ඉන්දියාව සහ පාකිස්තානය අතර පසුගිය දිනවල ඇතිවූ සටනෙන් පසු නැඟී ආ දූවිලි දැනට සමනය වී ඇති නමුත් – මේ දක්වා මෙම දෙරට අතර ඇති වඩාත්ම වැදගත් ගුවන් ගැටුම මෙය වන බැවින් – එහි පුළුල් වැදගත්කම ගැන සලකා බැලීම වැදගත්වේ. එහි මූලාරම්භය කුමක්ද යන්න සහ එය කලාපයේ දේශපාලනයට බලපාන්නේ කෙසේද?යන්න මෙහිදී වැගත්වේ.
මෙම ගැටුමේ ආසන්නතම ප්‍රේරකය වූයේ අප්‍රේල් අග දී කාශ්මීර සටන්කාමීන් විසින් පහල්ගම් හි (Pahgalagam) සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරය වන අතර එහිදී සංචාරකයෝ 26 දෙනෙකු මිය ගියහ. මෙම වෙඩි තැබීම මෙහෙයවූ බවට ඉන්දීය රජය විසින් පකිස්ථාන රජයට චෝදනා කළේය. පකිස්ථානය චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉදිරිපත් වූ නමුත් ඉන්දීය දේශපාලන අධිකාරිය එයට ඇහුම්කන් නුදුන් අතර යුද්ධය සඳහා බෙර වාදනය කිරීමට පටන් ගත්තේය. පකිස්ථාන හමුදා ඉහළ අණදෙන නිලධාරියා ප්‍රකාශ කළේ තම රට ඕනෑම ආක්‍රමණයකට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි; එමඟින් න්‍යෂ්ටික ගැටුමක හැකියාව මතු විය. ඉදිරි දින හතර තුළ දෙපාර්ශ්වයම වෙඩි හුවමාරුවක යෙදුන අතර එමඟින් 31 දෙනෙකු මිය ගියහ.
මැයි 7 වන දින ඉන්දියාව පකිස්ථානය තුළ ඇතැයි කිවූ ඊනියා ‘ත්‍රස්තවාදී ස්ථාන’ වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ ගැටුම ඇති විය. අවම වශයෙන් එක් දරුවෙකු ඇතුළුව සිවිල් වැසියන් දුසිම් දෙකකට වැඩි පිරිසක් මිය ගියහ. පකිස්ථාන හමුදාව ප්‍රතිචාර දැක්වූයේ PL-15 මිසයිල වලින් සන්නද්ධ චීනයේ නිෂ්පාදිත J10 ගුවන් යානා යෙදවීමෙනි – එහි එක් තේරුමක් වූයේ, අවම වශයෙන් එක් මට්ටමකට, මෙම අවස්ථාව, බටහිර රටවලට එරෙහිව චීන මහජන සමූහාණ්ඩුවේ හමුදා දෘඩාංග පරීක්ෂා කිරීමක් වන බවයි. සටනේදී ඉන්දියානු ජෙට් යානා පහක් බිම හෙළන ලද බවට වාර්තා පැතිරෙන්නට පටන් ගත් විට, සමහර ආරක්ෂක විශ්ලේෂකයින් සඳහන් කළේ ගැටුමේ සැබෑ ජයග්‍රාහකයා චීනය බවයි.
මෙම ආරම්භක වටයේ ගැටුම් වලින් පසුව දෙපාර්ශ්වයම වහාම තම තමන් ජයග්‍රහණය කළේයයි ප්‍රකාශ කළහ. එහෙත් මැයි 8 වන දින ඉන්දියාව ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා විශාල සංඛ්‍යාවක් පකිස්ථාන භූමියට යැවූ විට කඩිනම් සාකච්ඡා හරහා විසඳුමක් පිළිබඳ බලාපොරොත්තු සුන් විය. පකිස්ථාන හමුදාව කියා සිටියේ සිවිල් හෝ හමුදා යටිතල පහසුකම් වලට හානි කිරීමට පෙර ඒවා සියල්ලම පාහේ විනාශ කළ බවයි. නමුත් දින දෙකකට පසු ප්‍රහාරය වේගවත් කරන ලද අතර, තවත් ඉන්දියානු ඩ්‍රෝන යානා සහ මිසයිල පකිස්ථානයේ ප්‍රධාන නගරවල ජනාකීර්ණ සිවිල් ප්‍රදේශවලට පහර දෙන ලදී. මෙම අවස්ථාවේදී පකිස්ථාන හමුදා නායකත්වය තමන්ගේම ගුවන් සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තීරණය කළ අතර, ඒවායින් සමහරක් ඉන්දියානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගත්හ. න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම පිළිබඳ කතා හදිසියේම සත්‍යයක්වීමට යන බවක් පෙනෙන්නට තිබූ අතර භීතිය පැතිරෙන්නට පටන් ගත්තේය.
ඊළඟට සිදු වූ දේ පිළිබඳ මතවාද විවිධාකාර වේ. එක් මතයකින් කියැවෙන්නේ, ඉන්දියාව තම ගුවන් ආධිපත්‍යය තහවුරු කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ කිරීමෙන් පසු, පකිස්ථානය විසින් සටන් විරාමයක් පිළිගැනීමට ඵලදායී ලෙස තම අසල්වැසියාට බල කළ බවයි. තවත් සමහරු කියා සිටින්නේ පකිස්ථානය කොන් වී ඇති බවත්, ගැටුම දිගටම පැවතුනහොත් න්‍යෂ්ටික විකල්පය භාවිතා කිරීමට එහි සූදානම සංඥා කළ බවත්, එමඟින් එය සටන අවසන් කිරීමට සාකච්ඡා වේගවත් කළ බවත්ය. කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළ ගිවිසුමට මුවාවී, (වොෂින්ටනය සමඟ පිටුපසින් කළ සාකච්ඡා) අවසානයේ බිඳෙනසුලු සාමයක් ඇති කිරීමට හැකි විය. ඉන්දියාවේ විචාරකයින් චෝදනා කළේ තම රජය, ඇමරිකානු පීඩනයට යටත් වී එහි කිසිදු යුද අරමුණක් සාක්ෂාත් කර නොගත් බවයි. එහෙත් පාකිස්තානයේ වාතාවරණය සතුටුදායක විය. එහි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ චීනයේ සහාය ලබන ගුවන් හමුදාව දැන් සාර්ථකව හමුදා සමතුලිතතාවය නැවත ස්ථාපිත කර ඇති බවත් කලාපීය ආධිපත්‍යය සඳහා ඉන්දියාවේ හිමිකම් පෑම අඩපණ කර ඇති බවත්ය.
කාශ්මීරයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් දශක ගණනාවක් තිස්සේ පැවති මත භේදාත්මක ආතතියෙන් පසුව, වරින් වර ප්‍රචණ්ඩත්වය පුපුරා යාමෙන් පසුව මෑත ගැටුම ඇති විය. 1947 දී ඇතිවූ බෙදීමෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය යන දෙකම මුස්ලිම් බහුතරයක් වෙසෙන මෙම භූමිය (කාෂ්මීරය) තුළ තම ආධිපත්‍යය තහවුරු කර ගැනිමට උත්සාහ කළහ – ඉන්දියාව ප්‍රදේශයෙන් තුනෙන් දෙකක් අත්පත් කර ගත් අතර පකිස්ථානය ඉතිරි තුනෙන් එක හිමිකර ගත් අතර – එතැන් සිට එය ලෝකයේ වඩාත්ම මිලිටරිකරණය වූ කලාපයක් බවට පත් කර ඇත. මෙලෙස දෙපාර්ශවයම වාඩිලාගෙන සිටින නිම්නයේ දශක හතරක කෝපය හා කැළඹීමෙන් පසුව, 1987 මැතිවරණවලදී ඉන්දීය හමුදාව විසින් සිදු කළ බව කියන මැති්වරණ දූෂණ නිසා මහා කෝලාහල මාලාවක් ඇති කළේය. ඒවා 1989 දී ලෞකික (Secular) ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන ජම්මු සහ කාශ්මීර විමුක්ති පෙරමුණ (JKLF) විසින් මෙහෙයවන ලද සන්නද්ධ කැරැල්ලකින් අවසන් විය. 1990 දශකය පුරාම, මෙම භූමියේ සටන් කරන බොහෝ කණ්ඩායම් පකිස්ථානය පුරා සටන්කාමී කඳවුරුවල පුහුණුව ලබා ගත්හ. ඉන්දීය හමුදාව මෙම නොසන්සුන්තාවයට ප්‍රතිචාර දැක්වූයේ නීති විරෝධී ඝාතන, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ වධහිංසා පැමිණවීම් ඇතුළත් කුරිරු ප්‍රති-කැරලිකාර උපාය මාර්ගයකිනි.
2001 දී, පාකිස්තානය විසින්ම කාශ්මීර සටන්කාමී කණ්ඩායම් මර්දනය කිරීමට උත්සාහ කළ අතර ඒවා ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරන ලද නමුත් එය කාශ්මීරයේ ස්වයං නිර්ණ අයිතිය සඳහා නිල සහයෝගය දිගටම පවත්වා ගත්තේය. (තේරීමක් ලබා දෙන්නේ නම්, කාශ්මීර ජනයාගෙන් අතිමහත් බහුතරයක් පාකිස්තානයට එක්වීමට කැමැත්තක් දක්වනු ඇතැයි පාකිස්තානය සැමවිටම විශ්වාස කර ඇත; නමුත් පකිස්ථානයේ පවතින උද්ධමනය සහ මර්දනය පිළිබඳ අතෘප්තිය නිසා කාශ්මීරයට වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින ජාතිකවාදී බලවේගවල මතය ශක්තිමත් වී ඇති බැවින් මෙය තවදුරටත් නිශ්චිත නොවේ.) තවමත්, මෙම සටන් කරන කාශ්මීර කණ්ඩායම්වල මූලයන් පාකිස්තානයේ පවතින අතර, එමනිසා ඒවා විසුරුවා හැරීම දුෂ්කර වන්නේය. මෙම දුෂ්කරතාවය ඉන්දීය රාජ්‍යය විසින් වටහා ගන්නා ලද්දේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට පාකිස්තානය දක්වන අකමැත්තක් ලෙස වන අතර එය දෙරට අතර සතුරුකම ගැඹුරු කළේය.
2019 දී මෝදි රජය විසින් කාශ්මීර රාජ්‍යයට සැලකිය යුතු ස්වයං පාලනයක් ලබා දුන් විධිවිධානයක් වන 370 වන වගන්තිය අහෝසි කිරීමත් සමඟ මෙම ගැටළුව ගෝලීය වශයෙන් උණුසුම් මාතෘකාවක් බවට පත්විය. මෙය කාශ්මීරයේ දේශපාලන තත්ත්වය සාමාන්‍යකරණය කිරීමේ උත්සාහයක් පමණක් බව දිල්ලිය ප්‍රකාශ කළ නමුත් බොහෝ කාශ්මීර වැසියන් එය දුටුවේ ඔවුන්ගේ අනන්‍යතාවයට සහ සිවිල් නිදහසට සෘජු ප්‍රහාරයක් ලෙසය. ඊට එරෙහිව ඇතිවූ ප්‍රතිරෝධය මැඩපැවැත්වීමට මෝදි රජය විසින් තීව්‍ර කරන ලද මර්දනයකට කාශ්මීර වැසියන් මුහුණ දුන් අතර, එය පසුගිය වසර හය තුළ බොහෝ මහජන විසම්මුතිය මැඩපැවැත්වීමට සමත් විය. තත්වය ස්ථාවර කර ඇති බවත් මතභේදාත්මක භූමියේ පිළිවෙල යථා තත්ත්වයට පත් කර ඇති බවත් පවසමින් මෝදි පාලනය ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය. පහල්ගම් ප්‍රහාරවලින් මෙම මතය අඩපණ වී ඇත.
මෙම ගැටුමට පසුබිම වන තීරණාත්මක සාධක තුනකි. පළමු සහ දිගුකාලීනව පවතින සාධකය වනුයේ, කාශ්මීර ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය ප්‍රතික්ෂේප කිරීමයි. දෙවැන්න දිල්ලියේ සහ ඉස්ලාමාබාද්හි පාලන තන්ත්‍රයන්ගේ ස්වභාවයයි, මේ දෙකෙහිම ඔවුන්ගේ දේශපාලන පදනම (නීත්‍යානුකූලභාවය) දුර්වල වී ඇති බැවින් වඩ වඩාත් ඒකාධිපති ක්‍රමවේදයන් වෙත ගමන් කර ඇත. තෙවැන්න, එක්සත් ජනපදය සහ චීනය අතර නව සීතල යුද්ධය වන අතර එය ලෝක පද්ධතිය තුළ කලාපයේ භූමිකාව නැවත හැඩගස්වා ඇත. මෙම අන්තර් සම්බන්ධිත ගතිකත්වයන් එක්ව ඉන්දියාව සහ පකිස්ථානය ව්‍යසනය කරා තල්ලු කර ඇත.
ඓතිහාසිකව ඒවා වර්ධනය වූයේ කෙසේද?
ස්වාධීන ඉන්දියාව මුලදී ‘නිර්මාණශීලී’ (Dirigiste) රාජ්‍යයක් වූ අතර, යටත් විජිත විරෝධී අරගලයෙන් මතුවූ ශක්තිමත් සංවර්ධනවාදී සහ සමානාත්මතා ආචාර ධර්ම මගින් මෙහෙයවනු ලැබීය. නේරුගේ ප්‍රතිපත්තිවලට අනුව අභිලාෂකාමී කාර්මික ප්‍රතිපත්තියක් මෙන්ම රටේ ගොවි ජනතාවට රාජ්‍ය සහයෝගය සහ විදේශ කටයුතු සඳහා නොබැඳි ප්‍රවේශයක් ඇතුළත් විය. ඔහු 1955 බන්ඩුං සමුළුවේදී (Bandung Conference) ප්‍රමුඛ භූමිකාවක් භාර ගත් අතර පලස්තීන ප්‍රශ්නය වෙනුවෙන් ප්‍රධාන උපදේශකයෙකු බවට පත්විය. එහෙත්, ආරම්භයේ සිටම, මෙම දැක්ම විවිධ නොගැලපීම් වලින් පීඩා වින්දාය. නේරු සහ ඔහුගේ කොංග්‍රස් පක්ෂය ඉඩම් ප්‍ර‍්නය, කුල ප්‍රශ්නය හෝ කාර්මික සබඳතා රැඩිකල් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කිරීමට අසමත් විය. ගොවීන්ගේ සහ කම්කරුවන්ගේ අරගල – විශේෂයෙන් කොමියුනිස්ට්වාදීන් විසින් මෙහෙයවන ලද අරගල – ප්‍රචණ්ඩ ලෙස මර්දනය කරන ලදී. තුන්වන ලෝකයේ සහයෝගීතාවය සඳහා ඉන්දියාවේ කැපවීම, චීනය සමඟ (1962) සහ පකිස්ථානය සමඟ (1965-71) යුද්ධ මෙන්ම 1948 සිට කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරන එහි නිර්ලජ්ජිත යටත් විජිත සම්බන්ධතාවය මගින් අඩපණ විය. එවැනි ප්‍රතිවිරෝධතා හේතුවෙන් දකුණේ සහ වමේ යන දෙපාර්ශවයෙන්ම දැඩි විරෝධයක් ඇති කළ අතර, එමගින් පන්තිය, කුලය සහ ආගම මත පදනම් වූ නව ව්‍යාපාර සඳහා මග පෑදූ අතර, එය අවසානයේ නේරුගේ එකඟතාවයන් ඉරා දැමීය.
එහි ප්‍රතිඵලය වූයේ මුස්ලිම්වරුන් සහ පකිස්ථානය කෙරෙහි ගැඹුරු සතුරුකම මත පදනම් වූ දක්ෂිණාංශික හින්දු ජාතිකවාදී සංවිධානයක් වන භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණයයි. 1984 මැතිවරණයෙන් ආසන දෙකක් පමණක් දිනාගත් භාරතීය ජනතා පක්ෂය, අයෝධ්‍යාවේ ඓතිහාසික හින්දු කෝවිල පිහිටි ස්ථානයේ ඉදිකර ඇති බව කියන මුස්ලිම් පල්ලියක් විනාශ කිරීමට මැර කණ්ඩායම් මෙහෙයවීමෙන් පසුව ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත්විය. 1990 දශකයේ මුල් භාගයේදී කොංග්‍රස් නායකත්වයෙන් යුත් රජය ආර්ථිකය ලිහිල් කර, (විවෘත ආර්ථිකයට අවතීර්ණවීම) රාජ්‍යය ව්‍යවසායන් බිඳ දැමූ විට, බොහෝ බලගතු ව්‍යාපාරික කණ්ඩායම් සංවිධානාත්මක වාමාංශික බලවේගවලට විකල්පයක් ලෙස හින්දු ජාතිකවාදයේ මෙම පුනර්ජීවන වික්‍රියාව සමඟ පෙළ ගැසුණි. එම භූමිකාවේදී මුස්ලිම්වරුන් දහසකට වැඩි පිරිසක් ඝාතනය කිරීමට අනුබල දුන් බවට විශ්වාසදායක ලෙස චෝදනා ලැබූ ගුජරාටයේ හිටපු මහ ඇමති නරේන්ද්‍ර මෝඩි, මෙම ‘හින්දුත්ව-ආයතනික සන්ධානය’ (Hindutva-Corporate Alliance) මූර්තිමත් කළ අතර සහ 2014 දී අගමැති ලෙස තේරී පත් විය.
මේ අනුව, මයික්‍රොසොෆ්ට් සහ ඇමේසන් සිට සිටිබෑන්ක් සහ ජේපී මෝගන් චේස් දක්වා බහුජාතික සමාගම්, ඉන්දියාවේ ප්‍රභූ පැලැන්තිය සමඟ සමීප සබඳතා වර්ධනය කර ගත් අතර එහි නැගී එන වෙළඳපොළ තුළ ඔවුන්ගේ ආයෝජන වැඩි කළහ. එහි බලපෑම වූයේ රටේ ආර්ථිකය ගෝලීයකරණය කිරීම සහ එහි දේශපාලනය වොෂින්ටනය දෙසට නැවත යොමු කිරීමට උපකාර කිරීමයි. එය 2025 මුල් භාගයේදී මෝඩි-ට්‍රම්ප් රැස්වීමේදී අවසන් වූ අතර එහිදී නායකයින් දෙදෙනා ‘ඇමරිකානු-ඉන්දියා ප්‍රධාන ආරක්ෂක හවුල්කාරිත්වයක්’ (US- India Major Defence Partnership) අත්සන් කළහ. මෙලෙස, ඉන්දියාව කලාපීය ප්‍රති-මල්ලවයෙක් (Counter-weight) බවට පත් කිරීමෙන් චීනය තවදුරටත් කොන් කිරීම තම ඉලක්කය බව ඇමරිකාව පැහැදිලි කර ඇත – දිල්ලිය සම්පූර්ණයෙන්ම මෙම පිළිවෙත වැළඳගෙන ඇත. ඇමරිකාව සමඟ කෘතඥ වීමෙන් ඉන්දියාව කලාපයේ අසමසම බලවතා ලෙස ස්ථාපිත කළ හැකි බව මෝඩිගේ රජය බලාපොරොත්තු වේ. මෙය, ඊශ්‍රායලය සහ ඉන්දියාව අතර සමීප සම්බන්ධතාවයකට හේතු වී ඇති අතර, චීනයේ Belt and Road Initiative එරෙහිව ‘ඉන්දියා-මැදපෙරදිග-යුරෝපීය ආර්ථික කොරිඩෝව’ ගොඩනැගීමේ සැලසුම් ද මීට ඇතුළත් වේ. බොහෝ හින්දුත්ව ආධාරකරුවන් පහල්ගම් ප්‍රහාරය ‘අපගේ ඔක්තෝබර් 7’ ලෙස හැඳින්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පකිස්ථානය ‘ගාසාවට අඩු කරන ලෙස’ ඉල්ලා සිටියේය.
1954 සහ 1955 දී ඇමරිකා එක්සත් ජනපදය සමඟ SEATO සහ CENTO හමුදා ගිවිසුම් අත්සන් කළ දා සිට පාකිස්තානය ද එක්සත් ජනපදය ප්‍රමුඛ කඳවුරේ ස්ථිරව සිටී. ඇමරිකාවේ කොමියුනිස්ට් විරෝධී උපාය මාර්ගයේ ඉදිරි පෙළ රාජ්‍යයක් ලෙස, සීතල යුද්ධ කාලය පුරාම පාකිස්තානය සැලකිය යුතු ප්‍රමාණයේ ඇමරිකානු ආධාර වලින් ප්‍රතිලාභ ලැබීය. පකිස්ථාන රජයේ ආරම්භයේ සිටම එක්සත් ජනපද ආධිපත්‍යයට ඇතිවූ එකම බරපතල අභියෝගය වූයේ 1977 දී ප්‍රචණ්ඩකාරී එක්සත් ජනපද පිටුබලය ලත් කුමන්ත්‍රණයකින් පෙරලා දැමූ සුල්ෆිකාර් අලි භූතෝගේ වාමාංශික රජයයි. එතැන් සිට, පාකිස්තාන ආර්ථිකය මැද පෙරදිග අධිරාජ්‍යවාදී යුද්ධවලින් ලබාගත් කුලී මත දැඩි ලෙස රඳා පවතී. මෙම උරුමයේ අඳුරුතම අංගයක් වූයේ 1980 ගණන්වල සෝවියට් පිටුබලය ලත් ඇෆ්ගනිස්ථාන රජයට එරෙහිව සටන් කරන සටන්කාමී සංවිධාන සඳහා කඳවුරක් බවට පකිස්ථානය පත් කළ CIA සහාය ලත් රහසිගත මෙහෙයුමක් වන ඊනියා ‘ඇෆ්ගන් ජිහාඩ්’ ය. ඇමරිකානු ඩොලර් සහ සෞදි අනුග්‍රහයෙන් පෝෂණය වූ දහස් ගණනක් පකිස්ථානුවන්, මද්‍රසා සහ ජිහාඩ් (Madrassahs & Jihadi) පුහුණු කඳවුරු සිය ගණනක් ඇතුළත් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ගෝලීය ජාලයකට සම්බන්ධ වූහ.
පකිස්ථාන දේශපාලනඥයන්, දේශපාලනයේ මිලිටරිකරණය සහ ආරක්ෂකකරණය සාධාරණීකරණය කිරීම සඳහා ඉන්දියානු ආක්‍රමණශීලී තර්ජනය නිතිපතා භාවිතා කර ඇති අතර, ඕනෑම සැලකිය යුතු විපක්ෂ බලවේගයක් දිල්ලියේ නියෝජිතයෙකු ලෙස හංවඩු ගැසීමසට ක්‍රියා කරති. මෙම ගතිකය දේශපාලනය කෙරෙහි හමුදාවේ ග්‍රහණය දැඩි කර ඇති අතර, විශේෂයෙන් බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා යන නොසන්සුන් පළාත්වල විසම්මුතිය (වෙනස් මත දරන්නන්) මර්දනය කර දැමීමට එයට ඉඩ දී ඇත. කෙසේ වෙතත්, ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ ආරම්භ වීමත් සමඟ, එක්සත් ජනපදයේ කලාපීය ප්‍රමුඛතා වෙනස් විය. ඉස්ලාමීය සටන්කාමීත්වය තවදුරටත් කොමියුනිස්ට්වාදයට එරෙහිව ප්‍රයෝජනවත් කූඩුවක් (Cudgel) නොවන්නේය; එය දැන් මානව වර්ගයාගේ අවසාන සතුරා වී ඇත. මේ අනුව, පකිස්ථාන හමුදාවට ඉස්ලාමීය හමුදාවන්ට සහාය දීමේ ප්‍රතිපත්තිය ආපසු හැරවීමට සහ ඔවුන්ට එරෙහිව සටන් කිරීමට පටන් ගැනීමට සිදුවිය. මෙය පහසු කාර්යයක් නොවීය, මන්ද ඒ වන විට සටන්කාමීන් පාකිස්තානයේ රාජ්‍ය ආයතන, සිවිල් සමාජය සහ ජාත්‍යන්තර අවි ජාලයන් තුළ ගැඹුරින් මුල් බැසගෙන තිබුණි. 2001 සහ 2018 අතර සිවිල් ජීවිත 40,000 ක් බිලිගනිමින්, ප්‍රති-කැරැල්ල (Counter-insurgency) ඉක්මනින්ම ලේ විලක් (Blood Bath) බවට පත්වීය.
ඇමරිකානු අරමුණු වෙනස් වීමත් සමඟ චීනය සමඟ පකිස්ථානයේ උපායමාර්ගික සබඳතා ද වැඩි වැඩියෙන් ආතතියට පත්ව ඇත. 1962 චීන-සෝවියට් භේදයෙන් සහ චීන-ඉන්දියානු යුද්ධයෙන් පසුව, පකිස්ථානය තම නැගෙනහිර අසල්වැසියාට එරෙහිව සටන් කිරීමේ මාධ්‍යයක් ලෙස චීනය (PRC) සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීමට පටන් ගත්තේය; නික්සන් යටතේ චීනය සමඟ තමන්ගේම සහයෝගීතාවයක් ඇති කර ගැනීමට පටන් ගත් වොෂින්ටනය එයට බාධාවක් නොවීය. 2015 වන විටත්, පකිස්ථානයට තවමත් මෙම ලෝක බලවතුන් දෙදෙනා අතර වරප්‍රසාදිත ස්ථානයක් හිමි කර ගැනීමට හැකි වී තිබුණි: ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත නේටෝ සැපයුම් සඳහා මූලික මාර්ගය ලෙස ක්‍රියා කරන අතරම බහු බිලියන ඩොලර් චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝවට (CPEC) සම්බන්ධ වී සිටියේය. එහෙත් පසුගිය දශකය තුළ මෙම ප්‍රවේශය හා එහි ගමන් මඟට බාධා වූ බව පෙනේ, මන්ද පකිස්ථානය චීනය සමඟ ඇති උපායමාර්ගික සම්බන්ධතාවය අතහැර බටහිර රටවල් සමඟ සෘජුව පෙළගැස්වීමට එක්සත් ජනපදයේ නිරන්තර පීඩනයට මුහුණ දී තිබීමයි. පකිස්ථාන ප්‍රභූ පැලැන්තිය, එහි බටහිර ගැති සහ චීන ගැති කණ්ඩායම් වශයෙන් දෙකට බෙදී ඇත – මෙම තත්ත්වය දිගුකාලීන සැලසුම් කිරීම සඳහා රාජ්‍යයේ හැකියාවට තර්ජනයක් එල්ල කරයි.
එහි දිගුකාලීන භූ දේශපාලනික ස්ථාවරය වඩ වඩාත් අස්ථාවර වෙමින් පවතින බැවින්, පකිස්ථාන පාලන තන්ත්‍රය, දේශීය පෙරමුණේ ද ගැඹුරු අර්බුදයකට මුහුණ දී තිබේ. බලශක්ති මිල ගණන්වල අසීමිත ඉහළ යාම සහ IMF විසින් පනවන ලද සෞඛ්‍ය සහ අධ්‍යාපන අයවැය සඳහා දැඩි කප්පාදු ඇතුළු අහස උසට නැඟෙන උද්ධමනය සමඟ එය පොරබදමින් සිටී. ඉම්රාන් ඛාන් සහ ඔහුගේ PTI පක්ෂය පසුගිය වසරේ මැතිවරණය ජයග්‍රහණය කිරීමට නියමිතව තිබියදී, රජය ඔහුව ධුරයෙන් ඉවත් කර තබා ගැනීම සඳහා අමානුෂික වංචාවන්ට යොමු විය. ඛාන් ඇතුළු විරුද්ධවාදීන් සිරගත කිරීමෙන් සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමෙන් ඇති වූ විරෝධතා සහ විවේචන සමඟ එය කටයුතු කළේය. මේ සියල්ල බෙදුම්වාදී බලුච් විමුක්ති හමුදාව (Baloch Liberation Army) සහ ෆෙඩරල් රාජ්‍යය පෙරලා දැමීමට කැපවී සිටින ආගමික අන්තවාදීන්ගේ සටන්කාමී සංවිධානයක් වන පකිස්ථාන ටෙහ්රීක්-ඊ-තලේබාන් (Tehreek-e-Taliban Pakistan) යන කණ්ඩායම්වල ප්‍රහාර තීව්‍ර කිරීමට පදනම සැකසීය.
ඒ අනුව, මෑත කාලීන ගැටුම් පුපුරා යාම තේරුම් ගැනීමට නම්, අප විසින් මෙම (Over lapping) අතිච්ඡාදනය වන අංග කිහිපයක් දෙස බැලිය යුතුය.
- ඉන්දියාව විසින් කුරිරු ලෙස මර්දනය කරනු ලැබුවද, පකිස්ථානය විසින් බොහෝ දුරට අතහැර දමා තිබුණද, කාශ්මීර ජනතාව ස්වයං නිර්ණ අයිතිය අත්හැරීම ප්‍රතික්ෂේප කරන අතර, ප්‍රචණ්ඩකාරී සහ අවිහිංසාවාදී ආකාරවලින් ප්‍රතිරෝධය දිගටම කරගෙන යයි. ඔවුන්ට එරෙහි ඉන්දියානු විරෝධත්වය, විවිධ ‘බාහිර’ කණ්ඩායම්වලට දඬුවම් කිරීම මත පදනම් වූ හින්දු-ජාතිකවාදී දේශපාලනය පදනම් කරගත් පාලක භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ දේශපාලනය සමඟ පැහැදිලිවම සම්බන්ධ වේ.
- ඒ සමඟම, පකිස්ථානය මිලිටරිවාදයට දෙසට තවදුරටත් ඇදී ගොස් ඇති අතර, අභ්‍යන්තර විරුද්ධවාදීන්ට එරෙහි මර්දනයය වේගවත් කර ඇති අතර උත්තරීතර තීරණ ගැනීමේ බලය ලෙස හමුදාවේ භූමිකාව තහවුරු කර ඇත. එය රාජ්‍යයේ ඉහළම මට්ටම්වල බලගතු පුද්ගලයන් සහිත ( A HAWKISH CONSENSUS) පදනමක් ඇති කර තිබේ.
- අවසාන වශයෙන්, චීනයට එරෙහිව බලකොටුවක් බවට ඉන්දියාව පත් කිරීමට එක්සත් ජනපදය අධිෂ්ඨාන කරගෙන සිටින අතර, චීනය, පකිස්ථානය ඇතුළු රටවල් සමඟ උපායමාර්ගික සන්ධාන ගොඩනඟා ගැනීමෙන් බටහිර රටවල් විසින් වටලෑම වැළැක්වීමට උත්සාහ කරති. මෙම ගතිකතාවයන් දැනටමත් නොසන්සුන්ව පවතින ඉන්දියා-පකිස්ථාන සම්බන්ධතාවය තවදුරටත් අස්ථාවර කර ඇත.
මෙම යුධකාලීන උද්යෝගය පාවිච්චි කරමින්, රටවල් දෙකෙහිම ජනතාව පීඩාවට පත් කර ඇති ගැඹුරු වන සමාජ ප්‍රතිවිරෝධතාවලින් ජනතාවගේ අවධානය තාවකාලික වෙනතකට යොමු කළ හැකිය. පුද්ගලීකරණය සහ නියාමනය ඉවත් කිරීම මත පදනම් වූ මෝඩිගේ ආර්ථික න්‍යාය පත්‍රය මඟින්, ඉන්දියානුවන්ගෙන් බහුතරයකට කිසිවක් ලබා දීමට අපොහොසත් වී ඇත. අද වන විට, රටේ ධනවත්ම 1% ධනයෙන් 40% ක් හිමිකරගෙන සිටී. ගොවීන් ශක්තිමත් ප්‍රජා ප්‍රතිරෝධයක් සංවිධානය කරමින් සිටියදී, ආයතනික ප්‍රාග්ධනයේ අධික බලයට විරෝධය දැක්වීම සඳහා වෘත්තීය සමිති ජුනි 6 වන දින මහා වැඩ වර්ජනයක් කැඳවා තිබුණි. විශේෂයෙන් කාශ්මීරයේ මුස්ලිම්වරුන් සහ විරුද්ධවාදීන්ට එරෙහිව මර්දනය දිගටම කරගෙන යාම හැර වෙනත් ප්‍රතිචාරයක් රජයට නැත. එහිදී මෑත සතිවල දී පුළුල් ‘ප්‍රති-කැරලි’ මෙහෙයුමක කොටසක් ලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගෙන හෝ පැහැරගෙන ගොස් ඇත.
අනෙක් අතට, පකිස්ථානය, නිරුවත් මැතිවරණ වංචාවකින් පමණක් බලයට ඇලී සිටිය හැකි හමුදාවක් විසින් මෙහෙයවනු ලබන, ප්‍රොක්සි යුද්ධ සහ කෙටි කාලීන සුපිරි සූරාකෑමට ඇබ්බැහි වූ, වඩාත් කුලී රාජ්‍යයක් ලෙස පවතී. රටේ ප්‍රභූන් දැන් එහි ස්වාභාවික සම්පත් වැඩි වැඩියෙන් විකුණා දමා ජාත්‍යන්තර පතල් සමාගම්වලට එහි ඉඩම් විවෘත කිරීමට සැලසුම් කරමින් සිටින්නේ, වැඩි වැඩියෙන් විදේශ ආයෝජන මගින් පවතින ආර්ථික සර්පිලාකාරය නවතා දමනු ඇතැයි යන අපේක්ෂාවෙනි. පසුගිය වසරේ, මෙම වැඩසටහනේ අනුවාදයක් සින්ද් පළාතේ හඳුන්වා දෙන ලද අතර, එහිදී රජය විදේශීය ප්‍රාග්ධනය ආයතනික ගොවිතැන් අංශයට පොළඹවා ගැනීම සඳහා ඉන්දු ගඟේ ඇළ මාර්ග හයක් හරවා යැවීමට උත්සාහ කළේය; පසුව එය මහජන ව්‍යාපාරයක් විසින් පරාජය කරන ලද අතර එමඟින් මිලියන ගණනක් සාමාන්‍ය ජනතාව වීදිවලට ඇද දමන ලදී. මෙම තත්වය නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා, රජය කොල්ලකෑමට උත්සාහ කරන අනෙකුත් ප්‍රදේශවල මර්දනය වේගවත් කරමින් සිටී. මෙම ඉඩම් අත්පත් කර ගැනීමේ න්‍යාය පත්‍රය හඬ නගා විවේචනය කර ඇති ගිල්ගිට්-බෝල්ටිස්තානයේ හිමාලයානු කලාපයේ කුඩා දේශපාලන පක්ෂයක් වන අවාමි ක්‍රියාකාරී කමිටුව වැනි කණ්ඩායම් තහනම් කර ඇති අතර ඔවුන්ගේ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන ඇත. එවැනි බලහත්කාර ක්‍රම මගින් රජයට තම විවේචකයින් නිහඬ කළ හැකිද යන්න තවමත් පැහැදිලි නැත. ඉදිරි වසරවලදී, කැමැත්තෙන් තොරව පතල් කැණීමට එරෙහි අරගලය හමුදා පාලනයට එරෙහි ප්‍රධාන අරගලයක් බවට පත්වීමට ඉඩ ඇති බවට සැකයක් නැත.
මෙම දරිද්‍රතාවය, අසමානතාවය, කොල්ලකෑමට එරෙහිව නැඟී සිටින විරුද්ධවාදීන්ට දැඩි ලෙස සැලකීම, නැත්නම් මර්දනය තම එකම පිළිවත කරටගන ඇති ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙකම, මෑත සතිවල ප්‍රාරය කරන ‘ජාතික සමගිය’ පිළිබඳ කතිකාව කලාපයේ යථාර්ථයන්ට කොතරම් දුරට නොගැලපෙනවාද යන්න පෙන්නුම් කරයි. එවැනි ගැටළු කළමනාකරණය කිරීමේදී, මෙම රාජ්‍යයන් දෙකම බාහිර යුද්ධ කිරීමේ සිට (විදේශීය ප්‍රතිවාදීන්ට වඩා) අභ්‍යන්තර ප්‍රතිවාදීන් ඉලක්ක කර ගනිමින් ‘ඇතුළත සතුරා’ එනම්, සිය රටේම ජනතාව සමඟ සටන් කිරීමට පහසුවෙන් මාරු විය හැකිය. විදේශයන් සමඝ මිලිටරි ගැටුම් උත්සන්න වීම තම රටතුළ රාජ්‍ය බලය දැඩි කිරීම සමඟ සම්බන්ධ වේ. බිලියන දෙකක ජනතාවක් සිටින මෙම කලාපයේ, විශ්මයජනක ලෙස ජනගහණයෙන් 40% ක් තවමත් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අතර, ඌන සංවර්ධනයේ සහ වාර්ගික ගැටුම්වල බර දරා සිටිති. යුද්ධයට තුඩු දෙන තත්වයන් වෙනස් කළ හැක්කේ මෙම ජනතාව විසින් ඔවුන් සූරාකන්නන් සමඟ සටන් කිරීම සඳහා එක්සත්ව පෙළ ගැසීමෙන් පමණි.
එවැනි ජනතා පෙළගැසීමක් ඉන්දියාව හා පකිස්ථානය තුළට පමණක් සීමා නොවී අවම වශයෙන් සමස්ත දකුණු ආසියානු කලාපයේ පීඩිත ජනතා පෙළ ගැසීමක් දක්වා ගමන් කළ යුතුව ඇත.
By Sunil Silva
Source: https://newleftreview.org/sidecar/posts/towards-disaster?pc=1680