ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවිම වෙනුවෙන් 64 අවුරුද්දක් තිස්සේ ගහපු විසිල් දැන් ඇති. දැන් ඕන බල්ටි.
ඥානසිරි කොත්තිගොඩ
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය ජූලි 26 දා “සර්ව පාක්ෂික” නමින් සමුළුවක් පැවැත්වුවා. “සංහිඳියාව ඇති කිරීම සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳවත්, උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳවත්” පක්ෂ නායකයන් දැනුවත් කිරීම මෙම සමුළුවේ අරමුණ බව තමයි ප්‍රකාශයට පත් වුනේ. එකී අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සමුළුවේ මුඛ්‍ය තේමාව බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියල තිබුණ.
රනිල්ටත් මතක නැති හැටි!
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පමණක් කැඳවමින් කරපු මෙම සමුළුව “සර්ව පාක්ෂික සමුළුවක්” වෙන්නේ කොහොමද කියල පළමුවෙන්ම දැන ගන්න කැමතියි. පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ කීපයක්ම ඒකට ආවේත් නැහැ. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ තව කොපමණ එලියේ තිබෙනවද? ඒ කොයි අර්ථයෙන් ගත්තත් මේක “සර්ව පාක්ෂික සමුළුවක්” නෙමේ. තමන් ජනාධිපති වීමේ පාරෙන් බාගයක්ම කැපුනේ පාර්ලිමේන්තුවෙන් එළියේ කියලා රනිල්ටත් මතක නැති හැටි!
ලංකාවේ චපල, රැවටිලිකාරී, සිංහල, බෞද්ධ පාලකයන් “රාජ්‍ය අපරාධ පිළිබඳ සොයන්න කොමිසන්” පත්කළාට නොදෙවෙනි විදියට තමයි ජාතික ප්‍රශ්නය විසඳීමට කියලත් සමුළු කැඳවීම්, කොමිටි, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කිරීම් කරලා තිබෙන්නෙ. එවැනි පළමු ගිවිසුමේ සිට රනිල් ගේ “ජූලි 26 සර්ව පාක්ෂික සමුළුව” තිබුණු දවසට ජාතික ප්‍රශ්නය විසඳීමේ සාකච්ඡා, සමුළු, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා, ගිවිසුම්වලට හරියටම අවුරුදු 64 ක් සම්පූර්ණ වුණා. ඒ සියල්ල කා බී, විදේශ චාරිකාවලින්ද, තවත් නොයෙකුත් සුඛ විහරණයන්ගෙන්ද පිරී සතුටින් නිමා වුවත් ජාතික ප්‍රශ්නයට නම් තාම ප්‍රශ්නයක්.
1957 ජූලි 29 වෙනිදා තමයි එවකට අගමැති සැමුවෙල් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකත්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක සැමුවෙල් ජේම්ස් වේළුපිල්ලේ චෙල්වනායගමුත් දෙමළ ප්‍රදේශවලට බලය පැවැරීමේ පළමු ගිවිසුම අත්සන් කළේ. ඒ ගිවිසුම ඉරා දැමුවට පස්සෙ නැවත 1966 දී අගමැති ඩඩ්ලි සේනානායක හා චෙල්වනායගම් අතර දෙවැනි ගිවිසුම ඇතිවුණා. සිංහල – දෙමළ භාෂා දෙකටම සමතැන දෙන්න එකඟ වූ ඒ ගිවිසුමත් 68 දී අහෝසි කළා.
1984 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් “වට මේස සාකච්ඡාවක්” හා 1986 දී “දේශපාලන පක්ෂ සමුළුවක්” කැඳෙව්වා. 1985 දී ඉන්දියාවේ මැදිහත්වීම් යටතේ උතුරේ සටන්කාමී සංවිධාන ඇතුළු දෙමළ පක්ෂ සමඟ ජයවර්ධන රජය භූතානයේ තිම්පු අගනුවර දී සාකච්ඡා වට දෙකක් පැවැත්වුවා. 1989 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස එල්ටීටීඊ සංවිධානය එක්ක සාකච්ඡා කරළ “සර්ව පාක්ෂික සමුළුවක්” කැඳෙව්වා.
1994 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විමුක්ති කොටි සංවිධානය එක්ක සාකච්ඡා පැවැත්වූවා . එහි දිගුවක් ලෙස 1997 දී චන්ද්‍රිකා පත්කළ “පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව” සාකච්ඡා වාර ගණනක් පැවැත්වුවා. 2002 දී චන්ද්‍රිකා ජනාධිපති යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ එල්ටීටීඊ සංවිධානය සමඟ ෆෙඩරල් එකඟතාවක් ඇතිකර ගත්තා.
සාකච්ඡා හැටහුටහමාරක්
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගිනස් වාර්තා තබමින් ජාතික ප්‍රශ්නය විසඳීමට 2006 සිට 2008 දක්වා “සර්ව පාක්ෂික නියෝජිත කමිටු” හරහා සාකච්ඡා හැටහුටහමාරක් පවත්වල තිබෙනව. 2016 දී “යහපාලන ආණ්ඩුවේ” අගමැති රනිල් ජාතික ප්‍රශ්ණය විසඳීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන් නැවත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කළා. ඉන්පසු 2022 ජනාධිපති වූ රනිල් පාරම්බෑවේ 2023 පෙබරවාරි 04 වෙනිදාට පෙර ජාතික ප්‍රශ්ණයට විසඳුමක් දෙනව කියල. එදා සිට මේ දක්වා විවිධ කතා කියමින් සිටි රනිල් ජූලි 26 දා දඩිබිඩි සමුළුවක් කැඳෙව්වා.
ආඬි හත්දෙනාගේ කැඳ හැළිය
ආඬි හත්දෙනාගේ කැඳ හැළිය බවට මේ සමුළුව පත්වීම ගැන ජනාධිපතිට පක්ෂ මාධ්‍ය, ලියනප්පුල, ලිබරල්ලු, වාම ලිබරල්ලු බරපතල ලෙස චෝදනා කරන්නේ දෙමළ ජාතික සංධානයට හා දෙමළ පක්ෂවලට. ඒ අතරිනුත් වැඩිපුර චෝදනා එල්ල වෙන්නේ සුමන්තිරන් මන්ත්‍රීවරයාට. ඊට අමතරව සමඟි ජන බලවේගය, (සජබ) විරුද්ධ පක්ෂ හා කණ්ඩායමවලට. ජනාධිපතිවරයා ජාතික ප්‍රශ්නය විසඳීමට සද්භාවයෙන් මැදිහත් වුවත් දෙමළ හා සිංහල පක්ෂ ඉතාමත් කෛරාටික ලෙස ප්‍රශ්නය මඟහැර ගියා කියල. ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමුළුව වර්ජනය කළා.
සුමන්තිරන් ජනාධිපති රනිල්ට යෝජනා කළේ පළාත් සභා චන්දය පවත්වන ගමන්ම ඒවාට ලබා දෙන බලය පිළිබඳ සාකාච්ඡාව කරගෙන යමු කියල. එහෙම කියපු ගමන් රනිල්ට තද වුනේ සමහරුන්ට අම්ම මතක් කරළ බැන්න ගානට. ” මේ දෙකම කරන්න බෑ. දෙකෙන් එකක් තෝර ගන්න. බැරිනම් පාර්ළිමේන්තුවේ යෝජනාවක් ගෙනල්ල 13 අහෝසි කරන්න. මට බලයක් නෑ. මට තියෙන්නෙ එක චන්දයයි”. සුමන්තිරන්ගෙ යෝජනාවට මෙහෙම තමයි ජනාධිපති රනිල් දෙසාගෙන, දෙසාගෙන ගියේ.
සර්ව පාක්ෂික අටමගලයක්
පොත් 5,000 කටත් වඩා කියවල තියෙනවය කියන, මොළ නැවක් කියන රනිල්ට තිබුණේ තමන් කැඳවපු සභාව තුළ මීට වඩා පරිණත විදියට හැසිරෙන්න. සුමන්තිරන්ගෙ යෝජනාවට පරල වෙන්නේ නැතිව චන්දය පැවැත්වීමයි, බලතල බෙදා දීම පිළිබඳ සාකච්ඡාවයි දෙකම එකවර ගෙනියන්න බැරිනම් ඒ ඇයි කියල සභාවට කරුණු ඉදිරිපත් කරන්න. ඒකෙ තිබෙන තාක්ෂණික ගැටළු පෙන්වා දෙන්න. සුමන්තිරන්ව බ්ලාස් කරළ මුළු සභාවම තමන්ගේ අතට ගන්න. එහෙම එළැඹි සිහියෙන් වැඩ කරන්න බැරි වුනේ සමුළුව තිබ්බේ රනිල්ගේ වෙනත් කූඨ ව්‍යාපෘතියකට කියලයි හිතන්න වෙන්නෙ. සුමන්තිරන්ගේ යෝජනාවෙන් ඒ ෆැන්ටසිය බිඳ වැටුනා. සමහරක් විට සර්ව පාක්ෂික කියල මොකක් හෝ අටමගලයක් අටවලා ඉංදීය අගමැති නරේන්ද්‍ර මෝදිට වෙච්චි භාරයක් ඔප්පු කළා වෙන්නත් පුළුවන්.
එහෙම නොවේනම් ජනාධිපති රනිල් හෝ එයාගේ ගෝලබාලයෝ කියන්න ඕන පළාත් සභා චන්දය පවත්වන අතරේ ලබා දෙන්නා වූ බලතල පිළිබඳ සාකච්ඡාව පවත්වාගෙන යන්නට බැරි ඇයි කියල. තමන්ගේ වරදට අල්ලපු ගෙදර එකාට බැන අඬගහල වැඩක් නෑ.
පළාත් සභා චන්දය ක්ෂණිකව පවත්වන්නට බැරි නීතිමය කාරණා ගණනාවක් නම් තියෙනව. “ජාතික ප්‍රශ්ණය විසඳන්න මගේ කාලයේත් ගොඩක් උත්සාහ ගත්තා” යි කටමැත දොඩවන “යහපාලන” ජනාධිපති සිරිසේනත්, පළාත් සභාවන්ට බලතලදීමේ ඉස්මුරුත්තාවෙන් පෙළෙන “යහපාලනේ” හිටපු අගමැති රනිලුත් තමයි ඒ නීතිමය බැරියර් දැම්මේ. කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර ක්‍රමයත්, කාන්තා නියෝජනයත් ඇතුළත්ව පළාත් සභා පනත සංශෝධනය කරන්න ඕන කියල දාපු නිසා තමයි 2017 සිට අද දක්වා පළාත් සභා චන්දය පවත්වන්න බැරිවෙලා තියෙන්නෙ.
සිරිසේන – රනිල් ජෝඩුවේ “යහපාලන” තීන්දු
සිරිසේන – රනිල් ජෝඩුවේ ඉහත කී “යහපාලන” තීන්දු නිසා දැනට පවතින පළාත් සභා පනත යටතේ චන්දය පවත්වනවානම් අලුත් සීමා නිර්ණයක් කරන්න ඕන. නමුත් එහෙම කරන ඡායාවක්වත් පෙනෙනතෙක් මානයක නැහැ. කරනවානම් ඒක කෙටි කාලීන බොහොම පහසු වැඩක්.
එහෙම බැලුවම ජනාධිපති රනිල් යෝජනා කරන පළාත් සභාවන්ට බලතල දීම, පළාත් සභා චන්දය පවත්වනවාට වඩා දිගු ක්‍රියාවලියක්. රනිල් කිව්වට පොලිස් ආඥා පනත විතරක් නෙමේ ඉඩම් කොමිසමක් පත් කිරීම ඇතුළු තව අණ පනත් ගණනාවක් සංශෝධනය කරන්න වෙනව. ඉන් පස්සෙ ඒවා නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න ඕන. එතනින් පස්සෙ තමයි පාර්ලිමේන්තුවට එන්නෙ. ඊට පස්සෙ කතානායක විසින් ඒ නව නීතී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද, නැද්ද බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්න ඕන.
ඒවාට විරුද්ධ කෙනකුට ඊට පස්සෙ උසාවි යන්නත් පුළුවන්. මේවා ඔක්කොම ඉවරවෙන කොට සමහරක්විට 2045 ඉවර වෙන්නත් පුළුවන්. ජාතික ප්‍රශ්නයට විසඳුමක් ගෙනා හැම මොහොතකම තමන් ඇතුළු විරුද්ධ පක්ෂ වැඩ කළේ කොහොමද කියල නොදන්න තොත්ත බබෙක් නෙමේනෙ රනිල්.
නිල්, කොළ, රතු එක මතයකට ආවේ වර්ග සංහාර යුද්ධයේදී විතරයි
නිල්, කොළ, රතු කිසිදු බේදයකින් තොරව එක මතයකට ආවේ වර්ග සංහාර යුද්ධයේදී විතරයි. ජනතා විමුක්ති පෙරමුණ “බර අවි බලකාය” වෙමින් “රණවිරුවන්ට” බංකර් කපන්න, මානෙල් මල් බෙදන්න, රේල් පාරවල් හදන්න ගියා. රනිල් තම නියෝජ්‍ය නායක කරූ ජයසූරිය ඇතුළු 19 දෙනෙක් මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්න යැව්ව. අනෙක් රතු පප්පල ටිකත් “මානුෂික මෙහෙයුම” කියමින් ගාට ගාටා මුල්ලෙවෛයිකාල් දක්වා ගියා.
පළාත් සභා පනත ආවේ 1987 ජේ. ආර්. ජනාධිපති සහ ඉංදීය අගමැති රජීව් ගාන්ධි අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම බලාත්මක කිරීමට කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ. එතකොට ඒක දැන් රටේ පිළිගත් නීතියක්. අවශ්‍ය වන්නේ ඒ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණ පිහිටුවීම විතරයි. ඒ යාන්ත්‍රණ පත් කිරීමේ බලතල තිබෙන්නේ ජනාධිපතිට. දැන් ඉතිං තියෙන්නේ කරන්න මිසක් අහන්න නෙවෙයි. බෙදන්න මිසක් තවත් බදන් ඉන්න නෙවෙයි.
ජනාධිපති අවසර ගන්න ඕන නැහැ.
ව්‍යවස්ථාවෙන් තමන්වෙත පැවරුනු බලතල ක්‍රියාත්මක කරලා පළාත් සභාවන්ට ඉඩම්, පොලිස් ඇතුළු අදාල සියලු බලතල දෙනව මිසක ආයෙ කාගෙන්වත් ජනාධිපති අවසර ගන්න ඕන නැහැ. රෙජිස්ටාර් ඉදියේ දිවුරුම් දීල අත්සන් කරාට පස්සෙ මනමාලී කැන්දන් යන්නද කියල ආපහු නෑදෑයන්ගෙන් අහන සිරිතක් නැහැනෙ. බලතල ලබාදීම සඳහා වූ යාන්ත්‍රණ පිහිටුවනවානම්, බලතල දෙනවනම් එදාට බලමු කවුද විරුද්ධ වෙන්නේ කියල.
87 දී පාර්ලිමේන්තුවේ හිටපු ශ්‍රීලනිපයි, කැලේ හිටපු ජවිපෙයි ඔක්කොම “දේශප්‍රේමී” නඩය හිටියේ අබ්බගාත බලයක් හරි දෙමළ ජනතාවට දෙන පළාත් සභාවට විරුද්ධව. ඒ පළාත් සභාව රැකගැනීම වෙනුවෙන් දකුණේ හිටියේ එක්සත් සමාජවාදී පෙරමුණේ නායකත්වයෙන් යුත් වාමාංශික බලවේග විතරයි. දෙමළ විරෝධී “දේශප්‍රේමී” ජවිපෙ ඒ බලවේගයට ගිනි බින්දා. යු ඇන් පී ආණ්ඩුව ජවිපෙ සටන්කාමීන් ටයර් සෑයේ අලු කළා. එක පැත්තකින් ජාතිවාදීන්ට එරෙහිව දෙමළ අයිතිය වෙනුවෙන් සටන් වදින්නටත්, අනික් පැත්තෙන් රාජ්‍ය ත්‍රස්තයෙන් බැටකන තරුණ කැරලිකාරීන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නටත් හැකියාවක් තිබුනේ වමට විතරයි.
අදත් “දේශප්‍රේමී” රතු කමිස කාරයන් ඉන්නේ එදා වගේම දෙමළාට අයිතිය නොදීමට. සිංහලයට වගේ පැට්රල් ගැලුමක්, ගෑස් ටැංකියක් දීලා නලවා ගන්න.
පළාත් සභා කියන්නේ ජාතික ප්‍රශ්නයට සිංහල බෞද්ධ පාලකයන් හා ඉංදියාව දෙමළ ජනතාව මත බලෙන් පටවපු එකක් මිස ඔවුන් කිසි දිනක කර ඇති යෝජනාවක් නෙමේ. ඔවුන් පැහැදිලිවම යෝජනා කරන්නේ නොබෙදුනු රටක ඒකාබද්ධ උතුරු නැගෙනහිරට පෙඩරල් පාලනයක්.
එහෙව් එකේ පක්ෂවලින් ආයෙ ආයෙමත් විමසමින් සමුළු පවත්වමින් යනව නම් ඒ කරන්නේ දේශපාලන බල සූදුවක්. මොකද 83 ජූලි සංහාරය අනුස්මරණය කරමින් පසුගියදා බොරැල්ල කනත්ත ඉදිරිපිට තිබුණු විරෝධයට පොලිසියේ අනුග්‍රහයෙන් කළ ජාතිවාදී කඩා කප්පල් කිරීම අපි හොඳටම දැක්ක. රනිල් වික්‍රමසිංහ ඇමැතිකම් දරපු ආණ්ඩුවකින් 40 අවුරුද්දකට උඩදී කොළඹ දෙමළ සංහාරය පටන්ගත්තෙත් ඔය කනත්තෙන්ම කියලත් මතක් කරගත්තොත් හොඳා.
ජාතිවාදී බලවේග අවුස්සල පාරට ගන්න එක රනිල්ගේ උපායද?
එහෙම බලද්දී බලය බෙදීමේ කතා ආරම්භ කරල ජාතිවාදී බලවේග අවුස්සල පාරට ගන්න එක රනිල්ගේ උපායද කියලා හිතෙන එක වැරදි නෑ. ඒ බලවේග මඬින්න කියල හමුදාව පොලිසිය කැඳවමින් පෙලපාලි, රැස්වීම් උද්ඝෝෂණ තහනම් කරන්න පුළුවන්. නව මර්දන නීති සම්මත කරගනීවි. ලේ ගංගාවකින් හමාර කරපු යුද්ධයට කරගහපු “වමේ” බහුතරයත් එක්කම ජාතිවාදි විරෝධී වෘත්තීය සමිති ව්‍යාපාරය මේ වෙලාවේ සිංහල රැල්ලේ ගහගෙන ගිහින් තියෙන්නෙ. සමහරු අලියා බෝට්ටුවේ නැගලා. ජාතිවාදී මැරයන්ට හෝ රාජ්‍ය ත්‍රස්තයට හෝ මුහුණ දෙන්න පුළුවන් බලවේගයක් පේන තෙක් මානයක නෑ. ඒ නිසාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරද්දී නැගෙන වෘත්තීය සමිති විරෝධයත් ජාතිවාදී ගොඩටම දාල, හමුදා-පොලිස් බලමුළු යොදවා තලා දමන එක රනිල්ට ඒ හැටි කජ්ජක් නෙවෙයි.
එහෙම නොකර ජනාධිපති රනිල්ට ඕනනම් “ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීම ඊළඟ පරම්පරාවට භාර නොදී” අවසන් කරන්නත් පුළුවන්. එවිට ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිවිල් සමාජ නායකයන්ට කිව්වා වගේ වසරක් පාසා ජිනීවා විත්ති කූඩුවට නැගීමත් ඉවරයි. එහි ආරම්භයක් විදියට පළාත් සභා චන්දය පවත්වල, අවුරුදු තිස් හයක් තිස්සේ නීති විරෝධීව ජනාධිපති මුක්තියෙන් රඳවාගෙන සිටින පළාත් සභාවල පූර්ණ බලතල දීල කිව්ව දේ කළ ජනාධිපති කෙනෙක් විදියට ගොඩ යන්නත් පුළුවන්.
මෙයින් තෝරා ගන්නේ කුමන මාවතද කියල තීන්දු ගතහැකි එකම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහම පමණයි. ඒ මොනව වුනත් ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවිම වෙනුවෙන් 64 අවුරුද්දක් තිස්සේ ගහපු විසිල් දැන් ඇති. දැන් ඕන බල්ටි.
-ඥානසිරි කොත්තිගොඩ