රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි
ලොව පුරා වෙසෙන LGBTIQ+ ප්‍රජාව අභිමානයේ මාසය සමරමින් ජුනි මාසය පුරා බොහෝ සැමරුම් පවත්වයි. මෑත වසරවලදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා ඇතිවන පීඩනයට සහ ලිංගික දිශානතිය මත පදනම් වූ වෙනස්කම්වලට එරෙහි සාකච්ඡාව සහ අරගලය බොහෝ රටවලදී මහජන ව්‍යාපාර දක්වා වර්ධනය වී තිබුණි. සමාජය තුළ මෙම ප්‍රජාවේ නියෝජනය සැළකිය යුතු ප්‍රමාණයකින් දැකිය හැකි වුවත්, ඔවුන් සමාජ-ආර්ථික හා දේශපාලන ගැටලු රාශියකට මුහුණ දෙයි. ලොව පුරා මෙම ප්‍රජාව අසමානතාවයට සහ වධහිංසා පැමිණවීම සහ මරා දමීමද ඇතුළත් ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්නේ ඔවුන් ආදරය කරන අය, ඔවුන්ගේ පෙනුම හෝ ඔවුන් කවුරුන්ද යන්න මත පදනම්වය. ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය අපගේ පොදු ලක්ෂණයන් වන අතර කිසිවිටෙක ඒ මත පදනම්ව වෙනස් කොට සැලකීම හෝ අපයෝජනය කිරීම නොකළ යුතුය.
ජනප්‍රියවාදීන් විසින් LGBTIQ+ පුද්ගලයන් පවුලට, ආගමට සහ රාජ්‍යයට තර්ජනයක් ලෙස දකියි. ඔවුන්ගේ තිර පිටපත් නිසා LGBTIQ+ ප්‍රජාව දඩයම් කිරීම, ඔවුන්ව වෙනස් කොට සැලකීම සහ බොහෝ විට ප්රචණ්ඩත්වය ක්‍රියාවට නැංවීම සිදු වේ. විවිධ ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂ සාමාජ භාවය සහ ප්‍රකාශන (expressions) සහ ලිංගික ලක්ෂණ හේතුකොට කරන වෙනස් කොට සැලකීම ආරම්භ වන්නේ පුද්ගලික දේපල ක්‍රමය හඳුන්වාදීමත් සමඟ ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතාවයට පමණක් සීමා කළ පවුල පිහිටුවීම තුළය. එම න්‍යෂ්ඨික පවුලේ සැබෑ අරමුණ වන්නේ පාරම්පරික (දේපල) උරුමය ඉදිරියට ගෙන යාමයි.
ස්ත්‍රී-පුරුෂ න්‍යෂ්ටික පවුල පූර්ව ධනේශ්වර ප්රපංචයක් වුවද ධනවාදය යටතේ එය වඩාත් ශක්තිමත් විය. ධනවාදය යනු පුද්ගලික අයිතිය මතය පදනම් වූ ක්රමයකි. ධනේශ්වරය ලාභ ඉපැයීම සඳහා පුද්ගලිකව ආයෝජනය කිරීමට තම පුද්ගලික ධනය භාවිතා කරයි. ඔවුන් ආයෝජනය කරන්නේ සමාජයේ පොදු යහපත සඳහා නොවේ. නිසැකවම, ධනේශ්වරයට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ධනය තමන්ගේ ඊළඟ පරම්පරාවට පැවරීමටය. ස්ත්‍රී-පුරුෂ න්‍යෂ්ටික පවුල එම අවශ්‍යතාවය සහතික කරයි. ධනවාදයට ලාභ ශ්‍රමය අවශ්‍ය බැවින්, ඔවුන් සෑම විටම ජනගහන වර්ධනය, මිනිස් ශ්‍රම ශක්තිය නිෂ්පාදනය ගැන සැළකිලිමත් වේ. එහෙත් තමන්ට අනාගතයේදී වුවමනා කරන ශ්‍රම ශක්තිය වර්ධනය කිරීම සඳහා බදු වශයෙන් තම ලාභය අත්හැරීමටද ඔවුන් අකමැතිය. න්‍යෂ්ටික පවුල සමඟ, ධනපතීන්ගේ ලාභයට අවම බලපෑමක් ඇති කරමින්, දරුවන් රැකබලා ගැනීමේ වගකීම ඔවුන්ගේ දෙමාපියන්ට පැවරීම ඉතා පහසුය. ධනවාදය ස්ත්‍රී-පුරුෂ න්‍යෂ්ටික පවුල පවත්වාගෙන යාම අරමුණක් කර ගනිමින් සිය නීති පද්ධතිය සකස් කර ගෙන ඇත්තේ එබැවිනි.
සෑම LGBTIQ+ විරෝධී ව්‍යාපාරයක්ම පදනම් වී ඇත්තේ එය “ස්වභාවධර්මයට එරෙහිය” යන තර්කය මත වුවද, මෙම මතවාදයන් දශක ගණනාවක් තිස්සේ ධනවාදය විසින් පෝෂණය කරනු ලැබූ ඒවා බව පැහැදිලිය. එබැවින්, පීතෘමූලික සමාජයක් පවත්වාගෙන යාමට ධනේශ්වරයේ ඇති ආශාව LGBTIQ+ ප්‍රජාවට වෙනස් කොට සැලකීමට ඉඩ සලසයි. විෂමලිංගිකයන්ට සමාජ වරප්‍රසාද ලබා දීමෙන් ධනපතියන් කම්කරු පංතිය අතර භේද ඇති කර ඇත. කෙසේ වෙතත් ධනේශ්වර ක්‍රමය තුළ සියලූම කම්කරුවන්, ධනපතියන්ගේ ලාභ වැඩිකර ගැනීම වෙනුවෙන් එකසේ සූරාකෑමට ලක්වන බව වටහා ගැනීම වැදගත්ය. LGBTIQ+ ප්‍රජාව සූරාකෑමකට ලක් වන අතරම ඔවුන්ගේ ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ප්‍රකාශන සහ ලිංගික ලක්ෂණ මත පදනම්ව වඩාත් වැඩි වෙනස් කොට සැලකීමකටද ලක් වේ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා ඇතිවන පීඩනයට සහ ලිංගික දිශානතිය මත පදනම් වූ වෙනස්කම්වලට එරෙහි අරගලයේ වර්ධනයත් සමඟ, LGBTIQ+ ප්‍රජාවේ අයිතිවාසිකම් සහතික කිරීමේ බොහෝ ජයග්‍රහණ අත්කර ගෙන ඇත. හෙට, ජූනි 28 වෙනිදා අප බොහෝ රටවල LGBTIQ+ ව්‍යාපාරය විශාල වශයෙන් පෝෂණය කළ stonewall අරගලය අනුස්මරණය කරයි. විමුක්තිය සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම් සහ ඔවුන් වෙත ඇති බහුජන පදනම සමග, මෙම විරෝධතා ඔවුන් තුළ සහජ විප්ලවවාදී විභවයක් ජනිත කොට ඇත. ඒ අතරම, මෙම ප්‍රශ්න සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක් දක්වා අඩු කිරීමට සහ ව්‍යාපාරයේ අරමුණු ධනවාදයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට ගැලපෙන කුඩා සහන සඳහා කිරීමට සීමා කිරීමට ගන්නා දැනුවත් උත්සාහයක්ද දැකිය හැක. මතුපිටින් රැඩිකල් ලෙස පෙනෙන නමුත් ප්‍රායෝගිකව LGBTIQ+ ව්‍යාපාරයේ අරගලය විසින්, බොහෝවිට විඥානවාදී සහ තම පැවැත්ම වෙනුවෙන් ගෙන යන අඳුරු න්‍යායන් සඳහාද ආවරණයක් ලබා දී ඇත. ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ මෙම තත්ත්වයන්ට තුඩුදෙන භෞතික තත්වයන් වෙනස් කිරීමයි.
එබැවින්, LGBTIQ+ ව්‍යාපාරයේ ජයග්‍රහණය වෙනුවෙන් එය, පන්ති ප්‍රවේශයක් අනුගමනය කරමින්, සමලිංගික පීඩනයට එරෙහි අරගලය සහ පූර්ණ සිවිල් අයිතිවාසිකම් සඳහා වන අරගලය ආර්ථික හා සමාජීය පීඩනයෙන් තොර යහපත් ජීවිතයක් සඳහා වන පොදු අරගලය සමඟ ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම කම්කරු පන්ති ව්‍යාපාරයද ඓතිහාසික වශයෙන් පවතින් භේදයන් පරාජය කරමින්, LGBTIQ+ අරගලය තම අරගලයක් ලෙස පිළිගනිමින්, පන්තිය එක්සත් කරමින්, සැබෑ සමානාත්මතාවය පවතින සමාජයක් සාක්ෂාත් කර ගැනීම සඳහා වන සටනට අවතීර්ණ වීමද එක සමානව වැදගත්ය.