රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි
මහජන ඡන්දයෙන් මුළුමණින්ම ප්‍රතික්ශේප වී සිටි රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් පත්වූ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස දිවුරුම් දී පැය 24ක් යාමටත් මත්තෙන්, එනම් ජූලි 22 අළුයම් වීමටත් පෙර, ගාලු මුවදොර සිටි සාමකාමී හා නිරායුධ අරගලකරුවන්ට රාජ්‍ය හමුදා යොදා ගනිමින් සිදුකළ ප්‍රහාරය තිරශ්චීන, බියගුලු හා ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් ලෙසට අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
අරගලකරුවන්ට මෙන්ම නීතිඥවරුන්, දෙස් විදෙස් මාධ්වේදීන් බොහෝ දෙනෙකුටද මෙහිදී ප්‍රහාර එල්ල වී තිබුණි. යම් පිරිසකගේ ජංගම දුරකථන අත් අඩංගුවට ගෙන ඒවායේ තිබූ යම් වීඩියෝ දර්ශන මකා දමා තිබුණි. බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුණි. මේ ලියන මොහොත වනවිට රට පුරා විවිධ ප්‍රදේශවල පැවති ‘ගෝඨා ගෝ ගම’ ශාඛා ඉවත් කරන ලෙසට පොලිසිය දැනුම් දීම් කර ඇත.
අරගලකරුවන් අද දින එතැනින් ඉවත්වන බව කලින්ම නිවේදනය කොට තිබුණි. මයිනගෝගම ඒ වන විටත් ඉවත් කරගෙන තිබුණි. එසේ විරෝධතාවය අවසන් වීමට පැය කිහිපයක් පමණක් තිබියදී මෙවන් මර්ධනයක් දියත් කිරීමට කිසිඳු හේතුවක් නොවීය. අගමැති වූ විගස ගෝටගෝගම අරගලය පැවතිය යුතු බව කියා සිටි රනිල් ජනාධිපති ලෙස දිවුරුම් දුන් දිනයේම එයට එරෙහිව මර්ධනය දියත් කිරීමෙන් ඔහුගේ පාලනය කොතරම් දුෂ්ඨ හා අධම ස්වරූපයක් ගනු ඇත්ද යන්න මනාව පෙන්නුම් කර ඇත.
අද ජනයා මුහුණ දෙන එකදු ගැටළුවකට හෝ විසඳුම් තමන් වෙත නොමැති බව දන්නා රනිල් ජනයා බිය ගන්වා විරෝධතා යටපත් කිරීමේ උත්සාහයක නියැලී සිටින බව පැහැදිලිය. ඔහු වැඩබලන ජනාධිපති ලෙසින් කළ පළමු කටයුත්ත වූයේද රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමයි. ඒ සමඟම තක්කඩි ලෙස අරගලය ෆැසිස්ට්වාදීන්ගේ බලපෙරළියකට හැරවීමට ඉඩ ඇති බවක් කියා සිටියේය.
රනිල් යනු මහ ජනතාවගෙන් මුළුමණින්ම ප්‍රතික්ශේප වූ පාර්ලිමේන්තුව තුළ තම ඡන්දයට අමතරව එකම ඡන්දයක් හෝ නොමැති අයෙකි. මොහු ජනාධිපති ධුරයට පත් වන්නේ රාජපක්ෂවරුන් ගොඩ නැඟූ පොදුජන එක්සත් පෙරමුණේ ආශීර්වාදයෙනි. අද ඔහුට ඔනෑම පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට නම් රාජපක්ෂවරුන්ගේ පොදුජන එක්සත් පෙරමුණේ සහාය ලබාගත යුතු වේ. වෙනත් ලෙසකින් කියන්නේ නම් රනිල් රාජපක්ෂවරුන්ගේ දේශපාලන වහලෙක් වී හමාරය. රාජපක්ෂලා අවස්ථා ගණනාවකදී උත්සාහ ගත් නමුත් අසාර්ථක වූ ගාලු මුවදොර අරගලය මර්ධනය කිරීම තම පළමු කටයුත්ත ලෙස රනිල් තෝරගෙන ඇත්තේ රාජපක්ෂවරුන්ට තමන් තුළ ඇති වහල් භාවය පෙන්වා සිටීමටය.
අද රට පත්ව ඇති ව්‍යසනයට ප්‍රධානම හේතුවක් වන්නේ දශක හතරහමාරක කාලයක් ලංකාව තුළ ක්‍රියාත්මක කළ නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙලයි. ඒ වෙනුවෙන් ප්‍රධානම කාර්යක් කරනු ලැබුවේ රනිල් වගකීම් දැරූ රජයන්ය. ඒ අනුව අද රටේ පවතින ව්‍යසනයට රනිල්ද එක හා සමානව වගකිව යුතුය.
රනිල්හේ හා ඔහුගේ පාලනයේ මෙම ලේ පිපාසිත ප්රතිගාමීත්වය පරාජය කළ යුතුය. මෙය පරාජය කළ හැක්කේ ප්‍රදාන වශයෙන් කම්කරු පන්තිය මෙම ම්ලේච්ඡ හා පිළිකුල් සහගත ක්‍රියාවට එරෙහිව මහා වැඩ වර්ජනයකට කැඳවීමෙනි. ධනපති පන්තිය විසින් ගෙනයන ලේ පිපාසිත මර්ධනයන් හා ප්‍රති විප්ලවයන් නවතාලිය හැක්කේ කම්කරු පන්තිය ක්‍රියාකාරීත්වයට කැඳවීමෙන් බව ඉතිහාසය විසින් යළි යළිත් පෙන්වා ඇත. ඒ නිසා මේ තීරණාත්මක මොහොතේදී සමස්ත කම්කරු පන්තිය රනිල්ගේ ප්රතිගාමීත්වයට එරෙහිව මහා වැඩ වර්ජනයකට කැඳවීම වෘත්තීය සමිති නායකයන්ගේ මේ මොහොතේ වගකීමයි. එම වගකීම පැහැර හැරීම රට තුළ ලේ පිපාසිත ප්රතිගාමීත්වයට ඉඩ දීමක් වනු ඇත.
ප්රජාතන්ත්ර විරෝධී, ම්ලේච්ඡ රනිල්ගේ ප්රතිගාමීත්වය පරාජය කළ යුතුය. අවසන් කළ යුතුය. ඒ වෙනුවෙන් වහාම අඛණ්ඩ මහා වැඩ වර්ජනයක් කැඳවන ලෙසට සියළු වෘත්තීය සමිති නායකයන්ට බලපෑම් කිරීම වැඩ කරන සෑම අයෙක්මත්, අරගලයට සම්බන්ධ වූ සෑම සියළු දෙනාගේත් යුතුකමක් මෙන්ම වගකීමකි.