මාස ගණනක් පුරා ඇදීයන ජන අරගලය විසින් ප්රතිගාමී රාජ්‍ය යන්ත්‍රය බෙහෙවින් පසු බස්සවා ඇති බව පැහැදිලිය. හිටපු තක්කඩි මහ බැංකු අධිපතිට ගෙදර යාමට සිදුවිය. ඉතා කෙටි කාලයක් තුළ කැබිනට් මණ්ඩල දෙකකට ගෙදර යාමට සිදු විය. මැයි 9 දින මහින්ද රාජපක්ෂටත් ජූනි 9 බැසිල් රාජපක්ෂටත් ගෙදර යාමට සිදුවූයේ නින්දා සහගත ලෙසය. ගෝඨාභය හා රනිල් දෙදෙනා එකවර පලවා හැරීම මේ මොහොතේ ජනතා අධිෂ්ඨානය වී ඇත. ජූලි 9 අප පෙළ ගැසෙන්නේ ඒ වෙනුවෙනි.
ආණ්ඩුවක් පෙරලා දමා තවත් මෙවැනිම උලාපාළු ධනපති පාලනයක් බලයට ගෙන ඒම මෙම විරෝධතාවල අරමුණ නොවිය යුතු බවත්, මෙම සමස්ත ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් අරගලය පෙනී සිටිය යුතු බවත් අප නැවත නැවතත් කියා සිටියෙමු. එමනිසා අරගලයේ ඉල්ලීම් මොනවාද, අරගලයේ වැඩපිළිවෙල කුමක්ද යන්න ගැන පුළුල් සාකච්ඡාවක් ඇති විය යුතු බවද අප මුල සිටම කියා සිටියෙමු.
බොහෝ කලක් ගතවීමෙන් පසුව අරගලයේ යම් කොටස් වෙතින් මේ වනවිට එවැනි වැඩ පිළිවෙලක් ඉදිරිපත්ව ඇතත් එය පවතින ව්‍යවස්ථා රාමුව තුළ හිදිමින් පවතින ක්‍රමය එලෙසම පවත්වා ගැනීමට තරම් ප්‍රවේසම් සහගත වී තිබීම කණගාටුවට කරුණකි. ඒ අතරම කලක් ‘නිර්පාක්ෂික’ යයි කියාගත් අරගලය අද වනවිට එක්වරටම ‘සර්ව පාක්ෂික’ බවටද පත් වෙමින් ඇත.
අරගලයේ ක්‍රියාකාරීන් ලෙසට හඳුන්වා ගන්නා ‘Galle Faceහි විරෝධතාකරුවෝ’ නම් කණ්ඩායමක් 2022.07.05 දින ඉදිරිපත්ක කළ ‘ක්‍රියාකාරී සැලැස්ම’ විසින් අරගලයේ වත්මන් දිශානතිය ගැන ඉඟියක් සපයයි. මෙම වැඩසටහන කලින් නීතීඥ සංගමය විසින් යෝජනා කරන ලද වැඩසටහනේ අනුරුවක්ම බව පැහැදිලිය. අප ඒ ගැන මීට කලින් බොහෝ වාර්යක් සාකච්ඡා කොට ඇත. මෙම වැඩ පිළිවෙල එළි දැක්වීමේ අවස්ථාවට සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂවලද කොටස් සහභාගි වී සිටීම විශේෂය. මේ අතරින් සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වත්මන් අර්බුදයට එකසේ වගකිව යුතු කොටස් වීම බෙහෙවින් කණගාටුවට කරුණකි.
එක්සත් ජාතික පක්ෂයත්, බොහෝ කලක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් ලෙස සිටි පිරිසකගෙන් සැදුම්ලත්, එක්සත් ජාතික පක්ෂයේ ප්රතිපත්තීන් එලෙසින්ම පවත්වාගෙන යන සමඟි ජන බලවේගයද වත්මන් අර්බුදයේ සම කොටස් කරුවන් බව අප අමතක නොකළ යුතුය. ලංකාව අධිරාජ්‍යවාදී මූල්‍ය ප්රාග්ධනයට නිරුවත් ලෙස නිරාවරණය කිරීම, ලෝක බැංකුවේ හා IMF උපදෙස් හා කොන්දේසි මත රාජ්‍ය ව්‍යවසායන් කුණු කොල්ලයට පෞද්ගලීකරණය කිරීම, රුපියලේ අගය තියුණු ලෙස අවප්‍රමාණය කිරීම, සංවර්ධනය වෙනුවෙන් යයි කියමින් දැවැන්ත පරිමාණයෙන් විදේශ ණය ගැනීම, කම්කරු නීති රීති බාල්දු කරමින් ඉතාම අඩු වැටුපකට ශ්‍රමය සූරා කෑමට අවශ්‍ය තත්ත්වයන් රට තුළ ඇති කිරීම, දූෂණ හා වංචා ඉහළ යාමේ පරිසරයක් සකස් කිරීම ආදී සියල්ල ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විසිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලිකත්වයෙන් 1994 සිට බිහිවූ පාලනයන් විසින් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය විසින් ඊට කලින් ඇතිකළ ආර්ථික හා දේශපාලන රාමුව සහ ව්‍යුහය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමයි. ඒ අනුව වත්මන් අර්බුදයට එක්සත් ජාතික පක්ෂයත් ඔවුන් සමඟ එකට සිටි සමඟි ජන බලවේගයත් පවතින ආණ්ඩුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හා සමානව වගකිව යුතුය. මෙම සියළු දෙනා අරගලය තුළ ජනතාව විසින් දැඩි ලෙස නැවත නැවතත් ප්‍රතික්ශේප කොට සිටියේ ඒ නිසාය.
අද ඔවුන් උත්සාහ දරන්නේ බොරදියේ මාළු බෑමටය. මාස ගණනක් ජනතාව එයට ඉඩක් ලබා නොදුන් නමුත් මේ වනවිට ‘අරගලයේම’ යම් පිරිස්වල බංකොලොත්කම හේතුවෙන් ඔවුන්ට ඒ වෙනුවෙන් අවස්තාවක් ලබා ගැනීමට හැකිවී ඇත.
පවතින ව්‍යවස්ථා රාමුව තුළ හිදිමින් මෙම අර්බුදයට විසඳුම් සෙවීම නිශ්ඵල බවද අපි නිරන්තරයෙන් කියා සිටියෙමු. අර්බුදයට ඇති විසඳුම් සැමවිටම පවතින ව්‍යවස්ථා රාමුව තුළම පිහිටුවීමට අවශ්‍ය නොවේ. විශේෂයෙන් මෙවන් අර්බුදකාරී අවස්ථාවක් ගත්විට, පවතින ව්‍යවස්ථා රාමුව එම අර්බුදයට බලගතු ලෙස දායක වී ඇති බව හොඳින්ම පෙනී යන විට අර්බුදයට තුඩු දුන් එම ව්‍යවස්ථා රාමුව තුළම පිහිටමින් විසඳුම් සෙවීමට කිසිඳු හැකියාවක් නොමැත. එය නිශ්ඵල ප්රයත්නයකි. මේ අවස්ථාවේදී ජනතාව පවතින පාලන ක්‍රමයෙන් ඇති තරම් හෙම්බත් වී ඇත. ඔවුන්ට මෙම ක්‍රමයෙන් ගැලවීමට ඇත්තේ විශාල වුවමනාවකි.
වත්මන් පාලන ක්‍රමය හෙවත් විධායක ජනාධිපති ක්‍රමය සහිත පාර්ලිමේන්තු ක්‍රමය කිසිසේත් ජනතාවගේ වුවමනාවන් අමතන, ඒවා ගැන සොයා බලන හා ඒවාට විසඳුම් දෙන ක්‍රමයක් නොවන බව මේ වනවිට හොඳින්ම පැහැදිලි වී ඇත. මෙම ක්‍රමය සකස් කෙරුණේම අධිරාජ්‍යවාදී වුවමනාවන් මත, නව ලිබරල්වාදී වැඩ පිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වුවමනා දේශපාලන පරිසරයක් ගොඩ නැඟීමටය. අද එම ආර්ථික වැඩ පිළිවෙල විසින් ජනතාවට අත්කර දුන් දේ පැහැදිලිය. ඒ අනුව එකී ව්‍යසනකාරී ආර්ථික වැඩ පිළිවෙල ගෙනයාම වෙනුවෙන් සකස් කළ වත්මන් ව්‍යවස්ථාවද, ඉන් ඇතිකොට ඇති විධායක ජනාධිපති, පාර්ලිමේන්තුව ඇතුළු ආයතනික ව්‍යුහයද අහෝසි කළ යුතුමය. ඒ සඳහා මෙම ක්‍රමය වෙනස් කරමින්, වැඩපළ මට්ටමින් සේවක කමිටු, ගොවි හා ධීවර කමිටු හා ප්‍රාදේශීය මට්ටමින් ජනතා සභා ගොඩ නඟමින් ඒවායින් තේරී පත්වන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ජනතා පාලනයක් ගොඩ නඟා ගැනීම රටේ ප්‍රශ්න විසඳාගැනිමට ප්රවේශවීම වෙනුවෙන් වන ප්‍රධානම අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.
අනෙක් අතට රටේ ප්රශ්නය වී ඇත්තේ ධනය නොමැති වීම නොව, රටේ ධනය ඉතාම සුළු පිරිසක් අත ගොඩ ගැසී පැවතීමයි. මැයි 9 දින විනාශ වූ දේපළවල වටිනාකම යයි ඉදිරිපත් කරන ගණන් පවා ඒ වෙනුවෙන් සාක්ෂි දරයි. අනෙක් අතට රටේ විදේශ විනිමය සංචිත වල ඩොලර් නොමැති වුවද ලංකාවේ කළුකඩයේදී ඕනෑ තරම් ඩොලර් ගණුදෙනු සිදු කිරීමේ හැකියාවක් ඇත. මේ නිසා අවශ්‍ය කරන්න්නේ එසේ ගොඩ ගැසී ඇති ධනය පවරාගෙන ජනතා යහපත වෙනුවෙන් භාවිතා කිරීමයි. නොඑසේව රට තව තවත් ණය කරමින් රටේ දේපළ විකුණමින් අනාගත පරම්පරාවන්ගේ විනාශය තවත් තහවුරු කෙරෙන ක්‍රියාවන් කරා යාම නොවේ.
මාස ගණනක් පුරා මෙතරම් ප්‍රබල ජන අරගලයක් දිග හැරෙමින් තිබියදීත් ලංකාවේ වෘත්තීය සමිති නායකයන්ට අඛණ්ඩ මහා වැඩ වර්ජනයක් කැදවීමට නොහැකිවීම ඛේදජනකය. ඕනෑම ආණ්ඩුවකට දැනෙන බලපෑමක් කළ හැක්කේත් ආණ්ඩුව බිඳ දැමිය හැක්කේත් මහා වැඩ වර්ජනයක් මඟිනි. ජනතාව ගෙනයන විරෝධතා ඵලදායී අවසානයක් කරා ගෙන ආ හැක්කේ එවැනි අඛණ්ඩ මහා වැඩ වර්ජනයකිනි. එහෙත් මෙම අරගලය ආරම්භ වී මාස ගණනක් ගතව තිබියදීත් අඛණ්ඩ මහා වැඩ වර්ජනයක් නොකැඳවීම විසින් පෙන්වාලන්නේ මේ වනවිට වෘත්තීය සමිති නායකත්වය පත්ව ඇති පසුගාමී හා බෙලහීන තත්ත්වයයි. මෙම බෙලහීන තත්ත්වය වෙනස් කර ගනිමින් ජූලි 9 දිනට පන්ති ව්‍යාපාරයේ සටන් ක්රියාකාරීත්වයක් ආරම්භ කිරීමද මේ මොහොතේ අත්‍යාවශ්‍යව ඇත.
මේ අනුව ජූලි 9 දින අප හමුවේ ඇති වගකීම ඉතා පැහැදිලිය. ගෝඨාභය හා රනිල් දෙදෙනා එකවර පලවා හැරීම මෙන්ම මෙම අර්බුදයට වගකිව යුතු කුමනම හෝ කණ්ඩායමකට ඉඩ නොදීමද අපගේ මූලික අරමුණක් විය යුතුය. ඒ වෙනුවෙන් අප පහත ඉල්ලීම් ඉදිරිපත් කරමින් ජූලි 9 අරගලයට අවතීර්ණ විය යුතුය.
• ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ දෙදෙනාම වහාම ඉල්ලා අස්වීම !
• අන්තර්වාර හෝ වෙනත් එවැනි ප්‍රෝඩාවන්ට ඉඩ නොදීම !
• සියළු ආකාරයයේ මර්ධනීය ක්‍රියා හා රජය විසින් කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වහා නැවැත්වීම ! එහිම පියවරක් ලෙසින් හදිසි නීතිය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.
• මැයි 9 සිදුවීම් ඇතිකළ මයිනගෝගම හා ගෝටාගෝගම ප්රහාරයන් සැළසුම් කළ, ඒවාට අනුබල දුන්, ඒවාට සහභාගි වූ සියළුම දෙනා (පොලීසියේ ඉහළ නිලධාරීන්ද ඇතුළුව) අත් අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීම !
• මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති, මැයි 9 ම්ලේච්ඡ ප්රහාරයන්ගෙන් පසු ආත්මාරක්ෂාව හා විරෝධය පෑමේ අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මක වූ විරෝධතාකරුවන් හා ආධාරකරුවන් වහාම නිදහස් කිරීම !
• ජනතාවට ව්‍යසනයක් වූ ආර්ථික-දේශපාලන ක්‍රමය වෙනස් කිරීම ! ඒ වෙනුවෙන් වැඩපළ මට්ටමින් සේවක කමිටු, ගොවි හා ධීවර කමිටු හා ප්‍රාදේශීය මට්ටමින් ජනතා සභා ගොඩ නඟමින් ඒවායින් තේරී පත්වන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ජනතා පාලනයක් ගොඩ නැඟීම !
• එකී ජනසභා භාවිතා කරමින් පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව ජනතා සහභාගීත්වයෙන් ජනතා ව්‍යවස්ථාවක් ගොඩනඟා ගැනීම !
• සියළු විදේශ ණය ගෙවීම් තාවකාලිකව නවතාලීම ! IMF යනු විසඳුමක් නොව තොණ්ඩුව තවත් තද කිරීමක් නිසා IMF කොන්දේසි ප්‍රතික්ශේප කිරීම !
• බහුජාතික සමාගම් හා බහුජාතික බැකු වල ධනය පවරා ගනිමින් ජනතා අවශ්‍යතා සපුරාලීම! ජනතාව පෙළන භාණ්ඩ හිඟයට වහා පිළියම් යෙදීම !
• සෞඛ්‍ය, අධ්‍යාපනය හා ප්‍රවාහනය වැනි අත්‍යාවශ්‍ය සේවාවන් ජනතා පාලනය යටතට පැමිණවීම !
• ජනතාවට සාධාරණ මිළකට නොකඩවා ඉන්ධන හා විදුලිය ලබාදීම වෙනුවෙන් විදුලිබල හා බලශක්ති ක්ෂෙත්රය මුළුමනින්ම රජයේ පාලනය යටතට ගැනීම
• උද්ධමනයට සමානුපාතිකව සේවක වැටුප් වැඩි කිරීමේ යන්ත්‍රණයක් සැකසීම !
• සුළු හා මධ්‍ය පරිමාණ ගොවි හා ධීවර ණය අහෝසි කිරීම !
• අවසන් වසර 25ක කාලයක් ආවරණය වන පරිදි සියළු දේශපාලනඥයින්ගේ හා සියළු රාජ්‍ය සේවකයින්ගේ ආදායම් හා වියදම් හා උපයාගත් වත්කම් හා බැරකම් විගණනය කිරීම හා අයථා ලෙස උපයාගත් ආදායම හා වත්කම් රජයට ලබා ගැනීමට කටයුතු කිරීම !
• සියළු ආකාරයේ වංචා, දූෂණ හා අක්රමිකතාවන් නවතාලීමට පියවර ගැනීම. වංචනිකයන් හා දූෂිතයන් ජනතා අධිකරණයක් ඉදිරියට පමුණුවා පැහැරගත් වත්කම් යළිත් ජනතා අයිතියට ලබා ගැනීම !
• විරැකියාව නැති කෙරෙන, කාර්මික සංවර්ධනය සමඟ පරිසර හා දේශගුණික චිරස්ථායීභාවය සහතික කෙරෙන වැඩ කාර්මීකරණ පිළිවෙලක් සකස් කිරීම හා ක්‍රියාවට නැඟීම !