නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විසින් අගෝ.03 පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණය පදනම් කරමින් අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු ක්‍රියාකාරීන් පස් දෙනෙකු අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අතර මේ වන විට දෙමසකට අධික කාලයක් ඔවුන් සිරගත කරගෙන සිටී. ඔවුන්ට අදාළ නඩුව අදත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවිනි. එහිදී මෙම ක්‍රියාකාරීන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා අතිශයින් ව්‍යාජ බවට නීතීඥවරුන් ප්‍රබල ලෙස කරුණු ඉදිරිපත් කළ ද මහේස්ත්‍රාත්වරයා යළිත් ඇප ප්‍රතික්ෂේප කරන ලදී.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෝෂිලා හංසමාලි සහෝදරියට අදාළව කිසිඳු චෝදනාවක් නොමැති අතර පොලීසිය ඉදිරිපත් කළ වීඩියෝ සාක්ෂිවලද ඇය එම ස්ථානයේ සිටි බවටවත් කිසිඳු සාක්ෂියක් නැත. පසුගිය නඩුවාරයේදී තලංගම පොලීසිය උසාවියට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තා තුළද කෝෂිලා සහෝදරියගේ තබා කිසිඳු කාන්තාවකගේ නමක් සඳහන් වන්නේ නැත. ඒ පිළිබඳව නීතීඥවරුන් ප්‍රශ්න කළ විට අද දින තලංගම පොලීසිය කෝෂිලා හංසමාලි අදාළ ස්ථානයේ නොසිටි බවට තවත් වාර්තාවක් උසාවියට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා ඇප ප්‍රතික්ෂේප කරන්නේ එසේ තිබියදීය.
සිරගත කර සිටින අනෙකුත් සහෝදරවරුන්ට අදාළවද ගොනු කර ඇති චෝදනා අතිශයින් ව්‍යාජ වන අතර ඔවුන් පොදු දේපල විනාශ කළ බවට ගොනු කර ඇති බරපතල චෝදනාව පොලීසියට උසාවිය ඉදිරියේ සනාථ කිරීමට නොහැකි වී ඇත. එසේ තිබියදීත් මාස දෙකක් පුරා ඇප නියම නොකර කඩුවෙල මහේස්ත්‍රාත්වරයා මෙම ක්‍රියාකාරීන් සිරගත කර තබාගන්නේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය මොනවට ප්‍රදර්ශනය කරමිනි. මහේස්ත්‍රාත්වරයා ඇප නියම නොකරන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොව ආණ්ඩුවේ දේශපාලන උවමනාව නිසා ය. ඒ බව ඕනෑවටත් වඩා තහවුරු වී තිබේ. සිසුජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්ගෙන් පලි ගැනීමේ ක්‍රියාන්විතයක් ආණ්ඩුව දියත් කරමින් සිටියි. සිරගත කළ ක්‍රියාකාරීන් පස් දෙනා දිගින් දිගටම සිරගත කර තබා ගනිද්දී සිසුජන ව්‍යාපාරය නියෝජනය කරන අනෙකුත් වෘත්තීය සමිති හා ශිෂ්‍ය නායකයන් පසුපස නිල සහ නොවන මර්දන කල්ලි හඹා එමින් ඔවුන්ට සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු පවා කරගත නොහැකි තත්ත්වයකට පත් කර තිබේ. අ.වි.ශි.බ.ම කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා අත්තඩංගුවට ගෙන තලංගම පොලීසියේ රඳවා තබාගෙන සිටියදී (අගෝ.06) දේශබන්දු තෙන්නකෝන් දුරකතනයෙන් අමතා ඔහුට තර්ජනය කර ඇත්තේ “මේ පාර නම් කෙළවලාම දානවා, එකෙක්වත් අතාරින්නෙ නෑ” යනුවෙනි. සරත් වීරසේකර පොලිස් ඇමති ද මේ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී මාධ්‍ය ඉදිරියේ කටමැත දොඩවන අයුරු පසුගිය දිනවල දැකගන්නට ලැබිණි. බන්ධනාගාරගත කළ ක්‍රියාකාරීන් පස් දෙනාට එහිදී කොවිඩ් ආසාදනය වීමට ද සැලැස්වූ අතර ඔවුන්ට අවශ්‍ය ඖෂධ, ප්‍රතිකාර පහසුකම් ලබාදුන්නේ වෘත්තීය සමිති, මානව හිමිකම් සංවිධාන, තානාපති කාර්යාල ශිෂ්‍ය සංවිධාන ගණනාවක් මැදිහත්ව ප්‍රශ්න කළ පසුවය. ඒ අනුව ආණ්ඩුව සිදුකරන්නේ සිසුජන ක්‍රියාකාරීන්ගෙන් පලි ගැනීමක් බව ඉතා පැහැදිලි කරුණකි. අධිකරණය පවා එම දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් පාවිච්චි වන අයුරු නිර්ලජ්ජිත ලෙස සමාජය ඉදිරිපිට පෙනෙන්නට තිබෙයි.
මෙම මර්දනය මගින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ අයිතීන් වෙනුවෙන් සටන් කරන සියලු සංවිධාන වෙත අනතුරු ඇඟවීමක් කිරීමටය. හදිසි නීති සම්මත කරගනිමින්, අත්‍යවශ්‍ය සේවා නම් කරමින්, ජනතාවට ආහාරපාන පවා හිඟව තිබියදී අයවැයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට අතිවිශාල ප්‍රතිපාදන වෙන් කරමින් මර්දන දත් උල් කරගෙන කටයුතු කරන්නේ සියල්ලන් වෙත මර්දනය මුදා හැරීමටය. එහෙයින් මේ මොහොතේ සිරගත කර සිටින සිසුජන ක්‍රියාකාරීන්ගේ නිදහස වෙනුවෙනුත්, මර්දනයට එරෙහිවත් අරගල කිරීම අනිවාර්යයෙන්ම සියලු සටන් කරන සංවිධාන විසින් සිදු කළ යුත්තකි. ආණ්ඩුව මර්දන තොණ්ඩුව දමා සිර කරමින් සිටින්නේ සිසුජන ක්‍රියාකාරීන්ගේ ගෙල මත පමණක් නොවේ. තොණ්ඩුව වැටී ඇත්තේ සියලු සටන් කරන බලවේගයන්ගේ ගෙල මතය.
උපුටා ගැනීම: සිසුහඬ – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මධ්‍යම පුවත්පත