Jaya Pathmapani
May 19
දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටු අභිමානවත් ජීවිතයක් ගත කිරීම අප සියලු දෙනාට ම ඇති මූලික අභිලාෂයකි. එය බොහෝ විට අපේ මුඛ්‍ය දේශපාලන පරමාර්ථය ද වේ. එහෙත් ‘බලය අත්පත් කර ගැනීමේ දේශපාලනයට’ අනුගත වීමෙන් දේශපාලන අන්තේවාසිකයෙකු වීම හැර සැමට එම අභිලාෂය ඉටු කර ගත හැකි ජන සමාජයක් ගොඩ නගා ගැනීමට මෙතෙක් අපට හැකි වී නැත. ඒ බව නිදහස ලැබී ගත වූ වසර 70 තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ ව අප සියලු දෙනා අතර අඩු වැඩි වසයෙන් ඇති කලකිරීම්වලින් සහ රැවටුණු රැවටිලිවලින් පැහැදිලි වේ. තව දුරටත් ඒ වංචාවේ ගොදුරු බවට පත්වීමට අපට නො හැකි ය.
එබැවින් මෙතෙක් කලක් නියෝජන ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් ‘බලය අත්පත් කර ගැනීම’ මුල් කොට අපේ දේශපාලන කතිකාව මෙහෙය වූ දේශපාලන සුසමාදර්ශය (paradigm) වෙනුවට අපේ පොදු අභිලාෂ සම්බන්ධයෙන් ‘සැමට යුක්තිය ඉටු කර ගැනීම’ මුල් කරගත් නව දේශපාලන සුසමාදර්ශයක් ගොඩනගා ගත යුතු ව ඇත.
නව සුසමාදර්ශයක් යනු යථාර්ථය විමසීම සඳහා උපයෝගී කර ගන්නා මුඛ්‍ය අදහස් සමුදායක් මත ගොඩ නැගූ උපකල්පන, නිගමන, වටිනාකම්, අනන්‍යතා සහ භාවිතවලින් සමන්විත සිතුවිලි පද්ධතියකි. එය දැනට පවතින සුසමාදර්ශයේ මුඛ්‍ය අදහස සමතික්‍රමණය කළ යුතුවා පමණක් නො ව අදාළ ප්‍රස්තුතයට නව තේරුමක් ද ගෙන ආ යුතු ය.
ඉතිං, සුසමාදර්ශීය වෙනසක් යැයි කිව හැකි මට්ටමේ දේශපාලන පරිවර්තනයක් ඇති කරන්නේ කෙසේ ද? සුසමාදර්ශීය වෙනස්වීම් පිළිබඳ අදහස හඳුන්වා දුන් තෝමස් කුන් ඔහුගේ Structure of Scientific Revolutions නම් පොතේ සඳහන් කරන අන්දමට සුසමාදර්ශීය පරිවර්තනයක් හිටි හැටියේ සිදු නො වේ. එයට කලක් ගත විය හැකි ය. එහෙත් ඒ සඳහා වැදගත් ම දෙය වන්නේ තමන් මෙතෙක් විශ්වාස කළ දේවල් තවදුරටත් නිවැරදි නො වන බව මිනිසුන්ට ඒත්තු යන සේ පර්යේෂණ හා විශ්ලේෂණ මඟින් මතු කර ගත් සාක්ෂි ඔවුන් ඉදිරියේ ගෙන හැර තැබීමයි. තෝමස් කූන් මේ සම්බන්ධයෙන් උදාහරණයක් ලෙස ගන්නේ සෞරග්‍රහ මණ්ඩලය විස්තර කිරීමේ දී සම්ප්‍රදායික විද්‍යාව හා නූතන විද්‍යාව ඉදිරිපත් කරන නිගමන අතර ඇති වෙනස යි. ක්‍රි.පූ. 384-322 විසූ ඇරිස්ටෝටල්ගේ කාලයේ සිට 14 වැනි සිය වසේ මැද භාගය දක්වා ම මිනිසුන් විශ්වාස කළේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රීය වස්තුව පෘථිවිය බව යි. ඒ අනුව සූර්යයා සහ සියලු ග්‍රහ වස්තු පොළොව වටා කරකැවෙන වස්තු ය යන්න එකල සම්ප්‍රදායික විද්‍යා චින්තනය බවට පත් වී තිබුණි. එහෙත් පෘථිවිය ඇතුළු ග්‍රහ වස්තු කක්ෂ ගත ව ඇත්තේ පෘථිවිය වටා නො ව සූර්යයා වටා බව නිකොලොස් කොපර්නිකස් 1543 දී සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ ය. එතැන් සිට අද දක්වා ම නූතන විද්‍යාව පදනම් ව ඇත්තේ කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍රීය න්‍යාය මඟින් හඳුන්වා දුන් ඒ සුසමාදර්ශීය වෙනස මත යි. සාමාන්‍ය තත්ව යටතේ විටින් විට එක් වෙන කරුණු සහ න්‍යාය මත විද්‍යාත්මක දැනුම ක්රමික ව තහවුරු වෙනවා වෙනුවට විප්ලවකාරී විද්‍යාවක් හෙවත් විද්‍යාවේ සුසමාදර්ශීය වෙනසක් බොහෝ විට ඇති වන්නේ කලින් ප්‍රතික්ෂේප කළ හෝ නො සලකා හරින ලද සාධක නව පර්යාලෝකයක් තුළ නැවත අවධානයට ලක් කිරීමෙන් බව තෝමස් කූන් පැවසීය.
යුක්ති සහගත සමාජයක් ගොඩ නැගීමේ ප්රයත්න මීට පෙර ද තිබිණි. ඉන් සමාජවාදී යැයි හඳුන්වන ලද ඇතැම් ඒවා සමාජ විෂමතා අවම කිරීම ප්‍රකාශිත අරමුණ කරගත් නමුත් වැඩිකල් නො ගොස් මං මුලාව ගොස් මහජනතාව අතර අපකීර්තියට ලක් විය. එවැනි අසාර්ථක ප්‍රයත්නවල දක්නට ලැබුණු පොදු ලක්ෂණය වූයේ ඒ සියල්ල බලය අත්පත් කර ගැනීම මුඛ්‍ය කරගත් ප්රයත්න වීම යි. ඒ නිසා නව දේශපාලන සුසමාදර්ශයක් බිහි කළ හැකි කතිකාවක දී ‘බලය අත්පත් කර ගැනීමට’ විකල්ප වූ ‘යුක්තිය ඉටු කර ගැනීමේ’ සමාජයීය දේශපාලන ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන වෙනස් ආකාරයක මුඛ්‍ය අදහස් පද්ධතියක් අප ඉස්මතු කර ගත යුතු ය. එම අදහස් ගැඹුරින් සංවිචාරණයට (deliberation) ලක් කිරීමෙන් යුක්තිය අත්පත් කර ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? දේශපාලන බලය ස්වාමිත්වකාමි අත්පත් කර ගැනීම් මඟින් නො ව සමාජයේ සංවිචාරණීය අභිමතය අනුව නිරන්තර මහජන සහභාගීත්වය පදනම් කොට මෙහෙයවෙන දෙයක් බවට පත් කළ නො හැකි ද? බංකොලොත් ව්‍යාජ නියෝජන ක්‍රමවලින් මුලා නො වී එම අදහස් පාදක කරගත් අරමුණු කරා යෑමට අවශ්‍ය කරන ව්‍යුහාත්මක දේශපාලන හා ආර්ථික වෙනස්කම් කෙබඳු විය යුතු ද? යන්න පිළිබඳ ව නිශ්චිත අදහස් ද ජනනය කර ගත හැකි ය. එහෙත් එම අදහස් පවතිනා දේශපාලන හා ආර්ථික ක්‍රමය නිසා උද්ගත වී ඇති ප්‍රශ්නවලට උචිත පිළිතුරු සැපයීමට හැකි ඒවා ද විය යුතුය.
බලය අත්පත් කර ගැනීමේ දේශපාලනය වෙනුවට යුක්තිය ඉෂ්ට කර ගැනීමේ දේශපාලනය ආදේශ කළ යුතු ය යන අදහස මෑතක දී මුලින් ම ඉදිරිපත් කළේ ඇලන් බදියු විසින් ඔහුගේ ‘In Praise of Politics’ නමැති කෘතියෙනි. ප්‍රකට ප්‍රංශ බුද්ධිමතෙකු වන ඇලන් බදියු පවසන අන්දමට බලය ගැන කරදර වීමට වඩා මේ අවස්ථාවේ දී වැදගත් වන්නේ කෙබඳු ජනසමාජයක් බිහි විය යුතු ද යන්න පිළිබඳ ව හොඳ උපාය මාර්ගික දැක්මක් ඇති ජනතාවක් ඇති කර ගැනීමයි.[1].ප්‍රායෝගික ව බැලූ විට දේශපාලනය යනු තමන් ජීවත් වන ජන සමාජයේ අනාගතය කෙබඳු විය යුතු ද යන්න පිළිබඳ පැහැදිලි දැක්මක් ඇති ජනතාවක් සහ එවැනි සමාජයක් බිහි වීමේ හැකියාව අතර ඇති සම්බන්ධතාව පිළිබඳ ප්රකාශනය බව බදියු පවසයි. එකී උපාය මාර්ගික දැක්ම පවතින දේශපාලන සුසමාදර්ශය විස්ථාපනය කිරීමෙන් බිහි කර ගත යුත්තකි. ඒ දැක්ම කල් තියා ගොඩනගා ගැනීමට නො හැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රටවල මහජන නැගිටීම් අර්ථ විරහිත ලෙස අවසන් වූ අතර තවත් රටවල ජනතාවට පටු ජාතිකවාදී ඉන්ද්‍රජාලිකයන් සරණ යෑමට සිදු විය. මෙය අපට පමණක් සීමා වූ ගැටලුවක් නො වේ. ඒ නිසා නව දේශපාලන සුසමාදර්ශයක් බිහි කිරීම යනු ගෝලීය පර්යාලෝකයකින් විමසිය යුතු කරුණකි.
ශ්‍රී ලංකාව ද ඇතුළු ප්රජාතන්ත්රවාදී යැයි සැලකෙන බොහෝ රටවල දැනට පවතින දේශපාලන සුසමාදර්ශයේ නිශ්චිත මුඛ්‍ය ලක්ෂණ දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ බලය ඉල්ලන කණ්ඩායම් අතරින් ආණ්ඩු බලය අල්ලා ගන්නා කණ්ඩායම කලින් කලට පැවැත්වෙන මැතිවරණ මඟින් තෝරා ගැනීම ප්රජාතන්ත්රවාදය වසයෙන් සැලැකීමයි. අනෙක බලය අල්ලා ගත් පාර්ලිමේන්තු කණ්ඩායමේ වගකීම ‘හෝමෝ එකොනොමිකස් (Homo Economicus)[2]’හෙවත් “මිනිසා යනු ස්වාර්ථය තකා කටයුතු කරන තාර්කික ආර්ථික සත්වයෙකි” යන ධනවාදී ආර්ථික චින්තනය මත ආර්ථිකය මෙහෙයවීමට ආධාර කිරීම යි.
ඒ අනුව බලය අත්පත් කර ගන්නා කණ්ඩායම්වල යුතුකම වසයෙන් සැලකෙන්නේ දේපළවල ස්වාමිත්වකාමි (possessive) පුද්ගලික අයිතිය පදනම් කොට ප්‍රාග්ධන සමුච්චයනය හෙවත් ධනය ඒකරාශි වීම පිණිස නිෂ්පාදන මාර්ග හා සම්පත් නිර්බාධක ව උපයෝගී කර ගැනීමට පහසුකම් සපයනු ලැබීමයි. ඒ නිසා ඇති වෙතැ’යි විශ්වාස කරන ආර්ථික වර්ධනයක ප්රතිලාභ පහළට ගලා යෑම මඟින් සමස්ත සමාජය ද ප්‍රගතිය කරා දක්කනු ඇතැ’යි යන විශ්වාසය ද පවතින දේශපාලන සුසමාදර්ශය තුළ අඩංගු වන මුඛ්‍ය උපකල්පනයකි. ඒ අනුව ආර්ථිකයේ වර්ධන වේගය වැඩි වීම ප්රගතියේ දර්ශකයක් ලෙස සැලකේ. නව දේශපාලන සුසමාදර්ශයක් බිහි කිරීමේ හැකියාව විමසා බැලීමේ දී බලය අත්පත් කර ගැනීම මෙන් ම ස්වාර්ථකාමී ආර්ථික එළඹුම යන අංග දෙකේ ම ඵල විපාක හා ඒවායේ දුර්ගුණ පිටු දැකිය හැකි විකල්ප මොනවා දැයි විමසා බැලීම ප්‍රයෝජනවත් ය.
පවතින දේශපාලන සුසමාදර්ශය පිළිබඳ ව අපට තවදුරටත් විශ්වාසයක් නැත්තේ ප්රජාතන්ත්රවාදය යන නමින් විකෘතියක් තෝරා ගැනීමට සිදුවීමෙන් හෙම්බත් වීම නිසා ම පමණක් නො වේ. ධනවාදී ආර්ථික ක්‍රමය තුළ එම විකෘතියට බෙහෙවින් තුඩු දුන් නවලිබරල්වාදී (neoliberal) ආර්ථික එළඹුමේ ඵලයක් ලෙස තීව්ර වී ඇති සමාජ විෂමතා, බදු හා මූල්‍ය වංචා, කොටස් වෙළඳපොළ ජාවාරම්, පොදු දේපළ මංකොල්ල කෑම, වාර්ගික ධ්‍රැවීකරණය, සමාජ අසහනය සහ තෘෂ්ණාධික රේඛීය වර්ධනය නිසා පෘථිවි සම්පත් ක්ෂය වීම වැනි අත්දැකීම් ඊට හේතු වෙයි. මේ නවලිබරල්වාදී ආර්ථික එළඹුමේ දේශපාලන දැක්ම නිසා සිදු වූ හානිය අපි ඉදිරි පරිච්ඡේද තුනකින් සවිස්තර ව සාකච්ඡා කරමු. දේශපාලනයේ සුසමාදර්ශීය වෙනස මඟින් ම පිළිබිඹු වන නව ආරක ආර්ථික චින්තනයක් අවශ්‍ය වන්නේ එම හානිය පූරණය කිරීම සඳහා ය.
ඒ හැර තවමත් බරපතළ අවධානයකට ලක් වී ඇති බවක් නොපනෙන ගෝලීය උණුසුම ඉහළ යෑම නිසා ඇතිවීමට නියමිත තීරණාත්මක අර්බුදය පවතින දේශපාලන සුසමාදර්ශය තුළ ඵලදායක ලෙස ආමන්ත්‍රණය කිරීම ද සැලකිය යුතු අභියෝගයක් වී තිබේ. ගෝලීය උණුසුම වැඩි වීම සහ අක්වෙරළ ගිණුම් උපයෝගී කර දැවැන්ත ලෙස බදු වංචා කිරීම මඟින් සමාජීය වගකීම පැහැර හැරීම වැනි ඇතැම් ගැටලු පවතින දේශපාලන සුසමාදර්ශයේ පදනම වන ජාතික රාජ්‍ය නමැති පාලන ඒකකය තුළ පමණක් විසඳිය හැකි ඒවා නො ව ගෝලීය සහයෝගිතාව මත විසඳිය යුතු ඒවා ය. ගෝලීය මට්ටමින් ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට සිදුවීම කිසියම් දුරකට කෝවිඩ්-19 වසංගතය අපට මතක් කර දුන්නේ ය. තවමත් ඇති තරම් මහජන අවධානයට ලක් කර නොමැති ගෝලීය උණුසුම පිළිබඳ ප්රශ්නය ඊටත් වඩා ගෝලීය සහයෝගිතාවක් ඉල්ලා සිටින්නකි. ඒ නිසා ගෝලීය උණුසුම වැඩි වීම නිසා උද්ගත විය හැකි අවදානම ගැන ලුහුඬින් හෝ ආරම්භයේ දී ම පැහැදිලි කර ගැනීම වටී.
දඩයමින් හා ස්වාභාවික ශාක ආහාරවලින් යැපෙමින් ගත කළ ප්‍රාථමික අවධිය ඉක්මවා ගොස් කෘෂිකර්මයට හුරු වූ මිනිසුන් ස්ථිර ජනාවාස ඇති කර ගෙන, ශිෂ්ටාචාර බිහි කර ගෙන තව මත් අවුරුදු දහ දොළොස් දහසකට වඩා කාලයක් ගත වී නැත. භූ විද්‍යාඥයන් මේ කාල වකවානුව හඳුන්වන්නේ ‘හොලෝසීන (Holocene) යුගය’ යන නමිනි. මේ යුගයේ සුවිශේෂ ලක්ෂණය වූයේ එම කාල වකවානුව පුරා ම පෘථිවිය මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍ය අගය ආසන්න වසයෙන් සෙන්ටිග්‍රෙඩ් අංශක 15 ක් ලෙස ස්ථාවර ව පැවතීමයි. ඊට පෙර පැවති යුගවල දී පෘථිවියේ මතු පිට උෂ්ණත්වය ඒ සා දීර්ඝ කාලයක් එසේ ස්ථාවර ව නො පැවතුණි. උදාහරණයක් ලෙස භූ විද්‍යාත්මක පර්යේෂණවලින් සොයා ගෙන ඇති පරිදි මීට අවුරුදු 19,000 කට පෙර පෘථිවියේ මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍යය සෙන්ටිග්‍රෙඩ් අංශක 7.8 ක් ව පැවති බව අපි දැන් දනිමු.[3] එහෙත් සෙන්ටිග්‍රෙඩ් අංශක 15ක සාමාන්‍යයක් සමඟ ස්ථාවර ගෝලීය උෂ්ණත්වයක් තිබූ ‘හොලෝසීන යුගය’ ඉන් පෙර නො තිබුණ ලෙස අපට කෘෂිකර්මය සඳහා අවශ්‍ය සමබර දේශගුණ රටාව ඇති කර දුන්නේ ය. අප කෘෂිකර්මයට හුරුපුරුදු වන්නේත්, ජනාවාස හා ශිෂ්ටාචාර ගොඩ නගන්නේත් පසු ගිය වසර දස දහස තිස්සේ පෘථිවිය මතු පිට ස්ථාවර උෂ්ණත්වයක් පැවතුණ බැවිනි. එසේ නො වන්නට අපට සතුන් හීලෑ කර ගැනීමට හෝ වී, තිරිඟු, ඉරිඟු, ආදී ධාන්‍ය වර්ග වැඩි දියුණු කර වගා කර ගැනීමට හෝ ජනාවාස බිහි කර ගැනීමට හා ලේඛන ක්‍රම ඇති කර ගැනීමට හෝ හැකි වන්නේ නැත. නූතන මිනිසාගේ පැවැත්ම සහතික කිරීමට ‘හොලෝසීන යුගයේ’ පැවති ඒ ස්ථාවර උෂ්ණත්වය සහ ඒ නිසා ඇති වූ ස්ථාවර දේශගුණ රටාව අත්‍යවශ්‍ය විය.
මේ මුලු ‘හොලෝසීන යුගය’ තුළ ම පෘථිවි උෂ්ණත්ව සාමාන්‍යයේ කිසියම් වෙනසක් සිදුවී නම් එය සෙන්ටිග්‍රෙඩ් අංශක එකකින් අඩු වීම හෝ වැඩි වීම අතර ඉතා කුඩා පරාසයකට පමණක් සීමා විය. එහෙත් 18 වන සිය වසේ සිට කාර්මික යුගය ඇරඹීමත් සමඟ එතෙක් මෙතෙක් අප විසින් ගල් අඟුරු, ඛනිජ තෙල් සහ ගෑස් වායු වසයෙන් ඉතා අධික කාබනික ඉන්ධන ප්‍රමාණයක් දහනය කිරීමෙන් ස්වභාවයෙන් සිදු වෙනවාට වඩා අතිවිශාල අමතර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට එක් කොට තිබේ. සාමාන්‍යයෙන් වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් සංයුතිය 0.0407% ක් තරම් අල්ප ප්‍රමාණයක් වන නමුත් එම සංයුතියේ වෙනස් වීම ගෝලීය උණුසුම නියාමනය වීම කෙරෙහි තීරණාත්මක ව බලපායි.[4] ඊට හේතුව වායුගෝලය තුළ තාපය සිර කර ගැනීම පිණිස කාබන් ඩයොක්සයිඩ් ‘හරිතාගාර වායුවක්’[5] ලෙස ක්‍රියා කිරීමයි. වසර 1980 දී වායුගෝලීය කොටස් මිලියනයකට තිබුණු කාබන් ඩයොක්සයිඩ් කොටස් ප්‍රමාණය 336ක් වූ නමුත් වසර 2020 වන විට එම ප්‍රමාණය කොටස් 415 දක්වා වැඩි වී තිබේ. කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම හේතු කොට උග්‍ර වී ඇති හරිතාගාර කාරකත්වය (උණුසුම වායුගෝලය තුළ ම සිර වීම) නිසා ගෝලීය උණුසුම වසරක් පාසා වැඩි විය.
වර්ෂ 1850-2020 අතර කාලය තුළ ගෝලීය මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍යය ඊට පෙර වසර ලක්ෂයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අන්දම වම් පස සටහන මඟින් ද ස්වභාවයෙන් ම සිදු විය යුතු උෂ්ණත්ව වෙනස්කම්වලට සාපේක්ෂව මානව ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම ඉහළ ගොස් ඇති ආකාරය දකුණු පස සටහනින් ද දැක්වේ. – උපුටා ගැනීම Climate Change 2021: The Physical Science Basis. Contribution of Working Group I to the Sixth Assessment Report of the Intergovernmental Panel on Climate Change (IPCC).
මේ ගෝලීය උණුසුම වැඩි වීම තීරණාත්මක කඩයිම් ලක්ෂ්‍ය ඉක්මවා යෑම නතර කර ගැනීමට ඉදිරි දස වසර තුළ අපට නො හැකි වුව හොත් අප ජීවත් වන කිලෝමීටර් 10ක් පමණ තුනී වූ පෘථිවි වායුගෝලය තුළ සිදු විය හැකි බරපතළ වෙනස්කම් අපේ පැවැත්මට ඉමහත් තර්ජනයක් විය හැකි ය. ඒ නිසා ඇති වෙන අත්‍යන්ත දේශගුණික වෙනස්කම්, බව භෝග විනාශය, ජල හිඟය, බල ශක්ති අර්බුදය, නියඟ, ලැව්ගිනි, සුළි කුණාටු, ගංවතුර, සාගත සහ වසංගත, විතැන් වෙන ජන සන්නිපාත, සාගර ජල මට්ටම ඉහළ යෑම නිසා දූපත්වලට සහ වෙරළාසන්න නගරවලට සිදු වන හානි වැනි අස්ථායීකාරක ඵල විපාක සමාජ වියවුල්වලට පමණක් නො ව ඇතැම් විට ප්රචණ්ඩ යුද්ධවලට පවා හේතු විය හැකි ය. මානව ක්‍රියාකාරකම් නිසා වැඩි වෙන කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අවශෝෂණය වන්නේ හරිත ශාක පත්‍ර තුළ ප්‍රභාසංස්ලේෂණය නමින් සිදු වන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය මගිනි. ප්‍රභාසංස්ලේෂණයේ දී සිදුවන්නේ කාබන් ඩයොක්සයිඩ්, ජලය සහ ඛනිජ ලවණ සූර්යාලෝකය මඟින් ඔක්සිජන් සහ ශක්ති ජනක කාබනික සංයෝග බවට පරිවර්තනය කරනු ලැබීමයි. ඒ හැර සාගරය තුළ හා මහ පොළොවේ කාබනික ද්‍රව්‍ය වසයෙන් තැන්පත් වීම ද කාබන් ඩයොක්සයිඩ් වායුවේ වායුගෝලීය සංයුතිය පාලනයට උපකාරී වේ.
දැනටමත් නැවත වන වගාව වැනි ඇතැම් සාම්ප්‍රදායික පියවර මඟින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය පාලනය කිරීමට දරන සීමිත දේශීය ප්රයත්න ගැන ලොව පුරා වාර්තා වී තිබේ.[6] ගෝලීය මට්ටමෙන් ගත් විට මෑත කාලයේ දී ශාක ගහණය හෙක්ටෙයාර් මිලියන 2.24 කින් වැඩි වී ඇති බවට 2018 දී මේරිලන්ඩ් විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළිදරව් වීම මෙවැනි ප්‍රයත්නවල ප්‍රතිඵල විය හැකි ය. එහෙත් ජාතික මට්ටමින් ගත් විට ප්‍රධාන වනාන්තරවලට (primary forests) වෙන් වී ඇති ප්‍රමාණය රක්ෂිත වසයෙන් දිගින් දිගට ම පැවතීම මේ මඟින් සහතික කළ නො හැකි ය. කුඩා ප්‍රමාණයේ නැවත වන වගාවලින් ප්‍රධාන වනාන්තර පද්ධතිවලින් ඉටු වන පාරිසරික මෙහෙය කිසි සේත් ම සපුරා ගත නො හැකි ය.[7] ඒ නිසා වඩාත් ඵලදායී වන්නේ විශාල වසයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට මුසු කරන ඛනිජ ඉන්ධන වෙනුවට නිර්කාබනික විකල්ප බලශක්ති ප්‍රභව යොදා ගැනීම මඟින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කර ගැනීමයි.
එහෙත් ඒ සමඟ ම අපේ තෘෂ්ණාධික පාරිභෝගික සංස්කෘතිය හා ඊට ම ගැළපෙන ලෙස සම්පත් අපතේ යවන නාස්තිකාරී රේඛීය (linear) නිෂ්පාදන ක්‍රමය ද නිසා නිපදවෙන දැවැන්ත කාබනික අපද්‍රව්‍ය ප්‍රමාණය පරිසරයට මුදා හැරීම ද අවම කර ගත යුතු ය. නාගරික ප්‍රදේශවල බිහි වෙන අපද්‍රව්‍යවලින් 70% ක් ම කාබනික අපද්‍රව්‍යයි. අසාධිත (untreated) කාබනික කසල බැහැර කෙරෙන ගොහොරුවලින් ද කාබන් ඩයොක්සයිඩ්, මීතේන් ඇතුළු හරිතාගාර වායු අධික ව නිපදවේ. බල ශක්ති භාවිතය සහ අපද්‍රව්‍ය නිෂ්කාශනය යන දෙකෙන් ම ඇතිවෙන හරිතාගාර වායු ජනනය හා පාරිසරික හානියෙන් මිදීමට නම් දැනට පවතින ගන්න-හදන්න-ඉවත දමන්න යන ක්‍රමයට කටයුතු සිදු වෙන රේඛීය නිෂ්පාදන ක්‍රමය වෙනුවට සම්පත් ප්‍රතිචක්‍රීකරණයට (recycling) මුල් තැන දෙන නිෂ්පාදන ක්‍රමයක් ආදේශ කළ යුතු ය. එසේ නොමැති ව හුදෙක් අතරින් පතර කෙරෙන නැවත වන වගාවකින් පමණක් අනාගතයේ ඇතිවීමට නියමිත ව්‍යසනවලට ඵලදායක ලෙස මුහුණ දීමට අපට නො හැකි වනු ඇත.
එනිසා ඉවක් බවක් නැති ව ගෝලීය මධ්‍යම පංතියේ සුඛවිහරණය සඳහා පෘථිවි සම්පත් අපතේ යවන රේඛීය ආර්ථික නිෂ්පාදන විධි ක්‍රමය වෙනුවට, අප ගොඩ නගන නව දේශපාලන සුසමාදර්ශය තුළ ජීවී පරිසරය රටක සමස්ත ආර්ථිකයේ ම කොටසක් ලෙස සලකන ප්‍රතිජනනීය (regenerative) චක්‍රීය ආර්ථික නිෂ්පාදන ක්‍රමවේදයක් (Circular Economy) හඳුන්වා දීම සඳහා කටයුතු යෙදීම අත්‍යවශ්‍ය වන්නේ ය. රේඛීය ආර්ථිකයක් වෙනුවට චක්‍රීය ආර්ථිකයක් ආදේශ කිරීමේ හැකියාවන් පිළිබඳ ව 21 වැනි පරිච්ඡේදයේ සිට සවිස්තර ව සාකච්ඡා කරමු.
මේ සියලු කටයුතු හුදෙක් ජාතික රාජ්‍ය දේශපාලනය තුළ පමණක් සාක්ෂාත් කර ගත හැකි ඒවා නො වේ. එහෙත් ජාතික රාජ්‍ය ඉක්මවා යන විසඳුම් සෙවීමේ දී ද ඒ සඳහා අප ජාතික මට්ටමෙන් අනුගත විය යුතු සංවිධාන ක්‍රමය හා ආණ්ඩුකරණය (governance) කෙබඳු විය යුතු ද යන්න විමසීම වැදගත් ය. ඒ නිසා මේ කතිකාව මෙතෙක් අප අත්දැක ඇති ආණ්ඩුකරණයේ අසාර්ථක ප්රජාතන්ත්රවාදී වරය විචාරශීලී ව විමසීමෙන් ඇරඹීම ප්‍රයෝජනවත් විය හැකි ය.