ඒසියා කොමියුනය වෙත සුභ පැතුම් සමඟ යෝජනාවක්!

‘‘ලෝකයේ භාණ්ඩ සහ සේවා නිශ්පාදනයේ නියුක්ත ශ‍්‍රමිකයිනි, එක්වව්!’’

ලංකාවේ සිට ලෝකය දෙස බැලූවද, ලෝකයේ සිට ලංකාව දෙස බැලූවද නිර්ධන පංතිය හෙවත් වැඩ කරන පංතිය ලෝකය පුරාම බෙදී විසිරී සිටීම දැකිය හැකිය. අල්පෙනිත්තේ සිට රොබෝ යන්ත‍්‍රය නිෂ්පාදනය කරන හා ක‍්‍රියාකරවීම සිදුකරන ශ‍්‍රමිකයාද, මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සෞඛ්‍ය, අධ්‍යාපනය, ප‍්‍රවාහනය ඇතුළු සේවා සපයන ශ‍්‍රමිකයන්ද, තමන්සතු බලය අන්සන්තක කරමින් තමන්ට උරුම ලෝකය ගොඩ නැඟීම නොතකා හැර තිබීම නිසා පෘථිවි භූමියද, මිනිස් වර්ගයාද ම්ලේච්ඡ ධනපති ක‍්‍රමය විසින් විනාශ කරමින් සිටී. 

කාල් මාර්ක්ස් ලෝකයේ පළමු වරට ‘කම්කරුවනි සමඟවව්‘ කීවේ කම්කරුවන් සමඟි වූ කළ තම වැඩපළ මට්ටමේ ඉල්ලිමේ සිට මුළු ලෝකයම දිනාගත හැකිය යන දෘඩතර විශ්වාසය නිසාය. එම සටන් පාඨය අනුව යමින් ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් මග පෙන්වූ රුසියානු විප්ලවය හරහා ආරම්භයක් ගනු ලැබුවද, එම සටන පෙරට ගෙන යාමට එහි නායකයින් දැරූ උත්සාහය තේරුම්ගත නොහැකි වූ නරුමයින් සමාජවාදය රුසියාව තුල පමණක් තහවුරු කර ගැනීමේ ආත්මාර්ථකාමී උන්මාදය තුල එම අරගලය ලෝක ව්‍යාප්ත විම වලකාලනු ලැබීය.

රුසියානු විප්ලවය ලෝකය පුරා ව්‍යාප්ත කිරීම වෙනුවෙන් පෙනී සිටි ට්‍රොට්ස්කි සහෝදරයා, ඝාතනය කිරිමෙන් පසුව, කම්කරුවන්ට ලෝක පක්ෂයත් ගොඩනැගීමේ අරමුණින් ක‍්‍රියා කළ සියළුම නායකයින් හා අනුගාමිකයින් මේ වන විට බෙදී, විසිරී, කණ්ඩායම් රාශියක් බවට පත් වී තිබේ. බොහෝ කණ්ඩායම් ධනපති පක්ෂවල ප‍්‍රවණතා ලෙස කටයුතු ද කරන අතර, සමහර අය ස්වාධීනව කටයුතු කරමින් ලෝක පක්ෂයක් ගොඩනැගීමේ උත්සාහයක යෙදී සිටින්නේය. 

මාක්ස්වාදී දර්ශනය සහ භාවිතය අවබෝධ කරගත් සවිඥාන නායකයින් සහ අනුගාමිකයින් මෙලෙස ලෝකය පුරා බෙදී වෙන්වී සිටීමෙන් ධනපති ක‍්‍රමයේ ආයුකාලය තවත් දිර්ඝ වන අතර, ධනපති ක‍්‍රමය තවදුරටත් පෘථිවි භූමිය සහ ජීවීන් සුරාකමින් නඩත්තු වේ. 

මූලික මාක්ස්වාදී පදනම්වල පිහිටා ලෝකයේ කම්කරුවන්ගේ පක්ෂය ගොඩනැගීම සඳහා වූ තම ඉදිරි දර්ශනයන් වෙනුවෙන් පෙනී සිටින සියළුම කණ්ඩායම් එක් වී ලෝකයේ එකම සංවිධානයක් ලෙස අනන්‍යවීම සහ පෙනී සිටීමද අද අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා එක් සංවිධානයක් විසින් හෝ සංවිධාන කීපයක නියෝජිතයින්ගෙන් සමන්විත කොමිටියක් මඟින් ලෝක ඉදිරි දර්ශණ ලියවිල්ලක් සකස් කර, (දේශපාලන සහ සංවිධාන) ලෝක සමුළුවක් කැඳවා පක්ෂ, විපක්ෂ, මධ්‍යස්ථ මත වලට ඉඩදෙමින් අවසානයේ සම්මත කරනු ලබන ලෝක දේශපාලන සහ සංවිධාන යෝජනාව අනුව ලෝක පක්ෂය කටයුතු කිරීම ආරම්භ කළ යුතුවේ. 

සම්මත කරනු ලබන දේශපාලන සහ සංවිධාන යෝජනා වලට එකඟ නොවන කණ්ඩායම් ලෝක පක්ෂය තුල ප‍්‍රවණතා ලෙස ක‍්‍රියාකල හැකිය. (දැනට ධනපති පක්ෂවල කණ්ඩායම් ලෙස වැඩකළ හැකිනම් ලෝක කම්කරු පක්ෂය තුල ක‍්‍රියාකළ නොහැක්කේ ඇයි?) 

මෙලෙස ක‍්‍රියාකිරීමෙන් ලෝකයේ කම්කරුවන්ට විශාල ආස්වාදයක් මෙන්ම ධෛර්යයක් ලබාදිය හැකිය. මෙම සන්දර්භය මත පිහිටා එක් එක් රටවල තිබෙන කණ්ඩායම් එක්වීමෙන් බිහිවන ශක්තිමත් ජාතික කණ්ඩායම් අනෙකුත් වමේ කියා ගන්නා කණ්ඩායම් අභිබවා ක‍්‍රියාකිරීමෙන්ද ශක්තිමත් ජාතික කණ්ඩායමක් බිහිකර ගත හැකි අතර, එය විප්ලවකාරී පක්ෂයේ න්‍යෂ්ඨිකය ලෙස යොදා ගනිමින් වැඩ කරන පංතියේ එදිනෙදා සිදුකරන සටන් හරහා නිර්මාණාත්මක පුළුල් පංති ක‍්‍රියාකාරීත්වයක් ගොඩ නැඟිය හැකිය. මෙලෙස ලෝකයේ සෑම රටකම ගොඩ නඟන ජාතික කණ්ඩායම් වල ක‍්‍රියාකාරීත්වය මඟින් ලෝක විප්ලවයට මඟ පාදාගත හැකිය. 

මෙම මතවාදය ලෝක වැඩ කරන ජනතාව තුල ප‍්‍රචලිත කිරීම සඳහා කැපවන ලෙස ඒසියා කොමියුනය වෙත යෝජනා කරමින් ඉදිරි ගමනට සුභ පතමි. 

සරණපාල පලිහේන – ශ්‍රී ලංකාව

Loading