මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන Telegraph වෙබ් පිටුවට සැපයූ
Colombo The Misunderstood Taxation of EPF & Other Superannuation Funds
නම් ලිපිය ඇසුරෙන් සිංහලට සකස් කරන ලද්දකි.
සේවක අර්ථ සාධක අරමුදල ඇතුළත් විශ්‍රාම ප්‍රතිලාභ අරමුදල්වලට මෑතක දී පැන වු බද්ද මහත් විවාදයට තුඩු දුන් කරුණකි. එය වඩාත් වැදගත් වන්නේ සේවක අර්ථ සාධක අරමුදල එම අංශයේ ඇති දැවැන්ත ම අරමුදල වන නිසා ය. මෙම අරමුදල් මෙතෙක් සියයට 14 ක බද්දකට යටත් විය. බදු ගෙවිය යුතු ආදායම ගණන් බලන ලද්දේ දළ ආදායමෙන්, එම ආදායම ලබා ගැනීමට වියදම් කළ වැය අඩු කිරීමෙනි. ඇත්තෙන්ම 1989 වන තෙක් මෙම අරමුදලෙන් කිසිදු බද්දක් අය කෙළේ නැත. එම වසරේ රටේ පැවති අයහපත් ආර්ථික තත්වය නිසා පළමු වරට සියයට 10 ක බද්දක් පැන වීය. මෙම බදු අනුපාතය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති ව සිටි යහ පාලන ආණ්ඩුව යටතේ 2017 දී සියයට 14 දක්වා වැඩි කෙළේය. ඒ අනුව රටේ විශාලතම බදු ගෙවන ආයතනය බවට පත් වූයේ සේවක අර්ථ සාධක අරමුදලයි. එය ආණ්ඩුවට සුරබි දෙනකු විය.
අද මෙම බදු අනුපාතය සියලු ම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල්වලට අදාළ වේ.
මෙම 2017 බද්ද, දේශීය ආදායම් බදු පනත යටතේ සෘජුවම දක්වා නැත. ඒ වෙනුවට යොදා ගෙන ඇත්තේ වක්‍ර වූ මාර්ගයකි. එනම් තම සාමාජිකයන් සඳහා විශ්‍රාම ප්‍රතිලාභ ගෙවන සමිති මත පනවන බද්දක් සේය. එම සමිතිවලට අන්‍යෝන්‍යාධාර සමිති, නිවාස ඉදි කිරීමේ සමිති, විශ්‍රාම අරමුදල්, සේවක අර්ථ සාධක අරමුදල, සේවයෙන් විශ්‍රාම යෑමේ දී ප්‍රතිලාභ ගෙවන සමිති හා ඒ සමාන සමිති අයත් ය. මෙම සමිතිවල පොදු ලක්ෂණය වන්නේ සාමාජිකයන්ට හිමි ඔවුන් විසින් පාලනය කරන ඒවා වීම ය. ඒ අනුව එම අරමුදල්වල බදු ගෙවිය යුතු ආදායමෙන් සියයට 14ක් බදු වශයෙන් ගෙවිය යුතුය.
එම පනතේ බදු ගෙවිය යුතු ආදායම නිර්වචනය කර ඇත්තේ තක්සේරු ආදායමෙන් අනුමත ගෙවීම් අඩු කිරීමෙන් ලැබෙන මුදලයි. විශ්‍රාම අරමුදල්වලට අනුමත කළ ගෙවිම් අදාල නොවන නිසා බදු ගෙවිය යුතු ආදායම වන්නේ තක්සේරු ආදායම යි. බදු ගෙවිය යුතු ආදායම ගණන් බැලීමේ දී මෙම අරමුදල්වලට අඩු කළ හැකි වන්නේ ආදායම් ඉපයීම සඳහා කරන ලද වියදම් පමණි. සාමාන්‍යයෙන් ඒවාට අයත් වන්නේ වැටුප් ගෙවීම, වෙනත් පරිපාලන වියදම්, ස්ථාවර වත්කම් ක්ෂය වීම, ආදායම් ඉපයීමට ආයෝජනය කිරීමේ දී අත් විඳින පාඩුව යි.
දේශීය ආදායම් බදු පනත යටතේ ප්‍රාග්ධන වියදම් හෝ ප්‍රකාශිත ලාභාංශ ගෙවීම් ආදායමෙන් අඩු කිරීමට ඉඩ නැත. ප්‍රාග්ධන වියදම් වර්තන වියදමක් නොවන නිසා ඉන් අඩු කළ හැකි වන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නියම කර ඇති ක්ෂය වීමේ අනුපාතය පමණි. ලාභාංශ, ආදායම් ඉපදවීමේ දී දරන ලද වියදමක් නොවේ. එය සිදු වන්නේ ශුද්ධ ලාබය ගණනය කිරීමේ දී සහ එවැනි ලාභය අරමුදලේ හිමිකරුවන් අතර බෙදා දීමේ දීය.
විශ්‍රාමික අරමුදල්වල බදු ගණනය කිරීම මූල්‍ය ආයතනවල බදු ගණනය කිරීමෙන් වෙනස් වන්නේ මූල්‍ය ආයතනවල තැන්පතු හිමි අයට ගෙවන පොලී ප්‍රමාණය බදු ගණනය කිරිමේ දී අඩු කිරීම නිසා ය. මූල්‍ය ආයතනවල පොලි මුදල් ගෙවීම පිරිවැයකි. එම නිසා එය මූල්‍ය ආයතනයේ ශුද්ධ ලාභය හෝ පාඩුව ගණනය කිරීමේ දී ආදායම් වියදම් ගිණුමට බැර කළ හැකිය. මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන් සහ බැඳුම්කර හිමිකරුවන් එම ආයතනයේ හිමිකරුවන් නොවන නිසා ඔවුන්ට කරන ගෙවීමක් ලාභය බෙදිමක් වන්නේ නැත. එසේ වුවත් විශ්‍රාමික අරමුදලක් එහි සාමාජිකයන් සතු එකක් නිසා ප්‍රතිලාභ ලබන හවුල්කරුවන් වන්නේ ද ඔවුන් ය. එමනිසා ඔවුන්ට කරන කිසියම් ගෙවීමක් ආදායම් බදු කාර්ය සඳහා පොලී ගෙවීමක් සේ හැඳින් වුව ද එය පැහැදිලිවම ලාභාංශ ගෙවීමක් වැනි ලාභ බෙදීමකි.
ආදායම් බදු කාර්යන් සඳහා ශුද්ධ අතිරික්තය හෝ පාඩුව ගණනය කිරීමේ දී ලාභාංශ ගෙවීම් අඩු කිරීමට ඉඩ දෙන්නේ නැත. විශ්‍රාමික අරමුදල්වලට බදු ගෙවිය යුතු ආදායම ගණනය කිරීමේ දී ගෙවන ලද පොලී මුදල් අඩු කිරීමට ඉඩ දෙන්නේ ද නැත. ඒ අනුව මූල්‍ය ආයතන සියයට 30ක බද්දක් ගෙවන්නේ ඔවුන්ගේ ශුද්ධ ආදායමෙනි. එහෙත් විශ්‍රාමික අරමුදල් සියයට 14ක බද්දක් ගෙවන්නේ දළ ආදායමෙනි. එමනිසා බදු අනුපාත දෙක සැසඳිය නොහැකිය. ඒ බදු ආදායම ගණනය කරන පදනම එකිනෙකට වෙනස් නිසාය.
මෙම බදු අනුපාත දෙකම සමාන ඒවා ලෙස සැලකීමේ උත්සාහයක් මෑතක දී දක්නට ලැබිණ. ඒ විශ්‍රාමික අරමුදල් දැනට සිදු කරන දේශීය ණය ප්‍රශස්ත කරණ වැඩ සටහන යටතේ ඔවුන් සතු භාණ්ඩාගාර බැඳුම්කරවලින් අඩුම වශයෙන් සියයට 50ක් භාණ්ඩාගාරයත් සමග හුවමාරු කිරීමට අපොහොසත් වූ අරමුදල් සියයට 30 දණ්ඩන බද්දකට යටත් කිරීමේ දීය. මෙම අනුපාත සමාන කළ නොහැකි සංඛ්‍යා ය. විශ්‍රාමික අරමුදල් ගෙවන බදු අනුපාතය සියයට 14ක් වුවද මූල්‍ය ආයතනවල බදු අය කෙරෙන ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් විට බදු අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයනින් ඉහළ යයි. 1 වගුවෙන් 2020සිට 2022 දක්වා සේවක අර්ථ සාධක අරමුදල සඳහා විය හැකි බදු අනුපාතය දක්වයි.
වානිජ බැංකු හා සැසඳීමේ දී සේවක අර්ථ සාධක අරමුදලේ බදු අනුපාත ගණනය කිරීම:
- දළ ආදායම
- අඩු කිරීම ගෙවන ලද පොලිය
- මෙහෙයුම් පිරිවැය
- වෙළඳ පොළ වාසි ( + ) පාඩු ( – )
- වාණිජ බැංකු සමග සැසඳීමේ දී බදු ගෙවිය යුතු ආදායම
- ගෙවන ලද බදු
- වාණිජ බැංකු අනුව බදු අනුපාතය
ඉහත සඳහන් ගණනය කිරීම අනුව 2020 සඳහා සේවක අර්ථ සාධක අරමුදල ගෙවු බදු අනුපාතය ශුද්ධ ආදායමේ ප්‍රතිශතයක් ලෙස සියයට 70 කි. 2021 දී සියයට 88 කි. 2022 දී සියයට 490 කි. මෙය සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් මත පැන වූ අති විශාල බද්දකි. ඒ ආකාරයටම බදු අනුපාතය සියයට 30 දක්වා වැඩි කළහොත් මූල්‍ය ආයතනවලට යෙදෙන සමාන බදු පදනම මත පැනවෙන බදු අනුපාතය 2020 දී සියයට 149 දක්වාද, 2021 දී සියයට 188 දක්වාද, 2022 දී සියයට 1050 දක්වා ඉහළ යනු ඇත. එම නිසා මෙය සහයෝගය නොදක්වන විශ්‍රාමික අරමුදල්වලට පනවන අති විශාල දඬුවමකි.
ඕනෑම ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ණය දෙන්නාට බරකි. රටක් එසේ කරන විට ඉන් සිදුවන්නේ සියලුම ණය හිමියන්ට බර පැවරීමකි. එහෙත් වර්තමාන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම යටතේ එම බර භාණ්ඩාගාර බිල් පත් සම්බන්ධයෙන් මහ බැංකුවටත්, භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් විශ්‍රාමික අරමුදල්වලටත් පැවරේ. ඒ අනුව මහ බැංකුව රුපියල් ට්‍රිලියන 2.7 ක භාණ්ඩාගාර බිල් පත් හුවමාරු කර ගැනීමට එකඟ වේ. ආණ්ඩුවට ලබා දෙන අයිරාවක ආකාරයෙන් රුපියල් බිලියන 340ක තාවකාලික අත්තිකාරමක් වසර 5 සහ 15කින් ගෙවිය යුතු දිර්ඝ කාලීන බැඳුම්කර බවට පත් වේ. මෙම බැඳුම්කර වටිනාකම පවතින ආයෝජන ප්‍රමාණයට සැසඳෙන ආකාරයට ප්‍රති තක්සේරු කළ විට මහ බැංකුවේ මූල්‍ය තත්වය සෘණ ශුද්ධ වටිනාකමක් බවට පත් වෙනු ඇත.
සෘණ ශුද්ධ වටිනාකමක් සහිතව මහ බැංකුවට කලක් පැවතිය හැකි නමුත් එහි ණය ලබා ගැනීමේ හැකියාවට අහිතකර සේ බලපානු ඇත. මෙය මහ බැංකුවට බාහිර මූලාශ්‍රවලින් තාවකාලික ද්‍රවශීලතා ඌණතාවය මූල්‍යනය කිරීමට කෙටි කාලීන අරමුදල් ලබා ගැනීමේ දී සහ ආණ්ඩුව බාහිර මූලාශ්‍රවලින් ණය ලබා ගැනීමට ඇපවීමේ දී අහිතකර තත්වයක් ඇති කෙරේ. මෙය ඉක්මණින්ම විිසඳිය යුතු තත්වයකි. ඒ සඳහා ආණ්ඩුව මහ බැංකුවට නැවත ප්‍රාග්ධනය ලබා දිය යුතු අතර එහි බර පැටවෙන්නේ වඩාත් වැඩි බදු ගෙවීමෙන් හෝ දැනටමත් භුක්ති විඳින ප්‍රතිලාභ කපා හැරීමෙන් හෝ ඒ දෙකෙන්මය. ඒ කුමන ක්‍රියා මාර්ගයකින් හෝ සිදු වන්නේ බදු ගෙවන්නා මත අතිරේක බරක් පැටවීමය. වැඩි දුරටත් මහ බැංකුවක සෘණ ශුද්ධ වටිනාකම එහි කාර්ය මණ්ඩලයේ වෘත්තීය අපේක්ෂා සහ දීමනා කෙරේ අහිතකර සේ බලපාන නිසා මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට පෙර වෘත්තීය සමිතිවල අදහස් විමසීම නුවනට හුරුය.
භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් විශ්‍රාමික අරමුදල් සාමාජිකයන්ට බරක් දැරීමට සිදු වේ. අනෙකුත් සියලු භාණ්ඩාගාර බැඳුම්කර හිමියන් බදු බරින් නිදහස් කර ඇත්තේ මෙම බැඳුම්කර හිමියන්ගෙන් සමහරු දැනටමත් විශ්‍රාමික අරමුදල් වලට වඩා ඉහළ බදු අනුපාතයක් ගෙවීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමේ වැඩ සටහනට දායක වන්නේය යන හේතුව මතය. නිදසුනක් වශයෙන් වාණිජ බැංකු සියයට 30 බදු අනුපාතයක් සහ මූල්‍ය සේවා සඳහා එකතු කරන ලද අගයන් මත තවත් සියයට 18ක බද්දක් ගෙවති. ඉහතින් සඳහන් කළ ආකාරයට මෙවැනි සැසඳීමක් සාවද්‍ය වන්නේ ගණනය කරන බදු පදනම් දෙක වෙනස් නිසාය.
වාණිජ බැංකුවල බදු පදනම වන්නේ පොලී ගෙවීම් අඩු කිරීමෙන් පසු ශුද්ධ ආදායම යි. විශ්‍රාම අරමුදල්වල බදු පදනම දළ ආදායමයි. එහි සාමාජිකයන්ට ගෙවන පොලිය ලාභාංශ බෙදීමක් සේ ගණනය කරන නිසා බදු ගෙවිය යුතු ආදායම ගණනය කිරීමේ දී අඩු කළ නොහැකිය. දේශීය ණය ප්‍රශස්ත කිරීමේ සැලැස්මට එකඟවීම නිසා අනාගතයේ දී ඔවුන් අඩු ආදායම් ප්‍රවාහයකින් සෑහීමට පත් විය යුතුය. ඊට එකඟ නොවන්නේ නම් ශුද්ධ ආදායම නොව දළ ආදායම මත ගණනය කරන සියයට 30ක ඉහළ බදු අනුපාතයක් ගෙවිය යුතුය.
තෝරා ගන්නේ කුමන මාර්ගය වුවද ඔවුන් අසාමාන්‍ය බර දැරීමක් කළ යුතුය. දේශීය ණය ප්‍රශස්ත කරණ සැලැස්මට එකඟ නොවන්නේ නම් ණය ආපසු ගෙවීම පැහැර හැරීමට ආණ්ඩුවට සිදු වනු ඇතැයි තර්ජනය කිරීම බර සමානව බෙදා හැරීමක් නොවන්නේය. මෙම බර භාණ්ඩාගාර බැඳුම්කර හිමි සියල්ලන් දැරිය යුතුය. ඒ ඔවුන් සියලු දෙනාම පසු ගිය කාලයේ දී ස්ථාවර ආපසු ලැබීමක් තහවුරු කළ සුරක්ෂිත ආයෝජනවලින් සමානව ප්‍රතිලාභ භුක්ති විඳි නිසාය.
විශ්‍රාම අරමුදල්වලට, විශේෂයෙන්ම සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් සම්පූර්ණ බර දැරිය යුතුයැයි තීරණය කිරීමේ දී සැලකිල්ලට නොගත් වැදගත් කාරණයක් වන්නේ ඔවුන් විවිධ මට්ටම්වලදී ආණ්ඩුවට ගෙවා ඇති බදු ප්‍රමාණයන් ය.
- පළමුවෙන්ම තම දළ ආදායමෙන් සියයට 14ක බද්දක් ගෙවිය යුතුය. ඒ නිසා ඔවුන්ට ලැබෙන ආදායමෙන් සැලකිය කොටසක් අහිමි වේ.
- දෙවැනිව ඔවුන් සේවක අර්ථ සාධක අරමුදලට දායකවන විට එම දායක මුදල් බදු ගණනය කිරීමේ දී පිරිවැයක් සේ අඩු කිරීමට ඉඩ දෙන්නේ නැත. එමනිසා ඔවුන් ඉතිරි කරන මුදලටත් සාමාන්‍ය බදු ගෙවිය යුතුය.
- තුන් වැනිව අරමුදලෙන් ප්‍රතිලාභ ලබන විට එහි මුළු ප්‍රතිලාභය රු. දශලක්ෂ 10කට වැඩිනම් අවසාන ප්‍රතිලාභ බද්දක් ද ගෙවිය යුතුය.
- සිවු වැනිව ආණ්ඩුව නිකුත් කරන සුරැකුම් පත්වල පොලී අනුපාතය පවතින උද්ධමන මට්ටමට සම්පූර්ණයෙන්ම ගැලපෙන සේ වෙනස් නොකරන නිසා අරමුදලට ලැබෙන අඩු පොලී අනුපාතය සහ උද්ධමනය හා ගැලපෙන අනුපාතය අතර ඇති වෙනස ආණ්ඩුවට ගෙවන බද්දකි. සමානත්වය සහ සාධාරණත්වයේ නාමයෙන් මෙම විවිධ අවධිවල ගෙවන බදු එක් අවස්ථාවක් දක්වා අඩු කළ යුතුය. ඒ සඳහා ආණ්ඩුව ඉපැයු දළ පොලිය මත අය කරන බද්ද අහෝසි කර සුදුසු අනුපාතයක් යටතේ අවසාන ප්‍රතිලාභ බදු අනුපාතයකට යටත් කළ යුතුය.
ආණ්ඩුවේ සුරැකුම්පත් මත උද්ධමන අනුපාතය නිසි පරිදි සැලකිල්ලට ගෙන නැත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) ඉහළ මට්ටමකට ගෙන ආ විට ඒ විශේෂිත දිනයේ පැවති මිල මට්ටමකි. උද්ධමන අනුපාතය කලින් දිනයක දර්ශකයක් හා සැසඳීමේ දී පහත වැටෙමින් තිබිය හැකි වුවද සියලුම පාරිභෝගිකයන් සඳහා බදු නියම කිරීමේ දී වර්තමාන මිල මට්ටම් නොවෙනස්ව පවතිනු ඇත.
2021 ජනවාරි මස කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ පදනම් වර්ෂය සේ සලකා නිකුත් කර ඇත. එම මාසයේ මිල දර්ශකයේ වටිනාකම 100 කි. එම දර්ශකය 2023 ජුනි අග වන විට 192 දක්වා ඉහළ නැග තිබිණ. ඉන් පෙන්නුම් කරන්නේ ආයෝජකයන් සතු සෑම රු.100 බැඳුම්කරයකම සැබෑ වටිනාකම 52 කි යන්නයි.
වෙනත් වචනයකින් වටිනාකම මෙම කාල පරිච්චේදය තුළ සියයට 48කින් පහත වැටී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2022 අග දී රු. ට්‍රිලිලියන 3.4ක්වූ සේවක අර්ථ සාධක අරමුදලේ නාමික ප්‍රමාණයේ සැබෑ වටිනාකම රු. ට්‍රිලිලියන 1.8 දක්වා පහත වැටී ඇත. මෙසේ සිදුව ඇත්තේ පවතින පොලී අනුපාතය යටතේ ආණ්ඩුවේ සුරැකුම්වල ආයෝජනය කිරීමෙන් අරමුදලේ ප්‍රමාණයේ වර්ධනයක් සිදුව ඇති තත්වයක් තුළය. මූලික වටිනාකමේ සිදුව ඇති මෙම අඩුවීම ‘උද්ධමන කපා හැරීමක්’ (Inflation Haircut) සේ හැඳින්විය හැකිය. දේශීය ණය ප්‍රශස්ත කරණ සැලැස්ම විශ්‍රාම අරමුදල්වලට ඉදිරිපත් කිරීමේ දී මෙම කොටස සැලකිල්ලට නොගැනීම අතපසුවීමක් විය හැකිය.
ඒ ආකාරයෙන්ම විශ්‍රාම අරමුදල් දේශීය ණය ප්‍රශස්ත කරණ සැලැස්මට එකඟවීමේ දී සාමාන්‍ය තත්වයන් යටතේ ඔවුන් උපයා ගන්නා පොලී ආදායම්වලික් කොටසක් අනිවාර්යෙන්ම අත්හැරිය යුතුය. සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් මහ බැංකුවේ අධිපති නන්දලාල් විරසිංහ පවසක ආකාරයට දේශීය ණය ප්‍රශස්ත කරණයෙන් සියයට 11.5ක් වූ වර්තමාන සේවක අර්ථ සාධක ප්‍රතිලාභ අනුපාතය සියයට 9.4 දක්වා අඩුවනු ඇත. එමනිසා එය පැහැදිලිවම දේශීය ණය ප්‍රශස්ත කිරීමේ කපා හැරීමකි. (D D O Haircut)
මෙම බර සියලුම බැඳුම්කර හිමියන්ට සමානව පැවරුවේ නම් සාධාරණ සහ සමාන සැලකීමක් වන්නට තිබිණ. ඉන් මූල්‍ය පද්ධතියේ අස්ථාවර තත්වයකට තුඩු දිය හැකියැයි බියක් තිබුණේ නම් එම බර සියලු දෙනාට සමානව පැවරීමෙන් එය වැළැක්විය හැකිව තිබිණ. එවිට සාධාරණව සැලකුවේයැයි හැඟීමක් ඇති වේ. රටක් වේදනාකාරී ගැළපීම් තුලින් බරපතළ ආර්ථික අර්බූදයකින් ගොඩ ඒමේ දී එවැනි විශ්වාසයක් පැවතීම අනිවාර්ය ය.
බලධාරීන්ට ගැලපීමේ වැඩ සටහනක් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වන්නේ ජනතාවගේ සහයෝගය දිනා ගතහොත් පමණි.