සමන් නන්දන
සාගින්න වැද ඉහිළුමින් තොර මොරදෙන
මුහුණු ඉවසනු කොහොම සුසුමින් පිරි මැද
හීන නොව මේ තාත්තා කෙනෙකු ගෙ දුක
වාර කීයක් වැරදුනාදැයි සොයමි ගෙල වැල
සීත සඳුනෙන් නිවා දිවි ගමන සරතැස
පාට තවරන කෙනෙකු කෝ කියනු කොතැනක
ඈත ගව් දුරක වුව රැඳී ඇත තාම ඇසුමට
ඔබ කියූ අවසාන බස රබර් ගසකට
දෑස්වල මල් දෑත් වල පුබුදන්න බැරිවිට
මොකට මේ උරුමවූ කරුම පිය පදවිය
කියා හිතුවාද සොයුර නුඹ එඩි බිඳ
නොමැති විට දෙන්න හුලක් හෝ කුසට කෑමට
උදර කුහරය පලා සැතකින් විගසට
යමක් නැති බව සොයා ගත හැක සැනෙකිණ
උරස් කුහරය පලා බලනා කෙනෙකුට
දකින්නට තිබෙයි ඔය බිඳුණු පිය හදවත