විප්ලවයක් සිදු නොවූයේ ඇයි?

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

ඊනියා වාමාංශික ක්‍රියාකාරීන් හා මාක්ස්වාදීන් ලෙසින් තමන්ව හඳුන්වා ගන්නා අය පවා බොහෝ විට බලාපොරොත්තු සුන්වීම හා කලකිරීම මුසුව ප්‍රකාශ කරන්නේ: “බලන්න, සිදුවන්නේ මොන තරම් නරුම  දේවල්ද? ඒත් තවමත් විප්ලවයක් සිදු නොවන්නේ ඇයි?” යනුවෙනි. එවැනි ප්‍රශ්න අසන අයට,  ජනතා විඥානය හෝ මාක්ස්වාදීන් විසින් සමාජයේ මතුපිට පවතින පෙනුමට පහළින් වැඩෙන ප්‍රතිවිරෝධී බලවේග විනිවිද දැකීමට භාවිතා කරන අපෝහක විධික්‍රමය පිළිබඳව හෝ අවබෝධයක් නැති බව ඇලන් වුඩ්ස් මෙම ලිපියෙන් පැහැදිලි කරයි.

2022 මාර්තු මාසයේදී In Defense of Marxism සඟරාවේ පළ වූ මෙම ලිපිය ලෝක තත්ත්වය සහ විප්ලවයේ සැබෑ ගතිකයන් පිළිබඳ විශිෂ්ඨ විශ්ලේෂණයක් සපයයි. මෙම ලිපිය ලිවීමෙන් පසු ශ්‍රී ලංකාව, ඉරානය ඇතුළු තැන්වල ඇතිවූ ජනතා ගාමනයන් ඇලන්ගේ ප්‍රවාදය තහවුරු කරන භෞතික සාක්ෂි ලෙසින් පවතී.

විප්ලවවාදීන්ට සහ ක්‍රියාකාරීන්ට විප්ලවයේ ගතිකයන් පිළිබඳ අවබෝධය බෙහෙවින් වැදගත් වන හෙයින්, ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාවයේ ඇලන් වුඩ්ස් විසින් ලියන ලද මෙම ලිපිය කොටස් තුනකින් යුතුව ප්‍රකාශයට පත් කිරීමට අපි තීරණය කර ඇත්තෙමු. මෙය එම ලිපි මාලාවේ අවසාන කොටසයි.

මෙයට කලින් කොටසට ප්‍රවේශ වීම සඳහා පහත යොමුව භාවිතා කරන්න.

https://m.facebook.com/100077556467839/posts/205696398692241/?mibextid=Nif5oz

…………………………………………………………………………………………………………………………………………………………….

ග්‍රීසියේ සිදුවීම

කැළඹිලි සහිත කාලපරිච්ඡේදයක් වූ  1930 ගණන්වලදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බහුජන සංවිධාන මෝරා තිබූ තත්වයක පැවතුනි. 1929 වෝල් ස්ට්‍රීට් කඩාවැටීමෙන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය, එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ මහා විරැකියාව සහ යුරෝපයේ ෆැසිස්ට්වාදයේ නැගීම විසින්, “ප්‍රතිසංස්කරණවාදය සහ මාක්ස්වාදය අතර පැතිරී ඇති බොහෝ විවිධාකාර ප්‍රවණතා සහ කණ්ඩායම් සඳහා පොදු නමක්” ලෙසට ට්‍රොට්ස්කි විස්තර කර ඇති මාක්ස්වාදීන් විසින් “මධ්‍යමිකවාදය” ලෙසට හඳුන්වන ප්‍රපංචය ඇති කළේය.

කෙසේ වෙතත්, වර්තමාන කාල පරිච්ඡේදය තුළ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහල ස්ථර විසින් 1930 ගණන්වලදී මෙන් සමාජය තුල ඇති විප්ලවවාදී ධාරාව පිළිඹිබු නොකරයි. ස්පාඤ්ඤයේ Podemos, ග්‍රීසියේ SYRIZA වැනි ව්‍යාපාර සහ ප්‍රංශයේ Mélenchon පිටුපස ඇති ගාමනයන් අඩ වශයෙන් හෝ පිලිබිඹු කළේ වර්ධනය වෙමින් පැවති අතෘප්තියයි. එහෙත් ඔවුන් සියල්ලන්ටම පැවතියේ ව්‍යාකූල දේශපාලන ස්ථාවරයක් වූ අතර, ඒවා 1930 ගණන්වල පැවති මධ්‍යමික ධාරාවල දියාරු පිළිබිඹුවක් පමණක් විය.

ග්‍රීසිය සම්බන්ධයෙන් ගත් කල, සමාජ අර්බුදය තීව්‍ර වූ තත්ත්වයන් යටතේ, ස්ටාලින්වාදී කොමියුනිස්ට් පක්ෂයෙන් (KKE) දකුණට වූ බෙදීමකින් මතු වූ කුඩා වාම පක්ෂයක් වූ SYRIZA, පැවති සම්ප්‍රදායික බහුජන ප්‍රතිසංස්කරණවාදී පක්ෂය වූ PASOK ජනතාව ඉදිරියේ බොහෝ දුරට අපකීර්තියට පත්ව තිබීම නිසාවෙන් වේගයෙන් වර්ධනය විය. දක්ෂිනාංශික “නව ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්”ට එරෙහි දැවැන්ත ජයක් ලබමින් 2015 ජනවාරියේදී SYRIZA බලයට පත් විය.

2008 අර්බුදයෙන් පසු, ග්‍රීසිය බංකොලොත් භාවයේ අද්දරට ඇදෙමින් තිබුණි. එය යුරෝපීය ණය අර්බුදයෙන් දැඩි ලෙසම පීඩාවට පත් වූ රටවල් අතර විය. යුරෝපා සංගමය, IMF සහ යුරෝපානු මහ බැංකුව ග්‍රීසිය මෙම ණය අර්බුදයෙන් මුදා ගැනීමට ඉදිරිපත් වූ නමුත්, ඒ වෙනුවෙන් ග්‍රීසියට දැවැන්ත ලෙස මහජන සුභසාධන කප්පාදු කිරීමට සිදුවිය. “නව ප්‍රජාතන්ත්‍රවාදී” හා PASOK ආණ්ඩුවලට ප්‍රතිවිරුද්ධව, SYRIZA පක්ෂය මෙම කප්පාදු කිරීම් අවසන් කිරීමට පොරොන්දු වුවත් ධනේශ්වර අර්බුදයේ පදනම මත එය කළ නොහැකි දෙයක් විය.

යුරෝපීය බලවතුන් මෙය දුටුවේ තර්ජනයක් ලෙසටය. එහි ආදර්ශය අනුගමනය කිරීමට පෙළඹිය හැකි ස්පාඤ්ඤයේ Podemos වැනි අනෙක් අයට අනතුරු ඇඟවීමක් ලෙසින් SYRIZA කුඩුපට්ටම් කිරීම කරා ඔවුන් යොමු විය. හැකි සෑම ආකාරයකින්ම වාමගාමී රජය අඩපණ කර විනාශ කිරීමට ඔවුන් අදිටන් කොට සිටීය. මෙම තත්ත්වයන් යටතේ, පැවති කප්පාදුවට එරෙහිව ආණ්ඩුවේ සහාය පිණිස ජනතාව බලමුලු ගැන්වීම වෙනුවෙන් ජනමත විචාරණයක් කැඳවීම නිවැරදිම තීරණය විය.

2015 ජූලි 5 ජනමත විචාරණයේදී 61% ක් ඡන්දය දී තිබුණේ යුරෝපා සංගම් නායකයින් විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි වලට විරුද්ධව වූ අතර එම කොන්දේසි තීරණාත්මක ලෙසම ප්‍රතික්ෂේප කොට තිබුණි. මෙම ප්‍රබල ප්‍රතිඵලය සැලකීමට ගත්විට, ග්‍රීක කම්කරු පන්තියේ සටන්කාමීත්වය ගැන සැක කිරීමට තරම් එඩිතර බවක් කිසිවකුටත් නොතිබුණි. කම්කරුවන් පමණක් නොව, නායකත්වය ලබා දීමට සිටි අය හැර, සමාජයේ අනෙක් සෑම ස්ථරයක්ම සටන් කිරීම වෙනුවෙන් පෙළ ගැසී සිටීය.

සිප්‍රස් මාක්ස්වාදියෙකු වී නම්, ඔහුට සමාජ ක්‍රමය වෙනස් කිරීමට එම ව්‍යාපාරය යොදා ගත හැකිව තිබුණි බැංකුවල හා කම්හල්වල බලය ලබා ගන්නා ලෙසට කම්කරුවන්ගෙන් ඉල්විය හැකිව තිබුණි. 1917 විප්ලවයෙන් පසු රුසියානු කම්කරුවන් දුෂ්කරතා පිළිගැනීමට සූදානම්ව සිටියාක් මෙන්, ග්‍රීසියේ ජනතාවද එය භාර ගැනීමට සූදානම්ව සිටියෝය.

ජාත්‍යන්තරවාදී ආයාචනයකින් බලගැන්වුණු විප්ලවවාදී ප්‍රතිපත්තියක්, සෙසු යුරෝපයේ හා ලෝකයේ කම්කරුවන් අතර ඉතා විශාල බලපෑමක් ඇති කළ හැකිව තිබුණි. එසේ වී නම්, ස්පාඤ්ඤයේ, ඉතාලියේ, ප්‍රංශයේ සහ අනෙක් රටවල ජනතාව, ග‍්‍රීසියේ පීඩිත ජනතාවගෙන් ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා කෙරෙන ආයාචනයකට උද්‍යෝගයෙන් යුතුව ප‍්‍රතිචාර දක්වනු ඇත. බැංකුකරුවන්ට සහ ධනපතියන්ට ආරක්‍ෂාකාරී ස්ථාවරයකට පසු බැසීමට බලකරමින්, සෑම තැනකම විප්ලවවාදී ශක්‍යතාවලට දොරගුළු විවර කරන පෙලපාලි සහ වැඩ වර්ජන ඇති විය හැකිව තිබුණි.

අවසානය දක්වා සටන් කරන්නේද නැතිනම් නින්දිත පරාජයක් අත්විඳින්නේද යන  ප්‍රශ්නය ඍජුවම ඉදිරිපත් විය. වාම ප්‍රතිසංස්කරණවාදීන් කිසිවිටකත් අවසානය දක්වා සටන් කරන්නේ නැත. ඔවුන් සෑම විටම විරෝධයේ අවම මාවත සොයා යන අතර පාලක පන්තිය සමඟ සම්මුතියක් ඇති කර ගැනීමට උත්සාහ කරයි. SYRIZA වෙනුවෙන් සහභාගී වූ සාකච්ඡාකරුවන් වචන සමඟ ක්‍රීඩා කිරීමටත්, සාකච්ඡා ප්‍රමාද කිරීමටත්, කිසිවක් විසඳාගත නොහැකි මධ්‍යස්ථ විසදුම් ඉදිරිපත් කිරීමටත් උත්සාහ කළහ. එහෙත් අනෙක් පාර්ශවය තුළ සම්මුතියකට උනන්දුවක් නොවීය.

අවසානයේදී යුරෝපීය ධනේශ්වරය ඔවුන්ගේ තුරුම්පුව සෙල්ලම් කළහ. සටන හෝ යටත් වීම පිළිබඳ පැහැදිලි තෝරා ගැනීමකට මුහුණ දුන් සිප්‍රස් තෝරාගත්තේ දෙවැන්නයි. ජනමත විචාරණයේදී ග්‍රීක ජනතාව විසින් තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප කරන ලද කොන්දේසිවලට වඩා දැඩි කොන්දේසි ඔහු පිළිගත්තේය. මෙම පාවා දීමෙන් පසුව, සිප්‍රස් සහ ඔහුගේ කණ්ඩායම බ්‍රසල්ස් සහ බර්ලිනයේ නියෝග වහල් ලෙසින් පිළිගත්හ. මේ සමග බලාපොරොත්තු සුන් වීමත් කලකිරීමත් සමග කෝපයේ රැල්ලක් මතු විය.

වාම ප්‍රතිසංස්කරණවාදී ව්‍යාකූලත්වයේ නොවැළැක්විය හැකි ප්‍රතිවිපාකය එයයි.

Podemos

අතීතයෙන් පැහැදිලි බිඳීමක් සොයමින් සිටි මහජනතාව තුළ වෙනසක් වෙනුවෙන් පැවති දැවෙන වුවමනාව පිළිබිඹු කරමින් ස්පාඤ්ඤයේ Podemos ද, SYRIZA ලෙසින්ම කෙටි කාලයක් තුළදී, බහුජන බලවේගයක් බවට පත් විය.

Podemos හි ප්‍රධාන නායකයන් හට වෙනිසියුලාවේ බොලිවේරියානු විප්ලවයේ බලපෑම තිබුණි. එහෙත් එහි පැවති ශක්තියෙන් පාඩම් – එඩිතර ලෙස විප්ලවවාදී පණිවුඩයක් සමඟ ජනතාව බලමුලු ගැන්වීමේ අවශ්‍යතාවය – උකහා ගැනීමට ඔවුන්ට මුළුමණින්ම නොහැකි විය.

ඒ වෙනුවට, ඔවුන් ඉන් ලබාගෙන තිබුණේ එහි න්‍යායික පැහැදිලිකමක් නොමැතිකම, එහි පැවති නොපැහැදිලි පණිවිඩය සහ විප්ලවය අවසානය දක්වා සිදු කිරීම ප්‍රතික්ෂේප කිරීම වැනි බොලිවේරියානු ව්‍යාපාරයේ දුර්වලම පැත්ත පමණි. වෙනත් ලෙසකින් කියන්නේ නම්, අවසානයේ වෙනිසියුලානු විප්ලවය කඩාකප්පල් වීමට හේතු වූ ඍණාත්මක ලක්ෂණ ඔවුන් උකහාගෙන තිබුණි.

Podemos විසින් මිලියන සංඛ්‍යාත ජනයාගේ බලාපොරොත්තු අවදි කළේය. එහි නායක පැබ්ලෝ ඉග්ලේෂියස්ගේ රැඩිකල් කථිකත්වයට ස්තූති වන්නට Podemos ජනප්‍රිය නොවූ කණ්ඩායමක සිට මත විමසුම්වල පළමු ස්ථානයට පත් විය. නමුත් ඔවුන් බලයට පැමිණීමට ආසන්න වන විට, පැබ්ලෝ ඉග්ලේෂියස් සහ Podemos අනෙකුත් නායකයින් ඔවුන්ගේ පණිවිඩයේ හඬ වෙනස් කළහ.

සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී PSOE වමෙන් ඉස්සර කිරීම වෙනුවෙන් සටන් කරනවා වෙනුවට, PSOE සමග වූ සභාග ආන්ඩුවක සුළුතර හවුල්කරුවන් ලෙස අමාත්‍ය ධුර භාර ගැනීමෙන් ඔවුන් සෑහීමකට පත් විය. රැඩිකල් ලෙස ධනවාදයෙන් බිඳෙනවා වෙනුවට, ඔවුන් ස්පාඤ්ඤ ධනවාදය තුළ පැවති අර්බුදය කළමනාකරණය කිරීම එහි ප්‍රධාන කර්තව්‍යය ලෙස සැලකූ රජයක කොටස් කරුවන් විය.

අමාත්‍ය ධූර කිහිපයක් වනුවෙන්, Cadizගි වැඩ වර්ජනයේ යෙදුණු ලෝහ කම්කරුවන්ට එරෙහිව කැරලි මර්ධන පොලිසිය යැවීමේ සම වගකීම දැරූ අදටත් Unidas Podemos (UP) ලෙස හදුන්වන පක්ෂය, අද වන විට, ජනතා සුභසාධන කප්පාදු කිරීමේ කොන්දේසි සමඟින් පැමිණෙන යුරෝපීය අරමුදල් කළමනාකරණය කරමින් සිටී.

එහි ප්‍රතිඵලයක් ලෙස, UP සඳහා වන සහයෝගය පහත වැටී, පක්ෂය නිරන්තර අර්බුදයක පවතින අතර එහි ක්‍රියාකාරී පදනමෙන් වැඩි ප්‍රමාණයක් එයට අහිමි වී ඇත. දැන් එය ආරම්භයේදී බලාපොරොත්තු වූ දෙයෙහි පිට පොත්ත පමණක් බවට පත්ව ඇත. ව්‍යාපාරයට ආවේණික වූ විප්ලවවාදී විභවය අපතේ යවා ඇති එය, පුළුල් මට්ටමින් වඩාත් දියුණු කම්කරුවන් හා තරුණයන් අධෛර්යයට පත් කොට ඇත. වාම ප්‍රතිසංස්කරණවාදයේ තාර්කික ප්‍රතිඵලය මෙයයි

මුහුණුවර වෙනස්වීම

ජාත්‍යන්තර ස්වභාවයක් ඇති වත්මන් අර්බුදය – අතීතයේ පැවති අර්බුදවලට වඩා ගුණාත්මකව වෙනස්ය. පසුගිය වසර දෙක තුළ, මිලියන ගණනක් සාමාන්‍ය ජනතාව සෙමින් නමුත් නිසැකවම නිගමනවලට එළඹෙමින් ඇත. සෑම තැනකම, මතුපිටින් පෙනෙන නිශ්චලතාවයට යටින්, දැවැන්ත ලෙස පවතින්නේ අතෘප්තියයි. නොසන්සුන්බව, කෝපය, අසාධාරණය පිළිබඳ දැවෙන හැඟීම සහ සියල්ලටත් වඩා, කලකිරීම – දරාගත නොහැකි කලකිරීම වැනි මනෝභාවයන් විසින් ජනතාව පෙළමින් ඇත.

ඔවුන් තම සුසුම් සමඟ සෙමෙන් කොඳුරමින් සිටින නමුත් එය කියා සිටින්නේ පවතින තත්වය තව දුරටත් ඉවසිය නොහැකි බව‍යි. පවතින සමාජය තුළ තදබල වරදක් ඇති බවට වන අදහස වේගයෙන් ගොඩනැගෙමින් පවතී. ක්ෂනිකව, නීතියක් ලෙස, ඔවුන් තවමත් ස්ථාපිත නියෝගයට එරෙහිව සෘජු පියවර ගැනීමට සූදානම් නැත.

වැඩි කල් යන්නට මත්තෙන්, අවශ්‍ය නායකත්වය ඇතිව හෝ නැතිව, ඔවුන් තම ඉරණම තමන් අතට ගැනීමට ක්‍රියා කරනු ඇත. අපි දැනටමත් මේ සඳහා ඕනෑ තරම් උදාහරණ දැක ඇත්තෙමු. පසුගිය වසර කිහිපය තුළ චිලී, සුඩානය, මියන්මාරය, ලෙබනනය, හොංකොං සහ තවත් බොහෝ රටවල ඇතිවූ බලවත් විප්ලවවාදී හෝ පූර්ව විප්ලවවාදී ව්‍යාපාර අපි දැක ඇත්තෙමු.

පාලක පන්තිය අනතුර ගැන දන්නා අතර ප්‍රාග්ධනයේ මූලෝපායන් සකසන්නන් විසින් ඉදිරි වසර සඳහා අසුභ අනාවැකි පළ කරති. කෙටි කාලයකට කොරෝනා වයිරසය කම්කරුවන්ගේ ගාමනයට බාධාවක් විය. එහෙත් දැන් පන්ති අරගලය පෙරට එන ලකුණු පහළ වී ඇත. ඉහළ යන මිළ ගණන් සහ පහත වැටෙන ජීවන තත්වයන් වැඩ වර්ජන වැඩි වීම සඳහා උත්තේජනයක් ලෙස ක්‍රියා කරයි.

වසංගතය තුළ පාලක පන්තිය ප්‍රදර්ශනය කළ නරුමත්වය, කෑදරකම සහ ආත්මාර්ථකාමිත්වය හෙලිදරව් වීමත් සමඟ ජාතික සමගිය සඳහා වන වාචාල ආයාචනා ගැන සැක සංකා මතුව ඇත. ක්‍රමාණුකූලව ගොඩනැගෙමින් තිබූ කලකිරීමේ සහ කෝපයේ මනෝභාවයක් දැන් කරළියට පැමිණෙමින් ඇත. පවතින තත්ත්වය සහ පවතින ආණ්ඩු සහ නායකයන් සඳහා වන සහයෝගය ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතී. නමුත් මේ සියල්ල සාර්ථක සමාජවාදී විප්ලවයකට ස්ව්‍යංව මඟ පාදන්නේ නැත.

ට්‍රොට්ස්කි ස්පාඤ්ඤ විප්ලවය ගැන වරක් පැවසුවේ ස්පාඤ්ඤ කම්කරුවන්ට වරක් නොව දස වතාවක් බලය ලබා ගත හැකිව තිබූ බවයි. එහෙත්, ප්‍රමාණවත් නායකත්වයක් නොමැතිව, වඩාත්ම උද්වේගකර වැඩ වර්ජනයකට පවා කිසිවක් විසදන්නට නොහැකි බව ඔහු පැහැදිලි කළේය.

දුගු කාලයක් පුරා ඇදෙන විප්ලවය සහ ප්‍රතිවිප්ලවය

1920 – 1930 ගණන්වල සහ වර්තමාන තත්ත්වය අතර බොහෝ සමානකම් පවතී. නමුත් වැදගත් වෙනස්කම්ද පවතී. දෙවන ලෝක සංග්‍රාමයට පෙර, පූර්ව විප්ලවවාදී තත්වයන් දිගු කලක් පැවතිය නොහැකි වූ අතර, විප්ලවය හෝ ප්‍රතිවිප්ලවය (ෆැසිස්ට්වාදය) යන එක දිශාවකට ඒවා ගමන් කළේය.

නමුත් තවදුරටත් එය එසේ නොවනු ඇත. එක් අතකින් පාලක පන්තියට අතීතයේ පැවති ප්‍රතිගාමිත්වයේ බහුජන සමාජ පදනම නොමැත. අනෙක් අතට, කම්කරු සංවිධානවල අති විශාල පරිහානිය විසින් නිර්ධන පංතිය බලයට පත්වීම වළක්වාලන ශක්තිමත් බාධකයක් ලෙස ක්‍රියා කරයි. එබැවින් වත්මන් අර්බුදය දිගු කලක් පවතිනු ඇත. ඉහල පහල යමින්, එය වසර කිහිපයක් පැවතිය හැකිය. කෙසේ වෙතත් එය කොපමණ කාලයක් පවතීදැයි නිශ්චිතව කිව නොහැක.

අර්බුදය දිගු කලක් පවතිනු ඇතැයි අප පවසන විට, එය සාමකාමී සහ සන්සුන්ව පවතිනු ඇති බවක් කිසිසේත් අදහස් නොවේ. එය ඊට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධය! නූතන ඉතිහාසයේ වඩාත්ම කළහකාරී සහ කැළඹිලි සහිත කාල පරිච්ඡේදයකට අප පිවිසී ඇත. මෙම අර්බුදය රටකින් තවත් රටකට ගමන් කරනු ඇත. කම්කරු පන්තියට බලය ලබා ගැනීමට බොහෝ අවස්ථා ලැබෙනු ඇත.

හදිසි හා තියුණු වෙනස්කම් විසින් පැය 24 ක අවකාශය තුළ පරිවර්තනයන්  කල හැකි තත්වයන් ඇති කරනු ඇත. ඒ සමඟම පැරණි ක්‍රමවේදන් එලෙසින්ම භාවිතා කරමින් අප නිශ්විත රටාවකට ඇද වැටීමේ අනතුරක් අප හමුවේ ඇති අතර, ඒ තුළ අපට ලැබෙන නව අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වීමේ හැකියාවක් ඇති බවද අප අවංකවම පිළිගත යුතුය.

IMT ගොඩනඟමු!

අපට යතාර්ථයට මුහුණ දීමට සිදුවේ. අපට මෙහිලා පැහැදිලි කළ නොහැකි විෂයබද්ධ කරුණු ගණනාවක් විසින් ස්වයංබද්ධ සාධකය බොහෝ පසුපසට ඇද දමා ඇත. ස්වයංබද්ධ සාධකය කළල ස්වරූපයකින් හෝ සංවිධිත තත්ත්වයකින් පවතින්නේ ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවනතාවයේ සාමාජිකත්වය තුළය.

IMT විසින් ආකර්ෂණීය ජයග්‍රහණ ලබා ඇත. බොහෝ කලකට පෙර මාක්ස්වාදය අතහැර දැමූ අනෙකුත් සියලුම ඊනියා වාම කණ්ඩායම් සෑම තැනකම කැඩී බිඳී යමින් අර්බුදයක නිමග්නව සිටියදී, සෑම රටකම අපි වර්ධනය වෙමින් සිටිමු.

න්‍යාය කෙරෙහි අපගේ නොසැලෙන ආකල්පය සහ තාරුණයන් කෙරෙහි අපගේ ඇති අවධානය අපගේ ප්‍රගමනයට හේතුවයි. ලෙනින් පවසා සිටියේ “තරුණයන් කොතැනද අනාගතය එතැනය” යනුවෙනි. එහෙත් අප අවම යයි සිතා සිටින විට අප ඉරියට පැමිණෙන දැවැන්ත අභියෝගවලට මුහුණ දීමට අප තවමත් සූදානම් නැති බව පිළිගත යුතුය.

ට්‍රොට්ස්කි 1931 නොවැම්බරයේදී මෙසේ ලිවීය: “වර්තමාන ලෝක තත්ත්වය තුල, කාලය යනු වුවමනා සම්පත් වලින් වටිනාම දෙයයි.” මෙම වදන් ඉතිහාසයේ අන් කවර කාලයකටත් වඩා අදට සත්‍ය වේ.

Loading