ගැටළුව පවතින්නේ අප සතුව ඇති සම්පත් පිළිබඳවද? නැතහොත් වෙනත් තැනකද?

By Raju Prabath Lankaloka

අප සෞරග්‍රහ මණ්ඩලයේ දුරස්ථම වස්තුවක් වන ප්ලූටෝ වෙත ගවේෂණ යානයක් යැවීමටත්, ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථ පවා නිපදවීමටත් තරම් මොළයක් අපට තිබුනද, අප එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න විසඳා ගැනීමේ බලයක් අපට නැති බව ඔබට කවදා හෝ වැටහී තිබේද? එය කෙතරම් සත්‍යයක්ද? නවීන විද්‍යාවෙන් ලබාදී ඇති දේ ඇත්තෙන්ම විශ්මයජනකය නමුත් මිනිසුන්ට පාරේ ජීවත් වීමට බල කිරීම නැවැත්වීමට ප්‍රමාණවත් නිවාස ලබා දීමට හෝ අපගේ තරුණයින්ට යහපත් රැකියා ලබා දීමට හෝ අපට නොහැකිය. ගැටළුව පවතින්නේ අප සතුව ඇති සම්පත් පිළිබඳවද? නැතහොත් වෙනත් තැනකද?

Forbesහි පළ කරන ලද ලිපියකට අනුව, ධනවත් ප්‍රකෝටිපතියන් 1,000ක් කලින් වසරට වඩා මේ වනවිට පොහොසත් බව සොයාගෙන ඇත. එහි දක්වා ඇති පරිදි, “පසුගිය වසර තුළ අලුත් ප්‍රකෝටිපතියන් 236ක් ඇතිව ඇත. බාබඩෝස්, බල්ගේරියාව, එස්තෝනියාව සහ උරුගුවේ රටවලින් මෙයට එක්ව ඇත්තේ පළමු වරටය. ඇමරිකාව සාමූහික ධනය ඩොලර් ට්‍රිලියන 4.7 ක් වටිනා ප්‍රකෝටිපතියන් 735 ක් සමඟ තවමත් ලොව ඉදිරියෙන් සිටී. ලෝකයේ ඉහළින්ම සිටින එලොන් මස්ක්ද මෙයට ඇතුලත් අතර ප්‍රථම වතාවට ඔහු ප්‍රකෝටිපතියන් ලැයිස්තුවේ ඉහළටම පැමිණ ඇත. චීනය (මැකාවු සහ හොංකොං ඇතුළුව) අංක දෙකේ රැඳී සිටින අතර සාමූහික ධනය ඩොලර් ට්‍රිලියන 2.3 ක් වටිනා ප්‍රකෝටිපතියන් 607ක් එහි සිටී.

පොහොසතුන් සුවිශේෂී අවන්හල් වලින් ආහාර පාන ලබා ගනිද්දී, තම දරුවන් කුසගින්නේ පාසල් යාම වැළැක්වීම සඳහා ආහාර වේල අථරින වැඩ කරන දෙමාපියන්ගේ සංඛ්‍යාව වැඩි වැඩි වෙමින් පවතී.  එක්සත් ජාතීන්ගේ දරිද්‍රතාවයෙන් මුළිනුපුටා දැමීමේ තිරසාර සංවර්ධන ඉලක්කය තිබියදීත්, මිලියන 700කට අධික ජනතාවක් හෙවත් ලෝක ජනගහනයෙන් සියයට 10ක් තවමත් අන්ත දරිද්‍රතාවයේ ජීවත් වන අතර, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ජලය සහ සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශය හා තවත් එවැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අරගලයක නිරතව සිටී. සාගින්න තුරන් කිරීම සඳහා ඉලක්කයක් පැවතුනද, මිලියන 690 කට ආසන්න ජනතාවක්, නැතහොත් ලෝක ජනගහනයෙන් සියයට 8.9 ක් කුසගින්නෙන් පෙළෙන බවට ඔවුන් ඇස්තමේන්තු කරයි. – මෙය වසරක් තුළ මිලියන 10 කින් සහ වසර පහක් තුළ මිලියන 60 කින් පමණ ඉහළ යාමකි. ධනවතුන් හා දුප්පතුන් අතර ධ්‍රැවීකරණය වසර ගණනාවක් තිස්සේ වර්ධනය වී ඇති අතර සුපිරි ධනවතුන් අනුන්ගේ මුදලින් සුර සැප විඳිමින් ජීවත් වන යුගයක, මහජනතාවගේ ජීවන තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතී.

ගැටලුව පවතින්නේ කොතැනද යන්න තේරුම් ගැනීම වැදගත්ය. මෙම වර්ධනය වන අසමානතාවයට එරෙහිව ලොව පුරා ජනතාව පාරට බැස ඇති බව පෙනේ. ඕනෑම ආකාරායක සංවාදයකදී “ක්‍රමය වෙනස් කළ යුතුය” යන්න දෝංකාර නංවයි. මිනිසුන් බොහෝ විට පවසන්නේ ඔවුන්ගේ ජීවන තත්වයන් අවදානමට ලක්ව ඇති බැවින් තත්වය ඔවුන්ට රැඩිකල් වීමට බල කර ඇති බවය. අප දිනපතා මුහුණ දෙන ගැටළු තේරුම් ගැනීමට ඔබට හොඳම මෙවලම් අවශ්‍ය වීමට හේතුව මෙයයි.

ධනවාදය, එනම් වර්තමාන සමාජ-ආර්ථික ක්‍රමය ගොඩනැගී ඇත්තේ ලාභය මතය. බොහෝ දුරට සෑම දෙයකම පාහේ අයිතිය හිමි ධනපතියන් උනන්දු වන්නේ එල් දෙයක් ගැනය. ඒ වැඩි වැඩියෙන් මුදල් ඉපයීමයි. ඇත්ත වශයෙන්ම ඔවුන් බොහෝ විට වැඩ කරන්නේම නැත. බොහෝ ධනවත් ආයෝජකයින් තම මුදල් ආයෝජනය කිරීමට සහ ඔවුන් වෙනුවෙන් එය රැකබලා ගැනීමට කළමනාකරුවන් සහ ගණකාධිකාරීවරුන් යොදවයි. නමුත් මෙම ධනපතියන් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළත්, ඔවුන් සැබවින්ම සමාජ වටිනාකමක් ඇති කිසිවක් නිෂ්පාදනය නොකරයි. ඔවුන් ධනය උපයා ගන්නේ වෙනත් කරන වැඩ වලිනි. ඔවුන ඉහළම ආහාර ලබා ගනී, ඇඳුම් අඳියි, අනුන්ගේ ශ්‍රමයෙන් නිපදවන ලද ගෙවල්වල වාසය කරති, එහෙත් ඒවාට හිලව් ලෙසින් කිසිවක් හෝ ආපසු නොදේ.

කම්කරුවන් තමන් ලබන වැටුපට වඩා බොහෝ වැඩියෙන් නිෂ්පාදනය කරති. ලාභයේ ප්‍රභවය මෙයයි. කම්කරුවන්ට ලබාදෙන්නේ ඊළඟ වැටුප දක්වා ඔවුන්ව පවත්වා ගැනීමට පමණක් සෑහෙන්නකි. මෙම සූරාකෑම, මධ්යතන යුගයේ දී, ස්වාමියාගේ ඉඩම්වල නොමිලේ වැඩ කිරීමට බල කෙරුණු ප්‍රවේනිදාසයන් සම්බන්ධයෙන් මෙන් පැහැදිලිව දෘෂ්‍යමාන නොවන නමුත් අවස්ථා දෙකේදීම වන්නේ එකම දෙයකි. ධනපතියෝ විවිධ ක්‍රමවලින් මුදල් උපයති. නමුත් ඒ සියල්ල සිදුවන්නේ අඩු මුදලකට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමට හැකිවීම නිසාය.

එවැනි ආර්ථික ක‍්‍රමයක් මගින් වැඩ කරන ජනයා මත පැටවී ඇති බර වැඩි කරනවා මිස දැන් හෝ අනාගතයේදී හෝ අප මුහුණ දෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙනු ඇත. ධනවාදය යනු ධනවතුන් විසින්, ධනවතුන් වෙනුවෙන් පවත්වාගෙන යන  ධනවතුන්ගේ ක්‍රමයකි. බැංකුකරුවන්ගේ හා ධනපතියන්ගේ මෙම ආඥාදායකත්වය වෙනුවට වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්, එනම් වැඩකරන ජනතාව විසින්, වැඩකරන ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන සමාජයක් අපට වුවමනාය.

පසුගිය සියවස් එකහමාරක කාලය තුළ ධනවාදය පෙන්වා ඇත්තේ එයට මිනිස් වර්ගයා මුහුණ දෙන කිසිදු ගැටලුවක් විසඳිය නොහැකි බවයි. ඊට පටහැනිව, එය පවතින ගැටළු තවත් උග්‍ර කරයි. ධනවාදයේ ආවේනික ලක්‍ෂණයක් වන වාර ආර්ථික අර්බුද විසින් බහුතරයක් ජනතාව නිරපේක්ෂ දරිද්‍රතාවයට හා දුක්ඛිතභාවයට ඇද දමමින්, ස්වල්ප දෙනෙකුට තම ධනය සංකේන්ද්‍රණය කර ගැනීමට ඉඩ සලසයි. දිනෙන් දින අපට වැඩි වැඩියෙන් යුද්ධ සහ ගැටුම් දැකිය හැකි අතර, ඒවා විසින් මිලියන ගණනක් ජනයාට තම ජීවිත කාලය පුරාම උපයා ගත් දේ අතහැර දමා තම නිවෙස් අතහැර පලා යාමට බල කරන, ඔවුන්ව මිනිස් ජාවාරම්කරුවන් වැනි අයගේ ගොදුරු බවට පත් කරයි. නමුත් එම යුද්ධ යුධවාදී ප්‍රකෝටිපතියන්ට විශාල ලාභයකට මග පාදයි. අද ධනවාදය සමාජ සංවර්ධනයේ ගාමක බලවේගය වන නිෂ්පාදන බලවේග තවදුරටත් වර්ධනය කිරීමට නොහැකි සේ වන නිරපේක්ෂ විලංගුවක් බවට පත්ව ඇත. ආර්ථිකයන් එකතැන පල්වීම, උද්ධමනය, ණය මට්ටම් පමණ ඉක්මවා යාම, එකකට පසු එකක් ලෙසින් ලෙසින් අර්බුද ඇතිවීම  සහ දේශපාලන අස්ථාවරත්වය වත්මන් ධනවාදයේ සාමාන්‍ය ලක්ෂණ බවට පත්ව ඇත.

.අපගේ සම්පත් සමාජවාදී ලෙස සැලසුම් කිරීම අපට ඇති එකම ඉදිරි මාවතයි. වෙළඳපොලේ ගුණ දේශනා කරන ධනපතියන් පවා තම තමන්ගේ කර්මාන්තශාලාවලදී සහ සේවා ස්ථානවලදී වෙළඳපොල යන්ත්‍රණයන් යොදන්නේ නැත. සමාජවාදී සමාජයකදී නවීන තාක්‍ෂණය භාවිතා කරමින් අවසාන අයිතමය දක්වා සියල්ල සැලසුම් කෙරේ. ගෝලීය නිෂ්පාදනය සහ බෙදාහැරීම සංවිධානය කළ හැක්කේ එලෙසින්ම පමණය. එහිදී වෙළඳපොල ක්‍රමයක් නොමැත! අපි කියා සිටින්නේ අන්ධ වෙළඳපල බලවේගවට ඉඩ නොදී මුළු ආර්ථිකයම සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ යුතු බවයි. ඇත්ත වශයෙන්ම, සැලසුම් කිරීම මගින් අප අදහස් කරන්නේ තේරී පත් වීමකින් තොර කළමනාකරුවන් ලබාදෙන නියෝග නොව, සියල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම හරහා වන භාවිතයයි.

මාක්ස් සහ එංගල්ස් ට අනුව, “මෙතෙක් පැවති සියලු සමාජයන්ගේ ඉතිහාසය යනු පන්ති සටන්වල ඉතිහාසයයි”. දන්නා ඉතිහාසය තුළ සෑම විටම පාලක පන්තිය විසින් පීඩිත පංතිය (හෝ පන්තීන්) සූරාකෑමට ලක් කළ අතර පීඩිත පංතිය (හෝ පන්තීන්) සෑම විටම එයට විරෝධය දක්වා ඇත. දන්නා ඉතිහාසයේ ප්‍රථම වතාවට සමාජවාදී ක්‍රමයක් යටතේදී මිනිසුන් සමූහයක් විසින් තවත් මිනිසුන් සූරාකෑම නවත්වනු ඇත. පෞද්ගලික දේපළ අයිතිය අහෝසි කරනු ඇත. මිනිස් වර්ගයා විසින් තම හැකියාවන් සහ නිර්මාණශීලිත්වය උපරිම ලෙසින් පොදු ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීමට පෙළඹෙන නව යුගයකට දොර විවෘත කරනු ඇත.

එම සමාජය “හැකියාව අනුව සමාජයටත්, අවශ්‍යතාවය අනුව සමාජයෙනුත්” යන මූලධර්මය මත පදනම් වනු ඇත. වෙනත් වචන වලින් කිවහොත්, එය සහයෝගීතාවය සහ සෑම කෙනෙකුගේම අවශ්‍යතා  සුනම්‍ය ලෙස තෘප්තිමත් කිරීම මත පදනම් වූ පන්ති විරහිත සමාජයකි. ධනවාදයේ දුක්ඛිත තත්වයන් අවසානයේ ඉතිහාසයේ කුණු බක්කියන් අවසන් විය හැකි අතර අවසානයේ අපට සැමට සාමය සහ සෞභාග්‍යයේ නව අනාගතයක් කරා ගමන් කළ හැකිවනු ඇත.

Loading