ප්‍රාදේශීය වාර්තා කරුවකු විසිනි
වව්නියා විශ්ව විද්‍යාලය විවෘත කිරීමට බව කියමින් වන්නියට පැමිණි ජනාධිපතිවරයාගෙන් සිය දරුවන් ඉල්ලමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා. අතුරුදහන් වුවන්ගේ පවුල්වල ඥාතීන් ජනාධිපතිවරයා වව්නියාවට ගිය පෙබරවාරි 11 වැනි සිකුරාදා කළු කොඩි අතැතිව වව්නියාව – මන්නාරම ප්‍රධාන මාර්ගයේ දී විරෝධතා දක්වා තියෙනවා.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ විරෝධතාකරුවන් ජනාධිපතිවරයා මුණ ගැසීම සදහා විශ්වවිද්‍යාලය දක්වා විරෝධතා පා ගමනින් යෑමට සුදානම් වු මොහොතේ පම්බයිමඩු හමුදා මාර්ග බාධකයේදී නිල ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ගමන නතර කළ බවයි.
එම බාධා කිරීම හමුවේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විමෙන් පසු එම ස්ථානයට පැමිණි ජනාධිපති කාර්යාංශයේ නිලධාරියෙක් විරෝධතාවයේ යෙදී සිටින දෙමළ මව්වරුන්ට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීම සදහා අවස්ථාව ලබා දිය හැක්කේ දෙදෙනකුට පමණක් බවයි.
ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් පැමිණි යෝජනාව ප්‍රතික්ෂේප කළ මව්වරුන් අවධාරණය කර ඇත්තේ තමන් විසින්ම රජයේ ආරක්ෂක අංශ වෙත බාර දුන් සමීපතමයන්ට අත් කළ ඉරණම දැනගැනීම සදහා ඒ ඉරණමට මුහුණ පෑ සියළු දෙනාම ජනාධිපතිවරයා මුණ ගැසිය යුතු බවයි.
“අපි අතින් දුන්න ළමයි කෝ දැන්. අල්ලගෙන ගිය මහත්තයලා, දරුවෝ කෝ දැන්. කවුරුවත්ම නෑ දැන්. ජනාධිපති ඇවිල්ලා මේක ඕපන් කරලා යනවා.ඒ ගොල්ලන්ට සිංහල කට්ටිය ඉන්නවා. අපිට කවුද ඉන්නේ? මේ ලංකාවේ අපිට අයිතියක් නැද්ද” එම මව්වරුන් විමසා තිබුණා.
වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් වෙනුවෙන් රජයෙන් මරණ සහතික, වන්දි මුදල් අවශ්‍ය නොමැති බව අවධාරණය කළ දෙමළ වව්වරුන් සිංහල බසින් කියා සිටියේ තමන් විසින්ම බාර දුන් සමීපතමයන්ට අත්වු ඉරණම කුමක්දැයි දැනගැනීම පමණක් අවශ්‍ය බවයි.