ප්‍රාග්ධන පරිපථය තුල ආදරයට වෙළෙඳපොළක් බිහි වීම

By: Dimuth Bhanuka Nov 7, 2025

Celine Song විසින් අධ්‍යක්ෂණය කරන ලද Materialists (2025) වනාහී වත්මන් වෙළෙඳපොල ධනවාදී ක්‍රමය තුල ප්‍රාග්ධනය විසින් ආදරය යටපත් කිරීම මනාව නිරූපණය කරන සිනමා නිර්මාණයකි. හොලිවුඩයේ ජනකාන්ත රංගන ශිල්පිනී Dakota Johnson විසින් ලූසි නම් චරිතය රඟ දක්වයි. ලූසි යනු Matchmaking සමාගමක (සහකරුවන් සොයන අයට සහකරුවන් සොයලා දෙන සමාගමක්) සේවය කරන රූමත් ස්ත්‍රියකි. ලූසිගේ කාර්‍ය වන්නේ තම ගැනුම්කරුවන් ලබා දෙන එනම් ඔවුන් සහකරුවන්ගෙන් දැකීමට කැමති ලක්ෂණ වල තොරතුරු අනුව ඔවුන්ට වඩාත්ම ගැලපෙන සහකරුවා සොයා දීමයි. මෙම තත්ත්වය අප කියවගන්නේ කෙසේ ද? මෙම නිර්මාණය තුල පමණක් නොව වර්තමාන ලෝකය දෙස ද බලන විට ආදරය සම්බන්ධයෙන් බොහෝ සමාගම් බිහිව තිබෙනවා. උදාහරණයක් ලෙස Tinder වැනි මෙවලම්. මෙවැනි මෙවලම් තුලින් සහ සමාගම් තුලින් සහ එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ලූසි වැනි අය කරනු ලබන්නේ ගැනුම්කරුවන් පැමිණ ඔවුන්ට අවශ්‍ය සහකරුවාගේ ගුණාංග එනම් ආදායම, අධ්‍යාපනය, උස, මහත, වයස පැවසූ විට එම ගුණාංගයන්ට සමාන කෙනෙකු සොයා දීමයි. තමන් සුපිරි වෙළෙඳසැලකට ගොස් භාණ්ඩ මිලදී ගැනීම හෝ Real Estate ඒජන්තයෙක් හරහා තම නිවස විකිණීම සහ මෙය අතර ඇති වෙනස කුමක් ද? මාක්ස්වාදී කතිකාවතට අනුව ධනවාදය තුල සියලු දේම වෙළෙඳ-භාණ්ඩකරණය සහ වෙළෙඳපොළකරණය වේ. මේ අනුව බලන විට Materialists 2025 තුලින් පෙන්නුම් කරන්නේ ද එවැනිම සන්දර්භයකි.

නමුත් ආදරය යනු අන්තර්-ඓතිහාසීක උසස්ම මිනිස් ගුණාංගයකි. අන්තර්-ඓතිහාසික වශයෙන් ආදරය සදාතනික සත්‍යයක් වුව ද ඓතිහාසික සමාජ චලිතය සමඟ කාලයෙන් කාලයට ආදරය ද නො එසේනම් අප ආදරය අර්ථකතනය කරන ආකාරය සහ ආදරය ආයතනගත වීම වෙනස් වේ. එසේ වෙනස්කම් වලට ලක් වුනද ආදරය යනු වචනයට පෙරැලීමට නොහැකි සදාතනික වූද සංකීර්ණ වූද ප්‍රපංචයකි. මේ නිසා ඓතිහාසීකව ආදරයට කොන්දේසී වැටුන ද ආදරය නැමති සදාතනික සත්‍යය එම වෙනස්වීම් සමඟ ප්‍රතිවිරෝධයට පත් වෙයි. Materialists 2025 තුලින් ද මේ ප්‍රතිවිරෝධතාවය පෙන්නුම් කරයි. ලූසි සැබෑවටම ආදරය කරන්නේ ජෝන්ට ය (Chris Evans). නමුත් ඔහු වනාහී හරි හමන් රක්ෂාවක් නොමැති සහ ආර්ථිකමය වශයෙන් අස්ථාවර පුද්ගලයෙකි. ජෝන් ද සැබෑවටම ආදරය කරන්නේ ලූසිට ය. නමුත් ලූසිව රැකබලා ගැනීමට ඔහුට නොහැකිය. මේ නිසා ලූසි ජෝන් ව අතහැර දමනවා එම අතහැරීම වනාහී ආදරය නොකිරීම නොව ආදරය කලත් පවතින සමාජ රාමුව තුලින් ඔවුන් මත පටවන ලද ආර්ථික කොන්දේසී වල ප්‍රතිඵලයකි.

පසුව ලූසි හැරී කෑස්ටිලෝ නම් (Pedro Pascal) ධනවත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධතාවයක් ආරම්භ කරනවා. හැරී කෑස්ටිලෝට ලූසි කැමති සියලුව ගුනාංග පවතිනවා. නමුත් කල් යත්ම ලූසි හැරීව තමන්ට නොගැලපෙන බව අවබෝධ කරගන්නවා. හැරී යනු ආදරය නැමති කලාපය තුල එතරම් දක්ෂ නොවන කෙනෙකි. ඔහුට ආදරය යනු අමාරු දෙයකි. මේ නිසා ඔහුගේ උස වැඩිකිරීමද සිදු කර තිබෙනවා. මෙය වනාහී වෙළෙඳපොල ඉල්ලුමට අනුව තම ශරීරය හැඩගස්වා ගැනීම වැනි යමකි. කෙසේ හෝ මෙම ලූසි සහ හැරී අතර සම්බන්ධය බිඳවැටීම යනු ද ඉහත කී ආදරය සහ ධනවාදය අතර ඇති වන ඝට්ඨනයේ නිරූපණයකි. එනම් කෙතරම් දුරට ආදරය මෙම සමාජය තුල වෙළෙඳපොල තර්කනයට හසු වුවත් සැබෑ සදාතනික ආදරය එයත් සමඟ ප්‍රතිවිරෝධයකට යයි.

එමෙන්ම වත්මන් සමාජය තුල මිනිසුන් මෙවැනි සමාගම් පසුපස යන්නේ ඇයි ද? පරත්වාරෝපණය වැනි දේවල් හරහා වත්මන් මිනිසාව ඔහු වටා ඇති සහ ඔහුගෙන්ම ද හුදකලා කර ඇත. මිනිසගේ අභ්‍යන්‍තර හිස්කම තව තවත් වැඩිව ඇත. ධනේශ්වර පරිපථය තුළින්ම ජනිත මෙම තත්ත්වය ධනේශ්වර පරිපථය විසඳන්නට යන්නේ මානව සම්බන්ධතාවයන් වෙළෙඳභාණ්ඩකරණය කිරීමෙනි.

මේ අනුව Materialists 2025 ප්‍රාග්ධන පරිපථයත් ආදරයත් අතර පවතින ඝට්ටනය මනාව පෙන්නුම් කරයි. 

Loading

Related posts