ශ්‍රීනාත් පෙරේරා විසිනි
නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා වශයෙන් පත්වී වසර දෙකක් ඉක්ම ගියේය. මේ දෙවසර කෙටියෙන් විස්තර කළහැකි පාඨ කීපයක්ම ඇත්තේය. අපරාදෙ, නාස්ති වූ දෙවසරක්, නටපු නැටුමකුත් නැහැ – බෙරේ පලුවකුත් නැහැ ආදී වශයෙන් එය දැක්විය හැකිය. මේ දෙවසරේ සිදුවූයේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටීමය. ඇත්තටම එය සැර මදිය. ගෝඨාභය පාලනය විසින් ජනයා මරු කටට දක්කා ඇත. මේ තරම් අදක්ෂ, මෝඩ, තකතිරු, තක්කඩි,උද්ධච්ච පාලකයකු මේ දක්වා මේ රටේ සිට නැතැයි මහත් උජාරුවෙන් ඔහුට ඡන්දය දුන් පිරිස්ම පවසන්නට පටන්ගෙන ඇත. දැන් එයිනුත් එහාට ගොස් “මේ යකා පිස්සෙක්” කියන තැනට ජනයා ගමන් කොට ඇත. විශේෂයෙන්ම ඔහුගේ පාලනය යටතේ උද්ගත වී ඇති පෝලිම්වල මේ කතා වැඩි වැඩියෙන් අහන්නට ලැබේ.
පහුගිය දෙවසරින් වැඩි කාලයක් ගෙවී ගියේ කොරෝනා වසංගතය මැදය. ඒ නිසා තමාට රිසි සහ පොරොන්දු වූ ආකාරයට වැඩ කරන්නට නොහැකි වූ බවට ගෝටා ඇතැම් අවස්ථාවල පවසා තිබිණි. එහෙත් ඒ එක්කම වසංගතයක් මැද පවා මෙච්චර වැඩකළ බවට ඔහු සහ ඔහුගේ ගෝලයන් වහසි බස් දෙඩූ අවස්ථාද ඕනෑ තරම් තිබිණි. ඒ නිසා කොරෝනාවට මුවාවී ගෝඨාභයට තම නොහැකියාව වසාගැනීමට ඉඩ දිය නොහැකිය. අපේ කලාපයේම පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල් මේ උවදුර මැද ආර්ථික වශයෙන් ඉදිරියට යාමට සමත් වී ඇති අතර වසංගතයටද සාර්ථක අයුරින් මුහුණදීමට සමත් වී තිබේ. පාලනය කරගත නොහැකි තරමේ ජනගහනයක් සහ ප්‍රශ්න කන්දක් ඇති ඉන්දියාවේ පවා ගැටළු තිබුණද සුවිශාල අර්බුදයකින් තොරව රට කරගෙන යාමට මෝදි අගමැතිවරයාට හැකිවී තිබේ. එහෙත් ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාව අර්බුදයෙන් අර්බුදයට යමින් තිබේ. අපේ රට අද පවතින්නේ කරවටක් මුහුදේ ගිලුනු මිනිසකු පණ බේරගන්න දඟලන්නාක් වැනි තත්වයකය.
මේ ජනාධිපතිවරයාගේ පාලන කාලය තරම් මේ රට අස්ථාවර වූ කාලයක් නැතැයිද කිවහැකිය. රටක ස්ථාවර බව සාමාන්‍යයෙන් මනිනුයේ ඒ රටේ ආණ්ඩුව හදිසියේ බිඳ නොවැටී පවත්වාගෙන යාමට කොතරම් දුරට හැකියාවක් පවතීද යන කාරණය මතය. ගෝඨාභයගේ ආණ්ඩුව මේ මොහොතේ හදිසියේ කඩාවැටීමේ අවදානමක් නැතත් රට පවතින්නේ ඉතාම අස්ථාවර තැනක බව ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට වුව පෙනේ. රටේ ජනතාවට කන්න කෑම බීම ටිකවත් සපයාගන්නට බැරි තත්වයකි අද ඇත්තේ. ණය කන්දකට මුළු රටම යටවී ඇත. විදේශ සංචිත ඇත්තේ යන්තම් මාසයකට අවශ්‍ය ආනයන සඳහා පමණි. ණය ගෙවා ගත නොහැකිව ලෝකය ඉදිරියේ බංකොලොත් වීමට ඔන්න මෙන්න තත්වයක් උද්ගත වී ඇත. එවන් පරිසරයක් තුළ ගොවියා, ධීවරයා, කම්කරුවා, සිසුවා, රාජ්‍ය සේවකයා, සෞඛ්‍ය සේවකයා, තේ වගාකරුවා ඇතුළු සියළු සමාජ තීරු දැඩි පීඩනයකට ලක්ව ඇති අතර තම පැවැත්ම තහවුරු කරගැනීම උදෙසා මේ හැම කොටසක්ම මේ වනවිට වීදි බැස තිබේ.
ගෝඨාභය රාජපක්ෂගේ අසමත්කම පෙන්වන ප්‍රධාන කාරණයක් වන්නේ ඔහු ගත් කිසිදු ප්‍රධාන තීරණයක් සාර්ථක නොවීමයි. මහජනයාට සහන සැලසීම අරමුණු කරගෙන යයි කියා ඔහුගේ පාලනය යටතේ පැවති පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම ගනුලැබූ එක තීරණයක් වූයේ 15%ක්ව පැවති වැට් බදු අනුපාතිකය 8% දක්වා පහළ දැමීමයි. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හරි අඩකින් මෙන් අඩු විය් යුතුව තිබිණි. එහෙත් එසේ බඩු මිල අඩුවූයේ නැත. එයින් වාසි ගත්තේ ව්‍යාපාරිකයන් පමණි.
මේ ජනාධිපතිවරයාගේ පාලන රටාවේ දැකිය හැකි එක ප්‍රධාන ලක්ෂණයක් වනුයේ තීරණ ගැනීමේදී අනුගමනය කරන ලද උද්ධච්ච අහංකාර පරවශ ස්වභාවයයි. එය ඉතා හොඳින් ප්‍රකට වූයේ පළමු කොරෝනා රැල්ල ආරම්භ වූ පහුගිය වසරේ මාර්තු මාසයේදීය. වෛරසය ආසාදනය වූ 28 දෙනකු හමුවූ පසු 2020 මාර්තු 16දා ඔහු “ජාතිය අමතා” කතා කළේය. ඒ වනවිට මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අරඹා තිබිණි. ජාතිය අමතා කතා කරමින් ගෝටා ප්‍රකාශ කළේ රෝගීන් 28 දෙනකු හමුවීම නිසා නාමයෝජනා භාරගැනීම නැවැත්වීම හෝ කල්දැමීම කළ නොහැකි බවත්, රට ලොක්ඩවුන් කිරීමට හෝ ගුවන් තොටුපොළ වසාදැමීමට අවශ්‍ය නැති බවත්ය. එසේවුවද එම කතාව කොට දින හතරක් ගතවන විට ඔහු කරන්නට බැරියයි කී සියළු දේ කිරීමට ඔහුට සිදුවිය. ඒත් ඒ හේතුවෙන් රටට සිදුව හානිය ඉමහත්ය. 14,000කට අධික ජීවිත ප්‍රමාණයක් මේ වනවිට බිලිගෙන ඇති කොවිඩ් 19 වසංගතයට ගෝඨාභය රට ගොදුරු කළේ මේ අයුරිනි. අද අප තවමත් ගෙවමින් සිටින්නේ නන්දසේන ජනාධිපතිවරයා අප මත පැටවූ පව් ය.
මේ ජනාධිපතිවරයාගේ උද්ධච්ච ස්වභාවය පෙන්නුම් කරන හොඳම නිදසුන වන්නේ පොහොර පිළිබඳ ප්‍රශ්නයේදී ඔහු ක්‍රියා කළ ආකාරයයි. ඔහුගේ ඊනියා සෞභාග්‍යයේ දැක්මෙහි පොහොර පිළිබඳව සඳහන් වන්නේ වසර 2030 වනවිට රටේ කෘෂිකර්මය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යෙදවීම කරන බවයි. එක රැයින් කාබනික පොහොරට යොමුවීමක් කිසිසේත් අපේක්ෂා කරන ලද්දේ නැතැයි එය කෙටුම්පත් කිරීමට සම්බන්ධ වූවෝම පවසති. එහෙත් ජනාධිපතිවරයා පසුගිය අප්‍රේල් 26දා හිටිහැටියේ ඇමති මණ්ඩලයට යෝජනා කරසිටියේ මෙවර මහ කන්නයේ සිටම රසායනික පොහොර තහනම් කොට කාබනික පොහොර පමණක් වගාවන් සඳහා යෙදවීමටය. අද මේ ගැන කෑගහන බොහෝ ඇමතිවරුන් එදා ලයිට් කනු ලෙසින් එම යෝජනාවට එකඟ වී තිබිණි. ඒ අනුව මැයි මාසය ආරම්භයේ සිට රසායනික පොහොර ගෙන්වීම තහනම් විය. එම තීරණයත් සමග මෙරට කෘෂි ක්ෂේත්‍රයේ ඇතිවූ අර්බුදය අමුතුවෙන් විස්තර කළයුතු නොවේ. තමාට ඕන නම් හමුදාව යොදවා ගොවීන් කණින් අල්ලා කාබනික පොහොරින් වගාකරන්නට යෙදවිය හැකි බව ජනාධිපතිවරයා පළකළේ මීට දෙසතියකට පෙරය. එසේ කියා අනෙක් පැත්තට හැරෙන විටම රසායනික පොහොර තහනම ඉවත් කරන්නට ඔහුට සිදුවිය.
හාල් ආනයනය, සීනි බද්ද අඩුකිරීම, යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීම වැනි බොහෝ කාරණාවලදී මේ ජනාධිපතිවරයා ක්‍රියා කළේ තනි මතයට තීන්දු ගනිමිනි. දේශපාලනය හෝ රටක් පාලනය කිරීම පිළිබඳව කිසිදු දැක්මක් හෝ අඩු වශයෙන් හැඟීමක්වත් නැති පාලකයකු බවට ගෝටා ප්‍රකට වී ඇත්තේ මේ හෙයිනි. දැන් රටේ උද්ගත වී ඇති බඩු මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සහ ජීවන වියදම පිළිබඳ කාරණයේදී ඔහු වගේ වගක් නැති ලෙස සිටී. එහෙත් ඔහුට චෝදනා එල්ල වන විට කෝපාවිෂ්ට වී කටමැත දොඩවන්නට නම් ඔහු හොඳට සමත් ය. ගොවීන් කණෙන් අල්ලා බලහත්කාරයෙන් කුඹුරට බස්සවන්නට හැකියයි කීවේත්, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය නම් යම් පුද්ගලයන්ගේගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට වුවත් පුළුවන් බවට වහසි බස් දෙඩුවේත් මේ අනුවය. එසේ කෝපාවිෂ්ට වූ විට කතා කරන්නට කොළයක් බලන්නටද අවශ්‍ය නැත. ඒ ගෝඨාභයගේ හැබෑ චරිත ස්වභාවයයි.
අනෙක් අතට ගෝඨාභය දූෂණයට සම්බන්ධ නැති පිරිසිදු පාලකයෙක් ලෙස පෙන්වන්නට ඔහුගේ ගෝලබාලයෝ බොහෝ මහන්සි වෙති. තමාගේ මවගේ සොහොන හැදීමට රජයේ මුදල් යෙදවීම ගැන ඔහුට විරුද්ධව අධිචෝදනා නගා තිබුණු බවත්, එම නඩුව විභාග කිරීමට දින පවා යොදා තිබියදී විවිධ විරෝධතා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණය අවසන් වන තුරුම එය විභාග කිරීම වැළැක්වීමට ඔහු ක්‍රියා කළ බවත් මතක් කිරීම පමණක් ප්‍රමාණවත්ය. ජනාධිපතිවරණය ජයගත් පසු නීතියට අනුව නඩුව අහෝසි විය. ඔහු නිදොස් වූයේ නැත. යුගදනවි බලාගාරය ඇමරිකානු නිව් ෆොට්‍රස් සමාගමට විකිණීමට එරෙහිව ඔහුගේම කඳවුරේ අය දැන් අවි ඔසවාගෙන සිටිති. එක අතකට එයින් රටට සිදුවන හානියට අමතරව එය සිදුකළ දූශිත ආකාරය මෙරට සිදුවී ඇති වෙනත් කිසිදු දූෂණ ක්‍රියාවකට වඩා බරපතළය. මේ ගනුදෙනුව මුළුමනින්ම ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ දෙදෙනාගේ ඕනෑකම මත සිදුවූවක් බව පැහැදිලිය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් සිටියද අද රටේ ආණ්ඩුවක් නැත. ජනයාගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම හා අදාළ සියළු තීරණ ගනු ලබන්නේ ව්‍යාපාරිකයන් විසිනි. පොදු ජනයා ජීවත් වෙන්නට මැරෙන මැරිල්ල ගැන ජනාධිපතිවරයාට වගේ වගක් නැත. ඇත්තටම අද මේ ජනාධිපතිවරයා හැසිරෙන්නේ එදා ප්‍රංශ විප්ලවය අවස්ථාවේ මාරි ඇන්ටොයිනෙට් රැජින හැසිරුනු ආකාරයටය. ඔහුත් ඔහුගේ ගෝලබාලයනුත් ජනතාවට නොකියා කියන්නේ ‘පාන් නැත්නම් කේක් කාපල්ලා’ කියාය. ඒ නිසාම මෙවැනි ජනාධිපතිවරයකු පොල් පිත්තකින් වුනත් කපාගන්න පුළුවන් යයි ජනසමාජයේ කතාබහ පැතිර යමින් පවතී.
මෙම ගෙවීගිය වසර දෙක මේ රටේ ජනතාවගේ ඉතාම අවාසනාවන්ත සහ කාලකන්නිම දෙවසර බවට විවාදයක් නැත. කොවිඩ් උවදුර අතුරු කතාවක් පමණි. ගෝඨාභයගේ මෝඩ තකතිරු පාලනය ඉවත් කළ පමණින් මේ තත්වය වෙනස් නොවේ. මීට පෙර සිටි ජනාධිපතිවරුන්ගේ පාලන කාලයන්හිදීද රටට කරන ලද වින්නැහියේ උපරිමයට අද අපි ළඟාවී සිටිමු. මේ තත්වය වෙනස් කළහැක්කේ අසාර්ථක වී ඇති මේ ධනේශ්වර මාවතින් බැහැර වීමෙන් පමණක් බව දැන් ඕනෑවටත් වඩා පැහැදිලි වී තිබේ.