රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි
කිසිඳු ජනවරමක් නොමැතිව, රාජපක්ෂවරුන්ගේ අනුග්‍රයෙන් අනුප්‍රාප්තික ජනාධිපති වූ රනිල් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන ව්‍යවස්ථාව උපුටා දක්වමින් කුඩා දරුවන් පෙළපාලිවලට රැගෙන ඒම වළකන ලෙසට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ද ඉදිරියේ පොලිසියට උපදෙස් දෙන ආකාරය අපි දුටුවෙමු. ඔහු එහිදී කියා සිටියේ දරුවන් එසේ රැගෙන යන්නේ “ප්රභාකරන් කළා වගේ” දරුවන් ආරක්ෂක පළිහක් ලෙසට යොදා ගැනීමට බවයි.
එහෙත් BBC සිංහළ වෙබ් අඩවිය පළකොට තිබුණේ “කුටුම්භයටම ප්‍රශ්නයක් වෙලා තියෙන අවස්ථාවක ළමයා ගෙදර තියලා විරෝධතා කරන්න කියලා කියන්න අයිතියක් නෑ. මේ මිනිස්සුන්ට ළමයි එක්ක පාරට එන්න වෙලා තියෙන්නෙ ඇයි කියන එක ගැන තමයි අපි අවධානය යොමු කරන්න ඕන,” යනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු කියා සිටි බවයි. එසේම “ආරක්ෂක පළිහක් ලෙස විරෝධතාවලට ළමුන් රැගෙන පැමිණෙන බවට එල්ල වන චෝදනා පිළිගත නොහැකි” බවද ඔහු පවසා තිබුණි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවේ 27 වන ව්‍යවස්ථාවෙන් දැක්වෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්මයි. එම විධි විධාන හේතුකොටගෙන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවරෙන බවත් නීතියෙන් කිසිම බැඳීමක් ඇති නොවන බවත් 29 වන ව්‍යවස්ථාවෙන් පැහැදිලිවම දක්වා ඇත. එසේ තිබියදීත්, එකී වගන්තිය උපුටා දක්වමින් දරුවන් පෙළපාලි වලින් ඉවත් කරන ලෙසට පොලිසියට කියා සිටීම මුළුමනින්ම තක්කඩි හා කෙරාටික කතාවකි.
අනුප්‍රාප්තික ජනාධිපතිට පෙනීගොස් ඇත්තේ 27(13) පමණි. ඔහුට නොපෙණුන එම පරිච්ඡේදයේම ඇති 27(2)(ඇ) ව්‍යවස්ථාවට අනුව “ප්‍රමාණවත් ආහාර පාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුවද, ජීවන තත්ත්වයෙහි නිරන්තර වර්ධනයද, විවේකය හා සාමාජීය සංස්කෘතික ඉඩ ප්රස්ථා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම ද ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට සහ තම පවුල්වල සාමාජිකයන්ට අත්කර දීම” පිණිස කටයුතු කිරීමද රජයේ ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මයකි. මේ වන විට වන විට ජනතාවට පාරට බැස උද්ඝෝෂණය කිරීමට සිදුව ඇත්තේ රජය එකී මූලධර්මය අනුව රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමක් නොකරන බැවිනි.
එසේම 27(2)(ඉ) ව්‍යවස්ථාවට අනුව “පොදුජන යහපතට ඉවහල් වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදා හැරීම” වෙනුවෙන් කටයුතු කිරීමද රජයේ ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මයකි. පසුගිය කාලය පුරාම මෙම මූලධර්මය කිසිදු ලෙසකින්වත් ක්‍රියාත්මක නොවූ අතර සමාජය තුළ ධනය බෙදී යාමේ දැවැන්ත විෂමතාවයක් ඇති වූ ආකාරය අපි දුටුවෙමු. එසේම රාජ්‍ය ධනය මංකොල්ල කමින් ප්‍රජාව ගේ භෞතික සම්පත් පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදා හැරීමට පැවති ඉඩ ප්රස්ථා විනාශ කොට දමන ආකාරයද අපි දුටුවෙමු. උද්ඝෝෂණයට බට ජන ජනතාව හඬනගා ඉල්ලා සිටියේ එකී වංචා දූෂණ හා මංකොල්ලයන් නවතන ලෙසත් එසේ කළ අයගෙන් එවන් නැවත අයකර ගැනීම වෙනුවෙන් කටයුතු කරන ලෙසත්ය.
මෙආකාරයට 27 වගන්තියේ ඇති රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම කිසිවක් හෝ රජය විසින් අනුගමනය කොට නැත. නීතියෙන් බැඳීමක් ඇති නොකරන එම පරිච්ඡේදයම ඇතුළු කොට ඇත්තේ මුළුමණින්ම ජනතාව මුළා කිරීම වෙනුවෙනි.
අනුප්‍රාප්තික ජනාධිපති විසින් කියාසිටි 27(13) මූලධර්මය හෝ රජය විසින් කුමන ආකාරයකින්වත් අනුගමනය කොට නැත. ඉන් කියවෙන පරිදි ළමයින් හා යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් හා සදාචාරාත්මක වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා වග බලා ගැනීමට නම් ඔවුන්ට ආහාර පාන, අධ්‍යාපනය හා ඒවා වෙනුවෙන් අවශ්‍ය අනෙකුත් පහසුකම් සැපයීමට රජය පියවර ගත යුතුය.
Save the Children ආයතනය විසින් 2022 මැයි – ජූනි කාලය තුළ කරන ලද සමීක්ෂණයකට අනුව 2022 ජූලි 6 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් කියා තිබුණේ ශ්‍රී ලංකාවේ පවුල් තුනකින් දෙකකට වඩා වැඩි ගණනකට ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇති බවත්, රටේ පවතින ආර්ථික අර්බුදය සීඝ්රයෙන් පරිපූර්ණ මානුෂීය ආපදාවක් බවට පත්වෙමින් ඇති බවට එම ආයතනය අනතුරු අඟවන බවත්ය. ඔවුන් මෙසේද කියා තිබුණි.
“රටේ පවුල් 2,300කට අධික සංඛ්‍යාවක් සහභාගි කරගත් සමීක්ෂණයෙන් හෙළි වූයේ ආර්ථික අර්බුදය ආරම්භයේ සිටම පවුල් 85%කට ආදායම් අහිමි වී ඇති බවත්, අඩකට වැඩි පිරිසකට තම ආදායමෙන් වැඩි ප්‍රමාණයක් අහිමි වී ඇති බවත්, 10න් 1කට මුළු ආදායමම අහිමි වී ඇති බවත්ය.
“මිල වැඩිවීම්, ඉන්ධන හිඟය සහ ආහාර හිඟය නිසා පවුල්වල දරුවන් තම දරුවන්ට පෝෂණය කිරීමට අපහසු වී ඇත. පවුල්වලින් තුනෙන් එකකට (35%) වැඩි ප්‍රමාණයක් පසුගිය සති දෙක තුළ තම දරුවන්ට දෙන ආහාර අඩු කිරීමට බලකෙරුණු බව පැවසූ අතර 30%ක් කියා සිටියේ තමන් දිනකට ගන්නා කෑම වේල් අඩු කළ බවයි. තම ගෘහස්ථ ආහාර අවශ්‍යතා සපුරාලීමට හැකි වූ බව කියා සිටියේ තුනෙන් එකක් (31%) පමණි.”
ශ්‍රී ලංකාවේ Save the Children අධ්යක්ෂ ජූලියන් චෙල්ලප්පා පවසා ඇත්තේ “ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය තවමත් බරපතලයි. ඉන්ධන සහ ආහාර අර්බුදය විසින් පුළුල්ව පැතිර යන අස්ථාවරත්වයක් ඇති කරයි. ශ්‍රී ලංකාව පුරා සිටින අති බහුතරයක් ජනතාව ජීවත්වීමේ අරගලයක නියැලී සිටී. ඔවුන් අරගල කරන්නේ කෑමට ආහාර, මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමටත් මූලික සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශ වීමටත්” යනුවෙනි.
මෙකී කරුණු සම්බන්ධයෙන් මෙම අනුප්‍රාප්තික ජනාධිපති සිටින්නේ වගේ වගක් නැතුවය.
මේ වන විට දරුවන්ගේ කායික වර්ධනට අත්‍යාවශ්‍ය කිරිපිටිවල මිළ කිසිසේත්ම දැරිය නොහැකි තත්ත්වයකට පත්ව ඇත. එය අවම වශයෙන් මෙයට වසරකට කලින් පැවති මිළ මට්ටමට හෝ ගෙන ඒමට හෝ මෙම අනුප්‍රාප්තික ජනාධිපති කිසිවක් නොකළේය.
අනෙක් අතට වසර දෙකහමාරක් පුරා රටේ දරුවන්ගේ අධ්‍යාපනය වියවුලෙන් වියවුලට පත් වී ඇත. අධ්‍යාපනයේ කෙරේ දරුවන්ගේ හා දෙමාපියන්ගේ ඇති විශ්වාසය මුළුමනින්ම බිඳ වැටී ඇත.
2022 අගෝස්තු 26 දින Unisef දකුණු ආසියානු ප්‍රදේශය භාර අධ්‍යක්ෂක විසින් නිකුත් කළ ප්‍රකාශයකට අනුව අනුව “ශ්‍රී ලංකාවේ ළමුන්ගෙන් අඩකට පමණ දැනටමත් යම් ආකාරයක හදිසි ආධාර අවශ්‍යව ඇත. වසර දෙකක් පුරා ඉගෙනීමට ආ බාධා හේතුවෙන් දැනටමත් දැඩි ලෙස අඩාල වී ඇති ළමුන් මිලියන 4.8කගේ අධ්‍යාපනය, දිගින් දිගටම පාසල් යාමට ඇතිවන බාධාවන් නිසා තවත් අවදානමට ලක්ව ඇත. වර්තමාන අර්බුදය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බොහෝ ආකාරවලින් – අර්බුදයට පෙර දරුවන්ට තිබූ උණුසුම් සහ පෝෂ්‍යදායී පාසල් ආහාර වේල තවදුරටත් නොලැබීම, මූලික ලිපි ද්‍රව්‍ය හිඟය, සහ ඔවුන්ගේ ගුරුවරුන්ට ප්‍රවාහනය වෙනුවෙන් අරගල කිරීමට සිදුවීම – බාධා එල්ල වෙමින් පවතී.”
එහෙත් එයද මෙම අනුප්‍රාප්තික ජනාධිපතිට පෙනී ගොස් නැත. රටේ දරුවන්ට අත්ව ඇති ඉරණම ගැන ලෝක සංවිධාන කියන කරන දේ නොපෙනෙන මොහුට ඇති ලොකුම ප්රශ්නය දෙමාපියන් දරුවන් රැගෙන විරෝධතාවලට සහභාගි වීමය. ඔහුගේ ප්‍රකාශයේ ඇති තක්කඩිකම එයයි.
අද මොහු කරන දේ ඉතා පැහැදිලිය. ඒ ජනතාව තමන් එළවා දමන විට තමන් වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් රාජපක්ෂවරුන් රනිල්ට පැවරූ වගකීම අකුරටම ඉටු කිරීමයි. පසුගියදා කළුතර පැවති පැවැති රැස්වීමේදී මහින්ද රාජපක්ෂ විසින් ඒ වෙනුවෙන් රනිල්ට “එයා දැන් හොඳ ළමයෙක්” යැයි කියමින් ප්‍රශංසාවක් සිදු කළේද එබැවිනි. රටේ පොලිස් ප්‍රධානීන් ඉදිරියේ මෙවැනි අමනෝඥ කතාවක් මොහු කියා සිටියේ එකී ප්‍රශංසාවෙන් ලද මෝඩ චූන් එක නිසාද විය හැකිය.
අද රටට අවශ්‍ය කරන්නේ රාජපක්ෂවරුන්ගේ කතා වලින් මෝඩ චූන් ගෙන, තක්කඩි කතා කියමින් නිලධාරින් උසිගන්වා, ජනතාව මර්දනය කිරීමට යොමුකරන අයෙකු විසින් ගෙනියන පාලනයක් නොවේ. අදවන විටත් රටට පැමිණි තෙල් නැව් වලට ගෙවා ගැනීමට මුදල් නොමැති කමින් දින ගණන් එම නැවුවලට ප්‍රමාද ගාස්තු ගෙවන බව අපි දනිමු. රටට ආනයනය කළ තෙල් අතිවිශාල ප්‍රමාණයක් භාවිතයට නුසුදුසු තත්ත්වය පවතින බවද බව බලධාරීන් විසින්ම රටට පවසා ඇත. මේ වන විටත් රට තුළ උද්ධමනය දැවැන්ත මට්ටමින් ඉහළ යමින් පවතී. අධිවේගෙන් ඉහළ යන උද්ධමනය නිසා රටේ බහුතර ජන කොටස් වල වැටුප් හා ආදායම් උද්ධමනයට සරිලන ලෙසින් වැඩි කිරීමට පියවර ගත යුතුව ඇත. ජනතාවට අවශ්‍ය කරන්නේ මෙම මූලික ගැටලු වලට ගැටළු වලට විසඳුමක් ලබා දිය හැකි පාලනයකි.
එහෙත් රාජපක්ෂවරුන්ගේ පාලනයේම දිගුවක් ලෙසින් පවතින, රාජපක්ෂවරුන් විසින්ම “හොඳ ළමයා” යයි කියන රනිල්ගේ පාලනයට එම ගැටළුවලට කුමනම හෝ විසඳුමක් ලබා දිය හැකි බවත් මේ දක්වා මොනම ආකාරයකින්වත් පෙන්වා නැත. මේ නිසා ජනතා උවමනාවන් ඉටුකර ඉටු කර ගැනීම වෙනුවෙන් කම්කරු, ගොවි හා අනෙක් ජන කොටස්වල පාලනයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් පෙරට යාම හැර ජනතාව හමුවේ වෙනත් විකල්පයක් ඉතිරිව නැත.