මාධ්‍යවේදී සජීව විජේවීරට දුරකථනයෙන් තර්ජනය කිරීම සම්බන්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම

පොලිස්පතිතුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
2022/06/22

මහත්මයාණෙනි,

මාධ්‍යවේදී සජීව විජේවීරට දුරකථනයෙන් තර්ජනය කිරීම සම්බන්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා පිළිබඳව පළ කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්, අද දින (2022. 06. 22) පෙරවරුවේ 0701860473 දුරකථන අංකයෙන් Rata.lk වෙබ් අඩවියේ මාධ්‍යවේදී සජීව විජේවීර මහතාගේ ජංගම දුරකතනයට ඇමතූ ‘වලස්මුල්ලේ චමින්ද’ ලෙස තමන් හඳුන්වා දුන් පුද්ගලයෙක් ඔහුට මරණීය තර්ජනයක් සිදු කොට තිබේ.

දින තුනකට පෙර ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධව Rata.lk වෙබ් අඩවියේ පළ කළ ප්‍රවෘත්තිය පිළිබඳව ප්‍රශ්න කර ඇති මෙම පුද්ගලයා, ‘අපේ මිනිහාට මොකක් හරි වුණොත් බලාගත හැකියැ’ යි පවසා, ‘සතියක් ඇතුළත ඔහු හමු වීමට එන බව’ කියමින් තර්ජනය කර තිබේ.

මේ පිළිබඳව මාධ්‍යවේදී සජීව විජේවීර මහතා අංක CIB 04 351/157 යටතේ පෝද්දල පොලීස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ නිදහස් වාර්තාකරණයට හා මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා එල්ලකරන මෙවැනි තර්ජනාත්මක සිදුවීම් ගණනාවක් පසුගිය කාලය තුළ වාර්තා වී ඇතත් ඒ පිළිබඳ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම කනගාටුදායක තත්ත්වයකි.

එබැවින් මෙ තර්ජනය පිළිබඳ වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා තර්ජනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, මාධ්‍යවේදී සජීව විජේවීර මහතාගේ ආරක්ෂාව තහවුරු කරණ ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

Loading