දකුණේ අරගලය පුළුල් කරමින් උතුරු නැගෙනහිරත්, වතුකරයත් බද්ධ කරගැනීම වගකීමක්…

ඥානසිරි කොත්තිගොඩ විසිනි

 “අපි ආණ්ඩු පක්ෂෙ, විපක්ෂෙ කියල බෙදිල කෑගැහුවොත් ඊළඟ සැරේ  මේ පාර්ලිමේන්තුව නැතිව යනවා. ඊළඟ සැරේ ඇවිල්ල පාර්ලිමේන්තුව ගිනි තියන්නත් පුළුවන්. අපි ඔක්කොම නැතිවෙනවා. වෙන කණ්ඩායම් ඇවිල්ල මේක කරන්න පුළුවන්.  එහෙනම් අපි කොහොමද ඉදිරියට යන්නේ. අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ ගමන යන්න ඕන.”          

සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එහි මන්ත්‍රී කණ්ඩායම හමුවී සාකච්ඡා කිරිමෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉහත සඳහන් ප්‍රකාශය කර තිබුනා.  “කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ” යි කියන්නා සේ රනිල් ගේ මේ ප්‍රකාශයෙන් සර්ව පාක්‍ෂික ආණ්ඩුව හෝ සර්ව පාක්‍ෂික පාලනය කියන අටමගලක් අටවා ගන්න වෙර දරන්නේ ඇයි ද යන්න සක්සුදක් සේ පැහැදිළියි. සන්නි දහ අටක් සබයට ආවත් හැම සන්නියටම අඳින්නේ එකම යකැදුරා මෙන් මොන අටමගලයක් අටවා ගත්තත් වැඩ න්‍යාය පත්‍රය නම් රනිල්ගේම තමයි.  “හදිසි නීතිය ඉවත් කරන්න බෑ. ආර්ථික වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න ඒක අවශ්‍යයි” යි රනිල් සජබ මන්ත්‍රී කණ්ඩායමේ මූණටම කියන ප්‍රකාශය මෙයට හොඳ සාක්කියක්.

රනිල් කියන්නේ, මේ වෙලාවෙ අපි කා කොටා ගත්තොත් වෙන එවුන් ඇවිත් පාර්ලිමේන්තුව ගිනි තියලා මේකෙ බලය අල්ලා ගනීවි. ඒකට ඉඩ දෙන්න එපා. ඒ වෙනුවට අපි එකතුවෙලා පාර්ලිමේන්තුව අල්ල ගන්න එන එවුන් මර්දනය කරල තව දුරටත් මේක පාලනය කරගෙන යමු කියලයි.

එහෙනම් අපි පළමුව බලන්න ඕන “අපි” යනුවෙන් රනිල් මේ නම් කරන්නේ කවුද?  බලය අල්ල ගන්න එන “වෙන එවුන්” කවුද කියල. ජනාධිපති රනිල් ගේ ප්‍රකාශය අනුව නම් ඔහු “අපි” යැයි කැටගරි කරන්නේ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න 225 ත් මෙතෙක් මේ රට පාලනය කළ ප්‍රභූ පාලක පැලැන්තියයි.  එවිට “වෙන එවුන්” වන්නේ මේ පාලක පැලැන්තියේ මහිමයෙන් මිනිස් අලු දූවිලි බවට පත්ව ඇති කම්කරුවන් හා දුගී පීඩිත මහජනයා යි. මිනිස් අලු දූවිලි බවට පත්කළ මේ පීඞිතයන් ගේ බලයක් අද ඉතාමත් අසංවිධානාත්මකව හෝ ප්‍රභූ පාලන බලයට රැහැණිව ගොඩ නැගිල තියෙනව.

එයට නිසි නායකත්වයක් ලැබුනොත් ප්‍රභූ පාලක පැලැන්තියේ අවසානය ඉක්මන්වේවි. එමනිසා අරගලකරුවන් නිවෙස්වලට, හිර ගෙදරට හෝ කනත්තට යවා මෙය වහා විසඳිය යුතුයි. මොකද ඒ තරමට මේ පාලක ප්‍රභූ පැලැන්තියට තිබෙන විරෝධය බලවත්. පැන නැගී ඇති විරෝධය බලවත් නිසා ලෝක බලවතුන්ගේ ආධාර උපකාර ගැනීමත් ගැටළුවක්.  රනිල්ට අරගලකරුවන් නිරනුකම්පිතව මැඬලීමට පළපුරුද්දක් තිබුනත්, පොහොට්ටුවේ මන්ත්‍රීන් 132 ක් ඔහු සමඟ සිටියත්, පක්‍ෂ – විපක්ෂ සියලු දෙනා මේ මොහොතේ එකතු විය යුතු යැයි නාහෙන් අඬන්නේ ඉතිහාසය විසින් තමන් වෙත පවරා ඇති වගකීම එතරම්ම බරපතල නිසා.

මන්ද ලොව පුරාත්, ලංකාවේත් නව ලිබරල්වාදයේ හංස ගීතය ගයන මේ වකවානුවේ  “බළල්ලු ලවා කොස් ඇට බාවන්න”  රනිල් වගේ දක්ෂ  වැඩවසම් ධනපතීන්ට මිස රාජපක්ෂලා වගේ ලුම්පන් ධනපතීන්ට බෑ. ඇමෙරිකාවේ ට්‍රම්ප් පරදා බයිඩන් දිනන්නත් මේක එක හේතුවක් වුනා. ධනපති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වූ මෙවැනි අවස්ථාවලදී පක්ෂ විපක්ෂ බේද පසෙක ලා පාර්ලිමේන්තුවාදීන් එක්සත් වූ අවස්ථා මෙයට පෙරත් තිබෙනවා.

රැහේ එවුන් වෙනුවෙන් 

71 කැරැල්ලේදී එවකට විපක්‍ෂ නායක ජේආර් ජයවර්ධන සිරිමාවෝ අගමැතිනියට ලිඛිතව දන්වා සිටියේ ලංකා හමුදාවට බැරිනම් විදේශ හමුදාවක් හෝ ගෙන්වා කැරැල්ල මර්දනය කරන්නට කියල.  (77 දී ජේආර් බලයට ඇවිත් වසර ගණනාවකට සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කළා)  විපක්ෂයෙන් ලද ඒ ශක්තියෙන් ආණ්ඩුවේ සිංහල හමුදා, පොලිසිය විසින් විසි දහසකට අධික පිරිසක් මරාදාලා ධනපති ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත්ත.

88 -89 දී ප්‍රේමදාස ආණ්ඩුව අන්තිම නූල්පොටින් එල්ලී තිබෙද්දී සර්ව පාක්‍ෂික සමුළුවක් කැදෙව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු බොහෝ ආණ්ඩු විරෝධී පක්ෂ සමුළුවට සහභාගී වුනා. එයින් තමනට රටතුළ විරුද්ධ පක්ෂ සහය ඇතැයි පෙන්වමින් ජාත්‍යන්තරයේද විශ්වාසය දිනා ගැනීමට එදා ප්‍රේමදාස රජය සමත් වුනා. එහි ප්‍රතිඵලය වුනේ “ජොයින්ට් ඔපරේෂන් කොම්බයින් (JOC)” නැමැති භීෂණකාරී  හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානය බිහි කරමින් අසූ දහසකට අධික පිරිසක් මරා දමමින් ප්‍රභූ පාලන තන්ත්‍රය බේරා ගැනීමයි. ඒ භීෂණය මාතලේ දියත් කළේ එවකට විපක්ෂ මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ සහෝදර ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ. ඔහුට පූර්ණ බලතල ලබා දී තිබුනේ ප්‍රේමදාස ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති ජෙනරල් රන්ජන් විජේරත්න.

මේ අතර උතුරු නැගෙනහිර වසර තිහකට අධික කාලයක් එහි නිර්ධනීන් ගේ පාලනයට නතුව තිබුනා. එය මර්දනයට ගෙනා “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” මර්දනකාරී ආණ්ඩුව විසින් සම්මත කර ගත්තේ අද එය අහෝසි කිරීම වෙනුවෙන් සටන් කරන සමහර පක්ෂ ද ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු සිංහල, බෞද්ධ පක්‍ෂවල පූර්ණ සහාය ඇතිව.  මෙලෙස මර්දන අණ පණත් සම්මත කරගනිමින් නිර්ධනීන් ගේ පාලනය යළි උතුරේ ප්‍රභූ පාලක පැලැන්තියට අත්පත් කර දුන්නේ චෞර රාජපක්ෂවාදය බිහි කරමින්.  “මානුෂික මෙහෙයුම” නමින් කළ ඒ ජනඝාතක යුද්ධයේදී උතුරේ දෙමල ධනපතියන් හා ජාත්‍යන්තර බලවතුන්ගේ ද සහය ලබමින් දකුණේ සිංහල බෞද්ධයාගේ හා ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල ද රණ ගී මැද ලක්‍ෂයකට අධික දෙමළුන් මරා දැම්මා.  

මේ සංසිද්ධීන් ටික වුනත් තර්ක බුද්ධියෙන් බැලුවොත් පෙනෙන්නේ රාජ්‍ය පාලනයේ දී ප්‍රභූ ධනපති පංතියේ ද, නැද්ද කියා මිස සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියා ජාතිය වැදගත් නෑ කියන එකයි. නිර්ධනීන්ට පුළුවන් ඒ ආණ්ඩුවල සැරසිලි බවට පත්වෙන්න විතරයි.  

නමුත් 71 සිට දෙමළ ජන ඝාතක යුද්ධය දක්වා කම්කරුවන්, පීඩිත නිර්ධනීන් මර්දනය සඳහා මර්දනකාරී ආණ්ඩු ගන්නා ලද කිසිදූ පියවරකට සහයක් නොදී පීඩිතයා හා පීඩකයා වෙන්කර ගනිමින් කොන්දේසි විරහිතව පීඩිතයා වෙනුවෙන් පෙනී සිටින ස්ථාවරයක සිටියේ නව සම සමාජ පක්‍ෂය විතරයි. ඒ බව මෙහි සඳහන් කරනුයේ වර්තමාන හා අනාගත අරගලකරුවන් ගේ අධ්‍යයනය වෙනුවෙන්.

ලේසි නැති අයිඑම්එෆ් වන්දනාව 

සර්ව පාක්ෂික සමුළු යෝජනාවට අමතරව සජබ මන්ත්‍රී කණ්ඩායම හා සාකච්ඡාවෙන් පසු රනිල් කළ ප්‍රකාශයේ මෙහෙමත් සඳහන් වෙනව. “අයිඑම්එෆ් එකත් එක්ක යන වැඩ සටහන ලේසි එකක් නෙවේ. තිත්ත බේත් තියෙනවා, ඉන්ජෙක්ෂන් තියෙනවා, හිතන්න එපා මේවා නෑ කියල. ශල්‍යකර්මයකුත් කරන්න වෙයි බාගෙ වෙලාවට. ඒ වුනත් අන්තිමට ඒකෙන් සුවවෙනවා. මේ හැර වෙනත් වැඩ සටහන් තියෙනවනම් කියන්න.”  

දැන් ඉතාම පැහැදිලියි නේද ජනාධිපති රනිල් ගේ සර්ව පුට්ටුව එන්නේ මොකාටද කියල. මේ කතාවේ කොතැනකවත් රනිල් කියන්නේ නෑ සර්ව පාක්ෂික අටමගලක් හදන්නේ කඩා බිඳ දමා ඇති ජන ජීවිතය යථාවත් කරන්න කියල. එහෙනම් තිත්ත බේත් දීල , ඉන්ජෙක්ෂන් දීල, ශල්‍යකර්මයක් හෝ කරළ සුව කරගන්න තරම් රනිල් දකින බරපතල ලෙඩේ මොකක්ද?  ඒක තමයි ධනපති පාර්ලිමේන්තුවාදය අනතුරට ලක්වීම. කාලයක් පුරා රෝග ලක්ෂණ මතුවෙමින් තිබුනත් යුද්ධය ආරම්භ කළ දවසේ සිට මේ ලෙඩේ උත්සන්න වුනා. මොකද රාජපක්ෂලා යුද්ධය හොඳ ජාවාරමක් කර ගත්තා.    

රාජපක්ෂලා කියන්නේ සමාජයක ප්‍රධාන ධාරාවන් දෙක වන ධනපති පංතියට හෝ කම්කරු පංතියට අයිති නැති අතරමැදි ජාවාරම්කාර පංතියක්. මේ සමාජ තීරුව නාගරික ලුම්පන් නැතිනම් පාදඩ ධනපති පංතිය කියලත් හඳුන්වනව. මේ පිරිස් බලයට ආවම ඔවුන්ගේ කෙළිලොල්, සෙල්ලක්කාර ජීවිත ප්‍රසිද්ධියේම රඟ දක්වනව. ඒ සඳහා අවශ්‍ය මුදල් ඔවුන් උපයාගන්නේ රටේ ආර්ථිකය විවිධ ආකාරයෙන් මංකොල්ල කාලා. මේ මංකොල්ලය ආවරණය කර ගන්නේ ජාතිවාදය හා ආගම්වාදය ඉදිරියට දාලා. ඒක තමයි මහින්ද රාජපක්ෂ පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියල හැම තිස්සෙම කිංකොං වගේ පපුවට ගහ ගන්නේ. මේ ඊනියා දේශප්‍රේමය, ජාතිවාදය, ආගම්වාදය කැටිවූ ආර්ථික මංකොල්ලය තමයි ලංකාවේ රාජපක්ෂවාදය කියල කියන්නේ.

ව්‍යවස්ථාපිත ෆැසිස්ට්වාදී අත් බෙහෙත්  

ඉතිං 2005 සිට ගෙනගිය මේ රාජපක්ෂවාදය විසින් රටේ ආර්ථිකය අඩියටම හින්දුවා. මේ නිසා ඇතිවූ දරිද්‍රතාවය උහුලා ගන්න බැරිම තැන ස්වයංසිද්ධ මහජන නැගිටීමක් සිදුවෙලා තිබෙනව. මේ බලය රාජ්‍ය බලය අභිබවා යන බලයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. පාලක ප්‍රභූ පැලැන්තිය යටපත් කරගෙන නැගෙන මේ සමාජ බලය තිත්ත බේත් දීල , ඉන්ජෙක්ෂන් දීල, ශල්‍යකර්මයක් හෝ කරලා ඉවත් කළ යුතුමයි. ඒ වෙනුවෙන් තමයි ජාතික හා ජාත්‍යන්තර බලවතුන්ගේද එකඟත්වයෙන් රනිල් කියන වෙද පප්පා එවල තිබෙන්නේ.

රනිල් වෙද පප්පා මේ සමාජ නැගිටීමට බේත් දෙන්නේ රාජපක්ෂලා වගේ කසිප්පු කාරයෝ දමා නෙමේ.  තිත්ත බේත්, ඉන්ජෙක්ෂන්, ශල්‍යකර්ම මේ සියල්ලම කරන්නේ මෙයට පෙරද මා අවධාරනය කළා වගේ ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහය, අධිකරණය වගේ පවතින නීති රාමුව තුළින්. මදිනම් නව නීති සම්මත කරගනීවි.  ඒ නිසා තමයි මෙයට “ව්‍යවස්ථාපිත ෆැසිස්ට්වාදය” කියල කියන්නේ.

කුණ කන ලිබරල්ලු 

මේවගේ නීති රාමුව තුළින් මර්දනය දියත්කරන නිසා  “අත් අඩංගුවට ගන්න එක මර්දනයක්ද?  එතකොට 88 – 89 ට කියන්නේ මොකක්ද?  නීතියේ ආධිපත්‍යයත් හදන්න ඕන. රනිල් කරන්නේ ක්‍රමේ වෙනසක්”  ආදී දේ කියමින් රනිල් ගේ ව්‍යවස්ථාපිත ෆැසිස්ට්වාදයේ සක්ක මුක්කු බවට පත්වෙලා ගෙරි කුණ කකා ගිය කපුටු රැළ වගේ යන ලිබරල්ලුත් ඉන්නවා.

මේ පෙරහැරේ අලුත්ම කසකාරයා වී සිටින්නේ වික්ටර් අයිවන්. ඔහුට අනුව “රනිල් අගමැතිවරයෙකු වශයෙන් රට පාලනය කල ප්‍රධාන අවදි දෙකේදිම  (2001-2004 හා 2015-2019)  මානව හිමිකම් උල්ලංඝනය කරන්නකුගේ භූමිකාව රඟපා නැත.”  අයිවන් කතා කරන්නේ දකුණේ සිංහල බෞද්ධයා ගැන පමණක් වියයුතුය. උතුරේ දෙමළා ගෙන් ඇසුවොත් රනිල් ගේ මානව හිමිකම් පිලිබඳ සවිස්තර වාර්තාවක් අයිවන්ට ලබාගන්න පුළුවන්.

කෘතහස්ත වෘත්තීය සමිති නායකයෙක් වන ජෝසප් ස්ටාලින් පසුගිය දවසක අත් අඩංගුවට අරගෙන සතියකට ආසන්න කාලයක් රිමාන්ඩ් කරලා හිටියා. බොහෝ දෙනා ප්‍රශ්න කළේ ගෝටා ගේ රජයෙන් ස්ටාලින් අත්අඩංගුවට ගත්තාම එදා විරුද්ධ වුනු රනිල් මෙදා ඔහු අත් අඩංගුවට ගත්තාම ජීඑස්පී ප්ලස් සහනය රටට අහිමි වෙන්නේ නැද්ද? කියල. එහෙම වෙන්න විදියක් නෑ. මොකද වෙදාට ලෙඩා බාර දුන්නාම වෙදාට උවමනා විදියට මිසක් ඒරොප්පේ ඉන්න නෑදෑ හිතවතුන්ට ඕනෑ විදියට නෙමෙයි බේත් දෙන්නේ.

මේ වන විටත් රාජ්‍ය ආයතන 40 කට ආසන්න ප්‍රමාණයක් විකිණීම සඳහා සැලසුම් සුදානම් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා හෙළිදරව් කර තිබුනා. පණ අදින නව ලිබරල්වාදය ගොඩ ගන්න රනිල්  – රාජපක්ෂලා ගේ මේ “ආර්ථික ප්‍රතිසංස්කරණ” අවසාන වන්නේ ලක්මාතාව පතුළක් නොපෙනෙන මහා ආගාධයක දමා බවනම් කැට තියල කියන්න පුළුවන්.

අරගලය සෙක්කුවෙන් ගලවන්න

එමනිසා ඉදිරියේදී ජෝසප් වැනි ජනාදරයට පත් වෘත්තීය සමිති නායකයින් බොහෝ විට අත්හිට වූ සිර දඬුවම් වර්ගයේ තිත්ත බේත් දීලා පැත්තකට කරන්න පුළුවන්. ඇතැම් සටන්කාමී නායකයන්ට පහර දීම්, පැහැර ගැනීම්, වධ බන්ධනයට ලක්කිරීම්, හිරේ දැමීම් වැනි ඉන්ජෙක්ෂන් ලැබේවි. රනිල් වෙද පප්පගේ ශල්‍යකර්මය කොහොම වේවිද කියල දැන්ම කියන්න අමාරුයි. එමනිසා දකුණේ අරගලය පුළුල් කරමින් දැන්වත් උතුරු නැගෙනහිරත්, වතුකරයත් බද්ධ කරගැනීම එහි ප්‍රධානීන්ගේ වගකීමක් .

එසේ නොකොට දකුණේ සිංහල බෞද්ධ ආණ්ඩුවේ දශක හතක අපරාධකාරිත්වයට විරුද්ධව, රනිල්ද, ගෝටාද නොතකා අතුරුදහන් දරුවන් සොයමින්, මරා දැමූවන්ට යුක්තිය ඉල්ලමින්, හමුදා වාඩිලාගත් ඉඩම් වෙනුවෙන් පොරබදිමින් නිවාඩුවක් නැතිව මහපාරේ සටන් වදින උතුරේ අරගලකරුවන් දිගටම නොසලකා හැරියොත් සිදුවන්නේ ඒ වල කැපීමට දකුණේ අරගලකරුවනුත් හවුල් වීම පමණයි.

ඥානසිරි කොත්තිගොඩ 

Loading