ප්‍ර‍තිගාමීත්වයේ බල්ලන් බිරුවද ජන අරගලයේ තවලම පෙරට යනු නිසැකය.

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

පසුගිය මාර්තු මැදවන විට ජනතාව විරොධතා සඳහා පාරට බැස්සේ කිරිපිටි, ඉන්ධන, ගෑස්, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟ වීමත්, ඒවා ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල රැඳී සිටීමට වීමත්, එම පෝලිම් තුළදීද ප්‍රදේශයේ දේශපාලනඥයන් හා ඔවුන්ගේ ආධාර ලබන දාමරිකයන්ගේ අකටයුතුවලට මුහුණ දීමට සිදු වීමත් ආදී කරුණු හේතු කොට ගෙනය. ජන අරගලයේ බලපෑම මත කැබිනට් මණ්ඩල තුනකට ඉවත්ව යාමටත්, රාජපක්ෂවරුන් තිදෙනෙකුටම තම තනතුරුවලින් ඉවත්ව යාමටත් සිදු විය. එහෙත් ඔවුන් ඉවත්ව ගියේ තමන්ට ඉතාම විශ්වාසවන්ත රනිල්ට මුල් පුටුව ලබා දීමට පියවර ගැනීමෙන් පසුවය.

ගෝඨාභය මෙන්ම රනිල්ද එකසේ අසමත් පාලකයන් බව මේ වනවිට ඔප්පුකොට ඇත. අවම වශයෙන් උද්ඝෝෂණ ආරම්භ වීමෙන් පසුව හෝ ජනතාවට කුඩා හෝ සහනයක් ලබා දීමට මෙකී පාලකයින් මුළුමණින්ම අසමත්ව තිබීමෙන් එය පැහැදිලි වේ.

මේ වනවිට ඉන්ධන අර්බුදය කෙතරම් උග්‍ර වී ඇත්ද යත් ඉන්ධන ලබාගත නොහැකි වීම නිසා සියදිවි නසාගත් අවස්ථ ගැනද වාර්තා වී ඇත.

2021 ජූලි මාසයේ මැද වනවිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිළ රු. 157.00ක් විය. ජනතා උද්ඝෝෂණ ආරම්භ වූ 2022 මාර්තු මැද වනවිට එය පැවතියේ  රු. 254ක අගයකය. මේ වනවිට එහි මිළ රු. 450.00කි. එලෙසටම 2021 ජූලි මැද වනවිට සාමාන්‍ය ඩීසල් ලීටරයක මිළ රු. 111ක් විය. එය 2022 මාර්තු වනවිට රු. 176.00ක් දක්වාද මේ වනවිට රු. 440.00ක් දක්වාද ඉහළ ගොස් ඇත. ඒ අනුව රජය විසින් වසරක් තුළ ඔක්ටේන් 92 පෙට්‍රල් මිළ 186%කින්ද ඩීසල් මිළ 296%කින්ද ඉහළ දමා ඇත. ජනතා උද්ඝෝෂණ ආරම්භ වූ 2022 මාර්තු මැද සිට මේ දක්වා කාලය තුළ පමණක් ඔක්ටේන් 92 පෙට්‍රල් මිළ 77.1%කින්ද ඩීසල් මිළ 150%කින්ද ඉහළ දමා ඇත.

2022 ජූලි 18 දින ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින්ම නිකුත් කළ නිවේදනයකට අනුව මෙම මිළ වැඩිවීම කිසිඳු පදනමකින් තොරය. “ඊයේ රාත්‍රියේ දී රුපියල් 20කින් පෙට්‍රල් මිල පහල දැම්මා. මා විසින් මීට සති දෙකකට පෙර පෙන්වා දී තිබුණා පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 150 කින් පමණ අඩු කළ හැකි බව. රේගු දත්ත අනුව ලංකාවට ඉන්ධන ආනයනය කරන සත්‍ය මිල ගණන් පදනම් කරගෙනයි මේ කරුණු හෙළි කළේ. තවමත් මෙම සත්‍ය මිල ගණන් මොනවාද යන්න ඛනිජ තෙල් අංශයේ බලධාරීන් විසින් හෙළිකර නැහැ. රටේ ආර්ථිකයට දැඩිව බලපාන ඉන්ධන මිල තීරණය කිරීම සඳහා පාරදෘශ්‍ය ක්‍රමයක් තිබිය යුතුය. ලෝක වෙළෙඳපොළ මිල ගණන් අනුව ඊයේ රාත්‍රියේ කල අඩු කිරීම ප්‍රමාණවත් නැහැ. ඊයෙ පළ වූ තවත් පුවත්පත් වාර්තාවක් මගින් මා විසින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දත්ත තවදුරටත් තහවුරු කර තිබෙනවා. වත්මන් වෙළෙඳපොළ දත්ත වලට අනුව සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ආනයනය සඳහා ගෙවන සත්‍ය මිල ගණන් අනුව ඉන්ධන ලීටරයක දේශීය මිල අඩුම වශයෙන් රුපියල් 100 කින් පමණ පහළ දැමිය හැකියි.” යනුවෙන් එහිදී දක්වා තිබුණි.

ඉන්ධන මිළ වැඩිවීම යනු ප්‍රවාහන වියදම් ඉහළ දැමීමක් නිසා එය විසින් සියළුම භාණ්ඩ හා සේවා මිළ ඉහළ දමන බව නොකිවමනාය. 2021 ජූලි සිට 2022 ජූලි දක්වා කාලය තුළ CCPI දර්ශකයට අනුව රටේ උද්ධමනය 60.8%කි. මෙය එම කාලය තුළ ආහාර මිළ ඉහළ යාම 90.9%කි. එහෙත් යේල් විශ්ව විද්‍යාලය පවසන අන්දමට ලංකාවේ උද්ධමනය 113%කි. මේ වනවිට ලංකාව ලෝකයේ උද්ධමනය ඉහළම රටවල් කිහිපය අතරට පැමිණ ඇත.

Save the Children ආයතනය විසින් 2022 මැයි – ජූනි කාලය තුළ කරන ලද සමීක්ෂණයකට අනුව 2022 ජූලි 6 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් කියා තිබුණේ ශ්‍රී ලංකාවේ පවුල් තුනකින් දෙකකට වඩා වැඩි ගණනකට ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇති බවත්. රටෙහි පවතින ආර්ථික අර්බුදය සීඝ්‍රයෙන් පරිපූර්ණ මානුෂීය ආපදාවක් බවට පත්වෙමින් ඇති බවට එම ආයතනය අනතුරු අඟවන බවත්ය. ඔවුන් මෙසේද කියා තිබුණි

“රටේ පවුල් 2,300කට අධික සංඛ්‍යාවක් සහභාගි කරගත් සමීක්ෂණයෙන් හෙළි වූයේ ආර්ථික අර්බුදය ආරම්භයේ සිටම පවුල් 85%කට ආදායම් අහිමි වී ඇති බවත්, අඩකට වැඩි පිරිසකට තම ආදායමෙන් වැඩි ප්‍රමාණයක් අහිමි වී ඇති බවත්, 10න් 1කට මුළු ආදායමම අහිමි වී ඇති බවත්ය.

“මිල වැඩිවීම්, ඉන්ධන හිඟය සහ ආහාර හිඟය නිසා පවුල්වල දරුවන් තම දරුවන්ට පෝෂණය කිරීමට අපහසු වී ඇත. පවුල්වලින් තුනෙන් එකකට (35%) වැඩි ප්‍රමාණයක් පසුගිය සති දෙක තුළ තම දරුවන්ට දෙන ආහාර අඩු කිරීමට බලකෙරුණු බව පැවසූ අතර 30%ක් කියා සිටියේ තමන් දිනකට ගන්නා කෑම වේල් අඩු කළ බවයි. තම ගෘහස්ථ ආහාර අවශ්‍යතා සපුරාලීමට හැකි වූ බව කියා සිටියේ තුනෙන් එකක් (31%) පමණි.”

ශ්‍රී ලංකාවේ Save the Children අධ්‍යක්ෂ ජූලියන් චෙල්ලප්පා පවසා ඇත්තේ “ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය තවමත් බරපතලයි. ඉන්ධන සහ ආහාර අර්බුදය විසින් පුළුල්ව පැතිර යන අස්ථාවරත්වයක් ඇති කරයි. ශ්‍රී ලංකාව පුරා සිටින අති බහුතරයක් ජනතාව ජීවත්වීමේ අරගලයක නියැලී සිටී. ඔවුන් අරගල කරන්නේ කෑමට ආහාර, මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමටත් මූලික සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශ වීමටත්ය.”

ලෝක බැංකුව පවා 2022 අප්‍රේල් මාසයේදී කියා සිටියේ මෙම වසර තුළ ලංකාවේ දරිද්‍රතාවය තියුණු ලෙසින් ඉහළ යනු ඇති බවයි.

මේ සියල්ල පෙන්වා සිටින්නේ ජනතාව අරගලයට යොමුවීම කොතරම් සාධාරණද යන්නයි. එසේම මේ වනවිට උග්‍ර වී ඇති ආර්ථික පරිහානිය හා ඒ නිසා ජනයාගේ ජීවන තත්ත්වයන් කඩා වැටීම තුළ ජනතාවට තව දුරටත් අරගල කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නැත. මෙම තක්කඩි පාලකයන් විසින් පසුගියදා හදිසියේම මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ලක්ෂ ගණනින් වැඩිකරගත් බවට පුවත්පත් වාර්තා පළව තිබුණි. මේ තක්කඩියන්ගේ ඉන්ධන දීමනාව වැඩිකරන විට ඒ අයුරුන්ම රටේ නිශ්පාදනය හා සේවා පවත්වාගෙන යන වැඩ කරන ජනතාවට වැඩිවූ ඉන්ධන මිළ, වැඩි වූ පොදු ප්‍රවාහන වියදම්, උද්ධමනය නිසා දැඩි ලෙස පහළ වැටී ඇති සැබෑ වැටුප වෙනුවෙන් කිසියම්ම හෝ සහනයක් ලබා දී නොමැත. මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනා වැඩිකළ හැකි රජයට වැඩ කරන ජනතාවට වැඩිවන උද්ධමනයට සමානුපාතිකව වැටුප් ඉහළ දැමීමට පියවර ගත නොහැක්කේ මක් නිසාද? අනෙක් අතට, මොවුන් එසේ තමන් වෙනුවෙන් පමණක් ඉන්ධන දීමනා වැඩි කර ගන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම කියන ආකාරයට රු.100කින් පමණ පෙට්‍රල් හා ඩීසල් මිළ අඩු කළ හැකිව තිබියදී එසේ නොකොට සමස්ත ජනතාවටම ව්‍යසනයක් අත් කර දෙමින්ය. හැකියාව තිබියදී ඉන්ධන මිළ පහත දමා එහි සහනය ජනතාවට ලබා දීමට මෙම තක්කඩියන්ට නොහැක්කේ මක් නිසාද?

මෙම තත්ත්වයන් විසින් නියත ලෙසින්ම ජනයා නැවත නැවතත් නැඟී සිටිම් කරා කැඳවනු ඇත. ඉදිරියේ මතුවන ජනතා නැඟිටීම් මැයි 9 හා ජූලි 9 අරගලවලට වඩා දැවැන්ත වනු ඇත. මේ වනවිට පාලකයින් දැඩි සේ බියපත්ව ඇත්තේ පැමිණීමට නියමිත එම ජනතා නැඟිටීමටය. මේ වනවිට රනිල් රාජපක්ෂ රෙජීමය විසින් අරගලකරුවන්ට එරෙහිව ලේ වැකි මර්ධනයක් දැවැන්ත ආකාරයෙන් දියත් කර ඇත්තේ ඒ නිසාය. එම මර්ධනය පෙන්වා සිටින්නේ තම නොහැකියාව නිසා ජනතාව නැවත නැඟී සිටින බවට ඔවුන් තුළ ඇති භීතියයි. පසුගිය මැයි 9 දින තම ‘නිරුවත’ හොඳින්ම පෙන්වූ සනත් නිශාන්ත, මේ වනවිට කප්පම් ගැනීමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු වී ඇති ප්‍රසන්න රණතුඟ වැනි අය ජන අරගලයට උඩු බුරලන්නේද ඒ නිසාය. බල්ලන් බිරුවද ජන අරගලයේ තවලම ඉදිරියට ගමන් කරන බව නිසැකය.

පසුගිය මාස කිහිපයක් තුළ ජනතාව ලද අත් දැකීම් හා ඒවායින් ජනතාව උගත් පාඩම් ඉදිරි ජනතා නැඟිටීමේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. අද මෙම අර්බුදය මතුව ඇත්තේ පුද්ගලයෙක් නිසා නොව පවතින ආර්ථික ක්‍රමය නිසා බව, පුද්ගලයින් නිර්මාණය කරන්නේ පවතින ක්‍රමය විසින් බව, මේ නිසා පවතින ආර්ථික – දේශපාලන වෙනස් කළ යුතු බව, ඒ වෙනුවෙන් ගමන් කිරීමේදී පාලකයින් තිරිසන් අයුරින් මර්ධනය මුදා හරින බව, ඒ වෙනුවෙන් පාලකයින් ඕනෑම අමන ක්‍රියාවක් කිරීමට පසුබට නොවන බව, මෙම මර්ධනයට මුහුණ දීමට අරගලය සංවිධනාත්මකව මුහුණ දිය යුතු බව, ඒ වෙනුවෙන් අරගලයට පවතින ක්‍රමය වෙනස් කළ හැකි වැඩපිළිවෙලක් හා සම්බන්ධීකරණයක් ඇතිකර ගතයුතු බව, ඒ සඳහා රටේ කම්කරු පන්තිය ක්‍රියාකාරීත්වයට කැඳවිය යුතු බව, මහා වැඩ වර්ජනයක් එහි පළමු පියවර වියයුතු බව, අරගලය තුළ විකල්ප ජනතා බලයක් ගොඩැගීම ආරම්භ කළ යුතු බව ජනතාව මේ දක්වා එසේ උගත් පාඩම් අතර වන දේය.

විකල්ප ජනතා බලයක් යන්නෙන් අදහස් කරන්නේ, දැනට පවතින ක්‍රමය මෙන් ජනතාව ගොනාට අන්දවා ජනතාව දේශපාලනයෙන් හා ආර්ථික තීන්දු ගැනීමෙන් වළකන ක්‍රමයක් නොව, ජනතාව සක්‍රියව තම ආයතන, තම කර්මාන්තය හා තම ප්‍රදේශය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට මැදිහත් කරගත හැකි පාලන ව්‍යුහයකි. නැවත කැඳවීමේ බලයට යටත්ව, නිශ්ච්ත කාලයකට, ආයතනයක (කර්මාන්තශාලා, බැංකු, ව්‍යාපාර හා සේවා සපයන ආයතන ඇතුළත්) වැඩ කරන සියළු දෙනාගේ චන්දයෙන් තේරී පත්වන නියෝජිත කමිටුවකට ආයතනවල සමස්ත පරිපාලනය භාර කළ යුතුය. ගොවි, ධීවර වැනි ක්‍ෂෙත්‍ර වෙනුවෙන් එවැනිම ගොවි කමිටු, ධීවර කමිටු ඇති කළ යුතුය. ප්‍රාදේශීය මට්ටමින් වන ජනතා අවශ්‍යතා පිළිබඳ තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය ජනතා කමිටු ඇති කළ යුතුය. මෙසේ හොඩනැගෙන ආයතන කමිටු, ගොවි කමිටු, ධීවර කමිටු හා ප්‍රාදේශීය ජනතා කමිටුවලින් තේරී පත්වන නියෝජිතයන්ගෙන් ජාතික මහ සභාවක් ඇති කළ යුතුය. ඒ ජාතික මට්ටමින් අවශ්‍ය සැළසුම්කරණය හා සම්බන්ධීකරණය වෙනුවෙනි. මේ අනුව පාර්ලිමේන්තුවක්, විධායක ජනාධිපති කෙනෙක් හෝ මහජන මුදල් නාස්ති කරන හා වංචාව හා දූෂණය උත්සන්න කරමින් ජනතාව අගාධයට හෙළන සියළු ආකාරයේ නිලතල හා ධූරාවලීන් තව දුරටත් අවශ්‍ය නොවනු ඇත.

මෙකී පාඩම් ඇසුරෙන් ඉදිරියේ නියත ලෙසින් මතුවන ජනතා අරගල ජනතයාගේ සැබෑ වුවමනාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් සංවිධානය වීම සියළු ක්‍රියාකරකයන්ගේ දවසේ වගකීමයි.

Loading