විඥානවාදී ආත්මය + ඥානය = විඥානය

යථාර්ථය යනු භෞතික දෙයක් නොව, මූලික වශයෙන් ආත්මීය අත්දැකීම් මත පදනම් වූ මනෝමූලික දෙයක් බව අවධාරණය කිරීමට ‘විඥානය’ (consciousness) යන පදය විඥානවාදීන් (idealists) සහ පාරභෞතිකවාදීන් (metaphysicians) විසින් භාවිතා කරනු ලැබීය. ඔවුන් තර්ක කරන්නේ ආත්මය (soul or spirit) මූලික බවත්, වස්තූන් සහ බාහිර ලෝකය පවතින්නේ මනස මත ගොඩනැගෙන ‘විඥානය’ (consciousness) නිසා බවත්ය. මෙම දෘෂ්ටිකෝණය විශේෂයෙන්ම ‘ආත්ම-විඥානය’ යනු ස්වයං-විඥානය (self-consciousness) බව ඔවුන්ම ප්රකාශ කරති. මෙම සංකල්පය සමග ‘අන්තර්-ආත්මීය පිළිගැනීම’ (intersubjective recognition) පිළිබඳ අදහසක් ද ඔවුන් ඉදිරිපත් කරති; එනම්, වෙනත් ජීවීන් සමග අන්තර් ආත්මීය සම්බන්ධය තුළින් ‘ස්වයං-විඥානය’ ඇතිවන බවයි. එමඟින් යථාර්ථය හැඩගැස්වීමේදී මනස සතු කේන්ද්රීය භූමිකාවක් ආත්මයට හිමි බව ඓතිහාසිකව මෙම දාර්ශනික ප්රවාහයන් දෙකම තරක කියමින් සිටිති.
විඥානවාදී දර්ශනය තුළ, ‘ස්වයං-විඥානය’ යනු යථාර්ථය තුළ පවතින මනසික ලක්ෂණයක් නොවන බවත්; බොහෝ විට එය සලකනු ලබන්නේ යථාර්ථය තේරුම් ගත හැකි ආත්මීය ලක්ෂණයක් බවත් ඔවුන් ප්රකාශ කරති. මෙහිදී ඔවුන් ඉදිරිපත් කරන තර්කය දළ වශයෙන් මෙසේය: “යථාර්ථය මූලික වශයෙන් මානසික දෙයක් නම්, යමක් පවතින්නේ කෙසේද? සහ එය සංවිධානය වී ඇත්තේ කෙසේද? යන්න වටහාගැනීමට මනස ක්රියා කරන ආකාරය පිළිබඳ අවබෝධය ප්රධාන වේ. මෙහිදී, මනස විසින් තම ක්රියාකාරකම් පිළිබඳව ‘ආත්ම-ඥානය’ (spirit-knowledge) හෙවත් ‘ස්වයං-විඥානය’ (self-consciousness) එම ව්යුහය ගොඩනැගීම සඳහා සැබෑ ආදර්ශය (real model) බව” ඔවුන් විසින් නිර්වචනයක් ඉදිරිපත් කරති. ඒ පිළබඳව ඓතිහාසික විඥානවාදීන්ගේ සහ ඓතිහාසික පාරභෞතිකවාදීන්ගේ ලිඛිත සටහන්වලින්ම මේ කරුණ අපි විමසා බලමු.
විඥානවාදීන්ගේ ‘විඥානය’
“පැවැත්ම යනු ආත්මය සංජානනය කිරීමෙන් ලබන විඥානයයි” ̶ ජෝජ් බාක්ලී
බිෂොප් ජෝර්ජ් බාක්ලී (1685-1753) ‘මානව දැනුමේ මූලධර්මය පිළිබඳ නිබන්ධනය’ (1710) කෘතියේ ඔහු තර්ක කළේ ‘විඥානය’ (consciousness) යථාර්ථයට මූලික වන බවත්, මනස (ආත්මය) සමග සෘජුව සම්බන්ධ වන බවත්ය. ආත්ම සංජානන හෝ ආත්මීය අදහස් ලෙස අත්විඳින ‘විඥානය’ යනු පදාර්ථයේ අතුරු ඵලයක් නොව, ආත්මීය පැවැත්මේ සාරය බවද පවසයි. මේ අනුව, ‘විඥානය’ ද්විතියික නොවේ; එය ප්රාථමික සහ යථාර්ථයේදී ව්යුහාත්මකය. ඔහුගේ විඥානවාදී දර්ශනය විසින් භෞතිකය ප්රතික්ෂේප කරන අතර, සියලු භෞතික ආයතන දිව්ය සංජානනය මගින් පවත්වා ගෙන යනු ලබන එකතුවක් බවද ඔහු ප්රකාශ කරයි. බාක්ලී, දෙවියන් වහන්සේ සියලු අදහස් පවත්වා ගෙන යන සදාකාලික සංජානනය කරන්නා ලෙසද ප්රකාශ කරයි. ඉතින් “සැබෑ” ලෝකය යනු දිව්යමය මනසෙහි ඇති අදහස් සමූහයක් වන අතර එය විශ්වාසදායක ලෙස විඥානය මගින් ‘සීමිත මනසට’ සන්නිවේදනය කරයි.
බාක්ලීගේ ආත්මීය විඥානවාදී (subjective idealism) දාර්ශනික සම්ප්රදායට අනුව ‘විඥානය’ පිළිබඳව විවිධ පැති දක්නට ලැබේ. එහිදී සාමාන්ය වස්තූන් පවතින්නේ සීමිත මනස තුළ පවතින අදහස් ලෙසය යන්න ප්රකාශ කරන්නේ මෙසේය: “යම් වස්තුවක් කිසිවෙකුගේ ග්රහණයට ලක් නොවී පවතින විට, එය දෙවියන්ගේ මනස තුළ පවතී. එනම්, යථාර්ථය හෝ භෞතිකය පවත්වාගෙන යනු ලබන්නේ ‘දිව්ය-විඥානය’ (divine-consciousness) මගිනි.”
විඥානවාදී දාර්ශනික සම්ප්රදාය තුළ මෙවැනිම අදහස් විවිධ ස්වරූපයෙන් දැකිය හැකිය. එහිදී, ඉමැනුවෙල් කාන්ට්ගේ (1724-1804) ‘අනුභූතික-උත්තර විඥානවාදය’ (transcendental idealism) නමැති දර්ශනවාදය හඳුන්වා දීමට ලියූ කෘතියක් වන ‘පිරිසිදු හේතුව පිළිබඳ විවේචනය’ (1781) නමැති කෘතිය තුළද මෙවැනි අදහස් විශාල ලෙස පවතින බව දැක ගත හැකියි. ‘විඥානය’ (consciousness) පිළිබඳ එම කෘතියේ සඳහන් වන්නේ මෙසේය: “මෙහි ඇති වැදගත්ම ලක්ෂණය නම්, මෙවැනි ස්වයං-විඥානයක් (self-consciousness) තුළ, පුද්ගලයෙකු තමාගේ කිසිදු ගුණාංගයක් පිළිබඳව — විශේෂයෙන්ම කිසිදු නිශ්චිත ගුණාංගයක් පිළිබඳව — දැනුවත් නොවීමයි; එසේ දැනුවත් විය යුතුද නැත. පුද්ගලයෙකු වෙනත් කුමක් පිළිබඳව දැනුවත් වුවද — එනම් සිතීම, සංජානනය කිරීම, සිනාසීම, දුක් විඳීම හෝ වෙනත් ඕනෑම දෙයක් පිළිබඳව දැනුවත් වුවද — ඔහුට පවතින්නේ එකම ආකාරයේ ස්වයං-විඥානයකි. යම් පුද්ගලයෙක් තමා ‘විෂයයක්’ (subject) ලෙස වටහාගන්නා විට, ඔහුට පවතින්නේ ‘කිසිදු බහුත්වයක් අඩංගු නොවන’ හුදු ආත්ම-විඥානයකි.”
කාන්ට්ගේ දෘෂ්ටිකෝණයට අනුව: “ස්වයං-විඥානය (එනම්, මාගේ සියලු නිරූපණයන් සමග පැවතිය යුතු ‘මම සිතමි’ යන හැඟීම) මගින් අත්දැකීම් එකට එක් කර, සුසංවාදී ලෝකයක් ගොඩනඟයි. මෙලෙස ‘ආත්මීය ඥානය’ (subjective knowledge) මනස සමග ඒකාබද්ධ කරන ‘විඥානය’ (consciousness) සම්බන්ධයක් නොතිබුණේ නම්, අපට හමුවන්නේ හුදෙක් හිස් සංවේදනයක් පමණි; එවිට වස්තූන්, හේතු-ඵල සම්බන්ධතා හෝ අර්ථවත් යථාර්ථයක් නොමැති වනු ඇත. අප දන්නා ලෝකය හැඩගැසී ඇත්තේ, මනස විසින් ‘ස්වයං-විඥානය’ මගින් ලෝකය සංවිධානය කිරීමට භාවිතා කරන ‘වර්ගීකරණ’ (categories) මගිනි” යනුවෙන් කාන්ට් ‘විඥානය’ ගැන තම නිගමනය එලෙස ඉදිරිපත් කර ඇත.
ඒ වගේම ගොට්ලිබ් ෆිෂ්ටේ (1762-1814) මෙම අදහස තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ ඔහුගේ ‘දැනුමේ විද්යාව’ (1804) නමැති කෘතිය හරහාය. එම කෘතියේ මෙසේ සඳහන් වෙයි: “ස්වයං (self) යන්න තමන්වම ආත්මය (spirit) ලෙස ස්ථාපිත කරගන්නා අතර, එසේ කිරීමේදී එය ‘ස්වයං-නොවන’ (not-self) දෙය හෙවත් තමන්ට මුහුණ දීමට ‘ආත්ම-ඥානය’ විඥානය (consciousness) ලෙස ස්ථාපිත කරගනියි. මෙහිදී යථාර්ථය යනු ‘ස්වයංව-ස්ථාපිත කිරීමේ’ ක්රියාවලියක ප්රතිඵලයක් නොවන අතර, බාහිර ලෝකය යනු ‘ස්වයං’ පැවැත්ම වර්ධනය කිරීමට නොහැකි සීමාවයි. එය මෙහෙයවන්නේ දිව්යමය විඥාන (divine consciousness) පරිපථය හරහාය. එවිට ‘ආත්ම ඥානය’ පිළිගන්නා පිරිසට එය වඩාත් සත්භාවයක් ලෙස අභිලාෂකාමී දිව්යමය පැවැත්මක ලෝකයක් උත්පාදනය කරයි.”
ඒ වගේම එම කෘතියේ තවත් ඡේදයක සඳහන් වන්නේ මෙසේය: “විඥානය පිළිබඳ සමකාලීන දාර්ශනික සාකච්ඡා සාමාන්යයෙන් අවධානය යොමු කරන්නේ අතිවිශිෂ්ට විඥානය (exalted consciousness) හෝ විශේෂිත දරුවෙකුගේ සවිඥානික අත්දැකීම (conscious experience) ලබා ගන්නේ “කෙසේද” (උදා: රතු පැහැය දැකීම හෝ රෝස මලක සුවඳ දැනීම) යනු විඥානයේ අත්දැකීමකි. ‘විඥානය’ එවැනි ගුණාත්මක ලක්ෂණ පැහැදිලි කිරීමට පසුගිය දශක කිහිපය තුළ දාර්ශනිකයන් ප්රධාන ලෙස සැලකිල්ලක් දක්වා තිබුණි. කෙසේ වෙතත්, ‘අතිවිශිෂ්ට විඥානය’ සම්පූර්ණයෙන්ම පාහේ භෞතිකවාදය (materialism) විසින් නොසලකා හරිනු ලැබේ. ස්වයං-විඥානයේ පරාවර්තන න්යාය තමා පිළිබඳ විඥානය ලබා ගැනීම සඳහා පරාවර්තනය වන්නේ කුමක්දැයි විමසීමෙන් අපට එය දැනෙන්නේය. එය විෂය නම් – ‘මම’ යන්නෙහි යොමුව – එවිට අපට පැහැදිලි කිරීමට උත්සාහ කරන දේ දැනටමත් ලැබි තිබේ. අනෙක් අතට, පරාවර්තනය යම් වස්තුවක් නිරූපණය කිරීම හරහා ‘ස්වයං-විඥානයක්’ ලැබෙන්නේ නම්, විෂය වීමේදී ‘ආත්මීයත්වය’ (subjectivity) ග්රහණය කරගැනීම අත්යවශ්ය කටයුත්තකි.”
ජෝජ් හේගල් ද (1770-1831) ‘විඥානය’ (consciousness) ගැන අවධාරණය කරන්නේ; “පුද්ගල ස්වයං-විඥානයේ” සිට ඓතිහාසික “සමාජීය ස්වයං-විඥානය” දක්වා සංජානනය කරන්නේ ‘ආත්ම-ඥානය’ (spirit-knowledge) මගින් බව පවසයි. ඔහුට අනුව, ස්වයං-විඥානයේ යථාර්ථය ― ස්වයං-විඥානයේ අත්දැකීම්වල ස්වරූපයද වෙනස් ආකෘතියකට හැඩගස්වයි ― ඕනෑම දෙයක් සැබෑ ලෙස පෙනෙන්නට ඇති ‘විඥානය’ තනි පුද්ගල හා ස්ථිතික තත්වයන් නොව සමාජීය හා සංවර්ධනාත්මක තත්වයන් යනුවෙන්ද ඔහු පෙන්වා දෙයි.
ඒ පිළිබඳව හේගල් ජර්මනියේ යේනා විශ්වවිද්යාලයේ 1805-06 යන වසරවලදී පැවැත් වූ ‘ආත්මය පිළිබඳ දර්ශනය’ නමැති දේශන මාලාවේදී ‘විඥානය’ ගැන පැවසූ අදහස අපි දැන් විමසා බලමු: “ආත්මය (spirit) {එනම් මනස} මෙම සත්තාවෙන් ආරම්භ වී, පසුව එය තමා තුළම ‘නො-පැවැත්මක්’ (not-being) ලෙස, එනම් සාමාන්යයෙන් ‘අහෝසි කරනු ලැබූ’ දෙයක් ලෙස ස්ථාපිත කරයි. එසේ කිරීමේදී, ආත්මය {මනස} යනු මනඃකල්පිතයේ නිරූපණ බලය (representational power of imagination) ලෙස ක්රියා කරයි. එය තමාටම එරෙහිව පවතින ‘ස්වයං-භාවය’ (self) වේ. මුලින්ම, ආත්මය සංජානනය ලෙස පවතී; එය එම ‘ස්වයං-භාවයට’ විරුද්ධව තමාවම ස්ථාපිත කරගනී. එනම් වස්තුවක්… {බාහිර වස්තුව} දැන් එහි වස්තුව නොවේ; ඒ වෙනුවට එහි වස්තුව වන්නේ එහිම ‘අන්තර්-දෘෂ්ටිය’ (intuition) හෙවත් සංජානනයේ අන්තර්ගතය එහිම අන්තර්ගතය බවට පත් වෙයි. මා යමක් දෙස බලන විට, මා දෙස බලන දේ මා තුළම පවතී – මන්ද යත්, ඇත්ත වශයෙන්ම එය දෙස බලන්නේ මා වන බැවිනි; එය මාගේ දෘෂ්ටියයි. ‘ආත්මය’ දෙස බැලීමේ ක්රියාවලියෙන් ඉවතට පැමිණ තම දෙසම බැලීම ආත්මය දෙසම බලා සිටීමයි – එනම්, එය වස්තුව තමන්ගේම දෙයක් ලෙසත්, {දැන්} ස්වාධීන පැවැත්මක් ලෙස පවතින තත්ත්වය අහෝසි වී ‘රූපයක්’ (image) බවට පත් වූ වස්තුවක් ලෙසත් දකියි. මෙම බැලීමේ ක්රියාවලිය තුළ ‘ආත්මය’ යනු එම රූපයමයි. එය (ආත්මය) විඥානයක් (consciousness) ලෙස පවතින තාක් කල්, {වස්තුව} යනු ‘මම’ යන්නෙන් වෙන් වූ පැවැත්මකි. කෙසේ වෙතත්, අපට නම් එය එම දෙකෙහිම – එනම් එහි ස්වාධීන පැවැත්ම සහ ‘මම’ යන දෙකෙහිම එකමුතුවයි. ‘ආත්මය’ තමන්-තුළම (in-itself) සහ තමන් සඳහා (for-itself) පවතින බව එවිට පැහැදිලි වේ ― නමුත් ආරම්භයේදී, දෘශ්යමාන ක්රියාවලිය තුළ ‘ආත්මය’ පවතින්නේ තමන්-තුළ (in-itself) පමණි. එය ‘තමන්-සඳහා-පැවැත්ම’ (being-for-itself) සමගින් ― එනම් නිෂේධාත්මක බව ‘තමන්-තුළම-පැවැත්මෙන්’ (being-in-itself) වෙන්වීම මඟින් ― සම්පූර්ණ කරගෙන නැවත තමන් වෙතම පැමිණෙයි. එය තම පළමු ස්වභාවය ― එනම් රූපය, ‘මගේ’ වූ පැවැත්ම, නිෂේධනය වූ (හෝ අහෝසි වූ) පැවැත්ම ― වස්තුවක් ලෙස ගනී.”
හේගල් විසින් ඔහුගේ දර්ශනය දිව්යමය සේවයක් ලෙස විස්තර කළ අතර ක්රිස්තියානි ධර්මය ‘පරම ආගම’ (absolute religion) ලෙස සැලකුවේය – දෙවියන් වහන්සේ තවදුරටත් ඉන් ඔබ්බට ගිය දෙයක් නොව මිනිසා බවට පත් කරන ආගම බව ඔහු විශ්වාස කළේය. හේගල්ගේ දර්ශනය ඉදිරියට ගෙන යාමට යුරෝපය පුරා සංවිධානය වුණ පාසැල් (ගුරුකුල) ඔහුගේ මරණයෙන් අවුරුදු කීපයකට පසු බිඳ වැටීම ආරම්භ වුණි. ඊට හේතු වූයේ 1835දී ජර්මානු ලිබරල් රෙපරමාදු
දේවධර්මාචාර්යවරයෙකු ඩේවිඩ් ෆ්රෙඩ්රික් ස්ට්රෝස් (1808-1874) විසින් රචිත ‘ජේසුස් වහන්සේගේ ජීවිතය’ නමැති කෘතිය හේගල්ගේ දාර්ශනික නිරූපණය සහ සංකල්පය අතර සමානතාවය අදාළ කිරීම නිසා ― හේගල්ගේ දර්ශනය ආගමක් ද යන මතය ― එම පාසැල් අතර ව්යාප්ත විය. එම නිසා “හේගල්ගේ දර්ශනය ආගමික විකාශනයක ප්රතිඵලයකි” යන සාධකය ශිෂ්යයන්ට වැටහී ගියේය. හේගල්ගේ ප්රධාන ගෝලයකු වූ ලුඩ්විග් ෆොයර්බාක් (1804-1872) හේගල්ව දැඩිව විචේචනය කළේ එම කාලයේය. එමගින් හේගල්ගේ දාර්ශනික සංකල්ප ක්රිස්තියානි ධර්මය විසින් තදින් අල්ලා ගැනීම නිසා ― හේගල්ගේ දාර්ශනික පාසැල් පද්ධතිය විනාශ වීම 1835දී ආරම්භ වී අවුරුදු 10ක් ඇතුළත සියල්ල අභාවයට ගියේය.
විඥානවාදීන් ‘විඥානය’ යන යෙදුම භාවිතා කළේ මූලික වශයෙන්; අත්දැකීම් හෝ මානසික නොවන බවත්, භෞතික හෝ ද්රව්යමය නොවන බවත් අවධාරණය කිරීම සඳහාය. ඔවුන් තර්ක කරන්නේ විඥානය විශ්වයේ මූලාරම්භය බවයි ― වස්තූන් සහ බාහිර ලෝකය ආත්මීයව මනස මත රඳා පවතින බවයි. මෙම ආත්මීය අත්දැකීම, විශේෂයෙන් ස්වයං-විඥානය, පැවැත්මට පදනම වන බව ඔවුන් තහවුරු කරයි. මෙම සංකල්පය ‘ජගත් ආත්මය’ (universal spirit) පිළිගැනීම මගින් ද තහවුරු කරයි, එහිදී ස්වයං-විඥානය අනෙකුත් සවිඥානික ජීවීන් සමග ‘ආත්මීය’ ව අන්තර්ක්රියා කිරීම හරහා පැන නගින බවද, යථාර්ථය හැඩගැස්වීමේදී මනසෙහි ‘ආත්මීය’ කේන්ද්රීයභාවය ශක්තිමත් කරයි යන මතයද ඔවුන් ඉදිරිපත් කරති.
විඥානවාදී ස්ථාවරය පුරාණ දාර්ශනික මූලයන් හරහා පැමිණි අතර සමකාලීන විඥානවාදී ධහරාවන් තුළද එම කරුණම දැකගත හැකිය. නූතන විඥානවාදීන් තර්ක කරන්නේ විඥානය භෞතික ක්රියාවලීන් මගින් පැහැදිලි කළ නොහැකි බවයි ― මන්ද දෙවියන් විශ්වය ගොඩනැගීම නිසා ‘විඥානය’ අපේ මනසට පැමිණෙන්නේ ‘ජගත් ආත්මය’ මගින් බවද ඔවුන් පවසයි.
චමිල් ජයනෙත්ති
(ලිපි 3ක පළමු වන ලිපිය)

![]()

