අපට අවශ්‍යවන්නේ වමේ ව්‍යාපාරයකට නායකත්වය දිය හැකි මාක්ස්වාදී ව්‍යාපාරයකි.

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

ධනපති ක්‍රමය බිහිවීමෙන් පසු එය සිදු කරන සූරාකෑමටත්, ඉන් ඇතිවන දැඩි අහිතකර ප්‍රතිවිපාක වලටත් එරෙහිව ආරම්භ වූ පළමු සංවිධිත ව්‍යාපාරය වූයේ මාක්ස්වාදී ව්‍යාපාරයයි. මාක්ස් හා එංගල්ස්ගේ පුරෝගාමීත්වයෙන් 1847දී ආරම්භ කළ කොමියුනිස්ට් ලීගය හා 1864දී ආරම්භ කළ ‘පළමු ජාත්‍යන්තරය’ ලෙසින් හඳුන්වන ජාත්‍යන්තර වැඩකරන්නන්ගේ සංගමය එහිලා තැබූ දැවැන්තම පියවරයන් විය. අරාජිකවාදීන් මාක්ස්වාදීන්ගෙන් බෙදී වෙන්වූයේ පළමු ජාත්‍යන්තරය තුළදීය. මාක්ස්ගේ අභාවයෙන් පසු එංගල්ස්ගේ පුරෝගාමීත්වයෙන් 1889දී ආරම්භ කළ ‘දෙවන ජාත්‍යන්තරය’ හෙවත් ‘සමාජවාදී ජාත්‍යන්තරය’ ලෝක පරිමාණව මාක්ස්වාදී අදහස් මත පදනම් වූ දැවැන්ත බහුජන පක්ෂ ගොඩ නැඟීය. යුරෝපයේ බොහෝ (පාර්ලිමේන්තු වැනි) ව්‍යවස්ථාදායකයන් තුළට සැළකිය යුතු ප්‍රමාණයෙන් තම නියෝජිතයන් යැවීමට මෙම පක්ෂවලට හැකියාව ලැබුණි. පැය 8 වැඩ දිනය දිනා ගනු ලැබුණි. අද පාලකයන් විසින් පවා මහ උජාරුවෙන් සමරන මැයි දිනය හා කාන්තා දිනය සැමරීම ආරම්භ කරනු ලැබුවේද දෙවන ජාත්‍යන්තරයේ තීරණයන් අනුවය. එකල ඒවා සැමරීම විප්ලවාදී ක්‍රියාවන් විය. රුසියාවේ 1917 පෙබරවාරි විප්ලවය ආරම්භ වූයේද එම කාන්තා දින සැමරුමකිනි.

දෙවන ජාත්‍යන්තරය මෙසේ බහුජන පදනමක් කරා ගමන් කරන අතරම ඒ තුළට ප්‍රතිසංස්කරණවාදී අදහස්ද කාන්දු වන්නට විය. මේවා පැමිණියේ මධ්‍යම පාන්තික බුද්ධිමතුන් කියාගන්නා අයගෙනි. මොවුන් අදහස් කළේ තවදුරටත් විප්ලවයක් අනවශ්‍ය බවත් ක්‍රමානුකූල ප්‍රතිසංස්කරණ හරහා  ධනපති ක්‍රමය වෙනස් කළ හැකි බවත්ය. අප ප්‍රතිසංස්කරණවාදීන් ලෙසට හඳුන්වන්නේ මෙවැනි කොටස්ය. ඒ අතරම ඇතැමුන් මාක්ස්වාදය  සංශෝධනය කිරීම වෙනුවෙන්ද කතා කරන්නට විය. සංශෝධනවාදීන් ලෙස අප හඳුන්වන්නේ මොවුන්ය. දෙවන ජාත්‍යන්තරය තුළ ලෙනින් හා ට්‍රොට්ස්කි අරගල කළේ මෙම ප්‍රතිසංස්කරණවාදීන්ට හා සංශෝධනවාදීන්ට එරෙහිවය. ලෙනින් හා ට්‍රොට්ස්කිගේ නිවැරදි දැක්ම හේතුවෙන් රුසියානු විප්ලවය ජයග්‍රහණයය කළ අතර පළමු ලෝක යුද්ධය අවසානයේ යුරෝපයේ බොහෝ රටවල පැන නැගී විප්ලවවාදී ව්‍යාපාරයන් ඒ වනවිට එම රටවල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල නායකත්වයේ සිටි ප්‍රතිසංස්කරණවාදීන් හේතු කොට පරාජයට පත්විය.

1918දී ලෙනින් හා ට්‍රොට්ස්කි ඇතුළු අයගේ නායකත්වයෙන් තුන්වන ජාත්‍යන්තරය හෙවත් කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවනු ලැබුවේ මේ නිසාය. මෙතැන් සිට ධනපති ක්‍රමය තුළ ඇති අහිතකර ප්‍රතිවිපාක ගැන කතා කරන එය වෙනස්විය යුතු බව පවසන කණ්ඩායම් ගණනාවක් විය. විප්ලවය පිළි ගන්නා මාක්ස්වාදීන්ට අමතරව විප්ලවය ප්‍රතික්ශේප කරන ප්‍රතිසංස්කරණවාදීන් හා සංශෝධනවාදීන් මෙන්ම අරාජිකවාදීන්ද ඒ අතර විය. පසු කලෙක සෝවියට් දේශය තුළ ස්ටාලින් යටතේ ඇතිවූ නිලධරවාදී පිරිහීම් ආරක්ෂාකළ කොමියුනිස්ට් පක්ෂද මේ ගොඩට වැටුණි. මේ සියළු දෙනාගේ බංකොලොත්කම නිසා ඇතිවූ සුළු ධනේශ්වර ව්‍යාපාරයන්ද පසු කලෙක මේ ගොඩටම එකතු විය. පොදුවේ මේ සියළු කොටස් එක්ව ගෙන හැඳින්වීම සඳහා ‘වමේ ව්‍යාපාරය’ යන යෙදුම භාවිතා කරයි. එහෙත් එයින් ලෙනින් හා ට්‍රොට්ස්කිගේ බෝල්ශේවික් සම්ප්‍රදායන් මත පදනම්ව ජාත්‍යන්තරවාදී විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනඟමින් ධනපති ක්‍රමය පෙරළා දැමීම වෙනුවෙන් පෙනී සිටින්නේ මාක්ස්වාදීන් පමණි.

අපට අවශ්‍යවන්නේ වමේ ව්‍යාපාරයක් පමණක් නොවේ. වමේ වයාපාරයකට නායකත්වය දිය හැකි මාක්ස්වාදී ව්‍යාපාරයකි. එය ගොඩනැඟීම අපගේ වගකීමයි.

Loading