“89-සහෝදරත්වය” විසිනි
පවත්නා බරපතල අර්බුදය හමුවේ අප ගතයුතු මග කවරේද..?
පුරා 73 වසරක වැරදි භාවිතාවන් තුල රට පාලනය කිරීමේ ප්‍රථිපලයක් ලෙසින් ලංකාව තුල සියලු පුරවැසියනට මුහුණදීමට සිදුවී ඇති ආර්ථික, සමාජමය හා දේශපාලණික අර්බුධය හමුවේ වාමාංශිකයින් ලෙසත්, මාක්ස්වාදීන් ලෙසත්, පොදු බලවේගයක අවශ්‍යතාව දකින අය ලෙසටත්, ඊට මුහුණදියයුත්තේ කෙසේදැයි අප මේ අවස්ථාවේ වඩාත් හොඳින් කල්පනාකර බැලිය යුතුය.
දිගින් දිගටම අතීත කාමයක සිහිනයන් තුල ගිලෙමින්, වසර 2500 ක් පුරාවට තිබුනායැයි කියන ඊනියා සෞභාග්‍යයක පුරාජේරුව ඇදබාමින් අප ස්වයං වින්දනයක පසුවෙද්දී, අප හැරදමා මුලුමහත් ලෝකයම 21 වන සියවසේ දියුනු සමාජයන් ලෙසින් දියුනු තාක්ෂණික පියවරයන් සමඟින් ඉදිරියෙන් ඉදිරියට යන මොහොතක, අපි “ජාතික” මට්ටමේම වූද, ඉතිහාස රෝදය ආපස්සට කරකැවීමට යත්න දරන්නාවූද, ඉතා යල්පැනගිය අන්ත පසුගාමී බංකොලොත් රාජාංඩු සංකල්පයන් මත සිහිනයෙන් ඇවිදිමින් සිටියෙමු. ඒ සිහිනයන් උත්කර්ෂයට නැංවීම සඳහා “ඊනියා නිදහස් අධ්‍යාපනය” තුලින් එහිම විකෘතියක් ලෙස බිහිවූ ඊනියා බුද්ධිමතුන් මෙන්ම මාක්ස්වාදය වැරදි ලෙස අර්ථ කථනය කොටගත් බොහෝ වාමාංශිකයන්ද දායකවූ අතර මෙම පාලක පැලැන්තිය අනුගනමනය කල “දේශප්‍රේමය”, සහ අධිරාජ්‍ය විරෝධය සමඟ ඔවුන්ද හොඳ හැටි සමපාත විය.
මෙම වත්මන් අර්බුධයෙන් ගොඩ ඒම සඳහා ලාංකීය ජන සමාජය වෙත නිවැරදි දැක්මක් සහිත වැඩපිලිවෙළක් වහ වහා ඉදිරිපත් කලයුතුය. ඒ සඳහා වාමාංශික පක්ෂ, වාමාංශික කංඩායම්, මෙන්ම උතුර, දකුණ, නැගෙනහිර, වතුකරය සහ ගෝලීය වශයෙන් ගොඩනගනු ලබන ප්රගතිශීලී බහුජන සංවිධානවල මැදිහත්වීම් සහ සහයෝගය මත තව තවත් දේශපාලන කව සහ සංවිධාන හැකි පමණ එක්වී පුළුල් ප්රගතිශීලී බහුජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය. නොඑසේනම් මෙම රාජපක්ෂ රෙජීමයෙන් නැවතත් රාජ්‍යබලය “සුපුරුදු”විපක්ෂය වෙත යාමෙන් හෝ, මේ රෙජීමයම නැවත බලය ස්ථාපිත කර ගැනීමෙන් සිදුවීමට නියමිතව ඇත්තේ ගතවූ වසර 73 ම දිගුවක් මිස වෙන යමක් නොවේ. ඊට ඇති ඉඩකඩ බොහෝ වැඩිවී ඇත්තේ ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි බලකඳවුරු මොවුන් පසුපස සිටිමින් ඔවුන්ගේ බලකඳවුරුවෙත නැවත නැවතත් මේ ඊනියා පාලකයින් ගාල්කර තබා ගන්නා බැවිනි.
එබැවින් මේ මොහොතේ සිදුකල යුත්තේ පක්ෂ හා කංඩායම් ඔවුනොවුන් අතර ඇති බල පොරය සහ කෙනෙහිලිකම් ඉවතදා වහ වහා පොදුවැඩපිලිවෙළක් සඳහා පොදු බලවේගයක් ගොඩනැගීමට එකතුවීමයි.
මෙහිදී රාජපක්ෂ රෙජීමය පලවා හැර ලංකාව තුල ප්රගතිශීලී බලවේගයක් රටේ පාලනයට යොමුකරවීමට නම්, තම කඳවුර වෙත අන් අය කැඳවීමට වඩා, අනිකුත් ප්රගතිශීලී කොටස් හදුනාගෙන ඔවුන් සමඟ අවමලෙස හෝ එක්විය හැකි පොදු වැඩපිලිවෙළක් යටතේ පුළුල් බහුජන බලවේගයක් හැදීම අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙස හඳුනාගැනීමයි.
මෙහිදී තම තමන් ගැන ඇති සුපුරුදු අධිතක්සේරුව තුලින් තමන් හට තනි ගමනක් යාම තුල මෙම රෙජීමය පලවා හැරීමට තමන්ගේම ගොඩනගාගත් බලවේගයන් පමණක් උපයෝගිකර ගැනීම ප්‍රමාණවත් යැයි යම් පාර්ශ්වයක් කල්පනා කරන්නේ නම් එය නැවත වතාවක් තමන්වම රවටාගැනීමක් වනවා පමණක් නොව තම අදූරදර්ශී දේශපාලන භාවිතාව මගින් මුළු මහත් ලාංකීය ජනතාවම තවත් කාලයකට අඳුරෙන් අඳුරට හෙලීමක්ද වනු ඇත.
තවද අද ලංකාව තුල බලපාන්නාවූ සකල විධ අර්බුධවලට හේතුව මෙම පවත්නා ලෝක ධනේෂ්වර ක්රමයේම අර්බුධයක් පමණක් බවට අර්ථ දැක්වීමද නිවැරදි නොවන ආස්ථානයකි. මාක්ස්ගේ ප්රවාදයන් සැලකීමට ගැනීමේදී මෙම ලෝක ධනේෂ්වර ක්‍රමය අර්බුධයට යන බව ඒකාන්ත නමුත්, ලංකාවේ වත්මන් තත්වයට බොහෝදුරට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාව වසර 73 ක කාලයක් පුරාවට “මුහුදු කොල්ලකාරයින්” පිරිසකට මාරුවෙන් මාරුවට නතුවී ඇති බැවිනි.
එබැවින් මෙම ලෝක ධනේශ්වර ක්‍රමය පවතින රටවල විදුලිය, ප්රවාහණය, යනාදී ගැටළු ඒවා ප්රාග්ධනයට යටත්කිරීම මගින් මනාසේ පවත්වාගෙන යනු ලබයි. එබැවින් ලංකාවේ පවතින වත්මන් ගැටළු නිරාකරණය කරගැනීමට නම්, ඇතිවන ප්රගතිශීලී පුළුල් බලවේගයක් මගින් රාජ්‍ය බලය භාරගෙන ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය වී ඇති යම් යම් ධනේෂ්වර ප්‍රතිසංස්කරණ යම් ප්‍රමාණයකට ඇති කර, එමගින් මේ මොහොතේ ලාංකීය වැඩකරන ජනතාව මුහුණ දෙන විශාල ණය අර්බුදය සහ ආර්ථික ගැටළු යම්තාක් දුරකට සමනය කරගැනීමයි.
අප වාමාංශිකයින් ලෙස ලංකාව තුල මේ ඇතිවී ඇති බරපතල ව්‍යසනයට ක්ෂනික විසඳුම් ලෙස හෙට දවසේ “සමාජවාදය”ඇතිකිරීම යෝජනා නොකරන බවත්, පළමුව රටතුල නිෂ්පාදන බලවේග දියුනු තත්වයකට ගෙනඒම සඳහා ප්රාග්ධනය නිසිපරිදි ගලාඒම සිදුවිය යුතු බවත්, ඒ හරහා ඇතිවන දියුනු කම්කරු පංතිය හමුවේ අපගේ සමාජවාදී වැඩපිලිවෙල ගැන දැනුවත් කිරීම සිදුකලයුතුබවත් “89-සහෝදරත්වය” ලෙස දැඩි සහෝදරත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමු.
“89-සහෝදරත්වය”(07/02/22)