ලීනස් ජයතිලක නම් අප්‍රමාණ මිනිසා අපෙන් සමුගෙන ගෙවුණු වසර දෙකක කාලයට පසුවත් ඔහු නැවත නැවත කියවිය යුතු මිනිසෙක් බව නැවත නැවත පසක් වේ.
ලීනස් ජයතිලකගේ මෙහෙවර ගැන ලියවුණු “නිහඬ වූ පෙරළිකරුවෙකුගේ මාක්ස්වාදි පෙරැත්තය – ලීනස්” නම් ග්‍රන්ථය ඒ කියවීමට සඳහා ඉතා වැදගත් මූලාශ්‍රයකි.
පොතේ සංස්කාරක සුසිල් හෙට්ටිආරච්චිය. කාදිනල් මැල්කම් රංජිත්, කඹුරුගමුවේ වජිර හිමි වැනි ආගමික නායකයින් මෙන්ම තරුණ, වැඩිහිටි, ස්ත්‍රී, පුරුෂ ක්‍රියාධරයින් රැසකගේ ලිපි මෙහි ඇතුළත්ය.
මෙහි දැක්වෙන්නේ එම ග්‍රන්ථයට නොයෙල් පෙරේරා ලියු ලිපියකි.
අල්තාරයේ මා දුටු වාමවාදී ලීනස් පුදැදුරු
අපට ජීවිතයේ විවිධ මිනිස්සු මූණ ගැසෙති. ඔවුන් අතරෙන් අපගේ ජීවිත කෙරෙහි ආනුභාවාත්මක බලපෑමක් ලීනස් ජයතිලක සහෝදරයා මා කෙරෙහි මෙන්ම බොහෝ දෙනෙකු කෙරෙහි අනුභාවය පතුරුවා ලූ කම්කරු නායකයෙකු බවත්, ඔහු හඳුනා ගැනීම මගේ ජීවිතයේ ජනතාවාදී ආකල්ප පොහොණි කළ සන්ධිස්ථානයක් බවත් සඳහන් කරනුයේ මහත් ප්‍රීතියෙනි. මා මේ සඳහන් කරන්නට යන්නේ “අපේ ෆාදර්”, “සහෝදරයා” වීමේ අසිරිමත් කතාවයි.
ගරු ලීනස් ජයතිලක පියතුමා නම් වු කතෝලික පූජකවරයා ජා-ඇල මීසමේ එවක මීසම් පාලනාධිපති වූ කේ. විලියම් පෙරේරා පියතුමා අසනීපව සිටිය දී එම දෙව් මැදුරේ සහයට පැමිණි ඔහු පළමු වරට මා නෙත ගැටිණ. රැඳී සිටියේ කෙටි කලක් නිසා මට එතුමා දැන හඳුනා ගැනීමට නොහැකි වූවත් එතුමා සිය දේශනවලින් දේව වදනට නව අරුතක් ලබාදීමට උත්සාහ දැරූහ. තවම මා දෙසවන් හී රැව්පිළිරැව් දෙන මරියාවන්ගේ ප්‍රශංසා ගීතයට එතුමා දුන්නේ අපූර්ව අර්ථ කථනයකි. විවිධාකාර සමාජ ආර්ථීක පීඩනයන්ට ලක් ව සිටින ජන කොටස්වල විමුක්තිය හා අභියෝගය එහි ගැබ්වී ඇති බවයි.
එවක පාසල් සිසුවකුව සිටි මා ඔහුගේ දේශනයන් හී සැබෑ දේශපාලන අන්තර්ගතය සහ කිතුනු දූත මෙහෙවරෙහි අභියෝගය නිසි ලෙස වටහාගත්තේ මුහුකුරා ගිය කිතුනුවකු ලෙස පසු කාලයකය.
ජා-ඇල මීසමේ සිය තාවකාලික පත්වීම අවසන් කර ගිය ලීනස් පියතුමා පිළිබඳ මද කලකට පසු අසන්නට ලැබුණේ සමසමාජ කොමියුනිස්ට් පක්ෂයට බැදී පූර්ණ කාලීනයකු ලෙස ක්‍රියා කරන බවයි. කතෝලික පල්ලිය තුළ රජ කළ උග්‍ර කොමියුනිස්ට් විරෝධි පරිසරයෙහි හැදී වැඩුණු මට ලීනස් පියතුමාගේ “ අභිනිෂ්ක්‍රමණය” මහත් උභතෝකෝටිකයක් විය. පූජක ලෝගුව හැර යෑම සහ අදේවවාදී දර්ශනයක් මත පදනම් වූ දේශපාලන සංවිධානයක් සමග අනුගතවීම දෙවියන් අත්හැර සාතන් සරණ යෑමක් ලෙස එකල පොදු පිළිගැනීම අතිශයෝක්තියක් නොවේ.
වසර ගණනාවකට පසු නැවත ලීනස් ජයතිලක මට හමුවුණේ නව සමසමාජ පක්ෂයේ දේශපාලන වේදිකාව මතය.
ඒ මම ගාල්ලේ කලේගාන කුඩා දෙව්සත්හලින් පූජක දිවිය සඳහා පුහුණුව ආරම්භ කොට, බැංගලෝර් හා පැට්නා නගරවල පිහිටි ජේසු නිකායට අයත් ආයතනවල මූලික පුහුණුව ලබා ලංකාවට පැමිණ සිටි වකවානුවයි. මා වැඩිදුර නිරාවරණ දේශීය පුහුණුව සඳහා යවනු ලැබුවේ මඩකලපු නගරයටය. වාර්ග ික යුද්ධයේ ප්‍රචණ්ඩත්වය උපරිම තලයේ කැකෑරෙමින් තිබුණු එම යුගය වසරකට අධික කාලයක් සියැසින් දැක ගැනීමට හැකි විය.
සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා, මා දුටුවේ අකලට පරවී යන තරුණ ජීවිත පමණකි. එම අද්දැකීම් මට ලබා දුන්නේ මහත් කම්පනයකි. අපේක්ෂා භංගත්වයකි. කෙසේ වෙතත්, එම අපේක්ෂා භංගත්වයේ සිර නොවී, මනුෂ්‍යයෙකු, ලාංකිකයකු හා කිතුනුවකු වශයෙන් රට තුළ සිදුවූ ලේ වැගිරීම් හමාර කොට ආර්ථික, සමාජ-දේශපාලනික හා විවිධ වර්ගවාදි හා ආගම්වාදි ප්‍රශ්න නිසා භේදභින්න වු සමාජය කෙසේ සුවපත් කළ යුතු ද යන ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ දී මගේ දායකත්වය කුමක් වියයුතු දැයි මම ද විමසමින් සිටියෙමි.
ජේසු නිකාය තුළ පුහුණුව ලබමින් විමුක්ති දේව ධර්මය පිළිබඳ ලැබු ස්වයං අධ්‍යයනය මට ආලෝකයක් ද මග පෙන්වීමක්ද විය. එයින් මා ලද වැටහීම වූයේ කිතුනු ගැලවීම යනු වෙනකක් නොව, අන් අයගේ ජීවිත තුළ මාංශගතවීමට ලබන ඇරයුමක් බවත්, පීඩිත ජනතාවගේ අරගලයේ සවිඥානික පංගුකාරයන් වීම කිතුනු කැපවීමේ අත් නොහැරිය හැකි වගකීමක් බවත්ය. වෙනත් විකල්පයක් හෝ ආදේශකයක් නැත.
සමස්තයක් වශයෙන් ජාතික ප්‍රශ්නය පිළිබඳ කිතුනු ප්‍රජාව තුළින් මා දුටුවේ ශෝචනීය උදාසීනත්වයකි. ඔවුන් පෙරලා පහරදීම දුටුවේ බෙදුම්වාදයට එරෙහි යන සටනක් ලෙසය. ඔවුහු ඊට ආශිර්වාද කළා පමණක් නොව, එහි වියජග්‍රහණය පතා යාතිකා ද පැවැත්වූහ.
විශේෂයෙන් මා පූජක පුහුණුව ලද ආයතනවල මා දුටුවේ සීතල යුද්ධයකි. කලින් කලට සභා නායකයන් විසින් සාමය හා සංහිඳියාව පිළිබඳ ප්‍රකාශන නිකුත් කළත් ඒවා හුදු ප්‍රකාශනයන් ම පමණක් වු අතර, ජාතික ප්‍රශ්නයද කිතුනු ඇසින් බැලීමට හෝ වසර ගණනාවක් තිස්සේ යුද්ධය පැවැතුණ ප්‍රදේශවල ජීවත්වෙමින් සිය දූදරුවන්ගේ ජිවිත රැක ගැනීමට, මරණ මුඛයේ ජීවත් වු දස දහස් ගණන් ජීවිත දෙස සංවේදිව බැලීම හා ඒ වෙනුවෙන් සක්‍රීය ලෙස මැදිහත් වීමට එම ප්‍රකාශන කිසිදු මග පෙන්වීමක් නොකළේය.
වසර 10 කට ආසන්න පූජක පුහුණු කාලය තුළ ජාතික ප්‍රශ්නය හා අනෙක් දැවෙන සමාජ ප්‍රශ්න දෙස විවෘත, සුසංවේදි හා කිතුනු දෘෂ්ටියකින් බලා, හරවත් සංවාදයක නිරතවීමට අවකාශ නොමැතිවීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.
මෙම වකවානුවේ තුළ පූජකවරුන් දේශපාලනයේ නියුතුවීම අකැපය යන පසුගාමි මතය විශ්වීය මෙන් ම දේශීය සභා තුළ ප්‍රබලව ගොඩනැගෙමින් තිබුණු අතර, සිය ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සෘජු ව මැදිහත් වූ පූජක හා පැවිදිවරු සභාවේ උදහසට ලක් ව කතෝලික සභාවෙන් නෙරපන ලදහ. එවැන්නන්ට සිදුවූයේ ජනතාව සවිබල ගැන්වීමේ මෙහෙවර සභාවෙන් බැහැරව සිදු කිරීමය.
මා පූජක පුහුණුවෙන් සමුගන්නේ මෙවැනි අර්බුදකාරි මෙන් ම අතිශය ශෝචනීය ලෙස පසුගාමි පරිසරයක් තුළය. පූජක ජීවිතයේ මූලික හරය හා පවත්නා යථාර්ථය අතර පැවැතියේ අනන්‍යතා අර්බුදයකි.
කතෝලික පල්ලියේ පූජකතුමකු වු ලීනස් ජයතිලක වසර ගණනාවකට පසු මට හමුවන්නේ බැරැක්ක පටුමගෙහි නව සමසමාජ පක්ෂ කාර්යාලය තුළ “ලීනස් සහෝදරයා” වශයෙනි.
සුදු ලෝගුව රත් පැහැති කමිසයක ට රූපාන්තරණය වී තිබුණේ කතෝලික ධර්මය තුළ ගැබ් වූ විමුක්තිවාදි හරයත්, මාක්ස්වාදි දර්ශනයේ මානවවාදයත් සුසංයෝගී වූ පුද්ගල පෞරුෂයක් සමගිනි. පක්ෂ කාර්යාලයේ අවම පහසුකම්වලින් දිස් වූයේ, ගරු පියතුමා කටුක යථාර්ථයට මුහුණ දෙමින් “සහෝදරයෙකු” ලෙස ජන මෙහෙවරට කැපවී සිටි බවයි.
වසර හතළිහකට අධික කාලයක් වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුළ සක්‍රීය ලෙස දායක වු සහෝදරයාගේ මූලික කාර්යය වූයේ තම අයිතිවාසිකම් දිනා ගැනීමට කම්කරු පන්තිය සවිබල ගැන්වීමය. සටන් හා කේවල් කිරීම් තුළින් ස්ථීර මෙන් ම අනියම් සේවකයන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එදා මෙන් ම අදත් වෘත්තීය සමිති අරගලයේ යෙදෙමින් ලබාගත් ජයග්‍රහණ බොහෝය. කොවිඩ් වසංගතය සමග මතු වු තත්ත්වය තුළ ගෝලීය මෙන් ම දේශීය ධනවාදය උග්‍ර අර්බුදයකට මුහුණ දෙන විට සිය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ජනතාව සවිබල ගැන්වීමේ කර්තව්‍යය වෘත්තීය සමිති නායකයන් මුහුණ දෙන සෘජු අභියෝගයක් බව ලීනස් සහෝදරයා අවබෝධ කරගෙන ඇත. වර්තමාන වසංගත අර්බුදය තුළ බහු ජාතික සමාගම් හා නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව රැකියා අහිමිව, ජීවත්වීමට මගක් නොමැති කම්කරුවන් හට සමාජ සංරක්ෂණයන් හා විරැකියා ප්‍රතිලාභ ලබා ගැනීමේ අරගලය වෘත්තීය සමිති ඉදිරියේ ඇති දැවැන්ත අභියෝගයක් බව ලීනස් සහෝදරයා පිළිගනී.
අපේ මව්බිම අතුරුදහන්වූවන්ගේ භූමියක් ලෙස හැඳින්වීමට පෙළෙඹෙන්නේ මා ලද අද්දැකීම් ඇසුරිනි. උතුරේ මෙන් ම දකුණේ ද වැසියන් දහස් ගණනක් අතුරුදහන් කර ඇත. වගකිව යුත්තන් විසින් අතුරුදහන් කරවීම සාධාරණය කරන්නට බොහෝ විට පෙළෙඹවන්නේ අතුරුදහන්වූවන් සම්බන්ධව සිටි දේශපාලන සංවිධාන හා සන්නද්ධ කල්ලි පසුබිමය. කෙසේ වෙතත්, කෙනෙකු සතු ජීවත්වීමේ පරම අයිතිය තවත් කෙනෙකුට පැහැර ගත නොහැකිය යන සිද්ධාන්තය මත පිහිටා නව සමසමාජ පක්ෂය මැදහත්ව අතුරුදහන් වූවන්ගේ මව්පිය සංගමය පිහිටුවන ලද්දේ රාජ්‍ය හා වෙනත් සංවිධානවල අනුග්‍රහය ඇති ව සිදු වූ මෙම අපරාධවලට සම්බන්ධවූවන් නීතියේ රැහැනට හසු කර ගැනීමටත්, වින්දිතයන්ගේ යැපෙන්නන් සඳහා වන්දි ලබා ගැනීමත් අරමුණු කොට ගෙනය. එකී අරමුණු සාක්ෂාත් කරගැනීම ලීනස් සහෝදරයා ඇතුළු පක්ෂයේ නායක සහෝදරවරුන්ගේ සෘජු මැදිහත්වීම දේශීය හා විදේශීය යාන්ත්‍රණයන් හරහා සිදු කෙරිණ.
ලීනස් සහෝදරයා සක්‍රියව මැදහත් වු තවත් ක්ෂේත්‍රයක් වූයේ ස්වභාවික ගොවිතැන හරහා වු ආහාර නිෂ්පාදනය වර්ධනය කිරීම සහ ඊට අවශ්‍ය දැනුම ගොවීන්ට ලබා දීමටය.
එමෙන් ම කුඩා ඉඩම් හිමි ගොවින්ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමටද, ගොවීන්ට අවශ්‍ය බීජ සහ ජලය ලබා ගැනීම සඳහා ඔවුන් සංවිධානය කිරීමටද ඔහුගේ මැදිහත් වීම ප්‍රශස්තය. එම මැදිහත්වීම්වල අවසාන ඉලක්කය වූයේ බහු ජාතික සමාගම්වල කොල්ලකාරී වැඩපිළිවෙලට එරෙහිව සුළු ගොවීන් සංවිධානය කිරීමත්, ගොවීන්ට සාධාරණය ඉටුකර දීමත්ය.
දශක ගණනක් තිස්සේ ශ්‍රී ලාංකීක පීඩිත පන්තිය උදෙසා ලීනස් ජයතිලක සහෝදරයා ඉටුකළ මෙහෙය මෙබඳු කෙටි සටහනකට ලඝු කිරීම අතිශය දුෂ්කර කාර්යයකි. කෙසේ වෙතත් මෙහි සාරය වනුයේ පීඩිතයන් බල මුළු ගැන්වීමට ජීවිතයම කැප කළ පූජක ගිහියකුගේ අසිරිමත් කතාන්දරය ය.
ලීනස් සහෝදරයා පිළිබඳ ආවර්ජනයේදී නිතැතින් ම මතකයට පිවිසෙන්නේ සිය දූත මෙහෙවර අරඹමින් ජේසුතුමන් කළ නාසරෙත් ප්‍රකාශනයයි. “සමිඳාණන්වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසාද, දිළිඳුන් හට ශූභ ආරංචිය දේශනා කරනු වස්, උන්වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීම ද, අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්නටත්, පීඩිත වූවන් මුදන්නටත් සමිඳාණන්වහන්සෙගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්නටත් මා එවා වදාළ සේක.” ලීනස් ජයතිලක සහෝදරයා ජනතා කඳුළින්, සුසුමෙන් හා ඩාබිඳුවලින් ආලේපිත කම්කරු නායකයෙකි.
මිනිස් මූලික අයිතිවාසිකම්, ලිවීමේ හා අදහස් ප්‍රකාශනයේ අයිතිය, විරෝධය පෑමේ අයිතිය පාගා දමන ජනතාව අන්ධ හා වහල්භාවයෙහි තබන හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, මුක්තිය ලබාදීම වැනි මර්ධනකාරී පනත්වලට එරෙහිව නව සමසමාජ පක්ෂය අඛණ්ඩව සටනේ නිරත වූ අතර ලීනස් ජයතිලක සහෝදරයාගේ තිරසර හඬ ද පෙරමුණේ කසකරුවෙකුට සමාන විය.
එමෙන් ම ජාතිවාදය හා ආගම්වාදය පතුරුවමින් දකුණේ සිංහල බෞද්ධයන් මෙම දේශයේ ඒකායන උරුමක්කාරයන් හා භාරකාරයන් යැයි පවසමින්, සිංහල, බෞද්ධ ජනතාව ජාතිවාදී හා ආගම්වාදි විෂ දුමාරයෙන් අන්ධ කොට, අනෙකුත් වාර්ගික හා ආගමික ජන කොටස් බැහැර කිරීමට යොමු කරන මිථ්‍යාවාදී අමානුෂික චින්තනයට විකල්ප වශයෙන් අධ්‍යාපන වැඩ පිළිවෙලක් පක්ෂය විසින් රට පුරා ගෙන ගියේ නිදහස්මතධාරී, සවිඥානික සමාජයක් බිහි කිරීමටය.
ජන ඝාතන යුද්ධයට එරෙහිව දේශීය හා විදේශීය බලවේග ඒකරාශී කරමින්, ජාතික ප්‍රශ්නයට ප්‍රායෝගික හා සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා වු අරගලයේ පෙරමුණ ගනිමින්, උතුරේ හා දකුණේ පීඩිත ජනතාව ඒකරාශී කොට ප්‍රජාතන්ත්‍රවාදි අරගලය ඉදිරියට ගෙන යෑමට අංශයේ ප්‍රධාන ලේකම් වික්‍රමබාහු සහෝදරයා ගෙන ගිය වැඩපිළිවෙල තුළ ලීනස් සහෝදරයා යාවජීව සාමාජිකයකු විය.
ඔහු කතෝලික පූජක ජීවිතයෙහි සිට විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක පූර්ණකාලීනයකු බවට පත්වීම ක්‍රිස්තියානි ප්‍රජාව තුළ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ බවට සැකයක් නැත. කාල් මාක්ස් මෙසේ පවසති. “වෘත්තියක් තෝරා ගැනීමේදී අප සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණය නම් මානව වර්ගයාගේ ශුභ සාධනය හා අපගේ සේවයට තෘප්තිය ය. මෙම මාර්ගයන් දෙක එකිනෙකට ප්‍රතිවිරෝධි යැයිද, ඉන් එක අරමුණක් මුදුන් පත් කර ගැනීමට අනෙක නැති කර දැමිය යුතුය යන්නද වැරැදි අදහසකි. ඇත්ත වශයෙන් ම නම් මිනිසාගේ ස්වභාවය ගොඩනැගී ඇත්තේ කෙසේ ද යත්, ඔහුට ස්වයං තෘප්තිය මුදුන් පමුණුවා ගත හැක්කේ සිය සහෝදර ජනයාගේ ශුභ සාධනය සහ සුවය සඳහා ක්‍රියා කිරීමෙන් ම පමණි.”
ඔවුන් තව දුරටත් පවසනුයේ, මානව වර්ගයා වෙනුවෙන් ඉතාම ඵලදායක ලෙස ක්‍රියා කළ හැකි සමාජ ක්ෂේත්‍රයන් අපි තොරා ගත්තෙමු නම් කිසිම උවදුරකට අප පසුබට කළ නොහැකිය. මන්දයත්, මේ සියලු පරිත්‍යාගයන් මානව වර්ගයා උදෙසා ම කෙරෙන බැවිනි. එසේ වූ කළ අප අත්දකින සතුට පටු ආත්මාර්ථකාමි එකක් නොවනු ඇත. අපේ ක්‍රියාවන් ඵලදායී වනු ඇත. එවිට අප මරණයට පත්වූවත් අප භෂ්මාවශේෂ උතුම් මිනිසුන්ගේ කඳුළින් නැහැවෙනු ඇත. (1885 අගෝස්තු 10-16 දින අතර දි ලියන ලදි. මාක්ස් එංගල්ස් එකතු කළ කෘති, වෙළුම 01)
ලීනස් ජයතිලක සහෝදරයා එකී මාක්ස්වාදී ප්‍රතිපදාවෙහි තිරසාරව පිහිටා ක්‍රියා කරන්නකු බව ඔහුගේ සොඳුරු දිවිසැරිය විමසන කෙනෙකුට පැහැදිලිය.
සමාජයක් තුළ වඩා සුරක්ෂිත හා ගෞරවනීය කතෝලික පූජකවරයේ සිට වඩා අනාරක්ෂිත, පූර්ණ කාලීන විප්ලවාවදියකුගේ ජීවිතයකට පරිවර්තනය වීමට ලීනස් සහෝදරයා ගත් තීරණයත්, එහි ප්‍රතිඵලත් සුවඳවත් කරන්නේ මානවහිතවාදියකුගේ කතාන්දරය ය. ලීනස් සහෝදරයා සිය ජීවිතය කැප කළේත්, කැප කරමින් සිටින්නේද පීඩිත ජනතාවගේ විමුක්තිය උදෙසාය. ඔහු සත්‍යවාදි ක්‍රිස්තු අනුගාමිකයෙකි. අද අප සහෝදරත්වයෙන්, අභිමානයෙන් සහ මහත් ආදරයෙන් සමරන්නේ එවැන්නකුගේ සොඳුරු දිවිසැරියෙහි චමත්කාරය ය.