ප්‍රජාතන්ත්‍රවාදය ජන සන්තක කිරීම

By Jaya Pathmapani on June 24, 2024

1. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වර්ධනය වන අතෘප්තිය සහ ‘සිස්ටම් චේන්ජ්’ ඉල්ලීම

පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂ ප්‍රායෝගික ව සාක්ෂාත් කරගැනීමට නො හැකිවීම නිසා ඇතිවෙන කලකිරීම හේතු කොට ගෙනමැතිවරණ ප්රජාතන්ත්රවාදය පිළිබඳ මහජන විශ්වාසය විශාල වසයෙන් පළුදු වී තිබේ. අල්ලස හා දූෂණය, නියෝජන ඌනතා, ජනමාධ්‍ය දුෂ්චර්යාව, බෙදුම්කාරී ජනවාර්ගික හා ආගමිකධ්‍රැවීකරණය, තේරී පත්වන නියෝජිතයන්ගේ විෂමාචාරය සහ දේශපාලන ප්‍රභූ පැලැන්තියක නිරන්තර ආධිපත්‍යය ඇතුළු ආවේණික දෝෂවලින් සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලනය විකෘත වී තිබේ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනතා අභිලාෂ නියෝජන. නොවන බව අත්දැකීමෙන් ම දන්නා නිසා මහජනයා තුල සැලකිය යුතු දේශපාලන විසංයෝජනයක් ඇතිව තිබේ. එනිසා හැම මැතිවරණයක්මෙන්ම මේමැතිවරණය ද ඔවුන් වැඩි වසයෙන් යොදා ගන්නේ ම දැන් සිටින පාලන කල්ලියෙන් මිදීම කිසියම් අස්වැසිල්ලක් ගෙන එ්මට හේතු වනු ඇතැ’යි යන උද්යෝගිමත් බලාපොරොත්තුවෙනි. 

එහෙත් මේ මැතිවරණය වඩාත් විශේෂිත වන්නේ එය පවත්වන්නේ නිදහස ලැබීමෙන් පසුව ලංකාවේ ඇතිවූ විශාලතම දේශපාලන සංසිද්ධිය වන ‘අරගලයෙන්’ උද්දීපනය වූ බලාපොරොත්තු ද සමගවන බැවිනි. ජනාධිපතිවරණයක දී බහුතර ඡන්දයෙන් පත් ව සිය බලාපොරොත්තු සුන් කර දැමූ ජනාධිපතිවරයෙකු පන්නා දැමීමට පෙර නොවූ විරූ අන්දමින් මහ පාරට බට මහජනතාවගේ ඒකමතික ඉල්ලීම වූයේ ‘මේ ඇති, පවතින ක්‍රමය වෙනස් කිරීම හෙවත් ‘සිස්ටම් චේන්ජ් ‘කළ යුතුය’ යන්නයි. එය කිසිසේත් ම නො සලකා හැරිය යුතු ඉල්ලීමක් නොවේ. මන්ද ප්‍රතිෂ්ඨාපිත කළ නොහැකි තරම් හුදු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අකර්මණ්‍ය ව ඇති බව අවුරුදු 76 ක අත්දැකීම්වලින් මහජනතාව තේරුම් ගෙන ඇති බැවිනි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පවතින අනෙකුත් බොහෝ රටවල ද තත්වය ද එබඳුයි.

2. ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකයක් මගින් මහජනතාව ආණ්ඩුකරණයට සහභාගි කර ගැනීම

  එ් අනුව මෙම යෝජනාවේ අරමුණ වන්නේ ආණ්ඩුකරණයේ ලා සෘජු මහජන සහභාගිත්වය සහතික කර ගැනීමට මෙන්ම නියෝජන ක්‍රමයේ ඇති ඌනතා සමනය කර ගැනීමටත් ‘සිස්ටම් චේන්ජ්’ හෙවත්ආණ්ඩුක්‍රමයේ කැපී පෙනෙන ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමයි. ඒ සඳහා අප මූලික වසයෙන් යෝජනා කරන්නේ දෙයාකාරයකට තෝරාගත් ද්වි මණ්ඩල (bicameral) පාර්ලිමේන්තුවක් පිහිටුවීමයි. එම ද්වි මණ්ඩල ක්රමය තුළ, සාම්ප්රදායික මැතිවරණ හරහා ඡන්දයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගෙන් සමන්විත වර්තමාන නියෝජිත මන්ත්‍රණ සභාව, ඊට සමාන්තරව අලුතින් පිහිටුවන අහඹු ක්‍රමයට කුසපත් ඇදීම මගින් තෝරාගත් පුරවැසි නියැදියකින් සමන්විත මහජන මන්ත්‍රණ සභාවක් සමඟ සහජීවනයෙන් කටයුතු කළ යුතු වේ. දෙවැනි කී මහජන මන්ත්‍රණ සභාව, ජනගහනයේ සංයුතිය, භූගෝලීය පැතිරීම, ජනවර්ග සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබිඹු කරණ, වසරක් පාසා යාවත්කාලීන වන, මහජනතාවගේ ස්තෘත නියැදියක් (stratified sample)විය යුතුය. එහි ප්‍රමුඛ කර්තව්‍යය ව්‍යවස්ථාදායක කටයුතු විවෘතව මහජන සංවිචාරණයට ලක් කිරීමයි. මෙහි දී සංවිචාරණය යන්නෙන් අදහස් කරන්නේ ප්‍රස්තුත ප්‍රශ්නය ප්‍රවේසමෙන් විමර්ශනයට ලක් කොට ඒ අරභයා ඉදිරිපත් වන එකිනෙකට වෙනස් අදහස් උදහස්වලට හා විශේෂඥ මතවලට සාවධානව කන්දෙමින් සහ වෘත්තීය කාර්ය මණ්ඩලයක සහයෙන් ඒවා විචාරශීලී ලෙස අගැයීමට ලක් කරමින් බුද්ධි ගෝචර විසඳුම් සොයා ගැනීම සඳහා පුරවැසියන්සාමුහිකව කරන සංනිවේදනීය ක්‍රියායනයයි.

මෙම ද්වි මණ්ඩල පාර්ලිමේන්තු ආකෘතියේ අරමුණ වන්නේ කුසපත් ඇදීමෙන් තෝරා ගත් එවැනි විවෘත මහජන නියැදියක් මගින් රටේ දේශපාලන න්‍යාය පත්‍රය අඛණ්ඩ පුරවැසි පාලනයකට නතු කිරීම හාසමග ඡන්දයෙන් තේරී පත් වූ නියෝජන සභාවක විධායක ස්ථාවරත්වයහා වගවීම ඒකාබද්ධ කිරීමයි. එකී අවශ්‍යතාව මන්ත්‍රණ සභා දෙක අතර ප්‍රත්‍යවර්ත්‍ය ව ප්‍රතිපෝෂණය වීම නිසා මහජන අභිලාෂ කේන්ද්‍රකොට ගත් කාර්ය සාධනයක් සමස්ත ව්‍යවස්ථාදායකයෙන් මබලාපොරොත්තුවිය හැකිය. ඒ හැර පස් වසරකට වරක් ඡන්දය ප්‍රකාශ කොට ඊළඟ ඡන්දය වෙන තෙක් උකටලී වෙනවාට වඩා රටේ දේශපාලන න්‍යාය පත්‍රය පොදු යහපත මුල් කොට හසුරුවා ගැනීම පිණිස තමන්ට ද මහජන මන්ත්‍රණ සභා ක්‍රියාවලිය හරහා ආණ්ඩුකරණයට සහභාගි විය හැකිය යන විශ්වාසය මහජනතාව තුළ ඇති වේ. 

3. ද්වි මණ්ඩල ක්‍රමය එක් සභාවක් (මහජන මන්ත්‍රණ සභාව) කුසපත් ඇදීමෙන් තෝරා ගතයුත්තේ ඇයි? 

කුසපත් ඇදීමෙන් මන්ත්‍රණ සභා සාමාජිකයන් තෝරා ගැනීමප්‍රජාතන්ත්‍රවාදයේ නිජබිම ලෙස සැලකෙන පැරණි ග්‍රීසියේ සිට ‘සමානයන් විසින් විනිශ්චයට ලක් කිරීම සඳහා’ යන සංකල්පය මත අධිකරණ ක්‍රියාවලිය තුළ පිහිටුවන ජූරි සභා ක්‍රමය දක්වා ද සාර්ථකව යොදා ගෙන තිබේ. ඒ හැර වඩා මෑතක දී අයිස්ලන්තය, අයර්ලන්තය, මොන්ගෝලියාව වැනි රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසම්පාදනය සඳහා යොදා ගන්නා ලද්දේ ද කුසපත් ඇදීමෙන් තෝරා ගත් මහජන ව්‍යවස්ථා සම්පාදන සභාය.( විවිධාකාර මතභේදකාරී සමාජ හා දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් පොදු එකඟත්වයක් ගොඩනගා ගැනීම පිණිස කුසපත් ඇදීමේ ක්‍රමයෙන් පිහිටුවා ගත්මහජන සංවිචාරණ සභා ගැන රටවල් 29ක  අත්දැකීම් පිළිබඳ විවරණයක් ස්ටැන්ෆර්ඩ් සරසවියේ මහාචාර්ය ජේම්ස් ෆිෂ්කින් 2018 දි පල කළ සිය Democracy When the People are Thinking නමැති කෘතියෙන් සංග්‍රහ කර තිබේ.) කුසපත් ඇදීමේ ක්‍රමය ඕනෑම පුරවැසියෙකුට විශේෂ අනුග්‍රහයකින් තොරව පත්වීමෙ සම්භාවිතාව සහතික කරයි. එබැවින් අතර පක්ෂ අධිකාරයක මෙහෙයවීමකින් තොරව කරුණු කාරණා සාවධානව විමසා බලා අවසානයේ සබුද්ධික හේතු මත හැකි තාක් දුරට ‘එක හිතින්’ තීරණ ගැනීමට මහජනතාව පොලඹවයි.  ඒ ක්‍රමයේ ඇති විශේෂ වාසි මෙසේයි:

  – මුදල් සහ බලපෑම: වියදම් කිරීමේ හැකියාව, ප්‍රභූ අභිලාෂ, පවුල් සම්බන්ධකම්, ජනවර්ගය හා කුලය, දෘෂ්ටිවාදී පක්ෂග්‍රාහීත්වය ආදී කරුණු මත බොහෝ විට ඡන්දයෙන් තේරී පත් වන ආයතනවලඅපේක්ෂකත්වය තීරණය කරන අතර, කුසපත් ඇදීමෙන් කරන තෝරාගැනීමක දී එවැනි කිසිදු බලපෑමකින් තොරව හුදෙක් පුරවැසි බව පමණක් ම සලකා තෝරා ගනු ලැබේ.

  – පීඩනය සහ විනය: බොහෝ විට විෂය කරුණු පිළිබඳ දුරවබෝධයට අතිරේකව නැවත තේරී පත්වීමේ පීඩනය සහ පක්ෂ විනයට අනුගත වීමට සිදුවීම ඡන්දයෙන් තේරී පත් වූ ආයතනවල සභිකයන්ගේසංවිචාරණීය (Deliberative) සාකච්ඡා හැකියාව සීමා කරයි. නියෝජන සභාවල දී ප්‍රස්තුතය ගැන ප්‍රශස්ත මට්ටමේ සාවධාන සාකච්ඡා විරල වීමත් ඒ වෙනුවට බොහෝ විට එකිනෙක පක්ෂපාතිත්වයන්ට අනුගාමික ව හුදු වාචාල අපවාද අවලාදවලට මුල් තැනක් ලැබෙන්නේත් එබැවිනි. ඊට පටහැනිව, සාම්ප්රදායික මැතිවරණ බෙදීම් ඉක්මවා යමින් ඉදිරිපත් වන සියලු කරුණු, සාක්ෂිසහ යෝජනා වන විකල්ප හා විශේෂඥ මත සසඳමින් දැනුවත් සංවිචාරණයකට ලක් කොට සුදුසු විසඳුම් සොයා ගැනීම පිණිස, විවෘත මනසකින් ප්‍රස්තුත ගැටළු වලට ප්රවේශ වීමට කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා සභාවකට වැඩි ඉඩක් ඇත. එවැනි ප්‍රශස්ත සංවිචාරණයක් නිසා පවතින නියෝජන මන්ත්‍රී සභාවට ද සිය විවාද ප්‍රශස්ත ලෙස සිදුකිරීමට බල කරනු ඇත. රටක ප්‍රජාතන්ත්‍රවාදයක්‍රියාත්මක වීමේ වැදගත් දර්ශකයක් වන්නේ එහි ව්‍යවස්ථාදායක සභාවල සංවිචාරණීය හැකියාව සහ එම සංවිචාරණයේ ප්‍රශස්ත බවයි.

  – ජන විකාශන විවිධත්වය: ජනවර්ග කෝටා සහිත ව්යවස්ථාදායකයන් පවා අභිබවා යමින් අහඹු තේරීම හේතු කොටවිවිධ අත්දැකීම් සහ දෘෂ්ටිකෝණයන් සහතික කිරීමෙන් කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා සභාවක සංවිචාරණයට බෙදුම්කාරී ගැටලුවලට ‘එක හිතින්’ එකඟ විය හැකි නව්‍යකෘත (innovative)විසඳුම් සොයා ගැනීම පහසු කරයි. මාර්ගගත ක්‍රමයට ප්‍රතිචාර ලබාගැනීම ද ඇතුළත් කොට සාමාන්‍ය ජනතාව ද සම්බන්ධ කර ගනිමින් කරන ලද එවැනි මහා පරිමාණයේ සංවිචාරණ සාකච්ඡාපිළිබඳ අත්දැකීම් වලින් තහවුරු කර ඇති පරිදි ආන්තීකරණයට ලක්ව ඇති හඬවල් ද ඇතුළත් ව වඩා පුළුල් සක්‍රිය මහජන දායකත්වයක් සහතික කිරීමට කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා මහජන මන්ත්‍රණසභාවකට හැකිය. ඒ හැර අවම වසයෙන් 50,000කට නො අඩුපුරවැසියන් විසින් සහයෝගය දක්වන පුරවැසි සංවිධාන විසින් ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් සාකච්ඡා කොට තීරණය කිරීම ද කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා මන්ත්‍රණ සභාව විසින් කළ යුතුය. එමගින් තමන් ප්‍රමුඛත්වය දෙන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුකරණයට සෘජු වදායකවීමට පොදු මහජනතාවට ලැබෙන අවකාශය පුළුල් වේ.

4. ප්‍රජාතන්ත්‍රවාදය ජන සන්තක කිරීම යෝජනාවේ ප්රධාන අංග පිළිබඳ සාරාංශය

i. ව්‍යවස්ථාදායකයට මන්ත්‍රණ සභා දෙකක්: පාර්ලිමේන්තුවසභා දෙකකින් සමන්විත වනු ඇත- එකක් මැතිවරණයක දීඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයින්ගෙන් සමන්විත වන අතරඅනෙක, කුසපත් ඇදීමෙන් අහඹු ලෙස තෝරාගත් පුරවැසියන්ගෙන් සමන්විත වන මහජන මන්ත්‍රණ සභාවකි.

ii. සමාන බලතල: සභාවන් දෙකටම සමාන බලතල ඇති අතර, එකිනෙකා විසින් ඉදිරිපත් කරන අණපනත් යෝජනා සාකච්ඡාවට ලක් කිරීමට සහ ඒ සම්බන්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සභා දෙකට ම හැකි වනු ඇත. විධිමත් සංවිචාරණ ක්‍රම සම්බන්ධ උපදේශකයන්ගේ සහ ප්‍රස්තුත කරුණ පිළිබඳ විෂය විශේෂඥයන්ගේ සහායෙන් කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා මහජන මන්ත්‍රණ සභාවේ සාකච්ඡා පැවැත්වෙන අතර නියමිත ආකෘතියකට අනුව ලිඛිත ව මාර්ගගත ක්‍රමයටසාකච්ඡාවට දායකත්වය ලබා දීමට අවශේෂ පොදු මහජනතාවට ඉඩ සැලසෙනු ඇත. 

iii. මහජන කෙටුම්පත්: ව්‍යවස්ථාදායකයට අයත් නොවන පුරවැසි සංවිධාන විසින් කෙටුම්පත් කොට අවම වශයෙන් පුරවැසියන් 50,000 ක් විසින් සහාය දක්වන පනත් කෙටුම්පත් ද සංවිචාරණයට ලක් කොට තීරණය කිරීමට කුසපත් ඇදීමෙන් තෝරා ගත් මහජන මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කළ හැකිය. 

iv. සේවා කාලය සහ වෘත්තීය සහාය: සාමාජිකයන් අතර ප්‍රමාණවත් සංවිචාරණ පරිචයක් ඇති කර ගැනීම සඳහා කුසපත් ඇදීමෙන් තෝරාගත් මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්සාමාන්‍යයෙන් වසර දෙකක් සේවය කළ යුතු අතර හැම වසරක් පාසා ම ඉන් හරි අඩක් අලුතින් කුසපත් ඇද තෝරා යුතුය. එසේ කිරීමේ දී වසරක් පාසා ඉවත් ව යා යුත්තේ අනුපිළිවෙළට වයසින් වැඩි අයගෙන් සමන්විත වන හරි අඩයි.කුසපත් ඇදීමෙන් තෝරා පත්වන සාමාජිකයන් සේව්‍යයන් විසින් සිය සේවා ස්ථාන වලින් වැටුප් රහිත නිවාඩු දී මුදා හැරිය යුතු අතර සේවා කාලය අවසන් වූ පසු ජේෂ්ඨත්වයට හා විශ්‍රාම පාරිතෝෂික  වලට පාඩුවක් නොවී අදාළ සේව්‍යයන් විසින් නැවත සේවයේ පිහිටුවිය යුතුය. කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා සාමාජිකයන්ට ඔවුන්ගේ මහජන මන්ත්‍රණසභා සේවය කරන කාලසීමාවේ දී තමාගේ වියහියදම් අපහසුවකින් තොරව දරා ගැනීමට ප්‍රමාණවත් දීමනාවක් ගෙවිය යුතුය. කුසපත් ඇදීමෙන් තේරී පත්වන සභිකයන්ට සංවිචාරණය ප්‍රමුඛ ඔවුන් විසින් ඉටු කළ යුතු ව්‍යවස්ථා දායක කටයුතු පිළිබඳ පුළුල් පුහුණුවක්, වෘත්තීය පරිචයක් සහිත සහායක කාර්ය මණ්ඩලයක් සහ විෂය විශේෂඥයින්ගේඋපදේශන සඳහා පහසුකම් ලැබිය යුතුය. 

5. මාර්ගෝපදේශක මූලධර්ම සහ ක්රමවේදයන්:

කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා මන්ත්‍රණ සභාවෙ සංවිචාරණීය කටයුතු ඵලදායක ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය සංවිචාරණීයමූලධර්ම, සාමාජිකයන්ගේ සදාචාරීය චර්යාව හා විනය, කුසපත් ඇදීම පිළිබඳ තේරීම් හා ඉවත් කිරීම පිළිබඳ නිර්ණායක, මහජන උපදේශනක්රියා පටිපාටි සහ ක්රමවේදයන් කුසපත් ඇදීමේ තෝරා ගන්නාසභා පිළිබඳ දැනටමත් කර ඇති අධ්‍යන ඇසුරෙන් සාකච්ඡා හරහා නිර්ණය කර ගත යුතු වේ. 

කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා සංවිචාරණීය ව්‍යවස්ථාදායක සභාවක පරමාර්ථය විය යුත්තේ රටේ දේශපාලන න්‍යාය පත්‍රය සැකසීමේ ලා නිරන්තර මහජන පාලනය සහතික කර දීමයි. ආණ්ඩු බලය අත්පත් කර ගැනීම ඒකායන අරමුණ කර ගනිමින්මැතිවරණයෙන් තෝරා පත්වන නියෝජිත සභාවලින් එය වෙනස්වන්නේ මේ මූලික පරමාර්ථ ම නිසයි. සිය දේශපාලන ක්‍රියාව වසර පහකට වරක් ඡන්දය භාවිතා කොට ඒ අතරතුර දේශපාලනික වඅකර්මණ්‍ය වීමට නියමිත පුරවැසි මහජනතාවට ඒ වෙනුවට කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා වසරකට වරක් යාවත්කාලීන වෙන මහජන මන්ත්‍රණ සභාවක් හරහා රටක දේශපාලන න්‍යාය පත්‍රය මෙහෙයවීමේ ලා නිරන්තර මහජන සහභාගිත්වය සහතික කළ හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සහ ප්‍රජාතන්ත්‍රවාදය ජන සන්තකකිරීමේ පලදායි ක්‍රමයකි.

මැතිවරණයක දී ඡන්දය භාවිතා කරන ලක්ෂ සංඛ්‍යාත ඡන්ද සංඛ්‍යාවකින් තමන්ට සිතැඟි පරිදි  බලපෑමක් කළ හැක්කේ හුදෙක් තමාගේ ම ඡන්දයට පමණක් බව දන්නා ඡන්දදායකයෙකුට ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ හෝ පක්ෂයක හෝ ප්‍රතිපත්ති වල ඵල විපාක ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් නැත. ඒ නිසා සාමාන්‍ය පුරවැසියන්ගේ නැඹුරුව එකී ප්‍රතිපත්ති පිළිබඳව වැඩි තැකීමක් නොමැතිව රැළ යන අත බල ඡන්දය දීමයි.

දේශපාලන විද්‍යාවේදී එය හැදින්වෙන්නේ සබුද්ධික නො දැනුවත්කම(rational ignorance) යනුවෙනි. එහෙත් තෝරා පත්වීමට සැමට සමාන අවස්ථාවන් ලැබෙන කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා මහජන මන්ත්‍රණ සභාවකට පත්වන පුරවැසියා අනෙකුත් පුරවැසියන් වෙනුවෙන් සිය වගකීමේ බැරෑරුම් කම සලකා තම මනාපය පල කිරීමට පෙර ප්‍රස්තුත කාරණය මැනවින් හදාරා කුඩා කණ්ඩායම් සාකච්ඡාවල දී අනෙකුත්.  සාමාජික පුරවැසියන්ගෙන් සහ විෂය විශේෂඥයන්ගෙන් අවශ්‍ය පැහැදිලි කිරීම් ලබාගෙන වෘත්තීය කාර්ය මණ්ඩලයක සහයෙන් සක්‍රිය ලෙස සංවිචාරණයට සහභාගිවීමට පෙලඹෙයි. කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා සාමාන්‍ය ජනතාවට දැනුවත් දේශපාලන තීන්දු ගත හැකි ද යන ප්‍රශ්නය මුල් කොට කළ බොහෝ ශ්‍රාස්ත්‍රීය සමීක්ෂණවල දී ප්‍රස්තුත වූ විෂය කරුණු අලළා සංවිචාරණයට පෙර සංවිචාරණය අතරතුර සහ සංවිචාරණය අවසානයේ දී එකම ප්‍රශ්නාවලිය යොදා කරන ලද සමීක්ෂණවලින් පෙන්නුම් කරන්නේ සහභාගි වන්නන්ගේ දැනුම හා ආත්ම විශ්වාසය සංවිචාරණය අවසානය වන විට ආරම්භයට වඩා විශිෂ්ට ලෙස වැඩි වූ  බවයි.

යෝජිත ද්වි මණ්ඩල පාර්ලිමේන්තුව මගින් රාජ්‍ය ව්‍යුහය වඩ වඩා  ප්‍රජාතන්ත්‍රීකරණයට ලක් වන විට රටේ දේශපාලන න්‍යාය පත්‍රය තුළ  සමාජ සාධාරණත්වය පිළිබඳ ඉල්ලීම්වලට වැඩි ප්‍රමුඛත්වයක් දීමට සිදුවීම බලාපොරොත්තුවිය යුත්තකි.  නිරවද්‍ය තොරතුරු ලබාගැනීමේ ව්‍යවස්ථාපිත කොන්දේසිය යොදා ගනිමින් මහජන මන්ත්‍රණ සභාව හරහා දැනුවත් සාමූහික සංවිචාරණයකට සහභාගි වීමෙන් සිය ව්‍යවස්ථාදායක බලය සෘජු ව භාවිතා කිරීමට සාමාන්‍ය ජනතාවට හැකි වේ. එවිට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණවලට ඉතසිතින් සහයෝගය දැක්වීමටත් ඊට එරෙහිව සමාජ සාධාරණත්වය නො තකමින් ස්වාර්ථයම සලකා ධනවත් සහ බලවත් කොටස් විසින් ඉදිරිපත් කරන යෝජනා සවිඥානිකව ප්‍රතික්ෂේප කිරීමටත් මහජනතාව පෙලඹෙනු ඇත. 

විජයානන්ද ජයවීර – 22/06/2024

යෝජිත කියවීම්:

විජයානන්ද ජයවීර- සංවිචාරණීය සමාජයක්  (5 වැනි පරිච්ඡේදය – “නියෝජනය වෙනුවට සංවිචාරණය අයිස්ලන්ත අත්දැකීම” සහ 6 වැනි පරිච්ඡේදය – “මොංගෝලියානු අත්දැකීම සහ සංවිචාරණයේ කොන්දේසි”) 

James Fishkin (2018) : Democracy When the People are Thinking ( 2018) Oxford University Press: Oxford

Ted Wachel (2020): True Representation; How Citizens’ Assemblies and Sortition will save the Democracy, The Pipers Press: Pipersville

https://deliberation.stanford.edu

Loading