රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි
ජූලි 9 දින ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම නිසා හිස් වූ ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් මේ වනවිට රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙසට තේරී පත්ව ඇත.
රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂවරුන් පමණටම ජනතාවට පිළිකුල් කරන අයෙකි. ඔහුට පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පවා අවස්ථාවක් නොලැබුණි. අවසන් මහ මැතිවරණයෙන් තමන් තරඟ කළ දිස්ත්‍රික්කයෙන් හා ලංකාවේ එකදු දිස්ත්‍රික්කයකින් ආසනයක් දිනා ගැනීමට නොහැකි වන තරමට ඔහු ජනතාවගෙන් ප්‍රතික්ශේප වී තිබුණි. ඔහුගේ පක්ෂයට 2020 මහ මැතිවරණයේදී ලංකාවෙන්ම ලබාගත හැකි වූයේ 2.15%ක ඡන්දයක් පමණි.
එවන් අයෙක් රටේ ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමෙන්ම මොවුන් කතා කරන ප්රජාතන්ත්රවාදය යනු කුමක්ද යන්න පැහැදිලි කරයි. මොවුන්ගේ ප්රජාතන්ත්රවාදය යනු කිසිසේත් ජනතා කැමැත්ත නොවේ. ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදය යනු තමන් නියෝජනය කරන පන්තියේ හා පාලක නඩයේ කැමැත්තයි. අද ඉතා පැහැදිලි ලෙස සිදු වූයේ එයයි. ආරම්භයේ සිටම රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටියේ රාජපක්ෂලාගේ සට්ටැඹියන්ය. පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් රාජපක්ෂවරුන් වෙනුවෙන් නිවේදන නිකුත් කරමින් ඉල්ලා සිටියේ අනුප්‍රාප්තික ජනාධිපති තෝරන තරඟයේදී රනිල්ට සහාය ලබා දෙන ලෙසය. තම පක්ෂයේ වෙනත් ඕනෑම අයෙකුට වඩා රනිල් විශ්වාසවන්ත බව රාජපක්ෂවරුන් ලොවටම හඬ ගා කියා කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවති මෙම ඡන්දය කිසිසේත්ම පිරිසිදු ඡන්දයක් නොවූ බව අපි දනිමු. අති විශාල මිළ ගණන්වලට මන්ත්‍රීන් මිළදී ගැනීමට උත්සාහ ගැනීම ගැන වන වාර්තා පසුගිය දින කිහිපය තුළ මාධ්‍ය තුළින් දැකිය හැකි විය. ඡන්දයට කලින් විවිධ පක්ෂ විසින් තම පක්ෂපාතීත්වය ප්‍රකාශ කර තුබූ ආකාරයත් මන්ත්‍රී වරුන් ඡන්දය භාවිතා කර තිබූ ආකාරයත් දෙස බලන විට එකී වාර්තාවල සත්‍යතාවයක් ඇති බව පැහැදිලි වේ.
මෙම ඡන්දය විසින් කලක් පුරා ලංකාවේ ජනතාව තුළ වපුරා තිබූ තවත් මිත්‍යාවක් කුඩු පට්ටම් කර දමන ලදී. එනම් එජාප හා එම ධරාවට වඩා ශ්‍රීලනිප හා එම ධාරාව වඩා ප්‍රගතිශීලීය යන මිත්‍යාවයි. මෙය කලක් පුරා පැරණි වාමාංශික පක්ෂ විසින් ජනතා මනස තුලට කා වැද්දූ මිත්‍යාවකි. අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගැනීම වෙනුවෙන් පැවති ඡන්දයේදී එම ධාරා දෙක අතර කිසිඳු වෙනසක් නොමැති බවත්, එම ධරා දෙකම නියෝජනය කරන්නේ එකම මතවාදය බවත්, ධනපති ක්‍රමය අර්බුදයට ගමන් කරන විට ඔවුන් ඊට එක්ව මුහුණ දෙන බවත් මනාව පෙන්නුම් කළේය.
මෙම අනුප්‍රාප්තික ජානාධිපති තෝරා ගැනීමේ ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් තිදෙනාම පවතින ධනපති ක්‍රමය එලෙසින්ම ගෙනයාම තම ප්‍රතිපත්තිය කොටගෙන සිටි තිදෙනෙකි. රනිල් / රාජපක්ෂ සන්ධනය, ඩලස් / සජිත් සන්ධනය මෙන්ම අනුර කුමාර දිසානායකගේ වැඩපිළිවෙලද (2022-07-19 දින ඉදිරිපත් කළ අන්තර්කාලීන ආණ්ඩුවේ, රට ස්ථායීකරණය වෙනුවෙන් වූ කෙටිකාලීන ප්‍රමුඛතා) මෙයට සාක්ෂි දරයි. ඡන්දය නිමා වීමෙන් පසු අනුර කුමාර මහතා කියා සිටියේ මෙය අශිෂ්ඨ පාර්ලිමේන්තුවක් බවත් මෙයින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවත්ය. එහෙත් පසුගිය මුළු කාලය තුළම එකී අශිෂ්ඨ පාර්ලිමේන්තුව හා ඡන්ද ක්‍රමය කෙරේ ජනතා විශ්වාසය ගොඩනැඟීමේ විශාල කාර්ය භාරයක් ඔහු විසින්ද සිදු කරන ලදී. ඔවුන් විසින් කළ එම කාර්ය භාරය අධිරාජ්‍යවාදී රටවල තානාපති වරුන්ගේද පැසසුමට හේතුවිය. මේ අනුව මෙකී අශිෂ්ඨත්වයට පිළිගැනීමක් ලබාදීම වෙනුවෙන් ඔහු හා ඔහුගේ පක්ෂයද එකසේ වගකිව යුතුය.
රනිල් වික්‍රමසිංහ යනු රටේ දශක හතරහමාරක් පුරා අති දක්ෂිණාංශය හා අන්ත ප්රතිගාමීත්වය නියෝජනය කළ අයෙක් බව ජනතාව දනී. අද මෙරට මුහුණ දී ඇති ව්‍යසනයට මූල හේතුව වූ නව ලිබරල් ප්‍රතිපත්ති මෙරටට ගෙන ඒමේ ප්‍රධානම කාර්යයක් ඉටු කළේ ඔහු අද නායකත්වය දෙන එජාපයයි. රට යළි යළිත් IMF කොන්දේසි වලට යටකර දැමීම, රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය, MCC වැනි අධිරාජ්‍යවාදී වුවමනාවන්ට යළි ඉඩ දීම ඔහුගේ ඉදිරි වැඩපිළිවෙල වන බව පැහැදිලිය. මෙම වැඩ පිළිවෙල නිසා රට මේ වනවිට පත්ව ඇති ව්‍යසනය තවත් උග්රවීම පමණක් සිදුවනු ඇත.
ප්රජාතන්ත්ර විරෝධී ලෙස ඔහු අගමැති ධුරයට පැමිණි අවස්ථාවේ සිට ජනයාගෙන් ඔහුට බරපතල විරෝධයක් එල්ල වූයේ ඒ නිසාය. ජූලි 20 දින සිදු වූයේ එම ජනතා විරෝධය තුට්ටුවකට හෝ මායිම් නොකරමින් පාලක පන්තියේ හා රාජපක්ෂ කල්ලියේ කැමැත්තට දොර විවර කිරීමයි. රාජපක්ෂවරුන්ට දැන් සැනසුම් සුසුම් හෙළිය හැකිය. ඒ නුදුරේදී රාජපක්ෂවරුන්ට කිසියම්ම හෝ අගතියක් නොවන බවට රනිල් වග බලා ගන්නා බැවිනි.
එහෙත් ධනපති පන්තියට කිසිවිටක ඉදිරිය ගැන නිවරැදි දැක්මක් ඇතිකර ගත නොහැකිය. ඉදිරියේදී මතුවන ජනතා විරෝධයන් විසින් රනිල් වික්රමසිංහටද රාජපක්ෂවරුන්ට අත්කර දුන් ඉරණම අත්කර දෙනු නොඅනුමානය.
අප මුල සිටම කියා සිටියේ අරගලය යොමුවිය යුත්තේ පුද්ගලයෙක් දෙසට නොව ක්‍රමය වෙනස් කිරීමේ දෙසට බවයි. පුද්ගලයින් තෝරා ගන්නේ පවතින ක්‍රමය විසිනි. පුද්ගලයෙක් ඉවත්කළ විට තවත් පුද්ගලයෙක් ක්‍රමය විසින් එතැනට තෝරා ගනී. බොහෝවිට අළුතෙන් තෝරා ගනු ලබන්නේ පෙරටත් වඩා පන්තියට විශ්වාසවන්ත අයෙකි. මේ නිසා අරගලය මුළුමණින්ම යොමුවිය යුත්තේ පවතින ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙනි.
ජනබලයට ප්රතිගාමීත්වය අවසන් කළ හැකි වුවද, පවතින ක්‍රමය වෙනස් කරමින් ජනයාට අවශ්‍ය ප්රගතිශීලී පාලන තන්ත්රයක් ඇතිකළ හැක්කේත් ඒ ගැන සවිඥානික කොටසකගේ නායකත්වයක්, හෙවත් කම්කරු පන්තිය මෙහෙයවා ගත හැකි, විප්ලවවාදී පක්ෂයක නායකත්වය හා මඟ පෙන්වීම යටතේ පමණි. අද ලංකාව තුළ එවන් විප්ලවවාදී පක්ෂයක් නොමැති වීමේ විපාකය නිසා ධනපති ක්රමයේ බත් බැලයන්ට ජනතා වුවමනාවන්ට පිටුපා ක්‍රියා කිරීමට හැකියාව ලැබී ඇත. එහෙත් ජනතාව මුහුණ දෙන ව්‍යසනය වැළැක්වීම වෙනුවෙන් කිසිවක්ම හෝ කිරීමට මෙම බත් බැලයන් අසමත්ය.
මේ නිසා අප හමුවේ ඇති අභියෝගය වන්නේ, ජනතා අරමුණු, ජනතා ඉල්ලීම් සාක්ෂාත් කරගත හැකි ජනතා පාලනයක් ගොඩ නැඟීමට හැකියාව ඇති කම්කරු පන්තිය මෙහෙයවා ගත හැකි, විප්ලවවාදී පක්ෂයක් රට තුළත් ජාත්‍යන්තර පරිමාණවත් ගොඩ නැඟීමට දායක වීමයි.