කලින්ද උපුටා දැක්වූයෙමු. එහි දක්වා තිබූ කරුණු අතර මෙසේද දක්වා තිබුණි. “රජය විසින් IMF සමඟ එකඟ වන ඕනෑම ප්‍රතිසංස්කරණ පැකේජයක බදු ඉහළ දැමීම, වියදම් කප්පාදු කිරීම සහ විනිමය අනුපාතවල වැඩි නම්‍යශීලීභාවයක් සඳහා කැපවීම වැනි අංග ඇතුළත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එවැනි ප්‍රතිසංස්කරණ විසින් සැළකිය යුතු මහජන විරෝධයක් ඇති කිරීමේ අවදානමක් ඇහි කරන අතර එය එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බාධාවක් විය හැකිය.”

මේ අනුව ධනපති පාලකයන්ට උපදෙස් දෙන ආයතන ඉදිරියේදී ලංකාව තුළ IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීමට යාම නිසා ජනතා විරෝධයක් ඇති වේ යැයි බියට පත්ව ඇත. මෙවැනි විරෝධයක් තුළ නියත වශයෙන් කම්කරු පන්තිය ප්‍රමුඛ කාර්‍ය භාරයක් ඉටු කරනු ඇත. රනිල් රාජපක්ෂ රෙජීමය අද පන්ති ව්‍යාපාරය කරා මර්ධනය ගෙන එන්නේ මේ නිසාය.

අවම වශයෙන් මේ අවස්ථාවේදී හෝ පන්ති ව්‍යාපාරය එක්සත් කරමින් රනිල් රාජපක්ෂ රෙජීමයේ මර්ධනීය වැඩ පිළිවෙල පරාජය කිරීමට අප කටයුතු කළ යුතුය. ඒ වෙනුවෙන් ගත යුතු සුදුසුම පියවර වහාම දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක් කැඳවීමයි.

රනිල් යනු ජනතාවට වග නොකියන, ජනයාගෙන් මුළුමණින්ම ප්‍රතික්ශේප වූ, රාජපක්ෂවරුන්ගේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය මත තම පැවැත්ම රඳා ඇති රූකඩ පාලකයෙකි. මොහු ගෝඨාභය අරගලයට එරෙහිව හදිසි නීතිය පැනවීමට ක්‍රියාකළ අවස්ථාවේදී අරගලය මර්ධනයට හදිසි නීතිය යොදා ගත යුතු නැති බව කියා සිටියේය. එහෙත් ඔහු වැඩ බලන ජනාධිපති වූ විගස හදිසි නීතිය පැනවීය. ඔහු අගමැති වූ අවස්ථාවේ කියා සිටියේ අරගලය දිගටම පැවතිය යුතු බවය. එහෙත් ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම් දී පැය 24ක් යාමට මත්තෙන් අරගලකරුවන්ට ලේ වැකි ප්‍රහාරයක් එල්ල කළේය. ගෝඨාභය ජනාධිපති ධුරය දරණ කාලයේ නිරෝධායන නීති භාවිතා කරමින් ජෝශප් ස්ටාලින් අත් අඩංගුවට ගත් අවස්ථාවේදී රනිල් පාර්ලිමේන්තුව තුළ කතා කරමින් එයට විරෝධය පළ කළේය. එහෙත් ඔහු ජනාධිපති වී කළ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ පළමු කතාවෙන් පැය කිහිපයක් යාමට මත්තෙන් පොලීසිය ජෝශප් ස්ටාලින් අත් අඩංගුවට ගත්තේය. රනිල්ගේ බොරුව, වංචාව හා තක්කඩිකම වටහා ගැනීමට මීට වඩා කරුණු අවශ්‍ය නොවේ.

ජූලි 9 දින ජනතාව විසින් ගෝඨාභය පන්නා දැමුවද, රාජපක්ෂ රූකඩයක් වන රනිල් විසින් රාජපක්ෂ පාලනය දිගටම ගෙනයමින් සිටී. ජනතාව විසින් මුළුමණින්ම ප්‍රතික්ශේප කළ රනිල්ගේ මෙම දුර්දාන්ත ගමන වැලැක්විය යුතුමය. රනිල් රාජපක්ෂ රෙජීමයේ ප්‍රතිගාමීත්වය අවසන් කර ජනතා බලයක් ඇතිකළ යුතුය. එය පන්ති ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය හරහා ජයග්‍රහණය කළ යුතු ප්‍රධානම අභියෝගය ලෙසින් අප ඉදිරියේ පවතී.

Loading