By Raju Prabath Lankaloka
මාක්ස්වාදය නොහොත් විද්‍යාත්මක සමාජවාදය යනු කාල් මාක්ස් (1818-1883) සහ ෆ්රෙඩ්රික් එංගල්ස් (1820-1895) විසින් ප්‍රථම වරට සකස් කරන ලද අදහස් සමූහයට ලබා දුන් නමයි. ඔවුන්ගේ මෙම අදහස් එකතුව විසින්, මානව සමාජය වඩා ඉහළ අවධියක් – සමාජවාදය – කරා ගෙන යාම වෙනුවෙන් වන කම්කරු පංතික අරගලයට සම්පූර්ණ හා සාදා නිමකළ පදනමක් සපයා ඇත.
මාක්ස්වාදයේ සංකල්ප පසුකාලීනව කම්කරු පන්තියේම ඓතිහාසික අත්දැකීම් මගින් වර්ධනය කර පොහොසත් කර ඇති නමුදු, අද කම්කරු පන්තියට ස්ථිර පදනමක් සපයමින් ඔවුන් ඉදිරිපත් කළ මූලධර්ම මේ දක්වාම නොසැලී පවතී. සමාජ ගාමනය සහ එම ගාමනය තුළ කම්කරු පන්තියේ භූමිකාව වඩාත් හොඳින්, යථාර්ථවාදී හෝ විද්‍යාත්මක ලෙසින් පැහැදිලි කළ වෙනත් අයෙකු මාක්ස් සහ එංගල්ස්ගේ කාලයට පෙර හෝ පසු නොවීය. එබැවින් මාක්ස්වාදී දැනුම විසින් සමාජය සමාජවාදී පරිවර්තනයක් කරා ගෙන යාමේ ඓතිහාසික කාර්යය වෙනුවෙන් නිර්ධන පංතිය න්‍යායාත්මකව සන්නද්ධ කරයි.
ආගමික පූජකවරුන්ගේ සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දක්වා, පවත්නා සමාජ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින සියළුම ආකාරයේ ආරක්ෂකයන් විසින්ම මාක්ස්වාදයේ සියලුම අංශ වෙත එල්ල කරන නිරන්තර හා කටුක ප්රහාරයන් පෙන්වා සිටින්නේ මෙම කරුණයි. ඉතාම දරුණු ලෙස එල්ල කරන මෙම ප්‍රහාරවලින්ම අපට කරුණු දෙකක් නිගමනය කළ හැකිය. පළමුවෙන්ම, ධනවාදයේ ආරක්ෂකයින් තම ක්‍රමයට ඇති භයානකම අභියෝගය මාක්ස්වාදය ලෙස හඳුනාගෙන තිබීමත්, එය “නිෂ්ප්‍රභ කිරීමට” ඔවුන් දරන සියලු උත්සාහයන් නොතකා, එය විසින් මෙම ක්‍රමය පිලිබඳ සත්‍යය එලෙසින්ම කියා තිබීමත්ය. දෙවනුව, අවමන් කිරීම්, වංචනික “නිරාවරනයන්” සහ අමූලික විකෘති කිරීම් යටතේ වැනසී යනු වෙනුවට, මාක්ස් සහ එංගල්ස්ගේ න්‍යායන් ක්‍රමානුකූලව, කම්කරුවන් සංඛ්‍යාත්මකව වර්ධනය වීමත් සමඟ, විශේෂයෙන්ම ධනවාදය විසින් අතිකරන අර්බුදවල බලපෑම හමුවේ, සවිඥානිකව තම ඉරණම වෙනස් කිරීම වෙනුවෙන්, තම ජීවිත හැඩගස්වන බලවේගවල සැබෑ අර්ථය සොයා ගැනීමට උත්සාහ කරන කම්කරු පන්තියේ ක්‍රියාකාරී ස්ථරයන් තුළ, ක්‍රමානුකූලව හා ස්ථිරසාරව තහවුරු වෙමින් පවතින බවයි.
මාක්ස්වාදී න්‍යායන් විසින් සිතීමට හැකි කම්කරුවාට ලබාදෙන අවබෝධය කෙබඳුද යත් එය ඔහුට – සමාජය තුළ සිදුවන, ආර්ථික විද්‍යාව, පන්ති අරගලය, දේශපාලනය හා බැඳි සංකීර්ණ ක්‍රියාවලීන් නිසා හටගන්නා ව්‍යාකූල සිදුවීම් සහිත සංකීර්ණ උමං මාර්ගයෙන් ඔහුව නිවරැදිව මෙහෙයවීමට සමත් නූලක් මෙන් ක්‍රියා කරයි. මෙම මෙවලමෙන් සන්නද්ධව, කම්කරුවාට තමා සහ තම පන්තියේ දියුණුව සඳහා ඇති ප්රබලතම බාධකය වන නොසැළකිල්ල සමඟ තදින් බැඳ දමා ඇති ගැටය කපා ගත හැකිය.
පාලක පන්තිය විසින් කුලියට ගත් නියෝජිතයන් ලවා කම්කරු පන්තිය ඉදිරියේ මාක්ස්වාදය අපකීර්තියට පත් කිරීමට හැකි උපරිම ශක්තියෙන් කටයුතු කරන්නේ ඉහත කී ගැටය ස්ථිරව තබා ගැනීමටය. වැඩකරන ජනතාව විසින් සමාජය අත්පත් කර ගැනීම සඳහා වන අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසියක් ලෙස මාක්ස් සහ එංගල්ස්ගේ න්‍යායන් තමා විසින්ම ජය ගැනීම සෑම බැරෑරුම් කම්කරුවෙකුගේම යුතුකමකි.
සූරාකෑම සිදු කරන ඕනෑම පන්තියක් විසින් ඒවා සමාජ සංවර්ධනයේ ඉහළම, ස්වභාවික ස්වරූපය ලෙස හුවා දක්වමින, සූරාකෑමේ ක්‍රමය හිතාමතාම වසන් කිරීම වෙනුවෙන් සත්‍යය වසන් කරමින් සහ විකෘති කරමින් තම පාලනය සදාචාරාත්මකව සාධාරණීකරණය කිරීමට උත්සාහ දරයි. වර්තමාන ධනේශ්වර පන්තිය, ඔවුන්ගේ වෘත්තීය කුලීකරුවන් හා හෙන්චයියන් හරහා, සමාජය තුළ ඔවුන්ගේ පාලනය සාධාරණීකරණය කිරීම වෙනුවෙන් සම්පූර්ණ ලෙසින් නව දර්ශනයක් සහ සදාචාරයක් වර්ධනය කර ඇත.
ඊට පටහැනිව, භෞතිකව කම්කරු පන්තියට සත්‍යය විකෘති කිරීමේ වුවමනවක් නැති අතර, තම විමුක්තිය වෙනුවෙන් දැනුවත්ව සූදානම් වීම සඳහා ධනපති ක්රමයේ යථාර්ථයන් හෙළිදරව් කිරීමේ කර්තව්‍යයට මුහුණ දී සිටී. තමන් වෙනුවෙන් විශේෂ ස්ථානයක් ලබා ගැනීම වෙනුවට, කම්කරු පන්තිය හමුවේ ඇත්තේ ධනවාදය සහ ඒ සමග සියලුම පන්තිමය වෙනස්කම් සහ වරප්‍රසාද අහෝසි කිරීමේ අරමුනයි. එසේ කිරීමට නම් ඔවුන් ධනපතියන් විසින් ගෙනහැර දක්වන කරුණු ප්‍රතික්ෂේප කළ යුතු අතර ඒ වෙනුවෙන් ඔවුන් මාක්ස්වාදී අවබෝධය ලබා ගැනීම කරා යොමු විය යුතුය.
මාක්ස්වාදී විධික්රමය විසින් සමාජය සහ පොදුවේ ජීවිතය පිළිබඳ වඩා පොහොසත්, පූර්ණ හා වඩා පුළුල් දැක්මක් සපයන අතර මානව හා සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් ඇතිකොට ඇති අද්භූත භාවයේ කඩතුරාව ඉවත් කර දමයි. මාක්ස්වාදී දර්ශනයට අනුව ඉතිහාසයේ ගාමක බලවේගය වන්නේ “විශිෂ්ඨ” හෝ සුපිරි ස්වභාවික නොවන පුද්ගලයින් නොව නිෂ්පාදන බලවේගවල (කර්මාන්තය, විද්‍යාව, තාක්ෂණය යනාදිය) වර්ධනයයි. අවසාන විග්රහයේ දී මිනිසාගේ ජීවන තත්වයන්, සිරිත් විරිත් සහ විඥානය තීරණය කරන්නේ ආර්ථික තත්ත්වයන් විසිනි.
සමාජයේ සිදුවූ සෑම නව ප්රතිසංවිධානයක්ම – එය වහල් ක්‍රමය, වැඩවසම් ක්‍රමය හෝ ධනපති ක්‍රමය වේවා – නිෂ්පාදන බලවේගවල දැවැන්ත වර්ධනයක් ඇති කරන ලද අතර එමඟින් මිනිසුන් හට ස්වභාවධර්මය කෙරෙහි වැඩි පාලනයක් ලබා දෙයි. සමාජ ක්‍රමයකට මෙම නිෂ්පාදන බලවේග තව දුරටත් වර්ධනය කිරීමට නොහැකි බව ඔප්පු වූ වහාම එම සමාජය විප්ලවයේ යුගයකට අවතීර්ණ වේ. කෙසේ වෙතත්, ධනවාදයේ සිට සමාජවාදය දක්වා වෙනස් වීම සම්බන්ධ, ක්‍රියාවලිය ස්වයංක්‍රීය එකක් නොවන අතර ඉතිහාසය තුළ මෙම කර්තව්‍යය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කම්කරු පන්තියේ සවිඥානික මැදිහත්වීමක් අවශ්‍ය කරයි. දිගු කාලයක් එසේ කිරීමට අපොහොසත් වීම විසින් ප්රතිගාමීත්වයේ නැඟීමටත් සහ අවසානයේ ලෝක යුද්ධ සඳහාත් මග පාදයි.
ධනපති ක්‍රමය නැවත නැවතත් කලින් කලට ඇතිවන ගෝලීය ආර්ථික අර්බුද කරා ගමන් කරන අතර එහි ප්‍රතිඵලය වන්නේ කර්මාන්තශාලා වැසී යාමටත් මහා පරිමාණයෙන් විරැකියාව ඇති වීමටත් මඟ පෑදීමයි. ධනේශ්වර අර්ථශාස්ත්රඥයින්ගේ වැරදි න්‍යායන් හට අවපාතයන් වැලැක්වීමට මුලුමනින්ම නොහැකි බව ඔප්පු කර ඇති අතර, ඒවා විසින් කලක් ක්‍රියාත්මක වූ කේන්සියානුවාදය අතහැර දමා මුල්යවාදයේ පැරණි ක්‍රියාමාර්ග යලි අනුගමනය කිරීමට පාලක පන්තිය තල්ලු කර ඇත. තත්වය ගලවා ගන්නවා වෙනුවට මෙම වැඩපිළිවෙල විසින් අර්බුදය තවත් ගැඹුරු කිරීමත් දිගු කිරීමත් පමණක් සිදු කර ඇත!
වරින් වර පැමිණෙන වාර අර්බුද හා අවපාතයන් ඇති කරන ධනවාදය තුළ ඇති ප්රතිවිරෝධතා හෙළිදරව් කිරීමට හැකි වී ඇත්තේ මාක්ස්වාදයට පමණි. ධනවාදයට තව දුරටත් සමාජයේ නිෂ්පාදන බලවේග සංවර්ධනය කිරීමට ඇති හැකියාව මේ වනවිට සම්පූර්ණයෙන් වියැකී ගොස්ය. ජාතික රාජ්‍ය හා පුද්ගලික අයිතිය යන සීමාවන් තුළ දැඩි ලෙස හිරවී සිටින මෙම ක්‍රමයට මේ වනවිට කළ හැක්කේ, අධි නිෂ්පාදනය හමුවේ නිෂ්පාදන බලවේග හා ප්රාග්ධනය ක්‍රමානුකූලව විනාශ කිරීම පමණි.
මාක්ස් විසින්ම පැහැදිලි කළ පරිදි: “මෙම අර්බුදවලදී ඊට කලින් හැම වකවානුවකදීම අමන ක්‍රියාවක් සේ පෙනී යා හැකි සාමාජීය වසංගතයක් වූ අධි නිෂ්පාදනය නමැති වසංගතය දසත පැතිර යයි.” (මාක්ස් සහ එංගල්ස්, කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය)
“හිටිහැටියේ සමාජය ම්ලේච්ඡත්වය කරා ආපසු ඇද වැටුණු සැටියක් දැනෙයි. දුර්භික්ෂයක්, විනාශකාරී යුද්ධයක් විසින් සමස්ත ලෝකයේ ජීවත්වීමේ මාධ්‍යයන් සියල්ල කපා දැමූ කලෙක මෙන් සමාජයට දැනේ. කර්මාන්තය සහ වෙළඳාම විනාශ වී ගියා සේ දැනෙයි කුමක් නිසාද උවමනාවට වඩා වැඩි ශිෂ්ටත්වයක් සමාජයට ඇති නිසාය. අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් ජීවන මාධ්‍යයන් තිබෙන නිසාය. උවමනාවට වඩා වැඩි කර්මාන්තයක් සහ වෙළඳාමක් සමාජය සතු නිසාය. නිෂ්පාදන බලවේගයන් සමාජයට රිසි පරිදි පාවිච්චි කිරීමටත්, වර්ධනය කිරීමටත්, ධනපති දේපල සබඳතාවයන් තවදුරටත් ඉඩ නොදෙයි. එහෙත් නිශ්පාදන බලවේග ඒවායේ සංවර්ධනයට බාධා කරන ධනපති දේපළ සබඳතාවලට වඩා බලවත් වන අතර එම තත්ත්වය විසින් සමස්ත ධනපති දේපළ සබඳතාවලට විනාශය අත්කර දෙමින් සමස්ත ධනපති ක්‍රමය අර්බුදයක් කරා ඇද දමයි.”
ඔවුන් තව දුරටත් දක්වා ඇත්තේ මෙසේය
“ධනපති පන්තියේ පැවැත්මට සහ එහි ආධිපත්‍යයට අවශ්‍ය කොන්දේසිය නම් පුද්ගලයින් කීප දෙනෙකු අතර ධනය ඒකරාශී වීමත්, ප්රාග්ධනය සම්පාදනයවීම සහ එහි වැඩි වීමත්ය. ප්රාග්ධනය පැවැත්මේ කොන්දේසිය නම් වැටුප් ශ්රමයය. වැටුප් ශ්‍රමය මුළුමනින්ම රඳා පවතින්නේ කම්කරුවන් අතර පවතින තරඟය මතය. ධනපති පන්තිය විසින් අනිච්ඡානුගතව වර්ධනය කරන කර්මාන්තයේ ප්රගමනය විසින් කම්කරුවන් අතර වන තරඟයෙන් පැන නඟින අසමඟිය වෙනුවට ඔවුන්ගේ සංවිධානගත වීම තුළින් පැන නඟින විප්ලවීය සමගියක් ඇතිකරලයි. එබැවින් සමකාලීන මහා කර්මාන්තයේ සංවර්ධනය විසින් ධනපති පංතිය නිෂ්පාදනය කරන හුවමාරු භාණ්ඩ නිෂ්පාදන විධියේ පදනම වන අත්තිවාරම එහි මුලින්ම හාරා දමයි. එබැවින් ධනපති පන්තිය හැමදේටම වැඩියෙන් නිපදවන්නේ තම මිනී වලවල් හාරන්නන්ය. ධනපති පංතියේ වැටීමත්, නිර්ධන පන්තියේ ජයග්‍රහණයත් එකසේ නොවැළැක්විය හැකිය.”