සර්ප රාජාලියා / Crested Serpent Eagle

ජගත් ගුණවර්ධන විසිනි

මේ කුඩා සහ ස්ථුල  ශරීරයක් සහිත රාජාලියාගේ හිසේ පසුපස තිබෙන කෙටි සහ ඝනව වැඩුනු සිලුවත්,මුහුනේ සහ හොටයේ මුල තිබෙන ලාක්ශනික තද කහපාට සම් කොටසත් මගින් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වේ.

ශරීරය මුලුමනින් දුඹුරු පාටින් සහ ඒ මත සුදු තිත් සහිතවත් දැකිය හැක​.ශරීරයේ උඩ කොටස ඉතා තද දුඹුරු පාටකි.පියාසරියේදී පහල සිට බලන කල පියාපත් වල දාරයට පසුපසින් දිවෙන පලල් අඛන්ඩ සුදු දාරය මේ පක්ශියා පියඹන විට ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට ඉවහල් වේ.මෙම පක්ශියාගේ පාදවල පහල කොටස ඉතා ප්‍රකටව පෙනෙන කොරපොතු වලින් ආවරනය වී තිබේ. කෙටි සහ වක්වූ හොටයේ උඩ කොටසේ අග්‍රය පහලට් යොමුවී තිබේ.

සාමාන්‍යයෙන් තනිව හෝ යුගල ලෙස හමුවේ.යුගලක් එකිනෙකා සමඟ සබඳතාවය තබා ගැනීම පිනිස පියඹන අතරතුර තියුනු සහ කොටස් තුනකින් යුතු නාදයක් සිදු කරයි.උනුසුම් වාත ධාරාවල ආධාරයෙන් ඉහලට පාවෙමින් පියාසර කිරීමේද යෙදෙන්නෙකි.

සර්ප රාජාලියාට එම නාමය ලැබී තිබෙන්නේ පොලොව මත සිටින සර්පයන් දඩයම් කිරීමේ චර්‍යාව නිසාය​.සර්පයන් පාදවලින් ඩැහැ ගෙන හොටයේ ආධාරයෙන් කඩාගෙන ආහාරයට ගනී.මීට අමතරව විවිධ කුඩා සතුන්වත් ගොදුරු කර ගනී.

ශ්‍රී ලංකාවේ සියලු කලාපවල හමුවේ.

අතීතයේ හමුවුනු ප්‍රදේශ සහ සංඛ්‍යාවන් සලකා බලන කල පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කලත්,තවමත් තර්ජිත තත්වයට පත්ව නැති ලෙස සැලකේ.

Loading