පරිසර දූෂනයේ මුල්ම සිත්තම්

ජගත් ගුණවර්ධන විසිනි

ප්‍රංශ උපස්ථිතිකවාදී (Impressionist)  සිත්තරුන් අතර මුල් පෙලේ සිටියද ආමන්ඩ් ගුයිලෝමින් (Armand Guillaumin)(1841-1927) ඉතිහාසය විසින් අමතක කර දමා තිබීම ඉතා කනගාටුදායක කරුනකි.ඉතා කැපවීමෙන් කටයු කල සහ අන් අය සමඟ සුහදත්වයෙන් මෙන්ම නව මංපෙත් සොයා යන්නට නිර්භීත වූ ඔහු පිලිඹඳව උපස්ථිතිකවාදය පිලිඹඳව කෙරෙන බොහෝ විස්තර වලින් ගිලිහී ගොස් තිබෙන බව පෙනේ.

කුඩා කල සිට චිත්‍ර කලාවේ නියැලුනු ගුයිලෝමින් වයස වසර 20 දී එරට දුම්‍රිය සේවයට එක්විය​.නමුත්,රාත්‍රී වැඩ මුරය ඉල්ලාගෙන දහවල් කාලය චිත්‍ර සඳහා යොදාගත් ඔහු ඒ කාලයේදී හඳුනාගත්  උපස්ථිතිවාදයේ පුරෝගාමීන් වන කැමිල් පිසාරෝ සහ පෝල් සෙසාන් ඇසුරින් තම ශිල්පීය කුසලතාවය සහ ශෛලිය ගොඩනගා ගැනීමට සමත්වී තිබේ.

උපස්ථිතිකවාදයට එම නම ලැබීම සිදුවූ 1874 ප්‍රදර්ශනය ඇතුලුව උපස්ථිතිකවාදීන් සාමුහිකව පැවැත්වූ ප්‍රදර්ශන අටෙන් හයකටම සහභාගි වූ ගුයිලෝමින් මුල්ම උපස්ථිතිකවඅදී ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ සැඳෑවක් නිරූපනය කරන Sunset at Ivry (Soleil couchant à Ivry) නම් සිතුවමින් (දෙවන ඡායාරූපය​) පෙන්නුම් කරන්නේ හිරු බැසගිය පසුව දිස්වන තද තැඹිලි පාට සහ තද නිල්පාට අහසක් සහ  කර්මාන්ත ශාලා වලින් නික්මෙන දුම්‍ රොටු අහසට මිශ්‍රවන ආකාරයත් වේ.ගුයිලෝමින් නම්  සිත්තරා ගැන මගේ කුතුහලය ඇතිකලේද මෙම සිතුවම වේ.උපස්ථිතිකවාදී සිත්තරුන් සියල්ලටම වාගේ වෙනස් ආකාරයෙන් කර්මාන්තකරනය නිරූපනය කල ඔහුගේ සිතුවම්  ගනනාවකම කර්මාන්ත ශාලා වලින් අහසට නික්මෙන දුම්‍රොටු නිරූපනය වේ.මේ අනුව බලන කල ප්‍රංශයේ වායු දූශනය මුලින්ම ප්‍රබල ලෙස නිරූපනය කල සිත්තරා වශයෙන් ගුයිලෝමින් හඳුන්වා දිය හැකි වේ.

ගුයිලෝමින් විසින්  1880 දශකයේදී පවත්වා ගෙන ගිය චිත්‍රාගාරය  නවක චිත්‍ර ශිල්පීන් නිතර රැස්වන අවකාශයක්වී තිබේ.1891 වසරේදී හෙවත් ඔහුගේ ජීවිතයේ 50 වන වසරේදී ලොතරැයියක් ඇදීමෙන් ලද මුදල් නිසා රැකියාවෙන් ඉවත්වී පූර්න කාලීන සිත්තරෙකු වීමේ භාග්‍යය ඔහුට හිමිව තිබේ.

පසු කාලීනව වෙනස් ආකාර වලින් තම සිතුවම් කලද​,ගුයිලෝමින් වඩාත් ප්‍රියකලේ දීප්තිමත් වර්න නිර්භයව යොදාගෙන භූමි දර්ශන නිරූපනය කිරීම කෙරෙහිය​.එසේම ඔහු තම ජීවිත කාලය තුලදී ඉතා විශාල ප්‍රදර්ශන ගනනාවක් පවත්වා තිබෙන ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙකු වී සිට තිබේ.

පසු කාලීන්ව ආමන් ඩ් ගුයිලෝමින් බොහෝ සෙයින් මඟ හැරී ගියේ කුමක් නිසාද යන ප්‍රහේලිකාවට මෙතෙක් පිලිතුරක් නොලැබුනද​,ඔහුගේ සිතුවම් අනසාරයෙන් මවිසින් ඉගෙන ගත් දේවල් බොහොමයකි.

Loading