කළ යුත්තේ කුමක්ද?

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

ජූලි 9 දින ගෝඨාභය රාජපක්ෂව එළවා දැමීම අරගලය ලැබූ දැවැන්තම ජයග්‍රහණය බව නොකිවමනාය. ඒ සමඟම ජන අරගලය ඉතා වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇත. ගෝටාභය රාජපක්ෂ පන්නා දැමීම මූලික කරගත් අරගලය අද වන විට තමන්ට අවශ්‍ය වන්නේ කුමන පාලනයක්ද යන කරුණ සම්බන්ධව සාකච්චා කරමින් සිටී. අප්‍රේල් මස ඇරඹි ගෝල්ෆේස් අරගලය තුළත්, ඊට කලින් ප්‍රාදේශීය මට්ටමෙනුත් ජනතාව වීදී බැස්සේ තම අවශ්‍යතා සපුරාලිය නොහැකි මෙම පාලන ක්‍රමයේ වෙනසක් අපේක්ෂාවෙනි. නමුත් මේ වනවිට, ජනතා ඉල්ලීම් ඉටු කිරීමේ ක්‍රමයක් ඇති කරනු වෙනුවට, ජනතාව අගාධයට ඇද දැමූ පවතින පාලන ක්‍රමය තව දුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම ඉතා සුක්ෂම ලෙස සකස් කෙරෙමින් පවතී. අරගලයේ ආරක්ෂකයින් ලෙස කටයුතු කළ ඇතැමෙක් විසින්ම අරගලයේ පාර්ශවකරුවන් සමහරක්ද භාවිතා කරමින් එය කරගෙන යාම වඩාත් අවධානයට ලක්විය යුතුය.

අප්‍රේල් 3 දින අරගලයේ මුල් කැදවීමට පෙර පටන්ම අරගලයේ ආරක්ෂකයින් මෙන් පෙනී සිටි නීතිඥ සංගමයේ ක්‍රියාමාර්ග සම්බන්ධව අපි දිගින් දිගටම සාකච්ඡා කළෙමු. මෙහිදී සාලිය පීරිස් ප්‍රමුඛ නීතිඥ සංගමය පෙනී සිටින්නේ කාගේ උවමනාවන් වෙනුවෙන්ද යන්න අපි නිරන්තරයෙන් ප්‍රශ්න කර සිටියෙමු. 2022.07.14 දින අගමැති කාර්යාලය අරගල කරුවන් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන් කළ ප්‍රකාශය විසින් අරගලය තුළ ඔවුන්ගේ භූමිකාව විවෘතවම ප්‍රශ්න කරමින් ඇත. ඒ 2022.07.14 දින ඔවුන් කළ ප්‍රකාශය, අරගලයේ මුල සිටම ඔවුන් ගත් ස්ථාවරයන් සමඟ පරස්පර විරොධී බවක් හොඳින්ම පෙන්නුම් කරන නිසාය.

අප්‍රේල් 9 වන දා සිට අරගලකරුවන්  ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපස තම ප්‍රධාන වේදිකාව ලෙස භාවිතා කළේය. ඒ හේතුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ සියලු කටයුතු ඇණ සිටි බවත් එම කටයුතු තම මන්දිරයේ සිට කරගෙන යන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. එහෙත් ගෝඨාභය ජනාධිපති ධුරයේ සිටින තාක් ගෝල්ෆේස් භුමියේ අරගලකරුවන් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිමින් අරගලකරුවන්ගේ මෙම ක්‍රියාමාර්ග තහවුරු කල නීතිඥ සංගමය, ගෝඨාභය රාජපක්ෂ පළා යාමත් සමඟ, ජූලි 9 වන දින සිට අරගලකරුවන්ගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි කනස්සල්ලක් දක්වන්නේ මන්ද පැහැදිලි කළ හැක්කේ ඔවුන්ටම පමණි. තමන් පක්ෂපාතීත්වය දක්වන අයෙක් රටේ පාලනයට මාන බලමින් සිටීම එම වෙනසට හේතුවද යනුවෙන් යනුවෙන් ප්‍රශ්න කර සිටීමට අපට සිදුවේ.

නීතිඥ සංගමයට සමාන්තරව රනිල් වික්‍රමසිංහ විසින්ද අරගලය සම්බන්ධ තම ස්ථාවරය උඩු යටිකුරු කර ඇත. අගමැති වරයා ලෙස පත්වන විට අරගලයට සුබ පතන බව ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ 2022.07.14 දින තම නිල ෆේස් බුක් පිටුවේ තැබූ සටහන ජුගුප්සාජනකය. එහිදී ඔහු කියා තිබුණේ අරගලය මේ වන විට ෆැසිස්ට්වාදීන්ගේ බලපෙරළියකට හැරවීමට ඉඩ නොදෙන බවය. ඒ කුමන්ත්‍රණකාරී ලෙස ඔහුගේම නිවස ගිනි ගැනීම (ඒ ගිනි ගැනීමට ප්‍රථම එහි තිබූ පොත්පත් ආරක්ෂක අංශ විසින් වෙනම ගොඩගසන වීඩියෝ දර්ශන සංසරණය වෙමින් ඇත), යුධ හමුදා ප්‍රධානීන්ගේ නිවාසවලට අරගලකරුවන් පහර දීමේ සැළසුමක් ඇති බවක් ප්‍රචාරය කිරීම ආදී හිට්ලර් පන්නයේ තුච්ඡ ක්‍රියාවලට තමන් විසින්ම අනුග්‍රහය දෙමිනි. ඒ සමඟම තමන්ට නැති බලතල මවා ගනිමින් අරගලය දැඩි ලෙස මර්ධනය කිරීමටද ඔහු උත්සාහ ගනිමින් සිටී.

අරගලයේ ආරක්ෂකයින් ලෙස සිටි අයත්, අරගලය නිසාවෙන්ම, රාජපක්ෂවරුන්ට ආරක්ෂාව ලබාදීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් තමන්ට කිසිසේත් අයත් නැති බලයක්  ලබාගත් රනිල් වික්‍රමසිංහත්, මෙම උපාමාරු යොදන්නේ වෙන කිසිවකට නොව, මේ වනවිට ලංකාව තුළ දැඩි අර්බුදයකට ලක්ව ඇති, පවතින අධිරාජ්‍යගැති ධනපති ක්‍රමය රැක ගැනීමටය.

අද වන විට අරගලකරුවන් තම ඉල්ලීම් ඒ ආකාරයෙන්ම දිනාගෙන නොවුවද, ඔවුන් අත්පත් කරගත් ස්ථාන වලින් ඉවත් වී යාමක් දක්නට ලැබේ. මේ සදහා බලපෑ ප්‍රධානම සාධකය වූයේ, තමන් කියන ලෙස කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී තම සහාය ලබා නොදෙන බවට නීතිඥ සංගමය කළ අනියම් තර්ජනයයි. ඊට සමගාමීබ එක්සත් ජාතීන් ඇතුළු අන්තර් ජාතික සංවිධාන හරහා මතුවන ප්‍රබල බලපෑමද අපට දැක ගත හැක.

මොවුන් සියලු දෙනා ක්‍රියාත්මකවන්නේ කාගේ උවමනාවන් සපුරාලීමටද යන්න විමසා බැලිය යුතුය. 225ම ඉවත් විය යුතු බව පැවසූ ජනතා මතයට වෙනස්ව, දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන තක්කඩි රැලගෙන්ම සමන්විත සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් ගොඩ නැඟීම වෙනුවෙන් මතයක් ඉදිරියට දැමීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. නීතිඥ සංගමයේ සිට සියලු අන්තර්ජාතික සංවිධාන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමී බල හුවමාරුවකට ඉඩ දෙන ලෙසය. එසේ හුවමාරු වන්නේ කාගේ බලයද, කා වෙනුවෙන් වන බලයද යන්නට ඔවුන් පිළිතුරු නොදේ. එකා පසුපස එකා වැටෙමින් ඔවුන් මේ සාමකාමී ලෙස හුවමාරු කරගන්නා ලෙස ඉල්ලා සිටින්නේ අධිරාජ්‍යවාදී වුවමනාවන්ට ඉඩ දෙන ධනපති ක්‍රමය පවත්වාගෙන යාමට වුවමනා බලයයි. ඒ ලංකාවේ ඉහළම තක්කඩි ව්‍යාපාරිකයින් හා බහුජාතික සමාගම්වල ලාභ ආරක්ෂා කර දීම වෙනුවෙනි. ජනයාට වුවමනා කරන්නේ එම තක්කඩියන්ගේ බලය වෙනුවට සැබෑ ජනතා බලය ස්ථාපිත කිරීමයි. අරගලය විසින් පාලනයේ මර්මස්ථාන එකකට පසු එකක් අත්කර ගැනීම නිසා ලංකාව තුළ ධනපති පාලනයේ ස්ථාවරත්වය අභියෝගයකට ලක් වූ බව අපි දනිමු. මෙම ක්‍රමයේ ආරක්ෂයින් කලබල කරුණ වූයේ එයයි.

මේ සියලු ජුගුප්සාජනක ක්‍රියා සිදුවන්නේ ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදු නොවන පසුබිමක බව පැහැදිලිය. ජනතාව විඩාවට පත් කරන, ජන ජීවිතය අර්බුධයට ගෙනියන පාලන ක්‍රමය තවමත් එලෙසම පවතී. පාලකයා මාරු වීමට නියමිත වුවද, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය තවත් වැඩිවී ඇත. තෙල් පෝලිම් වල දිග තව තවත් වැඩිවී ඇත. ජනයාට එම පෝලිම්වල ගතකළ යුතු දින ගණන වැඩි වී ඇත. භාණ්ඩ මිළ අඛණ්ඩව ඉහළ යමින් පවතී. දරුවන්ගේ අධ්‍යාපනය ඇණහිට ඇත. රෝහල්වල බෙහෙත් නොමැත. එහෙත් නීතිඥ සංගමයට හෝ ධනපති ක්‍රමයේ ආරක්ෂකයින් වන අන්තර්ජාතික සංවිධනවලට ඒවායේ වගක් නොමැත. ගෝඨාභය ධුරයේ සිටින විට ඔවුන්ට තිබූ කිඹුල් කඳුළු අද අරගලයේත්, ජනතාවගේත් උර චක්කරමාලා බවට පත්ව ඇත.

ප්‍රජාතන්ත්‍ර විරෝධී, අධිරාජ්‍ය ගැති, රනිල් වික්‍රමසිංහට රටේ පාලනය භාර ගැනීමට කිසිඳු සදාචාරාත්මක හෝ නීතිමය අයිතියක් නැත. ජන බලය හමුවේ නියත වශයෙන්ම ඔහුටද නික්ම යාමට සිදුවනු ඇත.

ජන බලයට කළ නොහැක්කක් නැති බව මේ වනවිට අරගලය විසින් මනාව පෙන්වා දී ඇත. ජනබලයට ප්‍රතිගාමීත්වය අවසන් කළ හැකි වුවද, ජනයාට අවශ්‍ය ප්‍රගතිශීලී පාලන තන්ත්‍රයක් ඇතිකළ හැක්කේ ඒ ගැන සවිඥානික කොටසකගේ නායකත්වයක්, හෙවත් කම්කරු පන්තිය මෙහෙයවා ගත හැකි, විප්ලවවාදී පක්ෂයක නායකත්වය හා මඟ පෙන්වීම යටතේ පමණි. අද ලංකාව තුළ එවන් විප්ලවවාදී පක්ෂයක් නොමැති වීමේ විපාකය නිසා ධනපති ක්‍රමයේ බත් බැලයන්ට අරගලය පීලි පැන්නීම වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකියාව ලැබී ඇත. එහෙත් ජනතාව මුහුණ දෙන ව්‍යසනය වැළැක්වීම වෙනුවෙන් කිසිවක්ම හෝ කිරීමට මෙම බත් බැලයන් අසමත්ය.

මේ නිසා අප හමුවේ ඇති අභියෝගය වන්නේ, ජනතා අරමුණු, ජනතා ඉල්ලීම් සාක්ෂාත් කරගත හැකි ජනතා පාලනයක් ගොඩ නැඟීමට හැකියාව ඇති කම්කරු පන්තිය මෙහෙයවා ගත හැකි, විප්ලවවාදී පක්ෂයක් රට තුළත් ජාත්‍යන්තර පරිමාණවත් ගොඩ නැඟීමට දායක වීමයි.

Loading