රනිල් 69 ලක්‍ෂයේ දියසෙන් කුමාරයා වී කවුද රජා පෙන්නීම…

ඥානසිරි කොත්තිගොඩ

රනිල් රාජපක්ෂ රෙජීමය විසින් තමන් දන්නා එකම දේ ම්ලේච්ඡ මර්ධනයේ ලේ රස පමණක් බව නැවත නැවතත් පෙන්වමින් ඇත.

තමන්ට ජනතා ප්‍රශ්න කිසිවක් හෝ විසඳීමේ හැකියාවක් නොමැති බව මෙම පාලකයන් හොඳින් දනී. 2022 ජුලි 28 වැනි දින, ගෝලීය ප්‍රාග්ධන වෙළෙඳපොළ සඳහා ණය ශ්‍රේණිගත කිරීම් සපයන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්‍රී ලංකාව පිළිබඳව කියා තිබු කරුණු මඟින්ද ඒ බව තහවුරුවේ. ඔවුන් ලංකාව සම්බන්ධයෙන් කියා තිබුiණේ පහත පරිදිය.

“ආණ්ඩුවේ පාර්ලිමේන්තු පදනම ශක්තිමත් බව පෙනෙන නමුත් රජයට ඇති මහජන සහාය දුර්වලය. ජනාධිපති වික්‍රමසිංහ යනු විරෝධතා හේතුවෙන් බලයෙන් පහ කරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පසුගිය පාලන කාලයේ සිටි අගමැතිය. පාර්ලිමේන්තුව සහ ආණ්ඩුවේ ආධිපත්‍යය දරන්නේ රාජපක්ෂ පවුලට සමීප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  දේශපාලනඥයින් විසිනි. මෙය විසින් ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු නොවන්නේ නම් සහ/හෝ ඇති කරන ප්‍රතිසංස්කරණ මහජන විරෝධයක් මතු iකරන්නේ නම්, රට අස්ථාවර කෙරෙන අන්දමේ විරෝධතා ඇතිවීමේ අවදානම තවදුරටත් වැඩි කළ හැකිය.

“රජය විසින් IMF සමඟ එකඟ වන ඕනෑම ප්‍රතිසංස්කරණ පැකේජයක බදු ඉහළ දැමීම, වියදම් කප්පාදු කිරීම සහ විනිමය අනුපාතවල වැඩි නම්‍යශීලීභාවයක් සඳහා කැපවීම වැනි අංග ඇතුළත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එවැනි ප්‍රතිසංස්කරණ විසින් සැළකිය යුතු මහජන විරෝධයක් ඇති කිරීමේ අවදානමක් ඇහි කරන අතර එය එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බාධාවක් විය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට යාමෙන් තොරව, ශ්‍රී ලංකාව නුදුරු කාලයේ ඉතා දුෂ්කර බාහිර තත්ත්වයකට මුහුණ දීමට වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඉන්ධන, ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ආනයන සඳහා පවා ගෙවීම සඳහා  රටට අත්තේ සුළු විදේශ විනිමයක් වන අතර, ජූනි අග වන විට නිල සංචිත වත්කම් ප්‍රමාණය (මාසයක ආනයන සඳහා ප්‍රමාණවත්) ඩොලර් බිලියන 1.9 ක් පමණි”

ලෝක ප්‍රාග්ධන වෙළෙඳපොල සඳහා උපදෙස් දෙන Fitch Ratings පවා දක්වන අදහස් එබඳුය. ඔවුන්ට අනුවද, IMF සමඟ ඇති කරගන්නා ඕනෑම එකඟතාවයක් විසින් ජනයාගේ තත්ත්වය තවත් අයහපත් කරනු ඇති අතර එය ජනතා විරෝධයන් තවත් කුළුගන්වනු ඇත. රාජපක්ෂවරුන්ගේ සහාය ලබන කොටස් ආණ්ඩුවේ ආධිපත්‍යය දැරීම නිසා මෙම විරෝධයන් විසින් රට වඩාත් අස්ථාවර කරනු ඇත.

මේ අතර IMFහි ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ජූලි 26 දින රොයිටර් ප්‍රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කියා ඇත්තේ “චීනය (ලංකාවේ) විශාල ණය හිමියෙකු වන අතර, ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එය සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතුය” යනුවෙනි. ඔහු තවදුරටත් කියා ඇත්තේ “ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය ණය හිමියන් සමඟ පුද්ගලික සහ නිල මට්ටමින් ද්විපාර්ශ්වික වශයෙන් උත්සාහයක නිරත විය යුතුය” යනුවෙනි.

චීනය මේ වන විටත් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිවයුහගත කිරීමට තම අකමැත්ත පළ කළ බව වාර්තා වී ඇත. ඒ අනුව IMF විසින් ලංකාවෙන් ඉල්ලා ඇත්තේ කිරීමට නොහැකි කාර්‍යයකි.

තමන්ට ආර්ථිකය ගොඩ නැගිය හැකි බවටත්, ජාත්‍යන්තර ආයතන වලින් ආධාර ගත හැකි බවටත් වූ නරිවාදන් රනිල්ගේම රෙද්ද පල්ලෙන් බේරෙන්ට පටන් ගෙන ඇත. ජනතා ප්‍රශ්න වලට විසදුමක් නොමැති බව දන්නා ඔවුන් හට, ඉදිරියේදී ජනතා විරෝධයන් තවත් තීව්‍ර වන බව පෙනෙන්ට පටන් ගෙන ඇති තත්ත්වය තුළ, තම පැවැත්ම රැක ගැනීම වෙනුවෙන් කළ හැකි එකම දේ එම ජනතා විරෝධයන් මත මර්ධනය දියත් කිරීමයි.

අද අරගලයට එරෙහිව සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් ගෙන යන්නේත්, අරගලයේ ක්‍රියාකාරීන්ට එරෙහිව දැවැන්ත මර්දනයක් දියත් කර ඇත්තේත් මේ නිසාය. මෙම මර්දනය විසින් පෙන්වා සිටින්නේ, ජනතා ප්‍රශ්න විසඳීමේ ලා රනිල් රාජපක්ෂ පාලනය දක්වන අසමත් කමයි.

රනිල් විසින් ජනතාවට එරෙහිව ගෙනයන මර්ධනය උත්සන්න කිරීමට තවත් හේතුවක් පවතී. අප මෙයට කලින්ද කියා ඇති පරිදි රනිල් වික්‍රමසිංහ යනු කිසිඳු ජන පදනමක් නොමැති අයෙකි. ඔහුගේ පක්ෂට පසුගිය මහ මැතිවරණයේදී මුළු රටෙන්ම ලබාගත හැකිවූයේ  ඡන්ද 2.1%ක් පමණි. ඔහුගේ පාලනය මුළුමනින්ම රඳා පවතින්නේ රාජපක්ෂවරුන්ගේ අනුමැතිය මතය. පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය නොමැතිව රනිල්ට කිසිදු පනතක් සම්මත කරගත නොහැකි වනු ඇත. මේ නිසා සෑම විටම රාජපක්ෂවරුන් සතුටින් තැබීමටත් ඔවුන්ගේ වුවමනාවන් ඉටු කිරීමටත් රනිල්ට සිදුව ඇත. වෙනත් ලෙසකින් කියන්නේ නම් රනිල් යනු රාජපක්ෂවරුන්ගේ දේශපාලන රූකඩයක් පමණි. රාජපක්ෂවරුන් කිහිප වතාවක්ම උත්සාහ ගෙන අසාර්ථක වූ විරෝධතා මැඩ පැවැත්වීමට කටයුතු කිරීම රාජපක්ෂවරුන්ගේ වුවමනාවන් ඉටු කිරීමකි මේ වන විට සනත් නිශාන්ත වැන්නවුන්ගෙන් කියවෙන්නේ රාජපක්ෂවරුන්ට ඇති එම උවමනාවයි.

රනිල් රාජපක්ෂ රෙජීමය ගෙනයන මර්ධනයේ ඇති අනීතික බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින්ම පෙන්වා දී ඇත. රනිල් වැඩ බලන ජනාධිපති වූ වහාම කරනු ලැබුවේ රට තුළ හදිසි නීතිය පැනවීමයි. ඒ සම්බන්ධයෙන් 2022-07-22 දින මානව හිමිකම් කොමිසම නිවේදනයක් සිදකර තිබුණි. “නුසුදුසු ලෙස හදිසි නීතිය ප්‍රකාශ කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනිය. එමෙන්ම අඛණ්ඩව හදිසි නීතිය ප්‍රකාශ කිරීම මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් පාලනය කිරීමට / යටපත් කිරීමට උත්සාහ කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. නුසුදුසු හදිසි ප්‍රකාශය වහාම ඉවත් කර ගන්න” යනුවෙන් එහි දැක්විණි. හදිසි නීතිය ප්‍රකාශ කිරීම ව්‍යවස්ථා උල්ලංඝනයක් ලෙස දක්වමින් මානව හිමිකම් කොමිසම කළ මෙකී නිර්දේශය රනිල් රාජපක්ෂ පාලනය විසින් තුට්ටු දෙකකට ගණන් නොගෙන ඉවත ලූයේ. ව්‍යවස්ථාවේ ආරක්ෂකයින් කියා ගන්නා තක්කඩියන්ගේද නිරුවත හෙළි කරමිනි.

රනිල් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස දිවුරුම් දී පැය 24ක් යාමටත් මත්තෙන් ගාලුමුවදොර අරගලයට එල්ල කළ ප්‍රහාරය ගැනද 2022-02-22 දින මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කොට තිබුණි. “ගාලුමුවදොර අවට සාමකාමී විරෝධතාකරුවන්ට අද අලුයම හමුදාව විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) හෙළා දකියි. විධායකයේ මෙම ක්‍රියාකලාපය ජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝනය කිරීමකි. අපරාධකරුවන් හඳුනාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, එවැනි හමුදාමය ක්‍රියාවන් හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කෙරෙන  රජයේ පාලනය තුළ කෙරෙන කිසිදු ක්‍රියාමාර්ගයක් අනාගතයේදී කිසිදා සිදු නොවන බවට සහතික වන ලෙසත් මානව හිමිකම් කොමිසම රජයට උපදෙස් දෙයි” යනුවෙන් එහි නිර්දේශ කොට තිබුණි. මේ දක්වා රජය මෙකී නිර්දේශය ක්‍රියාත්මක කොට නොමැත.

මානව හිමිකම් කොමිසම දක්වා සිටි ආකාරයට සාමකාමී විරෝධතාවයට පහරදුන් අපරාධකරුවන් අත්අඩංගුවට ගනු වෙනුවට,  අරගලයට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන හදිසි නීතිය යටතේ චෝදනා ගොනු කිරීමට පියවර ගෙන ඇත. ඒ ගැනද 2022-07-22 දින මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කොට තිබූණි. “රටේ සාමාන්‍ය නීතිය යටතේ නොව හදිසි නීතිය යටතේ, තම මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට එරෙහිව චෝදනා නැඟීම නීතියේ ආධිපත්‍යය පළුදු කරයි. අත් අඩංගුවට ගත් අයට හදිසි නීතිය යටතේ චෝදනා ඉදිරිපත් කිරීම සාධාරණීකරණය කළ නොහැක. මේ තත්ත්වයන්ට මුහුණදීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සාමාන්‍ය නීතියක් රට තුළ පවතී”  යනුවෙන් එහි දක්වා තිබුණි.

මේ අනුව මේ වනවිට රනිල් රාජපක්ෂ රෙජිමය විසින් ගෙනයන මර්ධනය මුළුමනින්ම අනීතික, ව්‍යවස්ථා විරෝධී හා මානව හිමිකම් කඩ කිරීමකි.

මේ අතර පසුගිය මැයි 9 දින අරලියගහ මන්දිරයේ සිට පැමිණ ගෝඨාගෝගම විරෝධතාවයට පහර දීම සම්බන්ධයෙන් වන මානව හිමිකම් කොමිමේ වාර්තාවද ජූලි 27 දින නිකුත් විය. එහි තිබූ කරුණු බොහොමයක් අතර මෙසේද දක්වා තිබුණි.

“මෙම තත්ත්වයන් තුළ, වාර්තාවෙන් පෙන්වා දී ඇති පරිදි, සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අපොහොසත් වීමෙන් පොලිස්පතිවරයා පැහැදිලිවම රාජකාරිය කඩ කර තිබේ. ‍මෙම කරුණ සම්බන්ධයෙන් ජනාධිපති තුමා විසින් විමර්ශනයක් සිදුකර පොලිස් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ මෙවැනි ක්‍රියා මින් ඉදිරියට සිදු නොවීමට වග බලා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට නිර්දේශ කරනු ලැබේ.

“සාමකාමී ජනතාවට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් කොළඹ විරෝධතා පැවති ස්ථානවල රාජකාරියේ නිරතව සිටි පොලිස්පතිවරයා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අතපසුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසද අතිගරු ජනාධිපතිතුමාට නිර්දේශ කෙරේ. 2022 මැයි 9 වැනි දින වින්දිතයන් හඳුනාගත හැකි නම්, එම වින්දිතයින්ට සිදුවූ හානි සඳහා පොලීසිය විසින් ප්‍රමාණවත් ලෙස වන්දි ගෙවීය යුතුය “

මානව හිමිකම් කොමිසමේ මෙම නිර්දේශය රනිල් භූමිකාව මනාකොට පරීක්ෂා කරන්නක් බඳුය. රනිල් විසින් මෙම නිර්දේශය ක්‍රියාත්මක කරනු ඇත්ද, එසේ නැතිනම් තමන් දේශපාලන වශයෙන් යැපෙන රාජපක්ෂවරුන් සතුටු කිරීම වෙනුවෙන් එම නිර්දේශයන්ද හමස් පෙට්ටියට යවනු ඇත්ද යන්න ගැන ජනතාව විමසිල්ලෙන් බලා සිටී.

විප්ලව සැමවිටම ප්‍රතිවිප්ලවය සමගත් අරගලය සැමවිටම මර්දනය සමගත් එකට වෙලී ගමන් කරන බව අපි දනිමු. අරගලයක් සාර්ථක අවසානයක් කරා ගෙන යාමට නම් මෙම මර්දනය පරාජය කිරීම අනිවාර්යයෙන් කළ යුතුව ඇත. ඉතිහාසයේ අත්දැකීම් විසින් නැවත නැවතත් පෙන්වා ඇත්තේ මෙවැනි මර්ධනයක් පරාජය කිරීමේ මූලිකම හැකියාව ඇත්තේ කම්කරු පන්තිය වෙත බවය. මේ නිසා මේ වන විට රනිල් රාජපක්ෂ රෙජීමය විසින් අනීතික ලෙසත් ව්‍යවස්ථා විරෝධී ලෙසත් ගෙන යන මර්ධනය පරාජය කිරීම වෙනුවෙන් වැඩකරන ජනතාව බලමුළු ගන්වමින් මහා වැඩ වර්ජනයක් කරා ගමන් කිරීමට සියළු දෙනා පෙළ ගැසිය යුතුය.

Loading