මේ දිනවල සමාජයේ කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකා තමයි ජනාධිපතිවරණය, පාර්ලිමේන්තුවේ ධූර කාලය, ජනමත විචාරණ. මේ වගේ මොන කතාබහ, වාද විවාද ගියත්, චන්ද හෝ ජනමත විචාරණ පැවැත්වුවත්, නැතත් ශේෂ පත්‍රය වන්නේ ජනාධිපති රනිල් දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා.
ඒක වෙන්නේ මෙහෙමයි. ඉහත සදහන් සියලු වාද විවාද යන්නේ ව්‍යවස්ථාව මූලික කරගෙන. පිරිසක් තර්ක කරනවා ව්‍යවස්ථාවේ මේ මේ වගන්ති යටතේ ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරන්න පුලුවන් කියලා. අනෙක් පිරිස තර්ක කරන්නේත් ඒ ව්‍යවස්ථාවේම වගන්ති ගෙන හැර දක්වමින් එහෙම කරන්න ඉඩක් නැහැ කියලා. එහෙම බැලුවාම පෙනෙනවා ධනපතියන් ව්‍යවස්ථාව හදලා තියෙන්නේම අවශ්‍ය වූ විටෙක ඔවුන්ට රිංගා යෑමට හිල් තියලා. මොකද ව්‍යවස්ථාව හදන්නේ ධනපතියන් මිස නිර්ධනීන් නෙමේ.
වර්ග සංහාර සහ ව්‍යවස්ථාව…
“ව්‍යවස්ථාව යනු ජනතාව එකඟවන මූලික සමාජ ගිවිසුමයි. එය තිබෙන්නේ ජනතාවට ආණ්ඩුවෙන් ආරක්ෂා වීමටය.” කෙටියෙන් කිව්වොත් මේ තමයි ව්‍යවස්ථාව පිළිබදව අපට උගන්වල තියෙන විදිය. නමුත් දකුණේ 71දීත්, 88-89 දීත් කැරලිකරුවන් අනීතිකව මරා දැමූ ආණ්ඩුත්, උතුරේ වර්ග සංහාරයක් කරපු ආණ්ඩුත් ඒ අපරාධ කරන්න වරම ගත්තෙත්, ජනතාවගෙන් ආරක්ෂා වෙලා ඉන්නේත් මේ ව්‍යවස්ථාවේ මහිමයෙන්.
ඊට අමතරව 77 දී එ.ජා.ප. ජයග්‍රහණය සමරමින් සිදුකළ මිනීමැරීම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ පිළිබදව සොයා බලන්න පත්කළ සන්සෝනි කොමිසමේ සිට පාස්කු කොමිසම දක්වා වූ කොමිසම් වලින් චූදිතයන් බවට පත් වූවන් දණ්ඩ මුක්තිය ලබා තිබෙන්නෙත් මේ ව්‍යවස්ථාවේ විවිධ පනත්වල ආධාරයෙන්. ඒ නිසා ව්‍යවස්ථාව පිළිබද අපට උගන්වල තියෙන විදියත් එය භාවිතාවන විදියත් අතර බරපතල පරස්පරතාවයක් තිබෙනවා නේද කියලා මේ කරුණු ටිකෙන් වුනත් පෙනෙනවා.
ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්…
අපි තවත් එහාට ගිහිල්ලා ගෝලීය වශයෙන් විමසා බැලුවත් දකින්න ලැබෙන්නේ මේ පින්තූරයම තමයි. එක්සත් ජාතීන්ගේ මානව හිමීකම් මණ්ඩලය. විශ්ව මානව හිමිකම් ප්රකාශනය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය මේවා තියෙන්නේ ඇමරිකාව හා එයට නතු බටහිර රටවල ආධිපත්‍ය ලොව පුරා පතුරුවන්න. එයට යටත් නොවන පාලකයන් රාජ්‍යයන් යටත් කර ගන්න. බිය වද්දන්න.
ඒ ආධිපත්‍යයට යටත් රාජ්‍යයන්ට හා යටත් නොවන රාජ්‍යයන්ට මානව හිමිකම් හා සම්බාධක බලපාන්නේ වෙනස් වෙනස් ආකාරයට. සරලව කිව්වොත් ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්. රාජපක්ෂලාට තිබෙන මානව හිමිකම් චෝදනා රනිල්ට නැත්තේ ඒ නිසා. පසුගිය මැයි මාසයේ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ ධූර කාලය අවසන් වුණා. නමුත් ජනාධිපතිවරණයක් නොතබා දිගටම බලයේ ඉන්නේ ඔහු ඇමරිකාව හා බටහිර බලවතුන්ගේ නිර්මාණයක් නිසා.
ජනාධිපති රනිලුත් එවැනි නිමාණයක්. ඒ නිසා තමයි ලංකාවේ මානව හිමිකම් සංවිධාන ක්‍රියාකාරීන්ට හා මාධ්‍ය සංවිධානවලට ජීවත්වීම සදහා මේ දවස්වල වෙනත් වෙනත් මාතෘකා, වැඩමුළු ඇමරිකන් සෙන්ටර් එකෙන් දීල තියෙන්නේ. ගාසාවල වර්ග සංහාරයක් වෙනවාද කියලා ඒ ඇත්තෝ දන්නේවත් නෑ. මාධ්‍ය වැඩමුළු වලින් තෝරාගන්නා අයට ඇමරිකානු ශිෂ්‍යත්ව දෙන්නවා. මොකටද? නව ලිබරල්වාදයේ වටිනාකම් පිළිබද ලියන්න, කියන්න අවශ්‍ය මොළ ශෝධනයට.
මේ පසුබිමේ ඉදලා තමයි ලංකාවේ ඉදිරි මැතිවරණ දිහා අපි බලන්න ඕන. මොකද ලංකාව තියෙන්නේ ලෝක සිතියමේ ඇතුළේ මිසක් ලංකාව ඇතුළේ ලෝක සිතියම නැති නිසා.
මේ වෙද්දී ඇමරිකාව හා එයට නතු බටහිර බලවතුන්ගේ ලෝක යුද හා ආර්ථික ආධිපත්‍ය තර්ජනයකට ලක්වෙලා තියෙන්නේ. ඔවුන් ගොර්බචොෆ් ගේ පෙරෙස්ත්‍රොයිකාව හරහා පැරණි සෝවියට් දේශය බිද දැමුවා. ගොර්බචොෆ්ගේ අනුප්‍රාප්තිකයා වූ පූටින්ට විෂය බද්ධය විසින් බලකරලා තිබෙනවා තමන් ගොඩ නැගූ මැවුම්කාරයන්ටම එරෙහිව යන්න. ඒක දෛවයේ සරදමක්.
මේ වෙද්දී අප්‍රිකානු රාජ්‍යයන් වූ බුර්කිනාෆාසෝ, නයිජර් හා මාලි කියන රාජ්‍ය යටත් කරගෙන උන්නු ඇමරිකා, ප්‍රංශ හමුදා ඒ රටවලින් පළවා හරිමින් ඉන්නේ. ඒ හිස් තැන පුරවන්න පූටින් ගේ රුසියන් හමුදා ඇතුල් වෙනවා. අවුරුද්දක් ඉක්මවා පූටින් නේටෝ එකත් එක්ක යුක්රේනයේ යුද්ධ කරනවා. ඇමරිකා හා බටහිර විරෝධී සියලු ගරිල්ලා සංවිධාන, රටවල් සන්නද්ධ කරනවා. ඒ තුළින් ඇමරිකා, බටහිර යුද ආධිපත්‍යය අභියෝගයට ලක්වෙනවා. යුක්රේන යුද්ධය මගින් රුසියන් ආර්ථිකය බිද වට්ටන්න පුලුවන් කියලා බයිඩන් හා බටහිර බලවතුන් උපකල්පනය කළත් සිද්ධ වුනේ ඒකේ විරුද්ධ පැත්ත.
යුද ආධිපත්‍ය මෙහෙම බිද වැටෙද්දී ඇමරිකානු හා බටහිර වෙළෙඳ ආධිපත්‍යය බිද දමමින් චීනය සිය අණසක ලොව පුරා පතුරවමින් ඉන්නේ. තායිවානයේ ප්රශ්නය මුල් කරගනිමින් ඇමරිකාව උත්සාහ කළේ කඩා වැටෙන ඇමෙරිකාවත් එක්කම නැගී එන චීනයත් විනාස කරගෙනම යන්න. නමුත් එය හොදින් තේරුම් ගත් චීනය ඉතාම සූක්ෂම විදියට හතුරා සමග ගණුදෙනුව උපායශීලීව බේරා ගත්තා කියලා තමයි පෙනෙන්නේ. ඒත් අළුයට ගිණි පුපුරු තියෙනවා.
මේ ලෝක සංදර්භය ඇතුළේ තමයි ඇමරිකාවට හා බටහිර බලවතුනට ලංකාවේ වටිනාකම දෙගුණ තෙගුණ වෙන්නේ. මාසයේ අන්තිම වෙනකොට ගෙදර තියෙන හිස් බෝතල්, පත්තර ටිකත් අපට වටිනවා වගේ.
ජාත්‍යන්තර ත්‍රී මූර්තිය…
මේ වෙද්දී ලංකාවේ රාජ්‍ය නායකයා ඇමරිකාවට හා බටහිරට ඉතාම විශ්වාසනීය නායකයෙක්. ඉංදියාවේ බ්‍රහ්ම, සිව, විෂ්ණු කියන ත්‍රිමූර්තිය වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව (WB) හා ලෝක වෙළෙඳ සංවිධානය (WTO) කියන ත්‍රිමූර්තියෙන් තමයි රට ගොඩගන්න පුලුවන් කියන ඒකායන විශ්වාසයෙන් රාජ්‍ය පාලනය කරන කෙනෙක්. පොඩි බයිඩන් පැටියෙක්. එමනිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය තව දුරටත් පවත්වා ගැනීම වෙනුවෙන් ඕනෑම් මිලක් ගෙවන්න ඔවුන් සැදී පැහැදී ඉන්නේ. එතැනදී ව්‍යවස්ථාව කියන එක නිකම්ම නිකං කඩදාසියක් විතරයි. වතුරෙන් ලුණු හදනවා වාගේම ලුණු දිය කරන්නෙත් වතුරෙන්.
විශේෂයෙන්ම සිය ආධිපත්‍ය බිද වැටෙන වෙලාවක කුඩා රටක හෝ රූකඩ පාලකයෙක් සිටීම ගස් නැති රටේ තුත්තිරි ගහක් ගහක් වෙනව වගේ තමයි. මැතිවරණ ගණනාවක් මුවවිට තිබෙනවා කියද්දීත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 336 ක තුන්වැනි ණය වාරිකය අනුමත කරන්නේත්, ඉලෝන් මස්ක්ලා රනිල් හමුවන්නේත් මේවායේ පෙරනිමිති විදියටයි. බයිඩන්ගේ ඝෘජු නියෝජිතයන් නිසා තමයි කිසි කිල්ලක් නැතිව රනිල්, මෝදි ලංවෙලා ඉන්නේ. බ්‍රික්ස් එකේ හිටියට මෝදි චීන විරෝධියෙක්.
විකල්ප දේශපාලන පක්ෂයක්…?
ජාතික මට්ටමෙන් ගත්තත් ජනාධිපති රනිල් ගෙනයන ආර්ථික, දේශපාලන, සමාජීය වැඩපිළිවෙලට විකල්ප වැඩ පිළිවෙලක් මුල් කරගත් කිසිඳු දේශපාලන බලවේගයක්, පක්ෂයක් මේ දක්වා දකුණේ නැහැ. ආණ්ඩු විරෝධී වැඩි පිරිස් බලයක් සිටිනවා යැයි පෙනෙන ජාතික ජන බලවේගයටත් (ජා.ජ.බ.), සමගි ජන බලවේගයටත් (ස.ජ.බ.) IMF එකත් එක්ක යන ආර්ථික ගමනක් තමයි තියෙන්නේ. ප්‍රමාණයෙන් අඩු ජාතීන්ගේ ජාතික ප්‍රශ්නයට ඒ ජාතීන් පවා ප්‍රතික්ෂේප කරන රනිල් ගේ පළාත් සභා තොරම්බල් කරනවා හැර වෙනත් යෝජනාවක් නැහැ. සුන්නද්දුලි කළ ජන ජීවිතය ගොඩ නැගීම සඳහා වූ ප්‍රායෝගික තිරසර සැලැස්මක් නැහැ.
යුද්ධය නිසා රට ආපස්සට ගියා, යුද්ධය නිසා තමයි චෞර රාජපක්ෂ පරපුරක් හැදුනේ කියලා ඔය කවුරුත් පිළිගන්නේ නැහැ. රාජ්‍ය වියදම්වල විගණනයන් අවශ්‍යයි කියලා මරාගෙන මැරෙන කවුරුවත් යුද්ධයේ වියහියදම් ගැන විගණනයක් ඉල්ලන්නේ නැහැ. යුද අපරාධ සිදු වුනේ නැහැ කියද්දී ඔක්කොම එකට හිටගන්නේ. යුද්දෙන් පස්සේ ආරක්ෂක හමුදාවන්ට භාරදුන් සිය ඥාතීන් ඉල්ලා දවස් 2000 ඉක්ම වූ උපවාසයක නිරත අම්මලාට දෙන විසඳුම ගැන ඔක්කෝගෙම කටේ පිට්ටු. එහෙම උපවාසයක් උතුරේ තියෙනවද කියලවත් දකුණේ කිසිදු පක්ෂයක්, සංවිධානයක් හෝ මාධ්‍ය දන්නේවත් නැහැ. දෙමළ මාධ්‍යවේදීන් ඒ විස්තර හමුදාවෙන් ඉල්ලීම නිසා හිරිහැරයට පත්වීම ගැන කට ඇරපු එකම ‘ජාතික’ නායකයෙක්වත් නෑ.
මර්දනයේ සයිස්එක…
රාජ්‍ය බලය දෙන්නේ විරුද්ධවාදීන් මර්දනය කරන්නත් එක්කම තමයි කියලයි ලාල්කාන්ත කිව්වේ. ධනපතියන් බලයට ඇවිත් රාජ්‍ය මර්දනය ආරම්භ කළත්, ලාල්කාන්තලා බලයට එන්නට පෙර සිටම මර්දනය කළයුතු උන්ගේ ලැයිස්තු හදා තබා ගැනීම විතරයි රාජ්‍ය මර්දනයේදී රනිල්ට වඩා තිබෙන වෙනස. මාලිමාවේ මර්දනයේ සයිස් එක රාජ්‍ය බලය නොතිබූ 88 – 89 කොහොමද කියලා මතක් කරගන්න. එතකොට හදා ගන්න පුලුවන් අච්චරට මෙච්චරනම් මෙච්චරට කොච්චරද කියලා.
“රාජපක්ෂලා මහජන මුදල් මංකොල්ල කෑවා, රනිල් ජනාධිපති වෙලා රාජපක්ෂලා ආරක්ෂා කරනවා, අපි බලයට ඇවිත් හොරා කාපු සල්ලි ආපසු ගන්නවා, හොරුන්ව හිරේ දානවා” රනිල්ගේ පාලනයට විරුද්ධව දකුණේ සිංහල පක්ෂවලට තිබෙන ප්‍රධානතම විරෝධය ඔච්චරයි. එහෙම බැලුවාම රංජන් රාමනායක කිව්වා වාගේ “මුන් ඔක්කොම එකයි මල්ලී”.
මේ යථාර්ථය තුළ ඡන්දයක් පවත්වා අත් හැර දමා යායුතු තරමේ විරුද්ධත්වයක් විරුද්ධ පක්ෂවලින් රනිල්ට ඇත්තේම නැහැ. ඊට සාපේක්ෂව විරුද්ධ පක්ෂ අතර තිබෙන්නා වූ විරුද්ධවාදීකම් උග්‍රයි. මේ තත්වය තවත් තීව්ර කරන්න, බෙදා වෙන් කරන්න තමයි පළමුව තියන්නේ ජනාධිපතිවරණයක් කියලා ප්‍රකාශයට පත් කළේ. මහමැතිවරණය පළමුව තැබීමේ සැලසුමක් තිබුනත් එය දෙවැනි තැනට වැටෙන්න අනෙක් හේතුව තමයි රනිල් බලාපොරොත්තු වූවාට වඩා පොහොට්ටු හා විපක්ෂ මන්ත්‍රීන්ගේ සහය ජනාධිපති රනිල්ට ලැබීම.
ඒ නිසා ජනාධිපතිවරණයක් නොපැවැත්වීමේ විභවතාවය වැඩියි. ජනාධිපතිවරණයක් පැවැත්වුවත් ඒක රනිල් හෝ රනිල් ගේ අනුප්‍රාප්තිකයෙක් දිනන එකක් වේවි. ඒනිසා තමයි රනිල් දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියන්නේ.
ස්වාධීන, ස්වෛරී, ලෝකෙන් උතුම් රටේ දේශපාලනය තීන්දු කෙරෙන්නේ කොලොම් පුරේ හරි ජයවර්ධන පුරේ හරි කියලා හිතන්න කොයි, කොයි දේශප්රේමියාටත් නිදහස තියෙනවා. ඒත් ඒවා හැබැහින් සිද්ධවෙන්නේ වොෂින්ටනෙයි, දිල්ලියයි කියන විදියට. 225 ම දියවන්නාවෙන් එපිටට එලවන්න ගෝල්පේස් පිට්ටනියේ ඓතිහාසික අරගලයක් කරලා ගෙදර ගිය සටන්කාමීන් රටටම කියා දුන්නු වැදගත් පාඩමක් තිබෙනවා. එක පාර්ලිමේන්තු ආසනයක් විතරක් තියෙන පරාජිතයෙක් උනත් ජනාධිපති කරන්න පුළුවන් බලවතුන් තමයි රට කරවන්නේ කියන එක. දැන් දිනලා ඉන්නෙත් පැරදුනු රනිල් නේද?
ලිපිය ටිකක් දීර්ඝ වුනත් තව කාරණා දෙකක් ගැන නොකියාම බැහැ. පසුගියදා ලන්ඩනයේ පැවැති ජා.ජ.බ. රැලියෙන් අනතුරුව එහි නායක අනුර කුමාර දිසානායක එක්ක දිවා ආහාරය සඳහා ඇරයුමක් අපේ හිතවත් ඡායාරූප ශිල්පී අනුරුද්ධ ලොකු හපුආරච්ච්ට ලැබිලා තියෙනවා. ඒ ගැන හපුආරච්චි මෙහෙම කියනවා.
“ස්ලව්” නගරයේ කුඩා “නන්දූස්” අවන්හලේ කොනක වාඩි වූ ඔහුද අපද ඒ වන විට සිටියේ වෙහෙසින් සහ කුසගින්නේය. එහෙත් ලංකාවේ මාධ්‍යකරණයේ අපගේ අතීත කතා විසින් නියෝජණය කරනු ලබන ශ්‍රි ලංකාවේ එක්තරා අවධියක දැවැන්තව සිදුවූ ජනතාවගෙන් තොරතුරු වසං කිරීම සදහා මරා දැමූ, වධහිංසාවන්ට ලක් වූ සහ භීෂණකාරී බලපෑම් වලට ගොදුරු කරවූ අපගේ කතාවන්හි වඩා සියුම් කරුණු ගැන දැන ගැනීමේ උවමනාව ඒ කුස ගින්නට වැඩිය ඔහු තුල තිබූ බව මට හැඟිනි. ඒ වන විට මහජන රැළියේ ප්‍රධාන දේශණයේදීද ඔහු ඒ පිළිබඳ සදහන් කර තිබුනි,” යි කියලා.
මහින්ද රාජපක්ෂ බලයට ගෙනැවිත් බල්ලො නාවන්න වගේ යුද්ධයට අරගෙන ගියේ අපි තමයි කියලා ජ.වි.පෙ. හිටපු නායකයෙක් වූ සෝමවංශ අමරසිංහ වරක් කිව්වා. මේ මෑතකදි අපේ අවංක ලාල් ( කේ.ඩී. ලාල්කාන්ත) ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වා “මේක ගහලා ඉවර කරන්න ඕන කියලා කිව්වේ ජ.වි.පෙ. අපියි, ජාතික හෙළ උරුමය විතරයි කියලා. ඒකට අවශ්‍ය මතවාදය හැදුවේ ජ.වි.පෙ,” යි කියලා.
පාරක් හදනකොට අවහිරතා අයින් කරගෙන යනවා වගේ යුද මතවාදයට විරුද්ධ ජනමාධ්‍යවේදීන් පැහැරගෙන ගියා, පහර දීලා අතපය කැඩුවා, ලිංගික අපරාධ කළා. මරා දැම්මා, අතුරුදහන් කළා, රටින් පළවා හැරියා. යුදමතවාදයට එරෙහිව පෙනී සිටි මාධ්‍ය ආයතන ගිනි තිව්වා, ක්ලේමෝ ගැහුවා, විනාස කළා. එහෙම සුද්දයක් දීලා තමයි යුදමතවාදය දකුණේ ජය ගත්තේ. යුද ජයග්‍රහණය වගේම මේවායේ ජයග්‍රහණයත් ලාල්කාන්තලා, අනුරලා බාර ගන්න ඕන.
කුසගින්න සහ යුධගින්න…
ලාල්කාන්ත පිලිගන්නා විදියටම ඒ මාධ්‍ය භීෂණයේ පියවරුන් වූ අනුර කුමාරලා එක්ක එකට ඉන්නකොට අනුරුද්ධ ලොකු හපුආරච්චිට කුසගින්නට වඩා යුද ගින්න නොදැනුනේ මන්දැයි මට සිතුනා. මොකද අනුරුද්ධ ලංකාවේ රොයිටර් පුවත් සේවයේ හිටිය අති දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ දරුවන්ට පාසැල් යන්න බැරි වුනේ යුදමතවාදය හදපු බලඇණිය අනුරුද්ධට එල්ලූ කොටි ලාඩම නිසා. අදත් ඒවාට කිසිදු සාක්කියක් නැහැ. අවසානයේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ලන්ඩනයට පිටුවහල් වුනා. ඔහුත් ලාල්කාන්තලාගේ, අනුරලාගේ යුද්ධයේ වින්දිතයෙක්.
ඒ “වධහිංසාවන්ට ලක් වූ සහ භීෂණකාරී බලපෑම් වලට ගොදුරු කරවූ අපගේ කතාවන්හි වඩා සියුම් කරුණු,” අනුර කුමාර හෙළි කළාද දන්නේ නැහැ.
අනෙක් කාරණාව තමයි ඉහත පෙන්වා දී ඇති රනිල්ලාගේ, මහින්දලාගේ හා ජා.ජ.බ. අතර තිබෙන සමාන දේශපාලන ප්‍රතිපත්ති වසා දැමිම සඳහා අද ඔවුන් වපුරන කූඨ සටන්පාට. මාලිමාව වටේ ඉන්නා “මාක්ස් ලෙනින්වාදීන්” පවසන්නේ මේ ගතවෙමින් තිබෙන්නේ ප්‍රභූ ආධිපත්‍යයෙන් නිර්ප්‍රභූන්ට බලය හුවමාරුවෙන නිමේෂයක්. මේක ලෝකේ පළමු වරට සිදුවන්නක්. ඒ නිසා සියලු වාදබේද පසෙකලා නිර්ප්‍රභූන් ගේ අතට බලය ගැනීම පළමුව කළ යුතුයි කියලා.
ආර්.ප්‍රේමදාස නිර්ප්‍රභූ හා පීඩිත යැයි හදුන්වන කුලයකින් රාජ්‍ය බලයට පත් වූවෙක්. ප්‍රභූන් ඔහුට අවමන් කළේ “ලැවරියා” කියලා. රාජ්‍ය බලය ලැබුනාට පස්සේ එයට එරෙහි වූ නිර්ප්‍රභූන් 60,000ක් විතර ටයර් සෑයේ ආදාහනය කළේ ලාල්කාන්ත කියන්නාක් මෙන් ලබාගත් රාජ්‍ය බලය ආරක්ෂා කරගන්න. ජර්මනියේ හිට්ලර්, රුසියාවේ ජෝෂප් ස්ටාලින් නිර්ප්‍රභූන් තමයි. රාජ්‍ය බලය එක්ක තමයි මේ කවුරුත් ප්‍රභූන් බවට පත්වෙන්නේ සහ වුනේ. ඒනිසා මේ නිර්ප්‍රභූ කතාව පීඩිතයන් ගොණාට අන්දවන දේශපාලන තක්කඩි කතාවක්. රාජ්‍ය බලයම ඊනියා නිර්ප්‍රභුන් ප්‍රභූ තලයට රූපාන්තරණය කරන කෝෂයක් කියලා ඔය මාලිමාවාදී ඇඳුරන්, ඊනියා වම්මුන් නොදන්නවා වෙන්න බැහැ.
සමාජවාදය නැත්නම් ම්ලේච්ඡත්වය…
මේ කතාවන්ට සමගාමීව මහාචාර්යවරු දෙදෙනෙක් සාකච්ඡාවකදී කියනවා රෝසා ලක්සම්බර්ග් කිව්වා වගේ ඉදිරියේදී එන්නේ සෝෂලිසම් හෝ බාබරිසම් (සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය) කියලා. ජාජබ නැතිනම් මාලිමාව ආවොත් සෝෂලිසම්, එහෙම නාවොත් බාබරිසම්. ජාජබ ‘සෝෂලිසම්’ උනේ කවද්ද කියා අනේ කවුරුහරි කියා දෙනවා නම් පිං. ලාල්කාන්ත නම් කියන්නේ එයාලා බලය අරගෙන සමාජවාදය ගොඩ නගන්න යන්නේ නැහැ කියලා. එහෙම කවුරුහරි හිතනවානම් ඒකා පල් මෝඩයෙක් කියලා. ගෙවල් අයිතිකාරයාට වඩා සුදුහුණු ගාන්නන් බලවත් කාලයක් මේක.
ලාභය සඳහා නිෂ්පාදනය මුල්කරගත් ධනපති පාලන ක්‍රමයක් තුළ ලාභ නොලැබෙනවානම් ඔවුන් නිෂ්පාදනය නවත්වනවා. එහෙම කරලා විදේශවලින් ලාබ නිෂ්පාදන ආනයනය කරලා සුළුවෙන් හෝ ලාබ ලබා ගන්නවා. ලාබරේට්ටු කඩා වැටෙනකොට කම්කරුවන්ගේ හා අවවරප්රසාදිත පවුල්වලට ලබාදුන් සහනාධාර, වරප්‍රසාද කප්පාදු කරනවා. එයට එරෙහිව අරගලකරන්නන් ඉතාම තිරශ්චීන ලෙස, ම්ලේච්ඡ (බාබරික්) ලෙස මර්දනය කරනවා.
නමුත් සෝෂලිසම් නැතිනම් සමාජවාදී රාජ්‍යයක නිෂ්පාදනය සිදු කරන්නේ ලාබය සඳහා නොව මනුෂ්‍ය වර්ගයාගේ පරිභෝජනය සඳහා. මේ නිෂ්පාදනයේදී ආනයනයෙන් ලබන ලාබයට වඩා සුළු පාඩුවක් වුනත් රටේ ස්වාධීනත්වය වෙනුවෙන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගනවා. පුද්ගලීකරණය කරන්නේ නැහැ.
ටයිකෝට් සහ රතු කමිස…
ඒක තමා සෝෂලිසම්වල ප්‍රධානම මූලධර්මයක් වෙන්නේ.
මෙහෙම මූලධර්මයක් මාලිමාව ක්‍රියාත්මක කරනවාද ? ඔවුන් කියන්නේ නැහැ කියලා. එහෙනම් රතු හෝ රෝස ඇඳුමෙන් සැරසිලා මාක්ස්, ලෙනින් පින්තූර ගහගෙන කැපිටලිසම් කළත්, ටයිකෝට් දාගෙන, බයිඩන් එක්ක කැපිටලිසම් කළත් එකයි. එන්නේ බාබරිසම්ම තමයි.
”බලු බෙට්ටේ කොයි කෙළවරත් එකයි.”
ඥානසිරි කොත්තිගොඩ (ජනමාධ්‍යවේදී)