ශ්‍රී ලංකාව තනිවී නැත. සමාජ පිපිරීම් සදහා වුවමනා ‍දේ සෑම තැනකම ගොඩ ගැසෙමින් ඇත!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

ගෝඨාභය රාජපක්ෂට රටින් පළා යාමට බල කෙරුණු, ශ්‍රී ලංකාවේ ඇතිවූ ජන අරගලය වූ වහාම ඒ හා සමාන සිදුවීම් තවත් තැන්වල ඇති වෙතැයි බියට පත්වූ පාලක පන්තියේ නියෝජිතයන් අතර වඩාත් බැරෑරුම් සාකච්ඡාවක් ඇති විය.

ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමෙන් පසු සතියේ Financial Times ලියා තිබුණේ: “ආර්ථික පීඩනයන් විසින් දේශපාලන අස්ථාවරත්වය ගෙන එයි – අද සෑම තැනකම ආර්ථික පීඩනයන් ඇත.”

“නැගී එන වෙළඳපොලවලින් ඓතිහාසික පරිමාණ ණය ආපසු නොගෙවීමේ රැල්ලක් පැමිණෙමින් තිබේ” යනුවෙන් Bloomberg අනතුරු ඇඟවීය. එල් සැල්වදෝරය, ඝානාව, ටියුනිසියාව, ඊජිප්තුව, පාකිස්තානය, ආර්ජන්ටිනාව සහ යුක්රේනය ඇතුළු මිලියන 900 කට වැඩි ජනගහනයක් සිටින රටවල් 19 කට වැඩි ගණනක ණය මට්ටම් ගත් කළ එසේ ණය ආපසු නොගෙවීමේ සැබෑ හැකියාවක් ඇත.

අධික ණය බර, වේගයෙන් ඉහළ යන උද්ධමනය, ඉහළ යන පොලී අනුපාත සහ සැපයුම් අංශයේ ඇතිවන බරපතල කම්පන යන සියල්ල පසුව ශ්‍රී ලංකාව තුළ සමාජ පිපිරීමක් ඇති කළ, තියුණු ආර්ථික කඩා වැටීමට හේතු විය. මේවා දැන් ගෝලීය ආර්ථිකයේ සාමාන්‍ය ලක්ෂණ බවට පත්ව ඇත. ධනේශ්වර මාධ්‍ය විසින් ‘නැගී එන වෙළඳපොලවල්’ ලෙස හඳුන්වන දුප්පත් හා ඌණ සංවර්ධිත රටවලදී මෙය විශේෂයෙන් දැකිය හැක.

වහා පුපුරා යා හැකි දේ විශාල ප්‍රමාණයක් ලොව පුරාම ගොඩගැසී ඇති අතර, ඉදිරි කාලයේ දී, මේ දේවලට ගිනි ඇවිලී ලොව පුරාම විප්ලවවාදී ගාමනයන් පැන නඟිනු දැක ගත හැකි බව අපට සහතික විය හැකිය.

මිලියන 22ක ජනතාවක් සහිත ශ්‍රී ලංකාව සිසාරා ගිය විප්ලවවාදී කැලඹීම විසින් ලෝක සිරස්තල ග්‍රහණය කර ගති. පාලක පන්තිය භීතියට පත්කළ ප්‍රමාණයටම ලොව පුරා කම්කරුවන් සහ තරුණයින් මිලියන ගණනක් එයින් ආශ්වාදය ලබා ගත්තේය.

දකුණු ආසියාවේ සෑම රටක්ම පාහේ, සමාන, පාලනය කළ නොහැකි ආර්ථික ප්‍රතිවිරෝධතා වලට මුහුණ දී සිටී. ශ්‍රී ලංකාව යම් ගැලවීමක් වෙනුවෙන් IMF වෙතින් ඉල්ලීමක් කළ පළමු රට වූ අතර එය කරනු ලැබුවේ අප්‍රේල් මාසයේදීය. නමුත් ඉතා ඉක්මනින් පාකිස්ථානය විසින්ද එයම සිදු කරන ලදී. මේ වනවිට IMF ණයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ නවතම රට බවට පත්ව ඇත්තේ බංගලාදේශයයි.

අධි සූරාකෑමක් සහිත ඇඟලුම් කර්මාන්තය හේතුවෙන් නැඟීමක් පෙන්වූ බංග්ලාදේශය නැගී එන වෙළඳපොලේ ‘දීප්තිමත් ආලෝකය’ ලෙස පැසසුමට ලක්ව තිබුණි. එහෙත්, ආනයනික ඉන්ධන මත දැඩි ලෙස රඳා පවතින රටේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය විනාශකාරී ගංවතුර හා යුක්‍රේන යුද්ධය විසින් එළිදරව් කර ඇත. මේ වනවිට රජය ඉන්ධන ඉතිරි කර ගැනීම වෙනුවෙන් සැලසුම්කළ විදුලි කප්පාදු කිරීම් කරා ගමන් කොට ඇත. පසුගිය වසර තුළ එරට විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 6 කින් පහත වැටී ඇත. එහෙත්, අර්බුදයේ බලපෑම වැඩකරන ජනතාව මත පැටවීමට ඔවුන් සෑම උත්සාහයක්ම ගනී,

කලාපයේ විශාලතම ආර්ථිකය වන ඉන්දියාවේ විදේශීය සංචිත මාස 20 තුළ වැටුණු පහලම ස්ථානයට ඇද වැටී ඇත. පසුගිය වසර තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ඉන්දියානු රුපියල 6% කින් පහත වැටී ඇත.

ජාත්‍යන්තර ධනපති මූලෝපායික සැලසුම්කරුවන් පාකිස්ථානය තුළ ඇතිවීමට නියමිතව ඇති දේ නිසා වඩාත් භීතියට පත්ව ඇත. මේ වනවිට එරටට ඇත්තේ ඩොලර් බිලියන 6ක් පමණක් වන විදේශ සංචිතයක් වන අතර එය සමස්තයක් වශයෙන් ප්‍රමාණවත් වන්නේ සති හයකටත් වඩා අඩු ආනයන සඳහාය. එහි මුදල් ඒකකය වන රුපියල එහි පහළම අගයට ඇදවැටී ඇත. IMF මෙහෙයවීම මත සිදු කළ ඉන්ධන මිල ඉහළ නැංවීම විසින් අප්‍රේල් මාසයේ ඉම්රාන් ඛාන් රජය වැටීමෙන් පසු, මේ වනවිටත් පුපුරණ සුළු බවට පත්ව තිබෙන සමාජය තුළ සෑම පැත්තකින්ම ජනතා කෝපය තීව්‍ර කොට ඇත.

පැය14 ක විදුලි කප්පාදු කිරීම් ඇති, කලාපය තුළ බලශක්ති අර්බුදයකින් දරුණුතම පීඩා විඳින, ඒ අතර උෂ්ණ වායු ධාරා වලින් පීඩාවට පත්ව ඇති බලුකිස්ථානයේ ටර්බාට් ප්‍රදේශයේ ප්‍රමුඛ අයෙකු Guardian හට පවසා තිබුණේ, “අපි ජීවත් වන්නේ අපායේය” යනුවෙනි.

ලොව පුරා මිලියන සිය ගණනක් ජනයා විසින් ප්‍රතිරාව කරන්නේද එම හැඟීමමය: ජීවිතය දරාගත නොහැකි තැනකට පත්ව ඇත. විප්ලවය වැළැක්විය නොහැකි බවක් ධනේශ්වර විචාරකයින්ට දැනෙන්ට පටන් ගෙන තිබේ.

මිලියන 220ක ජනගහණයක් සහිත පාකිස්තානයේ සිදුවන විප්ලවීය නැඟිටීමක් ලොව පුරාම වඩා වැඩි බලයකින් යුතු කම්පන මාලාවක් ඇති කරනු ඇත. “පාකිස්තානයේ අභ්‍යන්තර කඩාවැටීමක් නිසා වන ජාත්‍යන්තර බිඳවැටීම ශ්‍රී ලංකාව නිසා ඇතිවූ එකට වඩා විශාල වනු ඇත” යනුවෙන් දේශපාලන විශාරදයෙකු Financial Times වෙත කියා තිබුණි. “පාකිස්ථානය තුළ ආර්ථික කඩාවැටීමක් විසින් ඇති කරන පූර්ණ ව්‍යසනයක් වළක්වා ගැනීමට වුවමනා බොහෝ පිටස්තර [බලවතුන්] සිටින බව මම සිතමි” යනුවෙන්ද ඔහු කියා තිබුණි. එය තරමකට තත්ත්වය අඩුවෙන් කියා සිටීමකි!

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සියේ පරිපාලක සමන්තා පවර් “ඉතිහාසය කිසියම් මග පෙන්වීමක් නම්, ශ්‍රී ලංකාවේ රජය යනු අවසාන ඇද වැටීම විය නොහැකි බව අපි දනිමු” යනුවෙන් වඩාත් අවංකව කියා තිබුණි.

ධනේශ්වරයේ මූලෝපාය සකසන්නන් දකුණු ආසියාවේ විය හැකි විප්ලවකාරී නැඟිටීම් හා පාලන තන්ත්‍රයන් එකකට පසු එකක් ලෙසින් කඩා වැටීම් ගැන බියට පත්ව ඇතත්, දකුණු ආසියාව යනු කිසිසේත්ම ලෝකය තුළ පුපුරා යා හැකි දේ ගොඩගැසී තිබෙන එකම කලාපය නොවේ. ලතින් ඇමරිකාව තුළ එල් සැල්වදෝරය ණය ගෙවීම් පැහැර හැරීමට වෙන කවරදාටත් වඩා ආසන්නව සිටී.

ආර්ජන්ටිනාවටද නැවත වරක් IMF වෙත හැරීමට සිදුවිය. එහි මේ වනවිට සිටින්නේ මසක් තුළ පත්වූ තුන්වන මූදල් අමාත්‍යවරයා වන අතර මෙම වසර අවසානය වනවිට එරට උද්ධමනය 90% කරා ළඟාවනු ඇති බව පුරෝකථනය කර ඇත.

Reuters වෙත අදහස් ධක්වූ වුවනෝස් අයර්ස්හි කසළ ගොඩවල්වලින් ඉවත ලූ දේ එකතු කරන්නකු වන ජෝකීන් රොඩ්‍රිගූස් කියා තිබුණේ ” සෑම දිනකම අපට සිදුව ඇත්තේ අඩුවෙන් එකතු කිරීමටය” යනුවෙනි. ඔහු මැසිවිල්ලක් ලෙසින් කියා තිබුණේ, “කලින් තරම් ප්‍රමාණයක් මිලදී ගැනීමට මිනිසුන්ට නොහැකි නිසා ඔවුන් බොහෝ දේ ඉවත නොදමයි. ඔවුනටද අප හා සමාන කාර්යයක් කිරීම හැර වෙනත් විකල්පයක් නැත. ඉවත ලන දේ එකතු කරන්නන් වැඩි වී ඇති අතර ඉවත ලන දේ අඩුවී ඇත” යනුවෙනි.

පැනමාවේ වන වර්ධනයන් මෑත සති කිහිපය තුළ වූ වැදගත්ම සිදුවීම් විය හැකිය. ප්‍රධාන ධාරාවේ මාධ්‍යය විසින් එරට විරෝධතා ඉඳහිට ඇතිවන ඒවා බව අවධාරණය කිරීමට උත්සාහයක් ගෙන තිබුණද,  “රට බිඳ වැටීමේ අද්දරට පැමිණ ඇත” යනුවෙන් පිළිගැනීමට BBCයට පවා සිදුව ඇත. ලෝකයේ වඩාත්ම ඉහළ අසමානතාවයක් ඇති සමාජයන්ගෙන් එකක් වන එහි ඉන්ධන මිළ ජනවාරි මාසයේ 50%කින් පමණ ඉහළ ගොස් ඇති අතර, විරැකියාව 10%කි. උද්ධමනය වේගයෙන් ඉහළ යමින් ඇත.

ජූලි වන විට, ජනතාව හෙම්බත් වී තිබුණි. ඉන්ධන මිල අඩු කරන ඉල්ලා ජුනි මාසයේ මාර්ග අවහිර කළ ඉක්වදෝරයේ විරෝධතාකරුවන් අනුගමනය කරමින්, ඔවුන් ලොරි හරස් කිරීමෙන් හා ටයර් ගිනි තැබීමෙන් අත්‍යාවශ්‍යම මාර්ගයක් වන Pan-American අධිවේගී මාර්ගය අවහිර කළහ.

අවහිර කිරීම්වලට එක්වූ එක් විරෝධතාකරුවෙක් ප්‍රදර්ශනය කළ වැකියක් විසින් බොහෝ දෙනා මුහුණ දෙන දුක්ඛිත තත්වය සාරාංශ කර තිබුණි: “ඉන්ධනද? ආහාරද?” – ශ්‍රී ලංකාවේ ජනයාට අද තමන්ගෙන්ම අසා ගැනීමට බල කෙරී ඇති ප්‍රශ්නයද එයමය.

ලොව පුරා, ධනවාදයේ අර්බුදය ගැඹුරු වන විට, දරිද්‍රතාව හා කුසගින්න වැඩිවන අතර, එය විසින් ජනතාව අතර විශාල කෝපයක් ඇති කරයි. එක රටකට පසු තවත් රටක වශයෙන් මෙම කෝපය පුපුරා යයි. විප්ලවයක් සඳහා තත්ත්වය මෝරමින් ඇත.

(www.marxist.com වෙබ් අඩවියේ පළවූ ලිපියක අනුවාදයකි.)

Loading