රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි
වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් නොවැම්බර් 02 දිනට “මර්ධනයට ආර්ථික පීඩනයට එරෙහිව නැඟී සිටිමු! අයිතීන් වෙනුවෙන් සටන් වදිමු!” යන තේමාව යටතේ විරෝධතාවයක් කැඳවා ඇත. මෙම විරෝධතාවයේ සංවිධායකයින් විසින් එයට සමඟි ජන බලවේගයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගිත්වය ලබා ගැනීම වෙනුවෙන් ඒවායේ නායකයින් මුණ ගැසුණු ආකාරයද අප මාධ්‍ය මඟින් දුටිමු.
මේ වනවිට මෙම විරෝධතාවයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමඟි ජන බලවේගය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගි වන බව තහවුරු කොට ඇත. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ හා එයට බලපෑමක් කළහැකි වෘත්තීය සමිති නොවැම්බර් 2 විරෝධයට සහභාගි නොවන බව කියා එම ප්‍රකාශයට විශාල ප්‍රචාරයක්ද ලබා දෙමින් සිටී.
රනිල් රාජපක්ෂ රෙජීමය විසින් ගෙනයන මර්ධනය පරාජය කිරීම වෙනුවෙන් පුළුල්ම පෙරමුණක් ගොඩනැඟීම මේ මොහොතේ අත්‍යාවශ්‍යම කරුණකි. එවන් තත්ත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් නොවැම්බර් 02 දින විරෝධයට පිටුපෑම නිසා රනිල් රාජපක්ෂ රෙජීමයට එරෙහිව ගොඩනැඟිය හැකිව තිබූ පුළුල්ම සන්ධානයක් ගොඩනැඟීමට පැවති ඉඩකඩ ඇහිරී ගොස් ඇත. මෙය ඛේදවාචකයකි.
පසුව අරගලය නමින් රටපුරා පැතිරුණු විරෝධයේ තීරණාත්මක සන්ධිස්ථානය වූයේ අප්‍රේල් 3 දිනට අන්තර්ජාලය හරහා කැඳවා තිබූ විරෝධතාවයයි. ඒ අවස්ථාවේදීද ජනතා විමුක්ති පෙරමුණ එම විරෝධයට සහභාගිවීම අධෛර්යවත් කරමින් විශාල ප්රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය. එහෙත් ඔවුන්ගේ කීම තුට්ටුවකට හෝ ගණන් නොගනිමින් ජනතාව ගෝල්ෆේස් කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත විරෝධයක් ගෙනයන විට ඔවුන් කියා සිටියේ අරගලය ගෙන යන්නේ ජනතා විමික්ති පෙරමුණේ තරුණ සංගමයේ, කලා සංගමයේ සාමාජිකයන් බවත් වෙන කවුරුවත් නොවන බවත්ය. එහෙත් අරගලය මර්ධනයට ලක්ව පසුපසට යන විට දැක් ඔවුන් කියන්නේ අරගලයේ දෙවන වටය ඔවුන්ගේ නායකත්වයෙන් ඇති කරන බවකි. මෙසේ එකකට එකක් පරස්පර කතා කීමට ඔවුන්ට සිදුව ඇත්තේ රටේ අරගලයක්, සටනක්, උද්ඝෝෂණයක් සිදුවන්නේ නම් එය ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් පමණක් සිදුවිය යුතු බවට වන විකෘති මානසික තත්ත්වයකින් ඔවුන් පෙළෙන නිසාය. මොවුන් 1980 මහා වැඩ වැඩ වර්ජනයටද විරුද්ධව සිටි බව අප සිහිපත් කරගත යුතුය. තම නායකත්වය යටතේ නොවන ඕනෑම අරගලයක් / සටනක් හෙළා දැකීම මොවුන්ගේ ස්වාභාවයයි. සටන් / අරගල තුළින් ජනතා ඉල්ලීම් ලබා ගැනීමට වඩා සටන් / අරගල වල ඔප්පු තම නමට ලියා ගැනීම මොවුන්ගේ අභිලාෂයයි.
ජනතා විරෝධයන් ප්රතිගාමීන් විසින් තම අතට ගැනීමට උත්සාහ දැරීම සෑම කාලයකම සිදුවන දෙයකි. එය ප්රගතිශීලීන් ලෙස අප මුහුණ දිය යුතු අභියෝගයකි. 1905 රුසියානු විප්ලවයේ ආරම්භය සනිටුහන් කළ ලේවැකි ඉරිදා සිදුවීම් මෙහෙයවනු ලැබුවේ රුසියානු සාර් පොලිසිය සමග එක්ව කටයුතු කළ ගැපොන් නමැති පූජකයා විසිනි. ඒ සම්බන්ධයෙන් ලෙනින් බොල්ෂෙවික්වරුන්ට උපදෙස් දෙනු ලැබුවේ එම පෙළපාලියට සහභාගි වී ගැපොන්ගේ සීමාන්තික බව එලිදරව් කිරිම වෙනුවෙන් කටයුතු කරන ලෙසය. සැබෑ විප්ලවවාදීන් කටයුතු කරන්නේ ඒ ආකාරයටය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සැබෑ ප්රගතිශීලීන් නම්, සැබෑ විප්ලවවාදීන් නම් ඔවුන් කළ යුතුව තිබුණේද නොවැම්බර් 2 විරෝධයට සහභාගි වී ප්රතිගාමීන්ගේ සීමාන්තික භාවය හෙළිදරව් කිරීමයි. නොඑසේව මර්ධනයට එරෙහිව ගොඩ නැඟීමට ඉඩ තිබූ පුළුල්ම පෙරමුණක් කඩා කප්පල් කර දැමීම නොවේ.
ඒ සමඟම සමඟි ජන බලවේගය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මෙම අර්බුදයේ සම කොටස්කරුවන් බව හොඳින්ම අවබෝධ කරගත යුත්තෙමු. බොහෝ කලක් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් ලෙස සිටි පිරිසකගෙන් සැදුම්ලත්, සමඟි ජන බලවේගය ගෙනයන්නේද එක්සත් ජාතික පක්ෂයේම ප්‍රතිපත්ති හා වැඩපිළිවෙලයි. ලංකාව අධිරාජ්‍යවාදී මූල්‍ය ප්රාග්ධනයට නිරුවත් ලෙස නිරාවරණය කිරීම, ලෝක බැංකුවේ හා IMF උපදෙස් හා කොන්දේසි මත රාජ්‍ය ව්‍යවසායන් කුණු කොල්ලයට පෞද්ගලීකරණය කිරීම, රුපියලේ අගය තියුණු ලෙස අවප්‍රමාණය කිරීම, සංවර්ධනය වෙනුවෙන් යයි කියමින් දැවැන්ත පරිමාණයෙන් විදේශ ණය ගැනීම, කම්කරු නීති රීති බාල්දු කරමින් ඉතාම අඩු වැටුපකට ශ්‍රමය සූරා කෑමට අවශ්‍ය තත්ත්වයන් රට තුළ ඇති කිරීම, දූෂණ හා වංචා ඉහළ යාමේ පරිසරයක් සකස් කිරීම ආදී සියල්ල ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විසිනි. අද සමඟි ජන බලවේගයේ සිටින සියල්ලෝම ඒවාට සහාය ලබාදුන් අයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකත්වයෙන් 1994 සිට බිහිවූ පාලනයන් විසින් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය විසින් ඊට කලින් ඇතිකළ ආර්ථික හා දේශපාලන රාමුව සහ ව්‍යුහය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමයි. ඒ අනුව වත්මන් අර්බුදයට සමඟි ජන බලවේගයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පවතින ආණ්ඩුව හා සමානව වගකිව යුතුය. අප පවතින රනිල් රාජපක්ෂ රෙජීමයට විරුද්ධ වන ප්‍රමාණයටම අප ඔවුන්ගේම කාබන් පිටපතක් වන සමඟි ජන බලවේගයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් විරුද්ධ වන්නේ මේ නිසාය.
සමඟි ජන බලවේගයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් IMF උපදෙස් මත රනිල් රාජපක්ෂ රෙජීමය ගෙන ආ 2022 අංක 27 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනතට එරෙහිව ඡන්දය භාවිතා නොකළේය. අනෙක් අතට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය 500%කින් වැඩිකිරීමට කථානයකට බලයක් ඇතැයි කියමින් ජනතාව හාමතේ සිටියදී මන්ත්‍රී වරප්‍රසාද ඉහළ දමා ගැනීම වෙනුවෙන් කතාකළේ සමඟි ජන බලවේගයේ ලක්ෂමන් කිරිඇල්ලය. මොවුන් විසින් ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනයට කිසියම්ම හෝ විසඳුමක් ලබා දෙනු ඇතැයි සිතන්නේනම් එය මුළුමණින්ම මුළාවකි. කම්කරු පන්තිය තුළට එවන් මිත්‍යාවන් යාම වළකාලීමට පියවර ගැනීම මේ මොහොතේ වෘත්තීය සමිති නායකයන්ගේ පරම යුතුකමකි.
අනෙක් අතට සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සැමවිටම කියා සිටින්නේ ඔහු ඔහුගේ පියාණෝගේ අඩිපාරේ ගමන් කරන බවයි. ඔහුගේ පියා ලංකාව තුළ දරුණුම මර්ධනයක් දියත් කළ පාලකයෙකි. ඔහුගේ ප්‍රතිපත්ති ගෙනයන බවට දිගින් දිගටම සපථ කරන සජිත් ප්රමුඛ සමඟි ජන බලවේගයත්, අනෙක් අතට දිගින් දිගටම දෙමළ ජනතාව මර්ධනය කිරීම වෙනුවෙන් පෙනීසිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සැබෑ ලෙසම කිසිඳු ලෙසකින් හෝ මර්ධනයට විරුද්ධ නොවන බවත් එය ඔවුන්ගේද ප්‍රතිපත්තිය බවත් වෘත්තීය සමිති නායකයන් විසින් කම්කරු පන්තියට අවබෝධ කර දිය යුතුය.
මාර්තු මාසයේ සිට සමඟි ජන බලවේගය අරගලය ගසා කමින් තම බලය වැඩි කර ගැනීමට උත්සාහ ගත් අතර එම උත්සාහයන් ජනතාව විසින් පරාජය කළ ආකාරයද අපට දැකිය හැකි විය. අරගලය ගසා කෑමට පැමිණි සජිත් මෙන්ම සමඟි ජන බලවේගයේ තවත් නායකයන්ද ජනතාව පහරදී පළවා හැරි ආකාරය අප දුටුවෙමු. එසේ ජනතාව විසින් එළවා ගත් පිරිස් සම්බන්ධයෙන් පන්ති ව්‍යාපාරය තුළ මිත්‍යාවන් ඇති නොකිරීමේ විශේෂ වගකීමක් වෘත්තීය සමිති නායකයන් වෙත ඇති බවද අප අවධාරණය කළ යුතුය.
මක් නිසාද අද වනවිටත් ඔවුන් සිදු කරමින් සිටින්නේ එම වංචාවම නිසාය. සමඟි ජන බලවේගයට අයත් වෘත්තීය සමිතිය වන සමඟි සේවක සංගමය විසින් නිකුත් කළ දැන්වීමක නොවැම්බර් 2 විරෝධතාව දක්වා තිබුණේ “රාජ්‍ය මර්ධනයට, වැඩිවන ජීවන වියදමට එරෙහිව වහාම මැතිවරණයක් අවශ්‍යව ඇත. ඒ සඳහා වන උද්ඝෝෂණ ව්‍යාපාරය” ලෙසිනි. ඒ අනුව මොවුන්ට උවමනා වී ඇත්තේ එළඹෙන මැතිවරණයක් වෙනුවෙන් කම්කරුවන් රවටා ලීමටය. ජනතා විමුක්ති පෙරමුණ සිහින දකිමින් සිටින්නේද මීළඟ මැතිවරණයක් ගැනය.
වෘත්තීය සමිති නායකයන්ට රනිල් රාජපක්ෂ රෙජීමයේ මර්ධනය පිටු දැකීමේ සැබෑ වුවමනාවක් වේ නම් ඔවුන් පළමුව කළ යුත්තේ කම්කරු පන්ති ව්‍යාපාරය ඒ වෙනුවෙන් සංවිධානය කිරීමයි. ඉතිහාසය විසින් නැවත නැවතත් පන්වා දී ඇත්තේ සැබෑ ලෙසම මර්ධනය වළකා ලීමට හැකියාව ඇත්තේ කම්කරු පන්තියට බවයි. ඒ නිසා මර්ධනය පිටු දැකීම වෙනුවෙන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්, අවම වශයෙන් එක් දින සංකේත වර්ජනයක් සූදානම් කිරීමට මෙම නායකයන් පියවර ගත යුතුය. මේ දක්වා එවැනි කිසිඳු පියවරක් ගෙන නොතිබීම ඛේදවාචකයකි. අඩුම තරමින් කෑම පැයේ විරෝධතාවයක් හෝ සංවිධානය කිරීමට මෙම වෘත්තීය සමිති නායකයන්ට නොහැකි විය.
මේ නිසා මේ මොහොතේවත් රනිල් රාජපක්ෂ රෙජීමයේ මර්ධනය පරාජය කිරීමේ සැබෑ වුවමනාවක් ඇත්නම් ඒ වෙනුවෙන් කම්කරු පන්තිය සංවිධනය කිරීමත්, ඊනියා ධනපති නායකයින්ගේ ව්‍යාජ අරමුණු හෙළිදරව් කිරීමත් අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ වැනි සුළු ධනේශවර සංවිධාන වල පවතින පටු අරමුණු හෙළිදරව් කිරීමත් සමාන්තර ලෙසින් එකවිට සිදු කිරීමට වෘත්තීය සමිති නායකයන් පියවර ගත යුතුව ඇත.