By Wilfred Silva
අද ශ්‍රී ලංකාවේ ජනතාව අතර විවාදයට ලක්වී ඇති ප්රශ්නය වනුයේ, එළඹෙන ජනාධිපතිවරණයේදී කුමන පියවරක් ගත යුතු ද යන්නයි. වසර හැත්තෑ පහක් පුරා පරාධීන දේශපාලන හා සමාජ ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ දකුණ සහ වම යන සෑම සියලු දේශපාලන ප්රවණතාවයකට ම අයත් ශ්‍රී ලංකාවේ පාලක පන්ති ප්‍රභූන් විසින් මෙතෙක් පවත්වා ගෙන ගොස් ඇති මර්දනකාරී හා දූෂිත පාලන තන්ත්රය පෙරළා දැමීම කුමන බලවේගයක් සිදු කරන්නේද? එසේ පෙරළා දැමීමට හැකි වන්නේ නම් ඉන්පසු කෙබඳු දේශපාලන ආර්ථික ක්‍රමයක් බිහි වන්නේ ද යන්නත් අද අප හමුවේ ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ය. එහෙත් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් එබඳු වෙනසක් ඇති වේ යැයි සිතීම සම්පූර්ණයෙන්ම මනෝමූල අදහසකි
මෙම තත්වය තුළ, ජනතාවට සහන සැලසෙන සැබෑ ප්රජාතන්ත්රවාදී වෙනසක් ඇති කිරීම සඳහා ජනතාව බලමුළු ගැන්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡාවකට මුල පිරීම මෙම ලිපියේ අරමුණ වන්නේය.
ශ්‍රී ලංකාවේ කම්කරු, ගොවි හා අවශේෂ පීඩිත ජනතාවගෙන් අප ඉල්ලා සිටිනුයේ ඊට විකල්පයක් වශයෙන් ගම් මට්ටමෙන් හා වැඩපොළවල් මට්ටමෙන් මහජන සංඝයන් (People’s Commune) ගොඩනගමින් නව ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමට පියවර ගන්නා ලෙසයි.
අද, ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සෑම සියලු පාර්ශවයකම ස්ථාවරය වී ඇත්තේ ධනේශ්වර රටවල අනුගමනය කළාවූ සහ කරන්නාවූ මඟ ඔස්සේ වර්ධනය වීම වන අතර අවම වශයෙන් ශ්‍රී ලංකාවේ “ණය අහෝසි කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට“වත්, ඔවුන් සූදානම් නොමැත. මෙම මඟ ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට නොහැකි බව අපි අවධාරණය කර සිටිමු. අප එසේ අවධාරණය කරනුයේ පහත සඳහන් ඓතිහාසික කරුණු හේතුකොට ගෙනය.
- ලෝක වෙළඳපොළ තුළ, අධිරාජ්‍යවාදී මූල ධනය දරන්නා වූ අති විශාල බලපෑම හා ශක්තිය නිසා ඔවුන් හා තරඟ කිරීමට හෝ අවම වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට සහන සැලසෙන ගනුදෙනුවක් කිරීමටවත්, ලංකාවේ දේශපාලන ප්රභූන්ට හැකියාවක් නොමැත. අනෙක් අතට ධනපති රටවල ආර්ථික බලයට තර්ජනයක් වන අයුරින් ලංකාවේ කර්මාන්ත පිහිටුවීමට හා කාර්මික කරණයක් ඇති කිරීමට ධනපති රටවලට හා මූල්‍ය ආයතනවලට වුවමනාවක්ද නැත.
- දෙවන වැදගත් හේතුව නම්, ලංකාවේ ජාතික ධනපති පන්තිය නියෝජනය කරන ධනපති පන්ති ප්රභූන්ගේ ඓතිහාසික දේශපාලන දුර්වලත්වයයි. බාහිර වශයෙන්, අධිරාජ්‍යවාදයට විරුද්ධව හෝ අභ්‍යන්තරික වශයෙන්, දේශීය මුදලාලි පරම්පරාවේ වැඩ වසම් නටබුන් සහමුලින් අතුගා දැමීමට හෝ තීරණාත්මක අරගලයක් කිරීමට ලංකාවේ ධනපති පන්ති ප්‍රභූන් අපොහොසත් වූහ; ඉදිරියටත් අපොහොසත් වන්නාහ. මීට හොඳම උදාහරණය වනුයේ ඊනියා නිදහස ලැබී වසර හැත්තෑ පහකට පසුවත් හා වසර තිහක යුද්ධයකින් පසුවත්, උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ ස්වයං නීර්ණ අයිතිය පිළිගෙන ශ්‍රී ලංකාව තුළ ජාතික රාජ්‍යයක් ගොඩනැගීමට තවමත් නොහැකිවීමයි.
මේ අනුව, අද අපගේ කාර්යභාරය වනුයේ, විප්ලවවාදී දේශපාලනය පිළිබඳ සැබෑ ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් සහිතව, අවම වශයෙන් දකුණු ආසියාවේ කම්කරු පන්තිය, ගොවි ජනතාව සහ අවශේෂ පීඩිත ජනතාවගේ එක්සත් ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමට හා ඒ හා බද්ධ වී වැඩ කිරීමට උත්සාහ කිරීමයි. එසේ නොමැතිව ජනාධිපතිවරණ මායාව තුළින් ජනතාවගේ දැවෙන ප්‍රශ්න වන මර්දනය, දූෂණය සහ සූරාකෑම අවසන් කරන සැබෑ පරිවර්තනයකට කිසියම්ම හැකියාවක් නොමැත.
- මේ කාර්යයට උර දීම සඳහා, ජනතා සංවිධාන තුළත්, වීදිවලත්, වැඩපොළවලත්, අධ්‍යාපන ආයතන තුළත් අරගලයේ යෙදී සිටින කම්කරුවන්, ගොවීන් සහ ශිෂ්‍යයන් සමග අත්වැල් බැඳ ගත යුත්තෙමු. අපි බහුවාර්ගික, බහු ලිංගික සහ බහු සංස්කෘතික පුද්ගලයන් වශයෙන් ක්‍රියා කළ යුත්තෙමු.
- ධනපති වෙළඳපොළ සහ තාක්ෂණය මගින් මානව වර්ගයා මුහුණ දී ඇති වර්තමාන අර්බුදය විසඳනු ඇතැයි විශ්වාස කළ නොහැක. ප්‍රධාන ගැටලුව පවතිනුයේ ධනේශ්වර ප්‍රාග්ධන සමුච්චයයත්, එහි නිමක් නැති වර්ධනය සහ එහි අසීමිත නාස්තියත් මත පදනම් වූ සමස්ත පද්ධතිය තුළය.
- අසීමිත ප්‍රාග්ධන සමුච්චය හේතුකොට ගෙන මිනිස් වාසයට තවදුරටත් නුසුදුසු ස්ථානයක් බවට පත් කරමින්, සමස්ත පෘථිවි පද්ධතියම විනාශ කරනු ලැබ ඇත. එබැවින්, අපි ධනවාදය අවසන් කළ යුතු වන්නෙමු. අද අපට ඇත්තේ තෝරාගැනීම් දෙකක් පමණි; එනම් “විනාශය” නැතහොත් “විප්ලවයයි”.
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මගින් කවර පුද්ගලයෙකු හෝ පාර්ශවයක් බලයට පත් වුවද, අප ඉහත සඳහන් කළ ජනතාවගේ කිසිදු ප්‍රශ්නයකට හෝ ගැටලුවකට විසඳුමක් නොලැබෙන බව තරයේ ප්‍රකාශ කර සිටින අතර, මෙම ජනාධිපතිවරණය දෙස බලා නොසිට, සියළුම වාර්ගික හා ආගමික ජන කොටස්වලට අයත් පීඩිත ගොවි, කම්කරු හා රැකියා විරහිත හා ශිෂ්‍ය ජනතාව නියෝජනය කරන මහජන සංඝයන් (People’s Commune) හරහා තමන් විසින්ම බලමුළු ගැන්වෙන ලෙස අපි සියළුම පීඩිත ජනතාවට ආයාචනය කර සිටිමු!
මෙම සන්දර්භය තුළ, ඉදිරියේ එළඹීමට නියමිත වඩාත් දුෂ්කර හා මර්දනකාරී තත්ත්වයට මුහුණදීමටත්, ගොවි කම්කරු පීඩිත ජනතාවට බලපාන කරුණු මෙන්ම ජාතික හා ජාත්‍යන්තර ප්‍රශ්න කෙරෙහි ද අවධානය යොමු කරන නව ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමටත් අත්වැල් බැඳගන්නා ලෙස සියලුම පීඩිත ජනතාව ගෙන් අපි ඉල්ලා සිටිමු. එවැනි තණමුල් මට්ටමේ සංවිධාන හරහා හුදෙක් දේශපාලන කරුණු පමණක් නොව ජනතාවට බලපාන සමාජ-ආර්ථික හා සංස්කෘතික කටයුතු කෙරෙහිද අවධානය හා ජනතාවගේ ක්‍රියාකාරී මැදිහත්වීම අවශ්‍ය වන්නේය.
එමෙන්ම, මෙම ප්‍රශ්නවලට මුහුණදීම හා අරගලය කිරීම ශ්‍රී ලංකාවේ පීඩිත ජනතාවට තනිව කළහැකි කාර්යයක් නොවන්නේය. ඒ සඳහා ලෝකයේ පීඩිත ජන ව්‍යාපාරයේ ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය වන්නේය. අවම වශයෙන්, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය හා නේපාලය වැනි දකුණු ආසියානු කලාපයේ කම්කරු, ගොවි, ශිෂ්‍ය ව්‍යාපාර සමඟ අප කලාපීය සහයෝගිතා ව්‍යාපාරයක් ගොඩනැඟීමට ක්‍රියා කළ යුතුය. මේ අනුව අපි,
- ස්වයං නිර්ණය සඳහා ජාතීන්ට ඇති අයිතිය වෙනුවෙන් මෙන්ම දකුණු ආසියාවේ කුල වාදයට ජාතිවාදයට එරෙහිව ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමත්,
- ලෝකයේ සමාජවාදී සංවිධාන එකිනෙක සම්බන්ධ කිරීම සඳහා උත්සාහ කිරීමත්.
- අද ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට ජනතාව විසින්ම විසඳුම් සොයාගැනීම සඳහා හැම ගමකම, හැම වැඩ පොලකම, මහජන සංඝයන් (People’s Commune) ගොඩනැගීම මගින් තිරසාර සහ සමානාත්මතාව මත පදනම් වූ සමාජයක් ගොඩනැගීමට ක්‍රියා කළ යුත්තෙමු. එවැනි තිරසාර සමාජවාදී සමාජයක් ගොඩනැගීම තුලින් පමණක් මිනිසාගේ පැවැත්ම සහ පෘථිවියේ පැවැත්ම රඳා පවතින බව අපි විශ්වාස කරමු.
- අපගේ අරමුණු හා කාර්යභාරයන් සියලුම ආකාරයේ අධිරාජ්‍යවාදී ධනපති සහ පන්ති සහයෝගීතා වාදී දේශපාලනයෙන් සහ දේශපාලන පක්ෂවලින් ස්වාධීනව පවතින්නකි.
අප හමුවේ ඇති ඉලක්කය සම්මුති විරහිත වන අතර එහි අරමුණ මිනිසා ඇතුළු සියළු සත්වයන්ට හා පරිසරයට හිතකර නව ලෝකයක් ගොඩ නැගීමයි.