මාධ්‍යවේදීන් තිදෙනාට පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම කින්නියා පොලීසියෙන් වාර්තාවක් ඉල්ලයි.

2021 නොවැම්බර් 23 දින ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් පෙරලීමෙන් සිදු වූ අනතුර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් තිදෙනාට පහරදීම හා  මාධ්‍ය  වාර්තාකරණයට බාදා කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර හා ඉදිරියට ගැනීමට නියමිත පියවර පිළිබඳව මානව හිමිකම් කොමිසම වහාම සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස  කින්නියා පොලිස් ස්ථානයෙන් ඉල්ලා ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදිනය හා ඒ පිළිබඳව සිදු කළ මාධ්‍ය ආවරණයන් පදනම් කරගනිමින් නොවැම්බර් 26 දින ලිපියක් මගින් මානව හිමිකම් කොමිසම කින්නියා පොලිස් ස්ථානයේන් මෙම ඉල්ලීම කර තිබේ.

2021 දෙසැම්බර් 10 වන දිනට පෙර එම වර්තාව මානව හිමිකම් කොමිසම වෙත ලබා දෙන්නැයි  මානව හිමිකම් කොමිසම එයින් අවධාරණය කිර ඇත.

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් පෙරලීම නිසා සිදු වූ අනතුර වාර්තා කිරීමට එහි ගිය ලේක්හවුස් ආයතනයේ තිනකරන් පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරු අබ්දුල් සලාම් මොහොම්මදු යාසිම්ට පහර දුන් පිරිස ඔහුගේ වාර්තාකරණ දත්ත ඇතුළත් ස්මාර්ට් ජංගම දුරකථනය පැහැර ගෙන තිබූ අතර ඔහු මේ සම්බන්ධව අංක CIB (1) 10/291 යටතේ කින්නියා පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

මාධ්‍යවේදී යාසිම්ට පහර දෙන අවස්ථාවේ ශක්ති, නිව්ස් ෆස්ට් වාර්තාකරු එච්. එම්. හලාල්ඩීන්ට සහ තිනකරන් මාධ්‍යවේදී ඒ. එල්. එම්. රෆයිඩීන්ටද පහර දී වාර්තාකරණය අවහිර කර පලවා හැර තිබිණි.

Loading