බුද්ධිමය ස්වාධිනත්වයෙන් යුත් සමෘධ ස්ත්‍රී පුරුෂයන් ඇති සමාජයක් ගොඩ නැගීම ප්‍රමුඛ විය යුතු නොවේ ද?

විජයානන්ද ජයවීර

පාසැල් විෂය මාලාව සංශෝධනය කරන බවට ඉඟි පහළ වී ඇතත් පාසැල් විෂය මාලාව සංශෝධනය කළ යුත්තේ ඇයි සහ සංශෝධනය විය යුතු වන්නේ මොනවාද යන්න පිළිබඳ සමාජ කතිකාවක් ඇති තිරීමට අධ්‍යාපන බලධාරීන් තවමත් පියවර ගෙන ඇති බවක් නො පෙනේ. ඒ එසේ වුව ද හුදෙක් ඉගෙන ගැනීම පමණක් නො ව හරියට සිතන්නේ කෙසේද යන්නත් දැන ඉගෙන ගැනීමේ ඉඩ කඩ අපේ පාසැල් වල විෂය මාලාවට ඇතුලත් විය යුතු යැයි අධ්‍යාපනඥයින්ට යෝජනා කිරීමට මම කැමැත්තෙමි. ඒ අනුව දැනුම් න්‍යාය (Theory of Knowledge) මූලික විෂයක් ලෙස පාසැල් වලට හඳුන්වා දීම විචක්ෂණශීලී, කල්පනාකාරී, වගකිවයුතු සහ සබුද්ධියෙන් මෙහෙයවිය හැකි අනාගත පරපුරක් බිහිකිරීම සඳහා කරන වැදගත් ආයෝජනයකි. Theory of Knowledge හෙවත් දැනුම් න්‍යාය දැනටමත් (උසස් පෙළට මඳක් සමාන) ජාත්‍යන්තර බැකලොරෙ පාඨමාලාවේ මූඛ්‍ය විෂයකි. හුදෙක් කරුණු කටපාඩම් කරන, විභාගයෙන් ගොඩයාම ඒකායන අරමුණ කරගත් සිසු දරුවන් බිහිකරණු වෙනුවට විචාරශීලී කුසලතා වඩවන, ප්‍රශ්න කරන සහ මුලාවේ නොවැටී තමන්වටා ඇති ලෝකය වටහා ගැනීමට හැකි දරුවන් බිහිකිරීමට නම් Theory of Knowledge හෙවත් දැනුම් න්‍යායෙන් ඔවුන් සන්නද්ධ කළ යුතුය.

දැනුම න්‍යාය දැන ගැනීම යනු සංකල්ප සහ කරුණු ඉගෙනීම නොවේ. ඒ වෙනුවට එමගින් කෙරෙන්නේ අප දන්නා යැයි අප පවසන දේ අප දන්නේ කෙසේදැයි විමර්ශනය කිරීමට හැකි කුසලතා සිසු දරුවන්ට ඇති කර දීමයි. AI හෙවත් කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නා සිසු දරුවෙකුට අද ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය ආකාරයට ඕනෑම විෂයක් පිළිබඳ තොරතුරු අන්තර්ජාලයෙන් සංයුක්ත කර ගත හැකිය. ඒ අනුව ගුරුවරයෙකුගේ වැඩි මැදහත්වීමකින් තොරවම කරුණු කාරණා ස්වොත්සාහයෙන් සොයා ගැනීම අද එදාට වඩා ඔවුන්ට පහසුය. එහෙත් ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට නම් විචාරශීලීව එම තොරතුරු විමසා සත්‍යාපනය කොට භාවිතා කිරීමේ හැකියාව ඔවුන් ට ඇති කළ යුතුය. බොහෝවිට සමාජ මාධ්‍ය හා ඇතැම් ජනමාධ්‍ය මගින්ද පතුරවන දුස්තොරතුරු සත්‍යාපනයට ලක් කිරීමේ හැකියාව දැනුම් න්‍යාය ප්‍රගුණ කළ තැනැත්තෙකුට නිතැතින්ම ඇතිවේ. එනිසා සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය අව භාවිතා කළ නොහැකි සහ රැවටිල්ලට ලක් කළ නොහැකි අනාගත සමාජයක් ගොඩකැගීමට නම් දැනුම් න්‍යාය දැන ඉගෙන ගත් දරුපරපුරක් බිහි කළ යුතු වෙ.

ඒ අනුව දැනුම් න්‍යාය (Theory of Knowledge) පාසැල් සිසුන්ට දැන ඉගෙන ගැනීමට ඉඩ සැලසීමෙන්

– විවේචනාත්මක ඇගයීමේ කුසලතාව ඇති

– වැරැදි තෙරතුරු සහ ප්‍රචාර හඳුනා ගැනීමට හැකි

– බහුවිධ දෘෂ්ටි කෝන අවබෝධ කර ගැනීමට හැකි

– තර්ක කිරීමේ සහ සංවිචාරණය කිරීමේ කුසලතා ඇති කරගැනීමට හැකි

සහ විවේචනාත්මක චින්තනය සහ විවිධ දෘෂ්ටිකෝණ ගැන සාවධානව සලකා බැලීමේ හැකියාව නිසා සදාචාරීය සහ දැනුවත් පුරවැසි සමාජයක් අනාගතයේ දී බිහි කරදිමට පාසැල් අධ්‍යාපනයට දායක විය හැකිය.

දැනුම් න්‍යාය මානව දැනුමේ විවිධ අංශ අටක් මත පදනම් වේ. ඒවා නම් ගණිතය, ස්වාභාවික විද්‍යා, මානව විද්‍යාව, ඉතිහාසය, කලාව, සදාචාරය, ආගමික දැනුම් පද්ධති, සහ ස්වදේශික දැනුමයි. දැනුම් න්‍යාය මේ විවිධ අංශ ඒවා ට ආවේනික දැනුම අත්පත් කරගන්නේ සහ වලංගු නරගන්නේ කෙසේද යන්න විචාරශීලීව සාකච්ඡාවට ලක් කරයි. මේ විවිධත්වය තුළින් විවිධ දැනුම් පද්ධති වල ශඛ්‍යතා සහ දුරුවලතා තේරුම් ගැනීමට සිසුන්ට අවස්ථාව සැලසේ.

දැනුම් න්‍යාය (Theory of Knowledge) යනු දර්ශනවාදය හෝ ඒ සම්බන්ධ ඥනවිබාගය (Epistemology) නොවේ. දැනුම් න්‍යාය මගින් සිසුන්ට උගන්වන්නේ සිතිය යුත්තේ කුමක්ද යන්න පමණක් නොව, සිතන්නේ කෙසේද යන්නයි. එය ඔවුන්ගේ ම චින්තන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් මෙනෙහි කිරීමකට ඔවුන් පොළඹවන අතර සිසුන්ගේ බුද්ධිමත් ස්වාධිනත්වය වර්ධනය කරයි. අප විසින් ගොඩ නැගිය යුත්තේ කෙබඳු ජන සමාජයක් ද යන කාරණයේදී අන් කවරකටත් වඩා බුද්ධිමය ස්වාධිනත්වයෙන් යුත් සමෘධ ස්ත්‍රී පුරුෂයන් ඇති සමාජයක් ගොඩ නැගීම ප්‍රමුඛ විය යුතු නොවේ ද?

උපුටාගෙන නැවත පළ කිරීම: විජයානන්ද ජයවීරගේ පේස්බුක් පිටුවෙනි.

https://www.facebook.com/wijayananda.jayaweera

Loading