1 වැනි ඛණ්ඩය
වැඩ දිනයෙහි සීමා
ශ්‍රම ශක්තිය එහි වටිනාකමට මිලට ගනු ඇතැයි සහ අලෙවි කරනු ඇතැයි යන අභ්‍යුපගමයෙන් අපි පටන් ගත්තෙමු. සෙසු සියළු හුවමාරු භාණ්ඩ වලට වටිනාකම මෙන් ම එහි වටිනාකමක් නිශ්චය කරනු ලබන්නේ එය නිෂ්පාදනයට අවශ්‍ය වැඩ කාලය මගිනි. ශ්‍රමිකයා ගේ මධ්‍යක දෛනික යැපීම් මාධ්‍ය නිෂ්පාදනයට පැය 6 ක් ගත වේ නම් ඔහු තම දෛනික ශ්‍රම ශක්තිය නිෂ්පාදනය සඳහා හෝ එහි අලෙවියෙහි ප්‍රතිඵලයක් ලෙස ලත් වටිනාකම ප්රතිනිෂ්පාදනය සඳහා හෝ මධ්‍යක වශයෙන් දිනකට පැය 6 ක් වැඩ කළ යුතුය. ඔහුගේ වැඩ දිනයෙහි අවශ්‍ය කොටස පැය 6 ක් වන අතර එබැවින් එය caeteris paribus දී ඇති ප්රමාණයකි. එහෙත් මේ සමග වැඩ දිනයෙහි ම ව්‍යප්තිය තවමත් දී නැත.
AB රේඛාව අවශ්‍ය ශ්‍රම කාලයෙහි දිග, නිදසුනක් වශයෙන් පැය 6 ක් නියෝජනය කරතැයි අභ්‍යුපගමය කරමු. ශ්‍රමය AB ට ඔබ්බෙහි පැය 1 ක්, 3 ක්හෝ 6 ක් හෝ දික් ගස්සන ලද්දේ නම් අපට වෙනත් රේඛා තුනක් දක්නට ලැබේ.
i වැනි වැඩ දිනය
A———–B—-C
ii වැනි වැඩ දිනය
A———-B—-C
iiiවැනි වැඩ දිනය
A——-B—— C
ඒවා පැය 7, 9 සහ 12 ක එකිනෙකින් වෙනස් වැඩ දින 3 ක් නියෝජනය කරයි. AB රේඛාවෙහි BC දික් කිරීම අතිරික්ත ශ්‍රමයෙහි දිග නියෝජනය කරයි. වැඩ දිනය AB + BC හෙවත් AC බැවින් එය BC නමැති විචල්‍ය ප්‍රමාණය අනුව විචලනය වේ. AB නියත බැවින් AB ට BC හි අනුපාතිකය හැම විටම ගණනය කළ හැකි ය. i වැනි වැඩ දිනයෙහි එය AB වලින් ගණනය කළ හැකි ය. i වැනිවැඩ දිනයෙහි එය 1/6 කි. ii වන වැඩ දිනයෙහි AB වලින් 3/6 කි. iii වැනි වැඩ දිනයෙහි එය AB වලින් 6/6 කි. තවද,
අතිරික්ත වැඩ කාලය / අවශ්‍ය වැඩ කාලය
යන අනුපාතිකය අතිරික්ත වටිනාකම් අනුපාතිකය නිශ්චය කරන බැවින් අපරෝක්ත BC ට AB හි අනුපාතිකයෙන් දෙනු ලැබේ.එකිනෙක වෙනස් වැඩ දින තුනෙහි එය පිළිවෙළින් 16 2/3%, 50% සහ 100% වේ. අනෙක් අතට, අතිරික්ත වටිනාකම් අනුපාතිකය මඟින් පමණක් අපට වැඩ දිනයෙහි ව්‍යප්තිය නොලැබෙනු ඇත. නිදසුනක් වශයෙන් මෙම අනුපාතිකය 100% නම්, වැඩ දිනය පැය 8 ක්, 10 ක්, හෝ 12ක් හෝ වැඩිතර හෝ විය හැකි ය. එයින් දක්වනු ඇත්තේ අවශ්‍ය ශ්‍රම කාලය සහ අතිරික්ත ශ්‍රම කාලය නමැති වැඩ දිනයෙහි කොටස් දෙක සම ව්‍යප්තියක් දරන බව මිස මේ එක් එක් සංයුක්ත කොටස කොතෙක් දිග වී දැයි යන්න නො වේ.
මෙසේ වැඩ දිනය නියනයක් නොව විලව්ය ප්රමාණයකි. නිසැකවම එයින් එක් කොටසක් නිශ්චය කරනු ලබන්නෙ ශ්‍රමිකයා ගේ ම ශ්‍රම ශක්තිය ප්රතිනිෂ්පාදනයට අවශ්‍ය වැඩ කාලයෙනි. එහෙත් එහි මුළු ගණන අතිරික්ත ශ්‍රමයෙහි කාලය අනුව විචලනය වේ. එබැවින් වැඩ දිනය නිශ්චය කළ හැකි ය. එහෙත් per se නිශ්චය කළ නොහැකි ය’.
වැඩ දිනය ස්ථාවර නොව ජංගම ප්‍රමාණයක් වුවත්, අනෙක් අතට එයට විචලනය විය හැකි වන්නේ යම් සීමා තුළ පමණකි. කෙසේ වෙතත් අවම සීමාව නිශ්චය කළ නොහැකි ය. අප විසින් BC ව්‍යප්ති රේඛාව හෙවත් අතිරික්ත වටිනාකම = 0 කළ හොත් අපට අවම සීමාවක්, එනම් ශ්‍රමිකයා සිය නඩත්තුව සඳහා අවශ්‍යයෙන් ම වැඩ කළ යුතු දවසෙහි කොටස ලැබෙන බව ඇත්ත ය. කෙසේ වෙතත් ධනපති නිෂ්පාදනය පදනම් කොට මෙම අවශ්‍ය ශ්රමයට වැඩ දිනයෙහි කොටසක් පමණක් විය හැකි ය. කිසි දාක මෙම අවමයට වැඩ දිනය ම අඩු කළ නොහැකි ය. අනෙක් අතට වැඩ දිනයට උපරිම සීමාවක් තිබේ. එක්තරා ලක්ෂයකට ඔබ්බෙහි එය දික් කළ නොහැකි ය. මෙම උපරිම සීමාව කරුණු දෙකකින් හසුරුවනු ලැබේ. පළමු වැන්න ශ්‍රම ශක්තියෙහි කායික සීමාව ය. ස්වාභාවික දිනයෙහි පැය 24 තුළ මිනිසෙකුට වැය කළ හැකි වන්නේ ඔහු ගේ ජීව, බලයෙහි නිශ්චිත ප්‍රමාණයක් පමණී. එපරිද්දෙන් ම අශ්වයෙකුට දිනපතා වැඩ කළ හැකි වන්නේ පැය 8 ක් පමණි.දිනයෙන් කොටසක් තුළ මෙම බලය විවේක ගත යුතු ය. නිදා ගත යුතු ය. වෙනත් කොටසක් තුළ මිනිසා තමා ගේ සෙසු කායික වූවමනා තෘප්තිමත් කළ යුතු ය. කෑම ගත යුතු ය. ඇඟපත සෝදා ගත යුතුය, ඇඳුම් ඇඳ ගත යුතු ය. මෙම කේවල කායික සීමාවලට අමතර ව වැඩ දිනය දික් කිරීමේ දී සදාචාර සීමාවලට මුහුණ දීමට ද සිදු වේ. තම බුද්ධිය සහ සමාජ වුවමනා තෘප්තිමත් කිරීමට ශ්‍රමිකයාට කාලය අවශ්‍ය ය. ඒවායෙහි පරිමාණය සහ සංඛ්‍යාව සමාජ ඉදිරි ගමනෙහි සාමාන්‍ය තත්ත්වයෙන් පාලනය වේ. එබැවින් වැඩ දිනයෙහි විචලනය කායික හා සාමාජ සීමා අතර උච්චාවචනය වේ. එහෙත් මෙම සීමාකාරි කොන්දේසි දෙක ම ඉතා ප්‍රත්‍යාස්ථ ස්වභාවයක් ගන්නා අතර එයින් විශාලතම අක්ෂාංශයට ඉඩ ලැබේ. මෙසේ පැය 8,10, 12, 14, 16, 18, එනම් ඉතාමත් ම වෙනස් දිග සහිත වැඩ දින අපට හමු වේ.
ධනපතියා ශ්‍රම ශක්තිය මිලට ගෙන තිබෙන්නේ එහි දෛනික අනුපාතිකයටය. ඔහුට එහි ප්රයෝජ්ය වටිනාකම වැඩ දිනකට හිමි වේ. එක දිනයක් තුළ තමන් සඳහා ශ්‍රමිකයා වැඩෙහි යෙදවීමේ අයිතිය ඔහු එනයින් ලබා ගෙන තිබේ. එහෙත් වැඩ දිනයක් යනු කුමක් ද?
කොහොම වුණත් ස්වාභාවික දිනයකට අඩු ය. කොපමණකින් ද? මෙම Ultima Thule (අවසාන ලක්ෂ්‍යය) පිළිබඳව, වැඩ දිනයෙහි අනිවාර්ය සීමාව පිළිබඳව ධනපතියාට ඔහු ගේ ම මත තිබේ. ධනපතියෙකු ලෙස ඔහු පුද්ගලාරෝපිත ප්රාග්ධනය පමණි. ඔහු ගේ ආත්මය ප්රාග්ධනයෙහි ආත්මය ය. එහෙත් ප්රාග්ධනයට ඇත්තේ එක් ජීවන ආවේගයකි. වටිනාකම සහ අතිරික්ත වටිනාකම නිර්මාණයෙහි, නිෂ්පාදන මාධ්‍ය නමැති සිය නියත සාධකය ලවා අතිරික්ත ශ්‍රමයෙහි හැකි තරම් විශාලතම ප්‍රමාණයක් අවශෝෂණය කිරීමේ උපනතිය පමණකි.
ප්රාග්ධනය යනු මළ ශ්‍රමය ය. ලේ මාපිලා මෙන් එය ජීවත් වන්නේ සජීවී ශ්‍රමය උරා බීමෙන් පමණි. වැඩි වැඩියෙන් ශ්‍රමය උරා බොත්ම එය වැඩි වැඩියෙන් ජීවත් වේ. ශ්‍රමිකයා වැඩ කරන කාලය ධනපතියා විසින් ඔහුගෙන් මිලට ගත් ශ්‍රම ශක්තිය ධනපතියා විසින් පරිභෝජනය කරන කාලය ය.
තමන්ට වැය කිරීමට ඇති කාලය ශ්‍රමිකයා තමන් සඳහා ම පරිභෝජනය කරන්නේ නම් ඔහු ධනපතියාගෙන් සොරකම් කරයි.
එවිට ධනපතියා හුවමාරු භාණ්ඩ හුවමාරු නියමයන්හි ස්ථාවරය ගනී. අනෙක් සියළු ගැනුම්කරුවන් මෙන් ඔහු තම හුවමාරු භාණ්ඩයෙහි ප්රයෝජ්ය වටිනාකමෙන් හැකි විශාලතම වාසිය ලබා ගැනීමට උත්සුක වේ. නිෂ්පාදන ක්රියාවලියෙහි කුණාටුවෙන් සහ ප්රත්යාබලයෙන් හිර වූ ශ්‍රමිකයා ගේ කටහඬ හදිසියේ ම උස්ව නැඟෙයි.
මවිසින් ඔබට අලෙවි කළ හුවමාරු භාණ්ඩය සෙසු හුවමාරු භාණ්ඩ රොත්තෙන් වෙනස් ය. එය පාවිච්චියෙන් වටිනාකම, එහි ම වටිනාකමට වැඩිතර වටිනාකමක් නිර්මාණය වන බැවිනි. ඔබ එය මිලට ගත්තේ ඒ නිසාය. ඔබේ පැත්තෙන් ප්රාග්ධනයෙහි නිරායාස ප්රසාරණයක් සේ පෙනෙන දෙය, මගේ පැත්තෙන් ශ්‍රම ශක්තියෙහි අමතර වැය වීමකි. මාත් ඔබත් වෙළෙඳ පොලෙහි දන්නේ එක් නියමයක් පමණි. එනම් හුවමාරු භාණ්ඩ හුවමාරුවෙහි නියමයයි. හුවමාරු භාණ්ඩයෙහි පරිභෝජනය හිමි වන්නේ එයින් සමු ගත් අලෙවිකරුට නොව එය ලබා ගත් ගැනුම්කරුට ය. එබැවින්ම මගේ දෛනික ශ්‍රම ශක්තියෙහි පාවිච්චිය හිමි වන්නේ ඔබටය. එහෙත් එක් එක් දිනයෙහි ඔබ ඒ සඳහා මට ගෙවන මිල මඟින් එය දෛනිකව ප්රතිනිෂ්පාදනයටත්, යළි අලෙවියටත්, මා සමත් විය යුතුය. වයස ආදිය අනුව වන ස්වභාවික තෙහෙට්ටුවට අමතරව හෙටත් අද මෙන්ම සමාන ප්‍රමත බල ප්‍රමාණයකින්, සෞඛ්‍යයකින් සහ නැවුම් බවකින් යුතුව වැඩ කිරීමට මා සමත් විය යුතු ය. ” ඉතිරි කිරීමේ ” සහ “වැළකී සිටීමේ ” ශුභාරංචිය ඔබ මට නිතර දෙවේලේ දේශනා කරයි. අගෙයි! සිහි නුවණින් ඉතිරි කිරීමේ යෙදෙන හිමිකරුවෙකු ලෙස මම මගේ එක ම ධනය වන ශ්‍රම ශක්තිය රැක ගනිමින් එය මෝඩ ලෙස අපතේ යවන සියළු දේවලින් වළකිමි. එහි ප්‍රමත කාලය සහ සුවදායක සංවර්ධනය සමග ගැලැපෙන තරමක් පමණක් මම දිනපතා එය වැය කරමි. වැඩ දිනයෙහි අසීමිත දික් කිරිමක් මඟින් ඔබ කෙදිනක හෝ මට තෙදිනකින් වත් ප්‍රතිෂ්ඨාපිත කළ නොහැකි ශ්‍රම ශක්ති ප්‍රමාණයක් පාවිච්චි කර හමාර කරන්නට පිළිවනි. ශ්‍රමයෙන් ඔබ වාසි ලබන දෙය මට පදාර්ථයෙන් අහිමි වේ. මෙසේ ශ්‍රම ශක්තිය පාවිච්චි කිරීම සහ එය කොල්ලකෑම හාත්පසින්ම වෙනස් දේවල් ය. ( විචාරවත් වැඩ ප්‍රමාණයක් කරමින්) මධ්‍යක ශ්‍රමිකයෙකුට ජීවත් විය හැකි මධ්‍යක කාලය වසර 30ක් නම් ඔබ මට දෛනික ව ගෙවන මගේ ශ්‍රම ශක්තියෙහි වටිනාකමට එහි මුළු වටිනාකමෙන් 1/365 x 30 හෙවත් 1/10950 කි. එහෙත් ඔබ එය වසර දහයකින් පරිභෝජනය කරන්නේ නම් ඔබ මට දෛනික ව එහි මුළු වටිනාකමෙන් 1/3650 වෙනුවට 1/10950 ක් ගෙවයි. එනම් එහි දෛනික වටිනාකමෙන් 1/3 ක් ගෙවයි. එබැවින් ඔබ දෛනික ව මගේ හුවමාරු භාණ්ඩයෙහි 2/3 ක් සොරකම් කරයි. ඔබ මට දින එකක ශ්‍රම ශක්තිය සඳහා ගෙවන මුත් දින 3 ශ්‍රම ශක්තිය පාවිච්චි කරයි. එය අපගේ ගිවිසුමට සහ හුවමාරු නියමයට විරුද්ධ ය. එබැවින් ප්‍රමත දිග සහිත වැඩ දිනයක් මම ඉල්ලා සිටිමි. මා එසේ කරන්නේ ඔබේ හදවතට ආයාචනා කිරීමෙන් තොරවය. මුදල් ප්‍රශ්න වල දී රංජනවලට තැනක් නැති බැවිනි. ඔබ ආදර්ශ පුරවැසියෙකු, ඇතැම් විට සතුන්ට හිංසා පැමිණවීම වැළැක්වීමේ සංගමයෙහි සාමාජිකයෙකු සහ එපමණක් නොව සාධු චරිතය ගැන චිරප්රසිද්ධියට පත්වූවෙකු විය හැකි ය. එහෙත් මා සමග මුහුණට මුහුණ ලා ඔබ නියෝජනය කරන දෙයට පපුවෙහි හදවනක් නැත. එතැන දෘශ්‍ය හද ගැස්ම මගේ හද ගැස්ම ය. වෙන ඕනෑම අලෙවිකරුවෙකු මෙන් ම මාත් මගේ හුවමාරු භාණ්ඩයෙහි වටිනාකම ඉල්ලා සිටින බැවින් මම ප්‍රමත වැඩ දිනය ඉල්ලා සිටිමි.
එබැවින් අතිශය ප්‍රත්‍යාස්ථ සීමා වලට අමතරව හුවමාරු භාණ්ඩ හුවමාරුවෙහි ස්වභාවය විසින් ම වැඩ දිනයට කිසිදු සීමාවක්, අතිරික්ත ශ්රමයට කිසිදු සීමාවක් පණවන්නේ නැති බව අපි මෙසේ දකින්නෙමු. වැඩ දිනය හැකි තරම් දික් කිරීමට සහ හැකි සෑම විට ම එක් වැඩ දිනකින් වැඩ දින දෙකක් සෑදීමට තැත් කිරීමෙහි දී ධනපතියා හිමිකරුවෙකු ලෙස තමා සතු අයිතීන් පාවිච්චි කරයි.අනෙක් අතට අලෙවි කරන ලද හුවමාරු භාණ්ඩයෙහි විශේෂිත ස්වභාවයෙන් ගැනුම්කරු විසින් එය පාවිච්චි කිරීමෙහිලා සීමාවක් ගම්‍ය වේ. තව ද, වැඩ දිනය නිශ්චිත ප්‍රමත කාලයකින් යුත් එකක් කිරීමට ශ්‍රමිකයා අපේකෂා කිරීමෙහි දී ඔහු අලෙවිකරුවෙකු ලෙස තම අයිතීන් පාවිච්චි කරයි. එබැවින් මෙහි න්‍යාය විරෝධයක් අයිතියට විරුද්ධ අයිතියක් තිබේ. හුවමාරු නියමයෙහි මුද්‍රාව ඒ දෙක ම එක සේ දරයි. සම අයිතීන් අතර තීරණය කෙරෙන්නේ බලය විසිනි. ධනපති නිෂ්පාදනයෙහි ඉතිහාසයෙහි වැඩ දිනයක් යනු කුමක්දැයි නිශ්චය කිරීම අරගලයක, සාමුහික ප්රාග්ධනය සහ සාමුහික ශ්‍රමය අතර අරගලයක, එනම් ධනපති පන්තිය සහ කම්කරු පන්තිය අතර අරගලයක ප්‍රතිඵලය ලෙස පෙනී සිටින්නේ එබැවිණි.