දුර්ලභ රත් උණහපුළුවා ඇතුළු සත්ව විශේෂ 220ක් සඳහා නිජබිම වූ දියගම වනාන්තරය රැක ගනිමු..!!

කොළඹ නගරයට ඉතා ආසන්නව පිහිටා ඇති දියගම වනාන්තරය මේ වන විට හඳුනාගත් ශාක විශේෂ 103ක්, උරග විශේෂ 29ක්, උභය ජීවී විශේෂ 10ක්, සමනල විශේෂ 60ක්, පක්ෂී විශේෂ 90ක් සහ ශ්‍රී ලංකාවට ආවේණික, දුර්ලභ සත්ත්වයෙකු වන රත් උණහපුළුවා (Red Slender Loris) ඇතුළු ක්ෂීරපායී විශේෂ 20ක් සඳහා නිජබිමක් වූ ජෛව විවිධත්වයෙන් පොහොසත්, සුවිශේෂී පාරිසරික කලාපයකි. එබැවින් දියගම වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් බවට පත්කොට එහි පැවැත්ම තහවුරු කරන ලෙස පාර්ශ්ව රැසක් දිගින් දිගටම වගකිවයුතු බළධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණි. නමුත් ඒ කිසිවෙකුත් මේ වන තෙක් ඊට සාධනීය ප්‍රතිචාර ලබා දී නොමැත. 

‎එසේම කණගාටුදායකම කරුණ නම් සංරක්ෂණය විය යුතු මෙම භූමි භාගය මේ වන විට හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා භාරයෙහි, දියගම ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රීඩා නේවාසිකාගාර ඉදිකිරීම සඳහා වෙන් කරන ලද ඉඩමක් වීමයි. එම සංවර්ධන කටයුතු සඳහා උක්ත ප්‍රදේශයෙහි රජය සතුව ඇති ඌන භාවිත හෝ මුඩු ඉඩම් යොදා ගැනීමට හැකියාව තිබියදීත්, දියගම වනාන්තර කොටසම යොදා ගැනීම තුළින් ජෛව විවිධත්වයෙන් අනූන පරිසර කලාපයක් රටට අහිමිව යනු ඇත. ‎එබැවින් දියගම පාරිසරික සෞන්දර්ය මරා දැමීමට ප්‍රථමව,සාමූහික හඬක් නිර්මාණය කිරීම තුළින් නූපන් පරපුර වෙනුවෙන් මෙම ජෛව සම්පත රැක ගැනීමට පියවර ගත යුතුව තිබේ..

දසුන් ආසිරි විසිනි

Loading

Related posts