වසරකට බිලියන 8ක් වන සේ වසර 20ක් තුළ ගස් වැවුවොත්, පෘථිවියට මොකද වෙන්නේ?
The conservation වෙබ් සඟරාවේ Curious Kids විශේෂාංගය වෙත මේ ප්‍රශ්නය යොමු කර ඇත්තේ ඉන්දියාවේ බිහාරයේ, නවාදා හී ශිවම් කේ. නමැති 14 හැවිරිදී ළමයෙකුයි. ළමයෙකු විසින් අසනු ලැබුවත් මේ ප්‍රශ්නය පෘථිවිය මත වෙසෙන ලොකු කුඩා අප කාටත් වැදගත් කාරණාවක්. අපට පිළිතුරු සපයන්නේ සැන්ටා කෲස් හි, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ප්‍රතිසාධන පරිසර විද්‍යා(Restoration Ecology) මහාචාර්ය කැරෙන් ඩී. හොල්(Karen D. Holl) ය.
දේශගුණ විපර්යාසය මන්දගාමී කිරීමට නම් මිලියන ගණන්, බිලියන ගණන් හෝ ට්‍රිලියන ගණන් පවා වශයෙන් වැඩි වැඩියෙන් ගස් සිටුවන්නැයී දේශපාලඥයෝ, රාජ්‍ය ආයතන, ප්‍රමුඛ ව්‍යාපරිකයන් ඇතුළු විවිධ අංශවල කීර්තිමත් පුද්ගලයෝ නිරතුරුව ආයාචනා කරති. වර්තමානයේ පෘථිවිය මත බිලියන 8කට ආසන්න ජනතාවක් ජීවත්වෙති. ඉතින් ආයාචනවලට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් හෝ එසේ නොමැතිව තම කැපවීම මත හෝ එක් පුද්ගයෙකු එක ගසක් ලෙස ඉදිරි වසර 20 තුල ගස් සිටුවූවහොත්, ඒ කියන්නේ දළ වශයෙන් ගස් බිලියන 160ක් අලුතෙන් එක් වන බවයි.
ගස් සිටුවීමේ මේ ආකාර දැවැන්ත ප්‍රයත්න සැබවින්ම දේශගුණ විපර්යාස මන්දගාමී කිරීමට දායක වේ ද?
ශාක සහ කාබන්
ගෝලීය උණුසුම්වීම කෙරෙහි බලපාන ප්‍රධාන වායුව වන්නේ කාබන් ඩයොක්සයිඩ්(CO2)ය. පෘථිවි වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ්, ප්‍රභාසංශ්ලේෂණය හරහා ගස් සහ අනෙකුත් ශාක මගින් කාබෝහයිඩ්‍රේට හැටියට පරිවර්තනය කරනු ලැබේ. ශාක මේ කාබෝහයිඩ්‍රේට, කඳන්, පත්‍ර සහ මුල් තැනීම සඳහා උපයෝගී කරගනු ලැබේ. ගසක ගබඩා කළ හැකි කාබන් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස්වේ. ශාක විශේෂය, එය වැඩෙන්නේ කොයිබද සහ එය කොපමණ වයස ද යන්න මත කාබන් ප්‍රමාණය රඳා පවතී.
සාමාන්‍ය ගසක් වසරකට කාබන් ඩයොක්සයිඩ් රාත්තල් 50ක් (වායුගෝලයෙන්) ලබා ගන්නවා යයි සිතමු. ඉතින්, පුද්ගලයෙකු සෑම වසරකම එක් ගස බැගින් වසර 20ක් තිස්සේ ගස් සිටවුවහොත් — ඒ වගේම ඒවා සියල්ල නොනැසී පැවතුණ හොත්(මෙය නම් සිදුවීමට ඇති ඉඩ බෙහෙවින් අඩු බව කිව යුතුය) — එම ගස් වීස්ස, වසරකට රාත්තල් 1,000ක් හෙවත් ටොන් බාගයක් පමණ කාබන් ඩයොක්සයිඩ් ලබාගනු ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය පුද්ගලයෙකු වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් 15.5 තරම් දැවැන්ත ප්‍රමාණයක් නිපදවනු ලබේ. මෙය ඉන්දියාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට අදාළව බැලුවොත් ටොන් 1.9කි. මෙයින් අදහස් වෙන්නේ කුමක් දැයි අපි සලකා බලමු: එක්සත් ජනපදයේ සෑම පුද්ගලයෙකුම සෑම වසරකම එක් ගස බැගින් වසර 20ක් තිස්සේ ගස් සිටවුවහොත් එම ගස් මුහුකුරා ගිය කල එම පුද්ගලයා වසරකට නිපදවන කාබන් ඩයොක්සයිඩ් වලින් පාඩු පිරිමැහෙන්නේ 3%ක් පමණකි; ඒත් එයම ඉන්දියාවේ පුද්ගලයෙකුට සම්බන්ධ කර බලන විට 26%ක් වෙයි.
අප සතුව ඇති ගහ කොළ රැකගැනීම
අපේ මේ පෘථිවිය මත ගස් ට්‍රිලියන 3ක් පමණ ඇත. මෙය මීට වසර 12,000කට පෙර මානව ශිෂ්ඨාචාරය ආරම්භයේ තිබුණු ගස් ප්‍රමාණයෙන් භාගයක් පමණය. ඇස්තමේන්තු කර තිබෙන් අන්දමට, මිනිස්සු වසරක් පාසා ගස් බිලියන 15ක් කපා දමති. මෙයින් ගස් බොහොමයක් නිවර්තන වනාන්තරවලය.; එසේ වුවත් අපෙ මේ ග්‍රහ ලෝකයේ පුරාම වනහරණය සිදුවෙයි.
පවතින වනාන්තර ආරක්ෂාකර ගැනීම ඥනවන්ත ක්‍රියාවකි. ඒවා ගස්වල සහ පසෙහි ඇති කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරනවා පමණක් නොව ඒවා සතුන්ට වාසස්ථාන ද සපයයි. එපමණක් ද? ගස්, ජනයාට දර මෙන්ම ඵලවැල ද ලබාදෙයි. නගර සහ පුරවර වල දී ඒවා සෙවන ලබාදෙන ස්ථාන පමණක් නොව විනෝදාස්වාදය සඳහා අවකාශ ද සපයයි.
එහෙත් ස්වභාවික තණ බිම් හෝ සවානා තණ බිම් වැනි කලින් ගස් නොවැවුණු තැන් වල ගස් වගා නොකළ යුතුය. මන්ද, මේ පරිසර පද්ධති, ඒවාට ආවේනික සතුන්ට සහ ශාකවලට වාසස්ථාන සපයනවා මෙන්ම, අවහිර බාධා කිරීමකින් තොරව ඒවා පවතින්නේ නම් දැනටමත් ඒවයේ කාබන් තැන්පත් වී තිබෙන්නට ද පුළුවනි.
තවත් කළ යුතු දේවල්
අප රුක් රෝපණය ගැන කතා කළාට, දේශගුණ විපර්යාස මන්දගාමී කිරීමට නම් ජනතාව ගස් සිටුවීමට අමතරව කළ යුතු තවත් බොහෝ දේ ඇත. සූර්ය සහ සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති මූලයන්(renewable energy sources) කෙරෙහි යොමුවෙමින් නැතහොත් සංක්‍රමණය වෙමින්, අපගේ කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායු විමෝචන ඉක්මණින් අඩු කර ගැනිමට අප සැවොම ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පැන නගී. එමෙන්ම ජනතාව රථ ධාවනය මෙන්ම ගුවන් ගමන් අඩු කර ගැනීමට මෙන්ම මාංශ අනුභවය පහත හෙළීමට ද ක්‍රියා කළ යුතුවේ(ධාන්‍ය සහ එළවළු වලට සම කරද්දී, සෑම කැලරි ඒකකයටම මාංශවල කාබන් පා සටහන වඩාත් විශාලය).
ව්‍යාපාරිකයන් වේවා, දේශපාලකයන් වේවා,රජයන්, වැඩිහිටියන් සහ ළමයින් පවා යන සියළු දෙනාම ෆොසිල ඉන්ධන විමෝචන අඩු කිරීම උදෙසා තමන්ට කළ හැකි සෑම දෙයක්ම ඉටුකිරීම වැදගත්ය. එක් තනි පුද්ගලයෙකු හැටියට මේ සුවිශාල ග්‍රහ ලෝකය රැක ගනු වස් ඉටු කළ හැකි කොටස කුමක් දැයි ඔබට විමතියක් දැනෙන්නට පුළුවන. එහෙත් වාසනාවකට මෙන් විකල්ප එමටය.
පරිසර සංරක්ෂණ ස්වේච්ඡා සංවිධාන සහ රජයේ ආයතන හා එක් වී ප්‍රදේශයේ සත්ව හා ශාක වාසස්ථාන ඇතුළු පරිසරය ප්‍රකෘතිමත් කිරීමට හා රැකගැනීමට කටයුතු කරන්න. ජීවන රටාව වෙනස් කිරීම, වාහන භාවිතය අඩු කිරීම ආදී නව විකල්ප ගැන පවුලක් වශයෙන් යම් සාධනීය ක්‍රියා මාර්ග ගැනීමට යොමුවෙන්න. එමෙන්ම, දේශිය මෙන්ම ගෝලිය වශයෙන් රුක් රැකීමට දරන ප්‍රයත්න වල දි පෙරමුණ ගැනිමට පසුබට නොවන්න.
සමහර අවස්ථාවල වෙනස්කම් ඇතිවන්නේ මන්දගාමීව බව ඇත්තකි; එහෙත් ජනතාව එක්ව ක්‍රියා කිරීමෙන් අවශ්‍ය වෙනස ඇති කළ හැකිය.
Curious Kids හී පලව ඇති How would planting 8 billion trees every year for 20 years affect Earth’s climate? යන ලිපිය ඇසුරෙනි
හිත මිතුරන් අතර බෙදා හරින්න