පසුගිය දින සිදුවූ තරුණ IT BPM වෘත්තිකයාගේ මෑත මරණය ‘සියදිවි නසා ගැනීමක්’ ලෙස සැලකිය නොහැකිය?

By Raju Prabath Lankaloka

තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලීන් කළමණාකරණ (IT / BPM) ක්‍ෂෙත‍්‍රය ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින ක්‍ෂෙත‍්‍රයක් ලෙස සැලකේ. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ IT / BPM කර්මාන්තය රටේ සියලු අපනයන ක්‍ෂෙත‍්‍ර අතරින් සැලකිය යුතු වර්ධනයක් ලබා ගත් බවද කියවේ. ඔවුන්ට අනුව, පසුගිය වසර 10 තුළ එම කර්මාන්තය 300% කට වැඩි වර්ධනයක් ලබා ඇති අතර, එය වෘත්තිකයන් 80,000 කට වැඩි සංඛ්‍යාවක් බඳවා ගෙන ඩොලර් බිලියන 1.2 ක ආදායමක් ලබමින්, ශ්‍රී ලංකාවේ සේවා අපනයනයන්ගෙන් 12% කට දායකත්වයක් ලබා දේ. 2022 වන විට එම සමාගම්වල අපනයනය ඩොලර් බිලියන 5 ක් වන බවටත්, එය සෘජු රැකියා 200,000 ක් නිර්මාණය කරමින් නව ව්‍යවසාය 1,000 ක් ආරම්භ කරන බවටත් ශ්‍රී ලංකාවේ මෘදුකාංග සේවා සපයන සමාගම් සඳහා වන සංගමය (SLASSCOM) පුරෝකථනය කොට ඇත.

කර්මාන්තය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන අනුව, එම අංශයේ සේවකයින් ඉතා හොඳ සේවා කොන්දේසි සහ ඉතා යහපත් වැටුප් සහිතව හොඳින් ජීවත්වන බවක් කෙනෙකුට සිතිය හැකිය. එහෙත් මෑතකදී වාර්තා වූ රාජකාරියේ පීඩනය හා ආතතිය දරාගත නොහැකිව එම අංශයේ සේවයේ නියුතුව සිටි තරුණයෙකුගේ සියදිවි නසා ගැනීම විසින් පෙන්වා ඇත්තේ, යථාර්ථය මුළුමනින්ම ඊට වෙනස් බවයි. එබැවින්, මෙම ක්‍ෂෙත‍්‍රයේ වර්ධනය වෙනුවෙන් වන්දි ගෙවන්නේ කවුරුන්ද යන්න වඩා ගැඹුරින් තේරුම් ගත යුතුව ඇත.

මෙම අංශය විසින් බොහෝ කුසලතා ඇති තරුණ සේවකයින්, විශේෂයෙන් පාසල් හැරගිය අය සහ තොරතුරු තාක්ෂණ අංශයේ නැවුම් උපාධිධාරීන් ආකර්ෂණය කර ගන්නා බව සත්‍යයකි. The SLASSCOM State of the industry වාර්තාවට අනුව: “ශ්‍රී ලංකාව තුළ තරුණ ජනගහනය වර්ධනය වන අතර වාර්ෂිකව සිසුන් 200,000 කට අධික සංඛ්‍යාවක් ශ්‍රම බලකායට බැඳීමේ හැකියාව සහිතව ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කරයි”. 2019 වන විට ශ්‍රී ලංකාවේ IT / BPM කර්මාන්තය තුළ 113,000 කට අධික සංඛ්‍යාවක් සේවය කළ අතර එම කර්මාන්තය විසින් ඩොලර් බිලියන 1.5 Bක ආදායමක් උපයා ඇත. කෙසේ වෙතත්, එහි සේවකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් බඳවා ගනු ලබන්නේ කොන්ත්‍රාත් පදනමක් මත හෝ සීමාවාසිකයින් ලෙසටය. එබැවින් මෙම සමාගම් බොහොමයක ස්ථිර ශ්‍රම බලකායක් නොමැත. එබැවින් මෙම කම්කරුවන්ගේ අවම වැටුප බෙහෙවින් පහළය.

ශ්‍රී ලංකාව තුළ මෙම අංශය සුපිරි සූරාකෑමේ අංශයකි. තරුණ කම්කරුවන් සූරාකෑම උපරිම කිරීම සඳහා මෙම අංශයේ සෑම සමාගමක්ම පාහේ විවිධාකාර ක්‍රියාවලීන් ස්ථාපිත කොට ඇත. කම්කරුවන්ගේ කාර්ය සාධනය අධීක්ෂණය කිරීම වෙනුවෙන් පරාමිතීන් විශාල ප්‍රමාණයක් භාවිතා කරන අතර ප්‍රමාණාත්මක හා ගුණාත්මක යන දෙආකාරයෙන්ම ඉලක්ක සපුරාලීම අධීක්ෂණය කරනු ලබයි. බොහෝ සමාගම් විසින් තනි පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට දී ඇති ඉලක්ක විටින් විට සශෝධනය කරනු ලබයි. කම්කරුවන්ට අඩු වැටුපක් ලබා දෙන බැවින්, ඔවුන් මූලික කාර්‍යසාධන දර්ශක (KPI) සපුරාලීම මත ඔවුන්ට යම් කොමිස් මුදලක් ලබා දෙයි. කෙසේ වෙතත්, මූලික කාර්‍යසාධන දර්ශක (KPI) සාක්ෂාත් කර ගැනීම කළ නොහැකි මට්ටමේ කාර්යයකි. සමාගම් විසින් නියම කර ඇති ඉලක්ක යථාර්ථවාදී නොවන අතර ඉලක්ක සපුරාලීමේ වගකීම සැමවිටම සේවකයා පිට පටවා ඇත.

මේ නිසා, මෙම සමාගම් ඇතුළත අතිශය තරඟකාරී වැඩ කිරීමේ පරිසරයක් නිර්මාණය කොට ඇත. තරඟකාරිත්වය ඇති කරන්නේ සම තත්ත්වයේ සේවකයන් අතරම‍ය. මේ වෙනුවෙන් සේවයට බඳවා ගත්දා සිට සේවකයන් පුහුණු කරමින් එය වෙනස්කළ නොහැකි දෙයක් බවට පත් කරයි. මෙම ආයතනවල සේවය කරන සේවකයන් මේසය මත කෙටි කෑමක් හා විශාල වතුර බෝතලයක් තබාගෙන මුළුමණින්ම පරිගණක තිරය තුළ නිමග්නව තමන්ට ලබාදී ඇති කාර්‍ය සම්පූර්ණ කිරීම සඳහා හැකි උපරිම උත්සාහයෙන් වැඩ කරන ආකාරය දැකිය හැකිය. කෘතිම බුද්ධියට වඩාත් මානවවාදී ස්වරූපයක් ලබා දීමට උත්සාහ කරන වත්මන් ලෝකය තුළම, මෙම සේවකයින් රොබෝවරුන් ලෙසින් සේවය කරන ආකාරය අපට දැක ගත හැකිය.

මෙම සමාගම් බොහොමයකට බහුජාතික සමාගම් සමඟ සම්බන්ධතා පවතී. විශාල ලාභ හඹායන මෙම දැවැන්තයින් තම ලාභ තවත් වැඩි කර ගැනීම සඳහා ඔවුන්ගේ ඇතැම් ක්‍රියාවලීන් බාහිර ආයතනවලින් කරවා ගන්නා අතර එහි මිළ ගෙවන්නේ ඒවායේ සේවය කරන කම්කරුවන්ය.

මෙම සමාගම්වල බොහෝ සේවකයන් විශාදය, ආතති‍ය, කාංසාව සහ තවත් බොහෝ මානසික රෝග ආදියෙන් පීඩා විඳිති. වර්ධනය කරන තරඟය විසින් කම්කරුවන් එකිනෙකාගෙන් වෙන් කරන අතර ඔවුන්ව පරත්වාරෝපනයට ලක් කරයි. ඔවුන්ගේ රැකියාව හෝ ඔවුන්ගේ අනාගතය පිළිබඳ ආරක්ෂාවක් නොමැති කම නිසා සේවකයන් ඉතා වෙහෙස මහන්සියෙන් සේවය කරමින් ආයතනයේ හොඳහිත දිනා ගැනීමට උත්සාහ ගනී. “වැඩි ආදායමක් වෙනුවෙන් වැඩි‍යෙන් මහන්සි වන්න” යන්න බොහෝ කම්කරුවන්ගේ ආදර්ශ පාඨය බවට පත්කොට ඇති අතර IT-BPM කර්මාන්තය තුළ පැය 8 ක වැඩ දිනය වැනි මූලික කම්කරු අයිතිවාසිකම් පවා කම්කරුවන්ට අහිමිය.

බොහෝ සමාගම් දිනකට පැය 8 කට වඩා වැඩි කාලයක් තම සේවකයින් සූරාකන නමුත් අතිකාල දීමනා ගෙවීමක් සිදු නොකරයි; සේවක අර්ථ අරමුදල් සහ සේවා නියුක්ති භාර අරමුදල් නොගෙවයි; ඇතැමුන් එසේ ගෙවුවද ඒවා ගණනය කරන්නේ රටේ නීතියට අනුව නොවේ. එහෙත් කම්කරු දෙපාර්තමේන්තුව සහ රජය සමාගම් හිමියන්ගේ මෙම නීති විරෝධී හා සුපිරි සූරාකෑමේ දුර්දාන්ත ක්‍රියා සම්බන්ධයෙන් ඇසිපිය ගැසීමක් හෝ නොකරයි.

COVID-19 වසංගතය විසින් මෙම තත්ත්වයන් තවත් නරක අතට හැරවීය. වසා දැමීම් සමඟ, IT-BPM අංශය, නැවත වැඩ ආරම්භ කරන ලද්දේ (WFH) සේවකයින් නිවසේ සිට වැඩකරන ක්‍රමය ඔස්සේය. මෙය ඔවුන්ට වඩාත් ලාභදායී බව සමාගම් ඉක්මනින් වටහා ගත්තේය. COVID හේතුවෙන් පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කිරීමෙන් පසුව පවා, මෙම ආයතන සේවකයින් සඳහා වෙන් කළ යුතු යටිතල පහසුකම්, ප්‍රවාහනය හා කාර්ය මණ්ඩලයට ලබාදිය යුතු අනෙකුත් පහසුකම් වැනි අත්‍යවශ්‍ය දේ සඳහා වන වියදම් බොහෝ දුරට අඩු කරන බැවින් WFH හරහා දිගටම සිය කටයුතු කරවා ගන්නට විය.

සේවකයෙකු කාර්යාලයේ සිට වැඩ කරන විට, විදුලිය, ජලය, සනීපාරක්ෂක පාහසුකම් සහ සේවකයා භාවිතා කරන වෙනත් උපකරණ සමඟ වැඩ කරන පරිශ්‍රය නිසි ලෙස පවත්වා ගැනීමට සමාගම බැඳී සිටියේය. එහෙත්, නිවසේ සිට වැඩ කරන විට, සේවකයන්ට ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා තීරණාත්මක මෙම සේවාවන්හි වියදම් තමන් විසින්ම දරා ගැනීමට සිදුවිය. අනෙක් අතට, (විදුලිය බිඳ වැටීම්, සන්නිවේදන පහසුකම් ඇණ හිටීම් වැනි) සේවකයින්ට වළක්වා ගත නොහැකි තත්වයන් නිසා සේවයෙන් ඉවත් වීමට සිදු වූ විට පවා, ඔවුන්ගේ වැඩ කාලය දීර්ඝ කරන ලෙස සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය. නිදසුනක් වශයෙන්, විදුලි බිඳ වැටීමකදී කාර්‍යාලයේ සිට සේවය කළ අයෙකුගෙන් ඔහුගේ කාර්යයන් සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඔවුන්ගේ වැඩ කරන කාලය දීර්ඝ කිරීමට ආයතනවලට නොහැකි විය. එහෙත්, WFH තත්වයන් තුළ, විදුලිය කපා හැරීම හේතුවෙන් අහිමි වූ පැය ගණන පියවා ගැනීම සඳහා කම්කරුවන්ට ඔවුන්ගේ වැඩ කරන කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටී.

මෙම අංශය තුළ සේවා කොන්දේසි අතිශයින්ම අමානුෂික වුවත්, කම්කරුවන් තම රැකියාව ආරක්ෂා කර ගැනීම ගැන වැඩි සැලකිල්ලක් දක්වයි. විශේෂයෙන් අර්බුදකාරී තත්වය තුළ ඔවුන් තම හාම්පුතුන්ගෙන් ප්‍රශ්න නොකරයි. යථාර්ථයේදී එය වහල්භාවයට වඩා වෙනස් නොවේ. එසේම, වැඩ කිරීමට හොඳම ස්ථානය තම සමාගම බවට මිත්‍යාවක්ද කම්කරුවන්ගේ මනස තුළ නිර්මාණය කරයි. සේවක සමීක්ෂණවල සිට වැඩ කිරීමට හොඳම ස්ථාන හඳුනා ගැනීම, වාර්ෂිකව “විශිෂ්ඨතම සේවා ස්ථානයට” සම්මාන ප්‍රදානය කිරීමේ උත්සව, පුහුණු සැසි සහ සේවය හා ජීවිතය අතර සමතුලිතතාවය පිළිබඳ කරන පුහුණු කිරීම් ආදියෙන් සමාගම් සේවකයන් ගැන සැලකිලිමත් වන බවට කරන බොරු ආටෝපවලින් සේවකයින් මුලා කරනු ලබයි. යථාර්ථය ඒවායින් බොහෝ දුරස්ය.

සමාගම් විසින් ආයතනික සමාජ වගකීම (CSR) වෙනුවෙන් වන ක්‍රියාකාරකම්, කණ්ඩායම් හැඟීම වර්ධනය කරන ක්‍රියාකාරකම්, ක්‍රීඩා තරඟ, සාද සහ වෙනත් සෑම ක්‍රියාවක්ම සංවිධානය කරන්නේ ඔවුන් ප්‍රජාව හා සේවකයන් ගැන තැකීමක් කරන්නේය යන ව්‍යාජය සේවකයන්ට ලබා දීමටය. එහෙත්, මෙම සේවකයන් බහුතරයකට මෙම ක්‍රියාකාරකම් වලින් කිසිඳු අර්ථයක් නොමැත; හොඳම තත්ත්වය තුළදී ඒවා දරාගත හැකිය හැක; වඩාත්ම නරක තත්ත්වයේදී ඒවා දිගටම පවතින හිංසනයකි.

යථාර්ථය නම්, කම්කරුවන් පරත්වාරෝපනයට ලක්ව තිබීමත් ඔවුන් එකිනෙකා තරඟකරුවන් බවට පත්කොට තිබීමත්ය. සැබවින්ම කම්කරුවන් සංවිධානගත වීමට ඇති සෑම අවස්ථාවකටම බාධා පමුණුවා ඇත ඇත. වෘත්තීය සමිති ඇතිකිරීමට මොවුන් සේවකයන් අධෛර්යමත් කරන අතර (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා පටහැනි අන්දමින්) ඇතැම් සමාගම් වෘත්තීය සමිති ඇති කිරීම තහනම් කොට ඇත. තම සේවාව සහ සේවා ස්ථානය සම්බන්ධයෙන් ඕනෑම ගැටළුවක් මතු කිරීම සඳහා – කළමනාකාරිත්වයට නැවත වාර්තා කරන අධීක්ෂකවරුන් සමඟ පවත්වන සාකච්ඡා, ඉහළ කළමනාකරණයට ගැටළු ගෙනයාම පිණිස ඇති තම අධීක්ෂණ නිලධාරියා නොමැතිව ඊට ඉහළ නිලධාරියෙකු සමඟ කරන සාකච්ඡා, මානව සම්පත් ඒකකයට කළ හැකි ඊනියා “නිර්නාමික දැනුම්දීම්” ආදී – වඩා හොඳ විකල්ප ලබා දී ඇති බව පවසමින් කම්කරුවන් තුළ වෘත්තීය සමිති විරෝධී මතවාදයන් ඇති කරනු ලබයි. පෙනුමෙන් කම්කරුවන්ට ඔවුන්ගේ ගැටළු මතු කිරීමට අවස්ථාවක් ලබා දී ඇති බවට වන ව්‍යාජයක් ඇති කළද, එම යාන්ත්‍රණ සෑම විටම අයිතිකරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් සකසා ඇත. පැහැදිලිවම ඔවුන් උනන්දුව දක්වන්නේ ලාභ වැඩි කර ගැනීම වෙනුවෙන්ම පමණි.

කරුණු මෙසේ හෙයින් පසුගිය දින සිදුවූ තරුණ IT BPM වෘත්තිකයාගේ මෑත මරණය ‘සියදිවි නසා ගැනීමක්’ ලෙස සැලකිය නොහැකිය’. එය සමාගම් විසින් කළ ඝාතනයකි. ලාභයට ලොල්ව ඇති සමාගම් විසින් සිදු කරන ලද එකම ඝාතනයද එය නොවේ. සෑම දිනකම, සෑම පැයකම, සෑම මිනිත්තුවකම ලාභ වැඩි කර ගැනීමේ වුවමනාව නිසා පමණක් සඳහා බොහෝ වින්දිතයින් බිහි වේ. නමුත් මේ වතාවේ වින්දිතයාට තම මිනීමරුවා කවුද යන්න හඬ ගා කීමට තරම් ධෛර්යයක් තිබුණි.

එම සාංගමික මිනීමැරුමට පසුව, මාධ්‍යයන් සහ ඊනියා වෘත්තිකයන් විසින් සේවා ස්ථානවල ආතතිය හා විශාදය පාලනය කිරීම පිළිබඳව දේශනා කිරීමට පටන් ගෙන ඇත්තේ සේවකයාගේ වරද නිසා මරණය සිදු වූවාක් මෙනි. මෙම ධනවාදී මාධ්‍යයෙන් සහ ඔවුන්ගේ සපත්තු ලෙවකන වෘත්තිකයන්ගෙන් අපට අපේක්ෂා කළ හැකි වෙනත් දෙයක් නොමැත. මෙම ක්‍රමය පවත්වා ගෙන යාමට ඉඩ දෙන තුරු වැඩි වැඩියෙන් සාංගමික ඝාතන සිදු වනු ඇත.

සමාගම් විසින් සිදු කරන මෙම ඝාතන අප විසින් නතර කළ යුතුය. මෙම ලාභ ගින්නෙන් පෙළෙන ක්‍රමය පෙරළා දැමීම එය සාක්ෂාත් කර ගත හැකි එකම ක්‍රමයයි. එබැවින්, මුළු සාරයම උරා බොන මෙම දැවැන්ත ලාභ ගරන්නන්ගෙන් සේවකයන්ව සැබවින්ම නිදහස් කර ගැනීම වෙනුවෙන් අපගේ ධජය මෙම කම්කරුවන් වෙත ගෙන යාමට කාලය පැමිණ ඇත. පීඩිතයින්ට හා සූරාකෑමට ලක්වූවන්ට නැඟී සිට ආර්ථිකයේ මර්මස්ථාන තම පාලනයට ගත හැකි වන්නේ කම්කරු පන්තියේ සාමූහික ශක්තිය තුළින් පමණි.

Loading