බියගම වෙළඳ කලාපයේ ස්ථාපිත ඕස්ට්‍රේලියානු හිමිකාරිත්වය දරන Ansell Lanka හී දීර්ඝ කාලීන සේවක අරගලය ජයග්රහණයෙන් අවසන් වී තිබෙනවා. ආයතනයේ සේවක නෙරපා හැරීම්වලට එරෙහිව සටනකින් පසු Ansell Lanka හී සේවකයින් පිරිසක් 2016 දී නැවත සේවයේ පිහිටුවනු ලැබුවා. එහෙත් එම අවස්ථාව Ansell Lanka හී වෘත්තීය සමිතියේ නායකයින් 11 දෙනා වෙත ලබා දුන්නේ නැහැ. 2018 දී බේරුම්කරුවෙකු විසින් නියෝග කරන ලද වන්දි ගෙවීම සමාගම ප්‍රතික්ෂේප කිරීමත්, ඒ වෙනුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමත් සමඟ වසර ගණනාවක් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවී තිබුණා.
2013 දී, නෙරපා හරින ලද වෘත්තීය සමිති නායකයින් 11 දෙනා මෙරට සහ විදේශීයව අඛණ්ඩ සහයෝගිතා විරෝධතාවයන් පැවැත්ව වුණා. මේ සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් පදනම් කරගත් සහයෝගිතා සංවිධානයක් වන Australia Asia Worker Links විසින් නෙරපා හරින ලද වෘත්තීය සමිති නායකයින් සඳහා සහය දැක්වීමේ ව්‍යාපාරයක් සම්බන්ධීකරණය කරණු ලැබුවා.
Victorian Trades Hall Council (VTHC), Australian Nursing and Midwifery Federation (ANMF) සහ Health and Community Services Union (HACSU) ඇතුළු බහුවිධ ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති මෙම සහයෝගීතා ව්‍යාපාරයට සහාය දක්වා තිබුණා.
ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය යන රටවල කම්කරුවන්, වෘත්තීය සමිති සහ සහයෝගීතා සංවිධාන ද Ansell Lanka සේවක සටනට විවිධාකාරයෙන් සහය දක්වා තිබූ බව පැවසෙනවා.
අවසානයේ ඇන්සල් සමාගම ඔවුන්ගේ නීතිමය අභියාචනා නවතා දමා වෘත්තීය සමිති නායකයින් 11 දෙනාට ගෙවිය යුතු වන්දි මුදල් ගෙවා ඇති බව දැන් වාර්තා වෙනවා.
“මේක විශේෂ ජයග්‍රහණයක්. ඇන්සල් ආයතනය කියන්නේ ජාත්‍යන්තර ආයතනයක්. ඒ අයගේ මූලස්ථානය ඔස්ට්‍රේලියාව. ශක්තිමත් ආයතනයක්. හැබැයි අපේ කම්කරුවෝ 11 දෙනෙක් මේ රටේ කම්කරුවන්ගේ ආත්ම ගරුත්වය වගේම වෘත්තීය අයිතිය වෙනුවෙන් අවුරුදු ගණනාවක් අඛණ්ඩව අරගල කළා. ගන්න පුළුවන් හැම නීතිමය ක්‍රියාමාර්ගයක්ම ගත්තා. ඒකට මේ රටේ බොහෝ වෘත්තීය සමිති විවිධ ආකාරයෙන් සහය දුන්නා. වෘත්තීය සමිති නායකයින් ගණනාවක් අඛණ්ඩව අපිත් එක්ක හිටියා.
අවසානයේ අපේ එකොලොස් දෙනෙක් මානව හිමිකම් සහ සේවක අභිමානයට වඩා ලාභයට මුල්තැන දෙන ආයතනයක් ඉදිරිපිට මේ රටේ කම්කරුවාගේ අභිමානය ජයග්‍රහණය කරවූවා. මේ ජයග්‍රහණය මෙරට කම්කරු ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක්. මෙතනින් එහාට කම්කරුවාගේ අයිතිවාසිකම් පිළිබඳව විශිෂ්ට පූර්වාදර්ශයක් බවට ඇන්සල් ජයග්‍රහණය සටන් වෙනවා” යි සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වන ඇන්සල් ලංකා වෘත්තීය සමිති නායකයෙකු පවසනවා.