බොහෝ බලාපොරොත්තුවෙන් උසාවි ශාලාවට ඇතුල් වුවද,එදිනත් තවත් බලාපොරොත්තු බිදවැටුන දවසක් විය.

මම ඊයේ (2025/10/22) ඔබට කිව්වේ. හෝමාගම අධිකරණයේ තියෙන නඩුවට සාක්ෂි දීමේ බලාපොරොත්තුවෙන් යනවා කියලා. මගේ අරමුණට ඔබේ ආදරය නොඅඩුව ලබාදී තිබිණ. ස්තූතියි ඔබ සැමගේ ආදරයට සහ ධෛර්යය

මේ එම සිද්ධිය පිළිබඳව පසුවදනයි. මෙය කීම කෙතරම් ගෝචරදැ’යි නොදනිමි. එහෙත් මෙම අවනඩුව ඔබ හා බෙදා ගත යුතුයැ’යි සිතමි.ඒ මාගේ මානසික ඒකාග්‍රතාවය වෙනුවෙනි.

කඩින්කඩ ඇදහැලෙන වැස්සේම සුපුරුදු පරිදි බෑගය යාබද කඩේ තබා.  අධිකරණය පරිශ්‍රයට හුදකලාවම ඇතුල් වීමි. සමහර දිනවල කවුරුන් හෝ තනිවට සිටියත්, අද මා උසාවියට ගියේ තනිවමය.මට උසාවිය යාබද මාධ්‍ය සඟයන් පිරී සිටි කාලය මතක්වේ. යුක්තිය ඉටුවන තුරා මෙය මට සජීවී වුවත්, ඉස්පාසුවක් නැතිව  අපූරු පුවත් ගෙනෙන, පුවත් මවන මාධ්‍ය ලෝකයට මෙම මාධ්‍යවේදියා පරණ පුවතක් වී ඇති’යයි මා මටම පවසා ගතිමි. මම  උසාවි යන්නට පටන් ගත්තාට පසු මෙම උසාවිය ගොඩනැගිලි තුනකට මාරුවී ඇත. 2011දී හෙබියාස් කෝපස් නඩුවට එන කාලයේදී මෙතන තිබුණේ පුංචි ශාලා දෙකක් සහ ගොඩනැගිල්ලක් සමන්විතව තිබුණු උසාවියයි.ලොකු ගේට්ටුවක් තිබුනත්, එය වසා දමා තිබුන අතර ඇතුල්වීමේ ප්‍රවේශය වූයේ අඩි හතරක පමණවූ ගේට්ටුවකිනි.ඊට ටික කලකට පසු උසාවිය යාබද තිබූ තවත් නිවසක් වැනි ගොඩනැගිල්ලක ට ගෙන ගොස් තිබූ අතර, මෙම අංගසම්පූර්ණ පස්මහල් උසාවි සංකීර්ණයට ගෙනාවේ 2017වසරේ මුල් කාලයේදී පමණය. එසේ ගොඩනැගිලි දිනෙන් දින සුව පහසු වුවත් එදාසේ අදත් මම යුක්තිය පසුපස හඹා යන්නෙමි. වෙනස නම් එදා මහෙස්‌ත්‍රාත් අධිකරණයට පැමිණි මා, මේඅද පියවර මනින්නේ මහාධිකරණයට වීමයි.

ආරක්‍ෂක නිලධාරීනිය හා වදනක් දොඩා, ශරීර පරීක්ෂාවෙන් පසුව අධිකරණයට ඇතුළුවී පියගැට පෙල නගින මට මහෙස්‌ත්‍රාත් අධිකරණය පෙනේ. මා මොහොතක් එදෙස බලා සිටිද්දීම සුසුමක් පිට වූයේ  ඇයිදැයි නොදනිමි. මගේ උසාවි ජීවිතේ වැඩි කාලයක්  ගතකල උසාවිය මහෙස්‌ත්‍රාත් අධිකරණයයි. විවිධාකාර අත්දැකිම්, හිංසනයන්ද ලද තැනත් එතැනයි. හමුවූ කිසිවෙකු පිලිබදව අහිතක් නැතත්, සදාකල් මා බැතියෙන්  සිහිපත් කරන ගෞරවනීය මිනිසුන්ද හමුවූ බව පමණක්‌ සනිටුහන් කරමි. ඔවුන් වෙනුවෙන් මා හදපිරි බැතිය පිරිනමන්නට දිනයක් එතැයි සිතමි. 

 බොහෝ බලාපොරොත්තුවෙන් උසාවි ශාලාවට ඇතුල් වුවද,එදිනත් තවත් බලාපොරොත්තු බිදවැටුන දවසක් විය. ප්‍රගීත්ගේ පලමු පැහැරගෙන වදකගාරයකට ගෙනගොස්, පසුදා මුදාහැරීම සිදුවෙන්නේ. 2009. අගෝස්තු 27 වනදාය. ප්‍රගීත්ට සිදුවූ අපරාධයේ මූලාරම්භය මෙම සිදුවීම වන අතර එය සිදුවී වසර 16ක් ගතවී ඇත. දින නම් 6000කට ආසන්න කාලයකි.

එම සිදුවීමට නීතිපතිතුමා 2019 දී අපරාධ නඩුවක් ගොනුකරන ලද අතර,එම නඩුව ප්‍රථම වතාවට විවෘත අධිකරණයේ විභාග වූයේ 2019/12/09දාය. පැ.සා 1 වන මගේ සාක්ෂිය ගැනීම ආරම්භ කලේ 2023ඔක්තෝම්බර් 20 දාය.එදින මගේ සාක්ෂිය ආරම්භ කර, එදින ප්‍රගීත්  මට දුරකථනයෙන් පැවසූ දේ සම්බන්ධයෙන් මා මගේ ප්‍රකාශය දෙද්දී විත්තියේ නීතිඥවරුන් විසින් විරෝධතාවයක් ගෙනාවේය. ඔහු නැති බැවින් මාගේ සාක්ෂිය ගත නොහැකි බව පවසමින් ගාලගෝට්ටියක් කරමින් ඊති ප්‍රශ්ණයක් මතුකරමින් සිය විරෝධය දැක්වූ අතර, මාගේ සාක්ෂි ගැනීම නැවතුනි.ඊට පසු නඩු දිනයක ලිඛිත දේශන සඳහාද අවසර ඉල්ලා ලිඛිත දේශනද ගොනු කර තිබූ අතර,අවසානයේ 2024. අප්‍රේල් මාසයේ පැවති නඩු දිනයේදී එවකට සිටි පුර්වගාමී ගරු විනිශ්චයකාරතුමා විත්තියේ විරෝධතාව ප්‍රතික්ෂේප කර,මාගේ සාක්ෂිය මෙහෙයවීමට සදහා පැමිණිල්ලට අවසර ලබාදෙන  බවට නියෝගයක් ලබාදෙන ලදී. 

ඒ අනුව යළිත් වතාවක් 2025/මැයි 27 වන දින නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා යළි මාගේ සාක්ෂිය මෙහෙයවීම ඇරඹීය. යළි පෙර පරිදිම ප්‍රගීත් මට කරපු ප්‍රකාශය ලබාදෙන මොහොතේ ඔවුන් පෙර ඊතල ප්‍රශ්නයම මතුකර සාක්ෂිය මෙහෙයවීම කඩාකප්පල් කරන ලදී. ඊයේ දිනයේදී යලිත් වතාවක් ලිඛිත දේශන ලබාදීමට අවසර ඉල්ලූ අතර ගරු අධිකරණය එම අවසරය ලබාදෙන ලදී.

මේ සම්බන්ධව ප්‍රශ්ණ රාශියක් මතුවටත් ඒ සියලු ප්‍රශ්න සිත තුල ගුලිකර ගනිමි.  නීතිය සියල්ලන්ටම සමාන යැයි කියා ව්‍යවස්ථාවේ තිබුණත් එය එසේම දැ’යි යන ප්‍රශ්නය පමණක් නීතිවේදින්ද අවධානයට යොමු කරමි. 

 යුක්තිය පමාකිරීම යනු මිනිසෙකු ගෑස්කුටීරයක දමා ටිකින් ටික මරනවා වැනි සාහසික අපරාධයකි. ඛේදනීය තත්ත්වය නම් එය සිදුවන්නේ සංස්ථාපිත රාමුවක් තුල වීමයි.

@highlight  Ekneligoda Forum – එක්නැලිගොඩ සංසදය Free Prageeth Ekneligoda Sandya Priyangani Ekneligoda වදන් රස්තියාදුව

Loading

Related posts