විශ්වි රාජකරුණා …. ආත්මීයවාදයෙන්, පුද්ගලවාදයෙන් වෙන් වූ චින්තන පෙරලියක සන්නිවේදනය

Traces of being (පැවැත්මේ සලකුණු) යන විශ්වි රාජකරුණා විසින් පැවැත්වූ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ගැන මම දැනගත්තේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ දැන්වීමකිනි. එම දැන්වීම දුටු විගසම මම එම චිත්‍ර ප්‍රදර්ශනය බලන්න යාමට තීන්දු කළේ; දැන්වීමේ තිබූ එක් සිතුවමක් මගේ දෘශ්‍යමානයට ආකර්ෂණ වූ නිසාවෙනි. එම චිත්‍ර ප්‍රදර්ශනයට ගොස් මම ඇයගේ චිත්‍ර එකින් එක මාගේ දෘශ්‍යමානයට නතුකර ගනිමින් සිටින විට වින්සන්ට් වැන්ගෝ ගේ (1853-1890) චිත්‍ර ශානරයට නෑකම් කියන චිත්‍රයක් හමුවීමෙන් මම එතැන නතර වුනෙමි. ඇය අසල සිටි නිසා, ඇයට පැනයක් යොමු කළේ මාගේ දෘශ්‍යමානයට හසු වූ කරුණ පැහැදිලි කර ගැනීම සඳහාය. මම විමසුවේ: මේ සියලු චිත්‍ර අතරින් මේ චිත්‍රයේ පමණක් වෙනසක් තියෙනවා, මොකක්ද ඒ හේතුව? ඇය මට බොහොම සැහැල්ලුවෙන් පිළිතුරක් දුන්නාය: මේක මම මුලින්ම ඇඳපු චිත්‍රය. මේක 2014දී තමයි මම කළේ. ඇගේ චිත්‍ර කලාවේ ආරම්භය එසේ වුවත් එදා සිට අවුරුදු 10 ක කාලපරිච්ඡේදයක් තුළ ඇය නිර්මාණාත්මක පිම්මක් පැන ඇති බව මට පසක්වූයේ ඇගේ සියලු චිත්‍ර මගේ දෘශ්‍යමානයට හසු වීමෙන් පසුවය.

විශ්වි, විනෝදාංශයක් ලෙස චිත්‍ර කලාව තෝරා ගැනීම මගින් ආරම්භක සිතුවමේ සිට නිර්මාණාත්මක කුසලතා ද වැඩි දියුණු කරගනිමින් සංචලතාවයෙන් සිතුවම හැසිරවීමට අතිවිශාල පරිචයක් ලබාගෙන ඇත. ඇය චිත්‍ර ශිල්පිනියක ලෙස ඉදිපත් කරන ප්‍රකාශන සමාජ ප්‍රකාශනයක් බවට ද පත්කර ගෙන, චිත්‍රයෙන් චිත්‍රයට විවිධත්වයක් සහිත නව දෘෂ්ටිමය ප්‍රකාශනයක් ප්‍රේක්ෂකයාගේ දෘශ්‍යමානයට සම්මුඛ කර තිබේ.

චිත්‍රකලාව තුළ විවිධ ශානර ඓතිහාසිකව බිහිවී ඇත. එ් අතරින් විශ්වි නූතනවාදී කලාව (Modern art) නැමති ශානරයෙන් නව ප්‍රකාශනයකට යාමට ද උත්සායසක් ගෙන ඇත. මොකද ඕනෑම දෙයක් පැවැත්මෙන් ඔබ්බට පැනීම තුළින් නව ශානර බිහිවීම චිත්‍ර කලා ඉතිහාසය තුළ දැක ගත හැකිය. එය විශ්වි නැමති චිත්‍ර ශිල්පිනිය ඉදිරිපත් කළ චිත්‍ර සමූහයෙන් ද එම වෙනස පැහැදිලිවම ප්‍රකාශ වුනි.   

දෘශ්‍ය කලා කෘතියක රූපමය සංකල්ප නිරීක්ෂණය කිරීමේදී සහ සිතීමේදී, වෙනත් ආකාරයකින් පහසුවෙන් තක්සේරු කළ නොහැකි පූර්ව-තාර්කික සිතුවිලි සහ පූර්ව-වාචික සිතුවිලි සහ පූර්ව-හැඟීම් වර්ණ බවට පත්කර ගැනීමට මනස තුළ නිරවුල්තාවයක් අත්‍යවශ්‍යය. චිත්‍රයක් දෘශ්‍යමානය කිරීම සහ ප්‍රතිබිම්බනය කිරීම යන තර්කයෙන් වඩාත් සංවේදී අංග පරිකල්පනය කිරීම චින්තනමය මෙවලමකි. ජීවන පැවැත්මේ ගැටළුව සන්දර්භයක් ලෙස දෘශ්‍ය කලා කෘතියකට නිරූපණයක් ලෙස ඉදිරිපත් කරන විට නියෝජනය කරන්නේ පරිකල්පනමය චින්තනයයි. කලා කෘති පිළිබඳ තර්කනය සහ නිර්මාණාත්මක චින්තනය පෝෂණය කිරීම අතර සම්බන්ධතාවයක් ඇති කිරීමට හැකි තර්කයක් සහිත නිර්මාණාත්මක චින්තනයක් මගින් විවිධත්වයක් තුළ නව ප්‍රකාශන ඉදිරිපත් කළ හැකිය. එවැනි චින්තනමය විවිධත්වයක් තුළ සමාජ දැක්මක් සඳහා පැවති දෘශ්‍ය කලා ශානරවලින් ඉදිරියට පැනීමට විශ්වි ගෙන ඇති උත්සාහය ද ප්‍රබල සාධකයක් ලෙස මගේ දෘශ්‍යමානයට හසුවිය.

චිත්‍රයක් සිතුවමට නැගීම ආරම්භ කරන විට චිත්‍රශිල්පියා සිතන දේ බොහෝ විට සිතුවම් ක්‍රියාවලියේදී විශාල වෙනසක් ඇතිවේ. ආරම්භයේදී වර්ණ පිළිබඳ අවබෝධයක් නොමැතිකම හෝ කලාත්මක ප්‍රකාශනයක් කිරීමට සිදුවන අනපේක්ෂිත ප්‍රතිඵලය ද එයට බලපායි. එහිදී විශ්වි අවසන්කළ චිත්‍ර මගින් ඉදිරිපත් කරන ප්‍රකාශනය දෘෂ්ටිමය පරිකල්පනයක් එම චිත්‍ර දෘශ්‍යමානයට ලක් කිරීමෙන් ප්‍රේක්ෂකයාට ලබා ගත හැකිය.

නූතන කලාව කලාත්මක වෙනස්වීම්වල පරිචයක් වූ, යථාර්ථවාදී නිරූපණය සහ දැඩි සෞන්දර්යාත්මක නීති කෙරෙහි පෙර පැවති කලාත්මක නැඹුරුතාවන් නව ප්‍රකාශනයන් හරහා වෙනස් වීමට ද බලපෑවේය. විශ්වි ඉදිරිපත් කරන දෘශ්‍ය කලා ප්‍රකාශන කලාත්මක දෘෂෟටියකින් විමසීමේදී ආත්මීයවාදයෙන් සහ පුද්ගලවාදයෙන් වෙන්ව සමාජීය  ආඛ්‍යානයක් සොයා යාම තුළින් තම ප්‍රකාශනයන් වෙනස් මානයකට ප්‍රවිෂ්ඨ කිරීමට ඇය චින්තනමය වෙනසකට මුල පුරා ඇත.

විශ්වි ගෙන එන දෘශ්‍ය කලා චින්තනය විසින් දර්ශනවාදය සමග අඛණ්ඩ සම්බන්ධතාවයක් සහ දෘශ්‍ය කලාවේ මුල් මූලයන්වල සිට නූතන යුගයේ දෘශ්‍ය කලාවෙන් ද වෙනස් වූ නව දැක්මක් සහිත ප්‍රකාශනයක් ඇය ඉදිපත් කරයි. එවිට යම් කෙනෙක් ප්‍රශ්නයක් නැගිය හැකිය: කලාව දර්ශනයේ සේවිකාවද?, නැතහොත්; දර්ශනය කලාවේ සේවිකාවද? නැතිනම්; කලාවේ සේවිකාව දර්ශනයද? යන්න එකම පැනය විවිධ අතට ඇසිය හැකිය. දෘශ්‍ය කලා ප්‍රකාශනයකින් චිත්‍රශිල්පියාට පැවසිය නොහැකි” දේ පැහැදිලි කර ගැනීම සඳහා දෘශ්‍ය කලාවට දර්ශනය අත්‍යවශ්‍යය. දර්ශනවාදය විසින් චිත්‍රයක් යනු නිහඬ කාව්‍යමය ප්‍රකාශනයක් ලෙස දර්ශනවාදී ඉතිහාසය තුළ පැහැදිලිතාවයක් පැවතුනි. චිත්‍රශිල්පියා නිමකරන සිතුවමට ඔහුගේ වාචික යමක් ප්‍රකාශ කිරීම තුළින් පිළිගැනීම කලාව නොවේ. චිත්‍රයේ අර්ථයන් පැහැදිලි කිරීම හෝ අර්ථයන් ප්‍රකාශ කිරීම හෝ රූපයක නිරූපණ අර්ථය පැහැදිලි කිරීම හෝ චිත්‍ර ශිල්පියාගේ කාර්යභාරය නොවේ. නමුත් ප්‍රේක්ෂක පරිකල්පණයට අවශ්‍ය සිතුවිලි සම්පාදනයට අවශ්‍ය දෘශ්‍යමානය එම ප්‍රකාශනය තුළින් ඉදිරිපත් කිරීම චිත්‍ර ශිල්පියාගේ කාර්යභාරයයි. එය විශ්වි ප්‍රේක්ෂක මනස දෘෂ්ටිමය පරිකල්පනයකට ගෙනයාමට විවිධත්වයක් සහිත සිතුවම් තුළින් ගත් වෙහෙස වැදගත්කමකින් යුක්තය.

කලාව හා දර්ශනය පිළිබඳ චින්තනයට අනුපූරකව චිත්‍රශිල්පීන්ගේ දාර්ශනික ප්‍රකාශයන් ඓතිහාසික විශාල ප්‍රමාණයක් ප්‍රකාශ කර ඇත – යථාර්ථවාදී සංයුතිවල දාර්ශනික චින්තනය ප්‍රකාශ කරන උගත් කලාකරුවෙක් වූ නිකොලස් පූසින් (1594-1665) ඔහු තම චිත්‍ර කලා ඉතිහාසයේදී චිත්‍ර කලාවේ තර්කය සහ ආශාව අතර සුසංයෝගී සමතුලිතතාවයක් සෙවිය හැකි බව ප්‍රකාශ කළේය. ඒ වගේම රෙම්බ්‍රාන්ඩ් රිජ්න් (1606-1669) ඔහු ප්‍රකාශ කළ අභ්‍යන්තරය සිතුවිලි ස්වයං විමර්ශන හැඟීම් තුළින් චිත්‍රයක් සිතුවමට නැගීමයි යන්න ඔහුගේ ප්‍රසිද්ධ කියමනකි. රෙම්බ්‍රාන්ඩ් චින්තනය විසින් ගැඹුරින් චින්තනය තුළ ගිලී සිටින බව පෙනෙන දාර්ශනිකයන්ගේ (ප්‍රබන්ධ) චිත්‍ර මාලාවක් ද නිර්මාණය කළ අතර, ඒවා නැරඹීමට සම්බන්ධවන නරඹන්නන්ට සිතුවිලි අවධි වීම මගින් පරිකල්පන චින්තනයට බලපෑමක් ඇතිකළ හැකිබව ඔහු පැහැදිලි කළේය. බොහෝ විට නිර්මානයක් කරන මොහොතේ චිත්‍ර ශිල්පියාගේ චින්තන ක්‍රියාවලිය චිත්‍රයක් මගින් හෙළිදරව් කිරීමක් බවට පත් වන බවද ඔහු තව දුරටත් පැහැදිලි කර ඇත. ලියනාඩෝ ඩා වින්චි (1452-1519) ඔහු ‘කන්‍යාවක සහ දරුවෙකුගේ සිතුවම්’ හරහා මේ මතය බොහෝ වාරයක් ප්‍රෙක්ෂකයාගේ පරිකල්පනයට සිතුවම්කර ප්‍රේක්ෂකයාට විමසීමට ඉඩ සලසා තිබුණි. ප්‍රංශ චිත්‍ර ශිල්පී පියරේ බොනාඩ් (1869-1947) ඔහුගේ අභ්‍යන්තරය හෝ භූ-දර්ශන මත වසර ගණනාවක් වැඩ කරමින් සිට, විෂය පිළිබඳ සිතුවිලි වෙනස්වීම තුළින් ඔහුගේ සංජානනය අඛණ්ඩ ප්‍රවාහයක පවතින්නේ නැති බව පවසමින් වෙනස් දෘශ්‍ය කාලවක ප්‍රවිෂ්ඨය සඳහා නව ආරක සිතුවම් නිර්මාණය කළේය.

බොනාර්ඩ් වැනි ඇතැම් නූතන කලාකරුවන්ගේ භාවිතයන් කුමක් වුවත්, මුල් නූතන යුගයේ කලාව සහ දර්ශනය සම්බන්ධ කරන සමීප ඥාතිත්වය 19වැනි සියවසේදී ක්‍රමානුකූලව හෙළිදරව් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ වූ අතර, මානව ශාස්ත්‍ර විෂයයන් ඒකාබද්ධ කිරීමට ද උත්සාහ ගත්තේය. මේ නව ක්‍රම සෞන්දර්යාත්මක සිතුවම් කලාවේ ආධිපත්‍යයට යටත් කිරීමට උත්සාහ කළ අතර, දෘශ්‍ය කලාවේ වෙනස් පෙරළි ඇතිවී දෘශ්‍ය කලාවේ දර්ශනවාදී ප්‍රවේශය එතැනින් එහාට වර්ධනය විය.

චිත්‍ර කලාව “එක් මාර්ගයක ගමන් කිරීමක්” ලෙස කිසිසේත්ම අදහස් නොකෙරේ. කලාව හරහා හැඟීම් උද්දීපනය සහ හැඟීම් ප්‍රකාශ කිරීමට හරි හෝ වැරදි ක්‍රම නොමැත. මිනිස් මුහුණක පරිපූර්ණ චිත්‍රකයට වඩා වැඩියමක් චිත්‍රශිල්පියෙකුට පින්තාරු කළ හැකිය – අවුල් සහගත ලෙස පින්තාරු කළ හැකිය – යථාර්ථවාදී නොවන දේවල් පින්තාරු කළ හැකිය – රෝදය නැවත නිර්මාණය කිරීමට උත්සාහ කල හැකිය – නැතහොත් වර්ණ වටහා ගැනීමට ගණිතය සිහින බවට පත්කිරීමට ද හැකිය. සියලු සිතුවම් ඒකාකාරී හා සමාන නම්, එය දෘශ්‍යමානයට හසුකර ගැනීමෙන් පසුව එය ඒකාකාරී දෘශ්‍යමානයක් බවට පත්වන්නේය. සැබවින්ම, කලාවේ ලොකුම ශක්තිය වන්නේ එක් පුද්ගලයෙකුගේ අද්විතීය සංජානනය සහ අත්දැකීම් ග්‍රහණය කර විවිධත්වයක් තුළ අන් අය සමග චින්තනමය පරිකල්පනයක් බෙදා ගැනීමයි. විශ්වි රාජකරුණා එවැනි ප්‍රකාශනයන් සමුදායක් අප ඉදිරියට ගෙනවිත් තිබුණි. ඇයගේ එම දෘශ්‍ය කලා ප්‍රකාශන තුළින් පැවැත්මේ විශ්වීයත්වය චින්තනමය නව මානයක් අවදි කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් බව මගේ හැඟීමයි.

චමිල් ජයනෙත්ති

Loading

Related posts