අසර්බයිජානයෙන් වට වූ වාර්ගික ආමේනියානුවන්ගේ වාසස්ථානයක් වන නාගෝර්නෝ-කරබාක්හි වර්ධනය වන අර්බුදය ගැන පසුගිය දින කිහිපය තුළ අපට අසන්නට ලැබුණි.
මේ වන විට දස දහස් සංඛ්‍යාත ජනතාවක් තම ජීවිතය සහ තම මව්බිමේ අනාගතය ගැන බියෙන් කලාපයෙන් පලා යති. ප්‍රවීණයන් අපේක්ෂා කරන්නේ ඉදිරි සති කිහිපය තුළ Nagorno-Karabakh හි ජීවත් වන ඇස්තමේන්තුගත පුද්ගලයන් 120,000 දෙනාම පාහේ ආර්මේනියාවට පිටව යා හැකි බවත්, යුරෝපයේ දොරකඩ තවත් සරණාගත අර්බුදයක් නිර්මාණය කළ හැකි බවත්ය.
මේ වන විට ලෝකයේ බොහෝ දේ සිදුවෙමින් පවතින අතර, සෑම දෙයක්ම, විශේෂයෙන් සංකීර්ණ ලෙස පෙනෙන දේවල් වේගවත්ලෙස අර්බුදයකට ගමන් කරමින් තිබෙන බව පෙනේ. මෙම සියල්ල ගැන සාමාන්‍ය ලෝක ජනතාවට අවබෝධයක් ඇති කිරීම දුෂ්කර ය. එමෙන්ම අප එසේ දැනුවත් භාවයක් නොලදහොත් අප එකිනෙකි පුද්ගලකිව මුහුණ දෙන දුෂ්කරතාවයන් හා ඒවාට විසිදුම් සොයා ගැනීම වඩාත් දුෂ්කර වනු ඇත.
Nagorno-Karabakh කොහෙද? සිදුවන්නේ කුමක් ද? ඇයි දැන් එහෙම වෙන්නේ? මෙය යුක්රේනයේ යුද්ධයට සම්බන්ධද, ඊළඟට කුමක් සිදු විය හැකිද?
අපි සැබෑ මූලික කරුණු සමඟ ආරම්භ කරමු. Nagorno-Karabakh කොහෙද? එය ආර්මේනියාවේ දේශසීමාවේ සිට කිලෝමීටර් 140ක් පමණ නැගෙනහිරින් අසර්බයිජානයෙන් වට වූ දකුණු කොකේසස් කඳුකරයේ ගොඩබිම් සහිත කලාපයකි. ඉතා සංකීර්ණ කරුණු ගණනාවක් හේතුකොටගෙන, මෙම කලාපය ආර්මේනියානුවන් විසින් ආර්ට්සාක් ලෙස හැඳින්වේ.
Nagorno-Karabakh හි සිදුවන්නේ කුමක්ද සහ දැන් එය සිදු වන්නේ ඇයි? මෙයට පිළිතුරු දීමට නම්,(ඇන්ඩෲ රොත් පවසන්නේ) 1990 ගණන්වල මුල් භාගයේ සෝවියට් සංගමය බිඳවැටීමේ ක්රියාදාමයේ සිට මේ දක්වා අවම වශයෙන් වසර තිහක්වත් ආපසු හැරී බැලිය යුතු බවත්, සෝවියට් සංගමය බිඳවැටීම මගින් රාජ්‍යයන් (රටවල්) 15ක් අවුල් සහගත ලෙස නිර්මාණය කිරීමට හේතු වූ බවත්ය.
ඒවාට ආර්මේනියාව සහ අසර්බයිජානය ඇතුළත් වූ අතර එම රටවල් දෙකම නාගෝර්නෝ-කරබාක්ට හිමිකම් කීවේය. මෙමභූමිය අසර්බයිජානය තුළ පවතින අතර (ජාත්‍යන්තර ප්‍රජාව එය අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගනී), එය 1994 සිට ස්වාධීන රාජ්‍යයක් ලෙස එහි වාර්ගික ආමේනියානු ජනගහනය විසින් ස්වාධීනව පවත්වාගෙන යනු ලැබේ.
“ආමේනියානුවන් මෙම ප්‍රදේශය ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ නිජබිම ලෙස හඳුන්වයි, නමුත් භෞමිකව එය අසර්බයිජානයේ කොටසකි,” යනුවෙන් ඇන්ඩෲ පවසයි. “මෙය ඇත්ත වශයෙන්ම අයිති කාටද යන්න පිළිබඳ යුද්ධ මාලාවකට තුඩු දුන් අතර, එය අසර්බයිජානය තුළ ආර්මේනියානු ජනතාව අතර නොසන්සුන් තත්ත්වයට හේතු විය. එය සැමවිටම මතභේදයට තුඩු දී ඇත. ”
2020 දී දින 44 ක් පැවති අවසාන ගැටුමේදී අසර්බයිජානය විසින් අවට දිස්ත්‍රික්ක හතක් නැවත අත්පත් කර ගත් අතර නාගෝර්නෝ-කරබාක් වලින් තුනෙන් එකක් පමණ ආපසු ලබා ගත්තේය. මෙම කලාපය දැන් වර්ග කිලෝමීටර් 3,170 කි – එනම් එම ප්‍රදේශය දැන් ලන්ඩනය මෙන් දෙගුණයක් පමණ වේ.
එම යුද්ධය නැවැත්වූ සටන් විරාමයේ කොටසක් ලෙස, රුසියාව විසින් සාම සාධක හමුදාවක් ස්ථාපිත කරන ලදී. එය Lachin corridor ලෙස හැඳින්වෙන අතර, එය Nagorno-Karabakh සහ Armenia අතර මිනිසුන්ට ගමන් කිරීමට ඉඩ සලසයි.
කෙසේ වෙතත්, 2022 දෙසැම්බර් මාසයේ සිට මෙම මාර්ගය අවහිර වී ඇති අතර, එය Nagorno-Karabakh හි ජීවත් වනජනතාව එම භූමිය තුළට කොටු කර ඇති අතර ආහාර, ඖෂධ සහ ළදරුවන්ට අත්‍යාවශ්‍ය ද්ර්යවල හිඟයකට හේතු විය. අසර්බයිජානය විසින් තමන් කිසිදු අවහිරයක් ඇති බව ප්‍රතික්ෂේප කරන අතර පාරිසරික උල්ලංඝනයන් වලින් පසුව තමන්ට මැදිහත්වීමට බල කළ බව පවසයි. රුසියානු සාම සාධක හමුදාව රථවාහන ගමන් කිරීම පාලනයට කිසි ලෙසකින් මැදිහත් නොවීය.
2023 සැප්තැම්බර් 19 වන දින අසර්බයිජානය නාගෝර්නෝ-කරබාක්ට එරෙහිව පූර්ණ පරිමාණ හමුදා ප්‍රහාරයක් දියත් කළ විට සතුරුකම් නැවත ආරම්භ විය. අසර්බයිජානය එය විස්තර කළේ “ත්‍රස්ත විරෝධී මෙහෙයුමක්” ලෙසයි.
රුසියානු සාම සාධක භටයන් විසින් යෝජනා කරන ලද සටන් විරාම යෝජනාව ප්‍රාදේශීය කරබාක් ආන්ඩුව පිළිගැනීමට පෙර එම ප්‍රහාරය පැය 24 කට වැඩි කාලයක් පැවතුනි. අසර්බයිජානය “ජනවාර්ගික පවිත්‍රීකරණය කිරීමේ ප්‍රතිපත්තියක්” (“policy of ethnic cleansing”) අනුගමනය කරන බවට ආර්මේනියාව විසින්අසර්බයිජානයට චෝදනා කළ අතර අසර්බයිජානය විසින් තමන් හමුදා ජයග්‍රහණයක් ලබාගත් බව ප්‍රකාශ කළේය. ආර්මේනියානුවන්ගෙන් බහුතරය ක්‍රිස්තියානි වන අතර අසර්බයිජානියානුවන්ගෙන් බහුතරය මුස්ලිම් ය.
ඇයි දැන් මෙහෙම වෙලා තියෙන්නේ?
ඇන්ඩෲ විශ්වාස කරන්නේ අසර්බයිජානය විසින් රුසියාව “යුක්රේනයේ යුද්ධය කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කිරීම” ප්‍රයෝජනයට ගෙන ඇති බවයි. “රුසියාව මෙහි ප්‍රධාන ක්‍රීඩකයා වන අතර ආර්මේනියාව එහි සාම්ප්‍රදායික මිතුරා වේ,” ඔහු පවසයි. ” නමුත් යුක්රේනයේ යුද්ධය සමඟ රුසියාවට මෙයට සම්බන්ධ වීම ඉතා දුෂ්කර කාර්යයක් වේ.”
අසර්බයිජානය ද මිලිටරිකරණය සඳහා විශාල ලෙස ආයෝජනය කර ඇති නිසා මේ වන විට බල තුලනය වෙනස් වී ඇත. “අසර්බයිජානයට අවශ්‍ය වන්නේ කරබාක්හි දශක තුනක ස්වයං පාලනය අවසන් කර එය පවරා ගැනීමටයි.”
අසර්බයිජානයේ කොටසක් ලෙස මෙම කලාපය “පාරාදීසයක්” බවට පත් කරන බව අසේරි ජනාධිපති ඉල්හාම් අලියෙව් පවසා තිබේ.
මෙම ව්‍යසනයට හේතුව කුමක්ද?
“නාගෝර්නෝ-කරබාක්හි ආර්මේනියානුවන් වාර්ගිකව පවිත්‍ර කිරීම දැන් සිදුවෙමින් පවතී” යනුවෙන් ආර්මේනියාවේ අගමැති නිකොල් පෂින්යාන් එක්සත් ජනපදයේ උදව් ඉල්ලා සිටිමින් ප්‍රාශ කළේය. “එය ඉතා අවාසනාවන්ත කරුණකි, මන්ද අපි ඒ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීමට උත්සාහ කළෙමු”
අසර්බයිජානය විසින් එය ජනවාර්ගික පිරිසිදු කිරීමේ අභිප්රායක් තමන් අනුගමනය කරන්නේය යන්න ප්‍රතික්ෂේප කරන අතර වාර්ගික ආමේනියානුවන් “සමාන පුරවැසියන්” ලෙස නැවත ඒකාබද්ධ කිරීමට අවශ්‍ය බව පැවසීය.
එහෙත් බොහෝ නාගෝර්නෝ-කරබාක් ජනයා අසර්බයිජානය විශ්වාස කිරීමේ අවදානම ගැනීමට කැමති නැති අතර, මෑතකදී නැවත විවෘත කරන ලද ලචින් කොරිඩෝව හරහා ආර්මේනියාවට පලා යති. Nagorno-Karabakh හි ඇස්තමේන්තුගත ජනගහනය 120,000 න් 30,000 කට ආසන්න සරණාගතයින් දැනටමත් දේශසීමාව හරහා පැමිණ ඇත.
“එය සාකච්ඡා කරන ලද සටන් විරාමයක් ලෙස හැඳින්වේ, නමුත් ඇත්ත වශයෙන්ම කිසිදු සාකච්ඡාවක් නොමැත,” යනුවෙන් ඇන්ඩෲ පවසයි. “අසර්බයිජානයට විශාල වශයෙන් ඉහළ වාසියක් ඇත, එබැවින් සාකච්ඡා කළ යුතු එකම දෙය වන්නේ අසර්බයිජානය භූමිය අල්ලා ගන්නේ කෙසේද සහ හමුදා නගරවලට ගිය විට සිදුවන්නේ කුමක්ද සහ ඔවුන් මිනිසුන්ට සලකන ආකාරයයි.”
2020 යුද්ධයේදී Azeris ප්‍රදේශවාසීන්ගේ හිස ගසා දැමීමේ වීඩියෝ දැක ඇති ජනතාව මෙවර කුමක් සිදුවේදැයි සොයා බැලීමට නොපැමිණෙන බව ඔහු පවසයි.
පසුගිය සඳුදා දින ඉන්ධන ගබඩාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මිය ගිය අතර, එම ස්ථානයෙන් ඉවත් වීමට පෙර තම මෝටර් රථවලට ඉන්ධන ලබා ගැනීමට මිනිසුන් පෙළ ගැසී සිටියදී එයට පහරදී ඇති බව ඇසින් දුටුවෝ පැවසූහ.
සරණාගතයින් දේශසීමා තරණය කරන විට ඔවුන් සමඟ කතා කරමින් කාලය ගත කළ ඇන්ඩෘ කියා සිටියේ ඔවුන් “ජීවිත පතා පලා යන” බව එම මිනිසුන් පවසන බවත්, තම ජනතාව ආරක්ෂා කිරීමට වැඩි යමක් නොකිරීම ගැන ජාත්‍යන්තර ප්‍රජාව කෙරෙහි ඔවුන් කෝපයෙන් සිටින බවත්ය.
“සෑම මිනිත්තු 10-15 කට වරක් කාර් සහ වෑන් රථ රැල්ලෙන් රැල්ලට එනවා,” ඔහු පවසයි. “ඔවුන් මිනිසුන්ගෙන් පිරී ඇති අතර ඔවුන්ගේ බඩු බාහිරාදිය වහලයට සවි කර ඇත. ඔවුන් කුඩා බස්රථවල බිම වැතිරීමට ළමයින්ට සලස්වා ෂෙල් වෙඩි වලට බියෙන් කාඩ්බෝඩ් වලින් ජනේල අවහිර කරති.
“මෙතරම් පිරිසක් මෙතරම් ඉක්මනින් පිටව යනු ඇතැයි කිසිවෙක් අපේක්ෂා කළේ නැත. එය ඓතිහාසික නික්මයාමක් වන අතර පිටව යන සෑම කෙනෙකුටම හද කම්පා කරවන කතාවක් ඇත.
ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ඥාතීන් මිය ගිය සහ ඔවුන්ගේ නිවාස විනාශ වූ පුද්ගලයින් සහ දින ගණනාවක් සැඟවී සිටීමට බල කෙරුණු තවත් අය සමඟ ඔහු කතා කර ඇත. “රුසියානු සාම සාධක භටයින් විසින් පාලනය කරනු ලබන ගුවන් තොටුපල පර්යන්තයේ බිම දින තුනක් නිදා සිටි 90 හැවිරිදි පුද්ගලයෙකුට මම කතා කළෙමි.”
දින හතරක් වයසැති බිළිඳෙකුගේ පියෙක් ඇන්ඩෘට පැවසුවේ, ඔහු තම නිවස ආරක්ෂා කිරීමට උත්සාහ කිරීමට පෙර, අලුත උපන් බිළිඳා සහ ඔහුගේ අනෙක් දරුවන් හය දෙනා නවාතැනකට ගෙන ගිය බවයි.
නාගෝර්නෝ-කරබාක් ජනයා යන්නේ කොතැනටද?
ආර්මේනියාව අවම වශයෙන් පුද්ගලයින් 40,000 කට ඉඩක් වෙන් කර ඇති බව පෂින්යන් පැවසූ නමුත් 120,000 ජනතාවගෙන් අතිමහත් බහුතරයක් “තමන්ගේ ජීවිත සහ අනන්‍යතාවය සුරැකීමට ඇති එකම මාර්ගය ලෙස තම මව්බිමෙන් පිටුවහල් වීම දකිනු ඇතැයි” ඔහු අපේක්ෂා කරන බවට අනතුරු ඇඟවීය.
මිලියන 3 කට අඩු ජනගහනයක් සිටින ආර්මේනියාවට සරණාගතයින් 100,000 ක් ඒකාබද්ධ කිරීමට හැකියාවක් නොමැති බව ඇන්ඩෘ පවසයි. “ඔවුන්ට නිවාස හෝ රැකියා සොයා ගැනීම දුෂ්කර වනු ඇත – එය යුරෝපයේ දොරකඩ තවත් සරණාගත අර්බුදයක ආරම්භය ලෙස පෙනෙන්නට පටන් ගෙන ඇත.”
සිංහල අනුවර්තනය: විල්ප්‍රඩ් සිල්වා
මූලාශ්‍රය: https://www.theguardian.com/world/2023/sep/27/first-edition-nagorno-karabakh