අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල වහාම අඩු කරනු!


ප්‍රියන්ත සිල්වා විසිනි


අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල දිනෙන් දින ඉහල යමින් තිබේ.රටේ බහුතර ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දී සිටිති.ඔවුන්ගේ ජීවන අපේක්ෂා බිඳ වැටෙමින් පවතී.මෙම තත්ත්වය සමනය කිරීමේ උපායක් ලෙස රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට රුපියල් 5000 ක මාසික දීමනාවක් ලබාදීමට රජය කටයුතු කර ඇත.
           මෙය වර්ධනය වන උද්ධමනකාරිත්වයට ඍජු ප්‍රතිකර්මයක් නොවුනද, එමගින් යම් සහනයක් ලැබෙනු ඇතැයි පුරවැසියන්ගේ බලාපොරොත්තුවයි.එසේ වුවද අප රටේ ජාතික ආදායමට විශාල දායකත්වයක් ලබාදෙන පුද්ගලික අංශයේ සේවකයන්ට මෙම සහනය ලබාදීමේ වැඩ පිළිවෙලක් මෙතෙක් දියත් වී නොමැත.ඔවුන්ගේ ඉල්ලීමක් වූ රු.10,000 ක වැටුප් වැඩි කිරීම පිළිබඳවද සුභවාදී ප්‍රතිචාරයක් නොමැත.මෙවැනි අවස්ථාවකට මුහුණදීමට සිදුවීම බරපතල ගැටලුකාරී තත්ත්වයකි.
             භාණ්ඩ හා සේවා මිල ඉහලයෑමේදී වැටුප් වැඩිකිරීමේ හා දීමනා ලබාදීමේ උපාය වෙත යොමුවීම අප රටේ පාලකයින්ගේ සුප්‍රකට භාවිතයයි.මෙම උපක්‍රමය වත්මනෙහි ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට නිසි ප්‍රතිකර්මයක්ද යන්න විමසිය යුත්තකි.මෙය පාලකයින් හා රටේ වැඩකරන ජනතාව අතර සිදුවන කේවල්කිරීමක් මිස වර්ධනය වන උද්ධමනකාරිත්වයට යෝග්‍යය,නිශ්චිත පිළියමක් නොවන බව පැහැදිලිය.මෙම සහනය ලබාදීම සිදුවන්නේ නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රසාරණයවීමකින් හෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සුලභකිරීමකින් නොවේ.
              ආනයන වියදම් සීමා කළ යුතුයැයි රජය පුන පුනා කියා සිටියද මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමටද රජය අපොහොසත් වී ඇත.අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කිරීමටත් ඒ සඳහානිසි ක්‍රියා මාර්ගයන් ගැනීමටත් රජයේ සූදානමක් නොමැති වීම මෙම ස්භාවය මෝරා යාමට හේතුවකි.මෙවැනි තත්ත්වයකදී පාලකයින් වෙත ඇති එකම විසඳුම මුදල් මුද්‍රණයකර ආර්ථිකයට මුදා හැරීමයි.එය උද්ධමනය වර්ධනය කිරීමේ ප්‍රතිචාරයක් මිස ආර්ථික වෘද්ධියක් නොවන බව අතිශයින්ම පැහැදිලිය.
            ලෝකයේ බෝහෝ රටවල් මෙවැනි අර්බුදකාරී ස්භාවයන්ට පිළියම් වශයෙන් මිළ පාලන ප්‍රතිපත්ති, සළාක ක්‍රම හා අඩු ආදායම්ලාභී සහන සේවා ක්‍රියාත්මක කරන අවස්ථාදැකගත හැක.නමුත් එවැනි ක්‍රියාකාරිත්වයක් වෙත ප්‍රවේශවීමක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම කණගාටුදායකය.පසුගිය වසරේ මැද භාගය හා සැසඳීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල, 20% කට වැඩි මිල ඉහල යාමක් පැහැදිලි වේ.ඉදිරියේදී මෙම තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වීමක් මිස සමනය වීමක් සිදුවේයැයි අනුමාන කළ නොහැක.
               අසංවිධිත නිෂ්පාදන කර්මාන්ත හා සේවාවල නිරතවන තවත් විශාල පිරිසක් මෙරට ජීවත් වෙති.මෙම අභාග්‍ය තුල ඔවුන්ගේ ජීවන අපේක්ෂාද තහවුරු වීම අනිවාර්යය.වැටුප් වැඩිකර ගැනීමේ උද්ඝෝෂණය තුලම,අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වහාම අඩුකිරීම හා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සුලභ කිරීමේ සටන් පාඨයද ඉහලින්ම ඔසවා තැබිය යුතුය.පීඩාකාරිත්වයට මුහුණදී සිටින සමස්ථ ජනතාවම මෙම කාර්යය සඳහා පෙලගැසීමේ පසුබිම මේවන විට නිර්මාණය වීඇත.

Loading